හරීන් ප්‍රනාන්දුට මහජන ආරක්ෂක ඇමතිගෙන් අභියෝගයක්

හරීන් ප්‍රනාන්දුට මහජන ආරක්ෂක ඇමතිගෙන් අභියෝගයක්

*********************************************

හරීන් ප්‍රනාන්දුට මහජන ආරක්ෂක ඇමතිගෙන් අභියෝගයක්

(11.11.2021 – 14:44 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශයන්ට අදාළව සාක්ෂි ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට අභියෝග කළා.

ඒ, මීට පෙර එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශවලට පිළිතුරු ලබාදෙමින්.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා ද අද (11) පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

******************************************

මහබාගේ රිය අනතුරෙන් තුවාල ලැබූ 17 හැවිරිදි ළමයා සතියකට පසු මිය යයි

(11.11.2021 – 14:48 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 04 වනදා වැලිසර, මහබාගේ සුසාන භූමිය අසල දී සිදුවූ රිය අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ රත්නපුර ප්‍රදේශයේ පදිංචි මෙවර උසස්පෙළ හදාරමින් සිටි සිසුවෙක්.

16 හැවිරිදි සිසුවෙකු විසින් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් වැලිසර ප්‍රදේශයේදී තවත් රථවාහන කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

එහිදී යතුරුපැදියක ගමන්කරමින් සිටි මෙම පාසල් සිසුවා අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කෙරුණා.

අනතුරින් එම සිසුවා ගමන්කළ යතුරුපැදිය පදවාගෙන ගිය ඔහුගේ ඥාතියෙකු වූ 52 හැවිරිදි පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගියා.

ඔහු හිටපු හමුදා සෙබෙලෙකු බවටයි වාර්තා වුණේ.

මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකුට අයත් එම සුඛෝපභෝගී මෝටර් රථය ඔහුගේ පුත්‍රයා විසින් රැගෙන ගොස් තිබුණා.

******************************************

දඹුල්ලට එළවළු තොග ලැබීමේ අඩුවක්

(11.11.2021 – 14:54 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (11) එළවළු තොග ලැබීම සියයට 90 කින් අඩු වී තිබෙනවා.

සෑම වසරකම අවසන් මාස 2 තුල ලැබෙන එළවළු ප්‍රමාණය අඩු වන බවත් පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මෙලෙස එළවළු තොග ලැබීමේ අඩුවක් දක්නට ලැබනෙ බවත් ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය සඳහන් කළා.

කන්ද උඩරට හා පහතරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු තොග බොහොමයක් අද (11) ආර්ථික මධ්‍යස්ථානට ලැබී තිබුණේ නැහැ ෴

******************************************

මාලඹේ තාක්ෂණ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වන නඩුව කල් යයි

(11.11.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය (SLIIT) වහා මහපොළ භාරකාර අරමුදල යටතට පත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ ස්ථාවරය දැනුම් දීම සඳහා කල් ලබාදෙන ලෙස නීතිපතිවරයා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 01 වනදා කැඳවීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදින අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් ලබාගෙන අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි නීතිපතිවරයාට නියම කළේ.

මෙම පෙත්සම අද (11) විජිත් මළල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ විසිනුයි පෙත්සම ඉදිරිපත් කළේ ෴

******************************************

රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණවලට අප්‍රසාදය පළ කරමින් විරෝධතාවක්

(11.11.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

නිසි ලෙස රාජකාරි කරන රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව ජාත්‍යන්තරව මෙන්ම රට තුළ ද කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.

ජාතික ශාක නිරෝධායන සේවය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා.

******************************************

ජාතික ආරක්ෂක විද්‍යාලය ජනපති අතින් විවෘත වේ

(11.11.2021 – 16:25 +0530 – hirunews.lk/sinhala)

ජාතික ආරක්ෂක විද්‍යාලය අද (11) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරන විධායක නිලධාරින්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙනුයි මෙය ස්ථාපනය කෙරුණේ.

කොළඹ-03, ගාලුපාරේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයට අයත් මුම්ටාස් මහල් ගොඩනැගිල්ලේ ජාතික ආරක්ෂක විද්‍යාලය ස්ථාපිත කර තිබෙනවා.

එහි ප්‍රධාන ගොඩනැගිල්ල අද (11) ජනාධිපතිවරයා විසින් විවෘත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

******************************************

චීන පොහොර නැව ගැන අධිකරණය, ඇමති මහින්දානන්දගෙන් ප්‍රතිඥාවක් ඉල්ලයි

(11.11.2021 – 16:27 +0530 – hirunews.lk/sinhala)

චීන පොහොර නෞකාව මෙරටට ඇතුළත් කර නොගන්නා බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදිය හැකිදැයි විමසා ලබන මස 08 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

ඒ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සම අද (11) සලකා බැලීමෙන් අනතුරුවයි.

අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරුණා ෴

******************************************

පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස 60 කරන පණත පාර්ලිමේන්තුවට

(11.11.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්විමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කරවිමට අදාල පණත කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙරට ආයු අපේක්ෂාව ඉහල යාම සලකා මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි කම්කරු අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම යෝජනාව මගින් සිදුවන්නේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ඊ ටී එෆ් / ඊ පී එෆ් මුදල් තවත් වසර 5 ක කාලයක් මහා භාණ්ඩාගාරයේ රඳවා ගැනිම බවයි විවාදයට එක්වු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ ෴

******************************************

අවශ්‍යකරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි

(11.11.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතනවා.

මෙම සැකකරු වැඩි වශයෙන්, වැලිකඩ, රාජගිරිය, පැලවත්ත සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල ගැවසී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් 071 859 1762 , 071 859 4921 , 071 859 4913 යන අංකවලට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ෴

******************************************

කොළඹ නුවර පාරේ කඩුගන්නාව කොටස යළි දැනුම්දෙන තුරු වැසේ

(11.11.2021 – 17:58 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මතුවූ නායයාමේ අවදානමක් මත වසා දැමුණු කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව කොටස නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

මෙම ප්‍රදේශයේ නායයාමේ අවදානම් තත්වයක් නිරීක්ෂණය කෙරුණේ ඊයේ (10) පස්වරුවේයි.

ඉන් අනතුරුව ඊයේ (10) රාත්‍රියේ සිට පහළ කඩුගන්නාවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය වසා දැමීමට තීරණය කෙරුණා.

ඉන් අනතුරුව අද (11) උදෑසන අවට ප්‍රදේශය නිරීක්ෂණය කළ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ භූ විද්‍යා සමීක්ෂණ නිලධාරීන් තීරණය කළේ පවතින කාලගුණික තත්වය නිරීක්ෂණය කර හෙට (12) පෙරවරුවේ විවෘත කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමටයි.

කෙසේවෙතත් කාලගුණය දිගින් දිගටම අයහපත් වීම සහ භූමියේ ස්ථායීතාව සම්බන්ධයෙන් ගැටලු මතුවීම හේතුවෙන් ඒ පිළිබඳ ගැඹුරින් නිරීක්ෂණය කිරීමටයි මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් තීරණය කළේ.

මේ අනුව කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා රථ වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ අනුව අඹේපුස්ස මංසන්ධියෙන් හැරී කුරුණෑගල හරහා මහනුවරට ළගාවීමේ මාර්ගයත් ඊට අමතරව මාවනැල්ල හෙම්මාතගම හරහා ගම්පොල මහනුවර මාර්ගය ද විකල්ප මාර්ගයක් ලෙසට භාවිත කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

++++++++

******************************************

චීන පොහොර නැව ගැන අධිකරණය, මහින්දානන්දගෙන් ප්‍රතිඥාවක් ඉල්ලයි

(11.11.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

චීන පොහොර නෞකාව මෙරටට ඇතුළත් කර නොගන්නා බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදිය හැකිදැයි විමසා ලබන මස 08 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

ඒ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනුකළ පෙත්සම අද (11) සලකා බැලීමෙන් අනතුරුවයි.

අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

අදාළ පොහොර නෞකාව කුමන හෝ අවස්ථාවක ඉහළ බලධාරින්ගේ බලපෑම මත ශ්‍රී ලංකාවට ඇතුළු වීමට හැකියාව ඇති බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නා. එබැවින් එය වැළැක්වීමට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළ යුතු බවයි ඔහු ඉල්ලා සිටියේ.

ඒ අනුව, විෂය භාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අධිකරණය හමුවේ ඊට අදාළව ප්‍රතිඥාවක් ලබාදිය හැකිදැයි විමසීමට අවශ්‍ය වන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නා ෴

******************************************

අයවැය හෙට (12) – ජනතාව සහන ඉල්ලයි – මහබැංකු අධිපතිගෙන් ඉඟියක්

(11.11.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

කොවිඩ් ව්‍යාප්තියේ බලපෑමෙන් පසු නව සාමාන්‍යකරණය යටතේ රට විවෘත කර ඇති පසුබිමක ජනතාව මෙවර අයවැය දෙස බලාසිටින්නේ මහත් උනන්දුවකින්.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හෙට (12) පස්වරු 02:00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මෙම ආණ්ඩුවේ දෙවන (2) අයවැය ලේඛනයයි.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ අයවැය ඉදිරිපත් කිරීමත් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු (2) අයවැය ඉදිරිපත් කළ පළමු අවස්ථාව ලෙස ද එය ඉතිහාසයට එක්වනවා.

අයවැය දෙවන වර කියවීමේ විවාදය සෙනසුරාදා ආරම්භ වී දින 7 ක් පැවැත්වෙන අතර, දෙවන (2) වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා සිදුකෙරෙනු ඇති.

2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම වන්නේ රුපියල් බිලියන 5128 ක්.

මෙවර අය වැය ඉදිරිපත් කරන අවස්ථාවේ විශේෂතා කිහිපයක්ද දැකගත හැකියි.

ඒ අනුව ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

මේ වනවිට රට මුහුණදී සිටින ආර්ථික අභියෝගය සුළුපටු එකක් නොවේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට ආර්ථිකය වසර දෙකහමාරකට වැඩි කාලයක් පුරා මන්දගාමී තත්ත්වයක පැවතුණා.

ඒ අනුව, ආර්ථික ස්ථායිතාව වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ද මෙවර අයවැයේ ප්‍රමුඛ අරමුණක් විය යුතුයි.

ඊට අමතරව සංචාරක වැවිලි කර්මාන්ත වැනි ක්ෂේත්‍ර රැසක ප්‍රගමනය උදෙසා වන යෝජනා මෙවර අයවැයට ඇතුළත් වනු ඇතැයි එම ව්‍යාපාරයන්හි නිරත වන පිරිස් අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත් හෙට ඉදිරිපත් කෙරෙන අයවැය පිළිබඳව ජනතා අපේක්ෂා ද එමටයි ෴

******************************************

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සිය ස්ථාවරයේ කිසිදු වෙනසක් නැහැ – උදය ගම්මන්පිල

(11.11.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

වැරදි දේට වැරදි යැයි පැවසීමට ආණ්ඩුව නියෝජනය කරන සුළු දේශපාලන පක්ෂවලට කොන්දක් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි ඊයේ (10) සිදුකළ චෝදනාවට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සිය ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවයි.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා ආසාදිතයින් 272 සුව අතට

(11.11.2021 – 15:36 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී, රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 272 දෙනෙකු අද (11) දිනයේදී සුවය ලබා තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදිතව මෙරට සුවය ලද මුළු සංඛ්‍යාව 5,22,789 ක්. මෙරට සක්‍රීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 10,649 ක් ලෙස දැක්වෙනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 527 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,47,873 ක් ෴

ඊයේ (10) දින මෙරටින් තවත් කොවිඩ් මරණ 19 ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දක්වා 13,927 ඉහළ යනවා. එම මරණ අතරට කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමින් 11 දෙනෙකු අයත්ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *