සිමෙන්ති හිඟය තවත් මාසයක් පමණ පවතින ලකුණු

සිමෙන්ති හිඟය තවත් මාසයක් පමණ පවතින ලකුණු

*********************************************

සිමෙන්ති හිඟය තවත් මාසයක් පමණ පවතින ලකුණු

(11.11.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින සිමෙන්ති හිඟය ලබන දෙසැම්බර් මස මැද භාගය වන විට යථා තත්ත්වයට පත් වනු ඇති බව සිමෙන්ති ආනයනකරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ ඉදිරි සති කිහිපය තුල සිමෙන්ති රැගත් නෞකා මෙරටට ළගා වීමට නියමිත බවයි.

කෙසේ වෙතත් සිමෙන්ති නොමැති වීමෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වූවන් තවදුරටත් දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා.

කොළඹ ඊයේ (10) පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් ඉන්සි සිමෙන්ති සමාගමේ බාහිර කටයුතු ප්‍රධානී චන්දන නානායක්කාර මහතා කියා සිටියේ ලබන 18 වනදා සහ 28 වනදා සිමෙන්ති රැගත් නෞකා 2 ක් මෙරටට පැමිණීමට නියමිත බවයි ෴

******************************************

පැන්ඩෝරා පත්‍රිකා ගැන විමර්ශන වාර්තාව ජනපතිට

(11.11.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනවල ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබෙනවා.

පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වී ඇති ශ්‍රී ලාංකිකයින් සහ එම ගනුදෙනු පිළිබඳව වහාම විමර්ශනයක් සිදුකර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නා.

ඒ අනුවයි මෙම විමර්ශන ක්‍රියාත්මක කෙරුණේ.

කතාබහට ලක්ව ඇති හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේසන්ගේ බැංකු ගිණුම් විස්තර ඇතුළත් වාර්තා විවිධ බැංකු හා මූල්‍ය ආයතනවලින් කැඳවා ඇති අතර, මේ වනවිටත් එම වාර්තා ලැබෙමින් පවතින බවයි එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ.

විමර්ශන කටයුතු අවසාන වී නොමැති බැවින් ඊට අදාළව කැඳවන ලද වාර්තා වැඩිදුර විමර්ශනයකින් පසුව අවසන් වාර්තාව සකසන බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

******************************************

2022 අයවැය යෝජනා හෙට (12)

(11.11.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර සඳහා වන අයවැය යෝජනා හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්.

මෙවර අයවැයේදී අයවැය හිඟය අඩු කරගනිමින් මෙරට ආර්ථිකය පවත්වා ගැනීමට අවධානය යොමු විය යුතු බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

මෙවර විසර්ජන පනත් කෙටුම්පතට අනුව ඇස්තමේන්තුගත සමස්ත වියදම රුපියල් බිලියන 5134 ක්.

ඉන් රුපියල් බිලියන 1521 ක් රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා වන වියදම් වන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 980.2 ක් වැය වනවා.

මෙවර අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, කොරෝනා තත්ත්වයන්ට දීමටත්, පරීක්ෂණ සහ එන්නත්කරණය පුළුල් කිරීමට මෙන්ම රෝහල් තුල පහසුකම් වැඩි කිරීම සඳහා එලෙස ප්‍රතිපාදන ඉහළ නැංවිය යුතු බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික කටයුතු දැඩිව සීමා වූ වසර එකහාමාරකට (1½) පමණ පසුව නව සාමාන්‍යකාරණය යටතේ රට යළි ඉදිරි ගමනක් ආරම්භ කර තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය හෙට (12) ඉදිරිපත් කරන්නේ පශ්චාත් කොවිඩ් අභියෝග ජය ගන්නා මග පිළිබඳ රටම අපේක්ෂා දල්වාගෙන සිටින පසුබිමකයි.

******************************************

නිදහස් පක්ෂයෙන් පොදු සන්ධානයක්

(11.11.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 31 ක් පොදු සන්ධානයක් යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ කටයුතු කිරීම සඳහා මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ, නිදහස් පක්ෂ මූලස්ථානයේදියි.

මේ වන විටත් පක්ෂ 7 ක් සාකච්ඡාව සඳහා පැමිණ ඇති අතර ඉතිරි පක්ෂ අද (11) පස්වරුවේ පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පස්වරුවේ මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පැමිණීමට නියමිතයි. ඔහු පැමිණීමෙන් අනතුරුව අනෙකුත් පක්ෂ සාකච්ඡා සඳහා පැමිණෙන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන ආරංචි මාර්ග සඳහන් කළේ.

ලිබරල් පක්ෂය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, ශ්‍රී ලංකා ටෙලෝ පක්ෂය, මව්බිම ජාතික පෙරමුණ පක්ෂය, ජාතික මහජන පක්ෂය, මුස්ලිම් උලමා පක්ෂය, නව සිංහල උරුමය පක්ෂය ඇතුළු පක්ෂ 31 ක් මෙම සාකච්ඡාවට සහභාගී වීම සඳහා ඇරයුම් කර තිබුණා.

******************************************

පීඩන අවපාතය උතුරු තමිල්නාඩුව දෙසට

(11.11.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පේදුරුතුඩුවේ සිට කිලෝමීටර් 250 ක් පමණ උතුරු දෙසින් පවතින අතර, එය වයඹ දෙසට ගමන් කර අද (11) සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ළඟා වේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

ඒ අනුව දිවයින පුරා පැවති තද වැසි තත්ත්වය අද (11) සිට අඩුවීමක් අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය සදහන් කළේ.

මේ අතර, නාය යාමේ අවධානමක් හේතුවෙන් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දමා ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියා සිටියේ අධික වර්ෂාවත් සමඟ කඩුගන්නාව බිංගෙය ආශ්‍රිත පහල ප්‍රදේශවල නාය යාම් ලක්ෂණ මතුව ඇති බවයි.

මේ අතර, දිස්ත්‍රික්ක 17 කට බලපා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 60,264 කට අයත් පුද්ගලයින් 2,12,060 ක් පීඩාවට පත්ව සිටිනවා.

එමෙන්ම ආරක්ෂිත ස්ථානවල 12,000 ක පිරිසක් රදවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදාවලින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගියා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ රාජාංගණය ඇතුළු ජලාශ රැසක මේ වන විටත් වාන් දොරටුව විවෘතව පවතින බවයි.

දිස්ත්‍රික්ක 11 කට පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය අද (11) පස්වරු 4 දක්වා තවදුරටත් ක්‍රියාත්මකයි.

******************************************

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද

(11.11.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 40,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද (11) සිදු කෙරෙන බව මහබැංකුව ප්‍රකාශ කළා.

එහිදී කාණ්ඩ දෙකක් (2) යටතේ බැඳුම්කර වෙන්දේසි කිරීමට නියමිතයි.

2024 වසරේ මාර්තු 15 වන දිනට කල් පිරෙන ලෙස වෙන්දේසි කෙරෙන බැඳුම්කරවල වටිනාකම රුපියල් මිලියන 15,000 ක් වන අතර, රුපියල් මිලියන 25,000 ක් ඉතිරි බැඳුම්කර වෙන්දේසි කෙරෙන්නේ 2031 වසරේ මාර්තු 15 වැනිදා කල් පිරෙන ලෙසයි ෴

******************************************

ජලාශ 14 ක් තවදුරටත් වාන් දමයි

(11.11.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala)

පවතින වර්ෂාපතනයත් සමග දිවයිනේ ජලාශ 14 ක් තවදුරටත් වාන් දමන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයක දැක්වුණේ රාජාංගණය ජලාශයේ වාන් දොරටු දෙකක් (2), දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8 ක්, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 3 ක්, තබ්බෝව ජලාශයේ වාන් දොරටු දෙකක් (2) විවෘත කර ඇති බවයි.

එමෙන්ම පොල්ගොල්ල සහ වික්ටෝරියා ජලාශවල වාන් දොරටු 4 බැගින් විවෘත කර තිබෙනවා.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා කියා සිටියේ ගංඟාවල ජල මට්ටම මේ වන විට අඩුවෙමින් පවතින බවයි.

රත්නපුර – වේවැල්වත්ත පොලිස් වසමට අයත් හපුගස්තැන්න – උඩ නුගේපොළ ප්‍රදේශයේ ඊයේ (10) රාත්‍රියේ නාය යාමක් සිදුව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ මීටර් 100 ක පමණ කොටසක් මෙලෙස නාය යාමට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත්, නිවාස හෝ දේපළ මෙන්ම ජීවිත හානි ද වාර්තා නොවන බව පොලීසිය සඳහන් කළා. එම නාය ගොස් ඇති කොටසට පහලින් පිහිටා ඇති නිවාසවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.

******************************************

පාරිසරික සංවේදී ප්‍රදේශ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක්

(11.11.2021 – 10:35 +0530 – hirunews.lk/sinhala)

මෙරට පාරිසරික සංවේදී ප්‍රදේශ හදුනාගෙන ඒවා ආරක්ෂා කර ගැනීම සදහා වූ ජාතික ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කළා.

ඉදිරියේදී එම ජාතික ප්‍රතිපත්තිය නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එහි නිර්දේශ අනුව කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව එහි සඳහන්.

මේ වන විටත් පාරිසරික සංවේදී කලාප ලෙස පුත්තලම – ගඟේවාඩිය, අනුරාධපුර – මානෑව, ගල්නෑව, හා එළුවන්කුලම යන ප්‍රදේශ හදුනාගෙන තිබෙනවා.

පාරිසරික සංවේදී ජාතික ප්‍රතිපත්තියට අනුව සාගරික, පාරිසරික කලාප 3 ක් නම් කිරීමට ද සැලසුම් කර ඇති අතර, ඒ අනුව හඳුනාගෙන ඇත්තේ මන්නාරම සිට රාමේෂ්වරන් දක්වා වූ සාගර කලාපය, මඩකලපුව හා ත්‍රිකුණාමලය අවට සාගර කලාපය මෙන්ම ගාල්ල සිට හම්බන්තොට දක්වා මුහුදු තීරයයි ෴

******************************************

රුපියල් පන් ලක්ෂයකට අධික කේරළ ගංජා තොගය

(11.11.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිටි මෙරටට බෝට්ටු මගින් හොර රහසේ රැගෙන ආ රුපියල් ලක්‍ෂ පහකට (5) අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (10) දින ගම්පහ පොලිස් වසමේ අංක වලව්වත්තේ දී මෙම වැටලීම සිදු කෙරුණා.

එහිදී අත් අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් තුනකට (3) අධික තොගයක්, ඩිජිටල් තරාදියක්, එක් ජංගම දුරකතනයක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් 20,000 ක මුදලක් ද විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගනු ලැබුවා.

සැකකරු 47 වැනි වියෙහි පසුවන අයෙකු වන අතර , වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට සැකකරුව ගම්පහ පොලීසිය වෙත භාර දී තිබෙනවා.

******************************************

චීන කාබනික පොහොරවල අහිතකර බැක්ටීරියා අඩංගු නොවන බවට නව හෙළිදරව්වක්

(11.11.2021 – 11:00 +0530 – hirunews.lk/sinhala)

අහිතකර බැක්ටීරියා අඩංගු යැයි ප්‍රතික්ෂේප කරන ලද චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර තොගයේ එබදු අහිතකර බැක්ටීරියා කිසිවක් නොමැති බව, තුන්වන (3) පාර්ශ්වයක් විසින් තහවුරු කර තිබෙනවා.

Schutter Global Inspection and Survey Company නම් ආයතනය විසින් මෙම සහතිකය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පොහොර පිළිබඳව ශ්‍රී ලංකා ශාක නිරෝධායන සේවාව කළ පරීක්ෂණවලදී එහි අහිතකර බැක්ටීරියා ඇති බවට පසුගිය දිනක හෙළි වූ අතර, සමාජය තුළ ඒ සම්බන්ධයෙන් දැඩි කතාබහක් ද නිර්මාණය වුණා.

Schutter ආයතනයේ පරීක්ෂණ වාර්තාව පවසන්නේ චීන සමාගම විසින් සපයන ලද සාම්පලවල කිසිදු හානිකර බැක්ටීරියා, සැල්මොනෙල්ලා සහ ඇස්කරයිඩ් බිත්තර හමු නොවූ බවයි.

ජාතික ශාක නිරෝධායන ආයතනය මගින් අදාළ පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා අඩංගු බව ප්‍රකාශ කළ අවස්ථාවේ දී චීන සමාගම එම වාර්තා පිළිගැනීම ප්‍රතික්ෂේප කළා.

ඔවුන් පවසා සිටියේ, දෙපාර්ශ්වයටම පිළිගත හැකි ස්වාධීන තෙවන පාර්ශ්වයක් මගින් පොහොර සාම්පල යළි පරීක්ෂා කළ යුතු බවයි.

පොහොර සාම්පල තෙවන පාර්ශ්වයකට ලබා දී පරීක්ෂා නොකරන බවත්, නැව ආපසු හරවා යවන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ, මෙම වාතාවරණය තුළදීයි.

කෙසේ වෙතත්, Schutter Global Inspection and Survey Company ආයතනයෙන් ලබා ගත් වාර්තාව, මේ වන විටත් ජාතික ශාක නිරෝධායන ආයතනය වෙත චීන පොහොර සමාගම විසින් ලබා දී තිබෙන බව ද වාර්තා වනවා ෴

******************************************

අලි පැටවුන් අල්ලන ජාවාරම නැවතත් ක්‍රියාත්මකයි, පරිසරවේදීන්ගෙන් චෝදනා

(11.11.2021 – 11:29 +0530 – hirunews.lk/sinhala)

උඩවලව ජාතික වනෝද්‍යානය ආසන්නයේ දී නිර්වින්දනය කර අලි පැටවකු අල්ලා ගැනීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ කිරීම්ට ප්‍රදේශය භාර වනජීවී නිලධාරීන්ට හැකි වී ඇති බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසනවා.

මෙලෙස නිර්වින්දනය කළ අලි පැටවා වනජීවී බාරයට ගෙන ඇත්තේ උඩවලව පනාටුව විදුලි කුටිය ආසන්නයේදී.

නමුත් ඔහු කියා සිටින්නේ මෙම වැටලීමේදී සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි.

මෙවන් ග්‍රාමීය ප්‍රදේශයක මේ ආකාරයට මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් නිදහසේ පලා යාම පිළිබඳව ඔහු විමතිය පළ කරනවා.

නැවතත් පසුගිය සමයේ මෙන් අලි පැටවුන් අල්ලා අළෙවි කිරීමෙ ජාවාරම ක්‍රමයෙන් හිස ඔසවන බවයි ඔහු කියා සිටින්නේ.

නීතිවිරෝධීව ළඟ තබාගත් අලි ඇතුන් සම්බන්ධයෙන් නීති අංශ ලිහිල් පිළිවෙළක් පිළිවෙතක් අනුගමනය කරන සමයක දී මෙම ජාවාරමට වහාම තිත තැබීමට නීතිය කරවන බලධාරීන් අසමත් වුවහොත් එය මෙරට වන අලින්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් වනු ඇති බවටයි පරිසරවේදී නයනක රන්වැල්ල මහතා අනතුරු අඟවන්නේ.

වර්ෂ 2010 ත් 2015 ත් අතර කාලසීමාව තුළදී වනාන්තර වල සිටින අලි පැටවුන් ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ මව් ඇතින්නියන් මරා දමා හෝ නිර්වින්දනය කර පැහැරගත් සිදුවීම් රාශියක් පිළිබඳව වාර්තා වුණා නමුත් එම කිසිදු අවස්ථාවක් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලිසිය හෝ වනජීවී දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබුනේ නැහැ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *