කොරෝනා ආසාදිත කුඩා දරුවන්ගේ වැඩිවීමක්

කොරෝනා ආසාදිත කුඩා දරුවන්ගේ වැඩිවීමක්

*********************************************

කොරෝනා ආසාදිත කුඩා දරුවන්ගේ වැඩිවීමක්

(10.11.2021 – 20:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත කුඩා දරුවන් වාර්තා වීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව සෞඛ්‍ය අංශ පවසනවා.

තවත් කොරෝනා අසාදිතයන් 488 ක් අද (10) මේ දක්වා මෙරටින් වාර්තා වන අතර, අද (10) සුවය ලැබූ ආසාදිතයන් 333 ක්.

මේ අතර, කොරෝනා ආසාදිත කුඩා දරුවන් වාර්තා වීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බව රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍යාමන් රජීන්ද්‍රජිත් මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

මේ අතර, කෙරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් බලහත්කාරයෙන් ජනතාව එන්නත්කරණය කිරීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා ෴

++++++++++++++++++++

කොරෝනා නීති කැඩුවොත් දැඩි දඬුවම් – පොලීසියෙන් විශේෂ නිවේදනයක්

(11.11.2021 – 07:22 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීමට හා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් දැඩි ලෙස උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (10) දින පස්වරු 1 සිට පස්වරු 3 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම මගින් මගී ප්‍රවාහන බස්‍ රථවල ආසන ධාරිතාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන්නේ ද යන්න පරීක්ෂ කිරීම, මගී ජනතාව නිවැරදිව නාසය සහ මුඛ්‍ය වැසෙන පරිදි මුඛ ආවරණ පැළඳ සිටීම, වායුසමනය කළ මගී ප්‍රවාහන බස් රථ තුළට වාතාශ්‍රය නිසි ලෙස ලබෙන පරිදි ජනෙල් විවර කර තිබීම, සිල්ලර වෙළෙඳසැල්, ඖෂධ හල් සහ වෙනත් කුඩා වෙළෙඳසැල් තුළට ඇතුල්විය හැකි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව පිළිබඳව ජහා ඒවායේ පිටත දැන්වීමක් ප්‍රදර්ශනය කිරීම සහ වෙළෙඳසැල් තුළට සීමිත පාරිභෝගියකයින් සංඛ්‍යාවක් ඇතුළ් කර තිබේද යන්න පරීක්ෂා කිරීම මෙහිදී සිදු කෙරුණා.

මෙම විශේෂ මෙහෙයුම් අපොලිස් නිලධාරීන් 437 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද අතර, එහිදී මගී ප්‍රවාහන බස් රථ 998 ක් හා වයුසමනය කළ බස්‍ රථ 207 ක් සහ සිල්ලර වෙළෙඳසැල්, ඔසුසැල් සහ වෙනත් කුඩා වෙළෙඳසැල් 1290 ක් ද මෙහිදී දැඩි සෝදිසි කිරීම්වලට හසු වූ බවයි පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසළකා ක්‍රියා කළ මගී ප්‍රවාහන බස් රථ 369 කට සහ වායුසමනය කළ බස් රථ 67 කට සහ රියැදුරන් සඳහා ද වෙළෙඳසැල් 581 ක් සඳහා ද පොලීසිය විසින් දැඩි අවවාද කර තිබෙනවා ෴

++++++++++++++++

නොවැම්බර් සහ අප්‍රේල් අතර සියළු දේශපාලකයින්ට වෙන්න යන මහා අනතුර (10.11.2021)

@@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@@

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා එකවර ලබාදීමට රජය තීරණය කරයි

(10.11.2021 – 20:46 +0530 – hirunews.lk/sinhala)

අදියර 3 කින් සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබූ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා එක්වර ලබාදීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවති සාකච්ඡාවේදී එකඟතාව පළ වුණා.

ඒ අනුව මෙවර අයවැයෙන් ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා රුපියල් බිලියන 30 ක මුදලක් වෙන් කෙරෙන අතර, ඒ සමග ගුරු විදුහල්පති වැටුප් අර්බුදයට අද (10) සාධනීය විසඳුමක් හිමිවුණා.

එසේම, මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා 7% කට වැඩි ප්‍රමාණයක් වෙන්කර ඇති බවද එම සාකච්ඡාවේදී අනාවරණ වුණා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මාස තුනකට (3) අධික කාලයක් පැවතියා.

අදාළ ගැටළුවට විසඳුම් යෝජනා කිරීම සදහා අමාත්‍ය අනුකමිටුවක්ද පත් කෙරුණු අතර, ඔවුන් සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයින් අතර පසුගිය ජූලි මස 27 වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත්වුණා.

සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා ගුරු සංගම් දිවයින පුරා උද්ඝෝෂණවලද නිරත වුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද (10) පෙරවරුවේ ගුරු සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත් වුණේ එවන් පසුබිමකයි.

ඊට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් යෝජනා කළ වාර්තාවේ වැටුප් වර්ධකය එක් (1) අදියරකින්ම ලබාදීමට එහිදී එකඟතාව පළවුණා.

ඒ අනුව පළමු පන්තියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 11,820 කින් ඉහළ යන අතර, දෙකේ එක (2-1) පන්තියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 8,250 කින් සහ දෙකේ දෙක (2-2) පන්තියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 6,535 කින් ඉහළ යනු ඇති.

තුනේ එක (3-1) පන්තියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 5,875 කින් ඉහළ දැමෙන අතර, තුනේ දෙක (3-2) පන්තියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 3750 කින් ඉහළ දැමෙනවා.

එසේම, පළමු (1) පන්තියේ විදුහල්පතිවරයෙකුගේ වැටුප රුපියල් 12,020 කින් ඉහළ දැමෙන අතර, දෙවන (2) පන්තියේ විදුහල්පතිවරයෙකුගේ වැටුප ඉහළ දැමෙන්නේ රුපියල් 8,645 කින්.

තුන්වන (3) පන්තියේ විදුහල්පතිවරයෙකුගේ වැටුප රුපියල් 6,895 කින් ඉහළ නැංවෙනු ඇති.

කෙසේ වෙතත්, සාකච්ඡාව අවසානයේදී රජයේ ගුරුවරුන්ගේ සංගමය සහ ලංකා ගුරු සේවා සංගමයේ නියෝජිතයින් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

******************************************

අදත් (11) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

(11.11.2021 – 06:56 +0530 – hirunews.lk/sinhala)

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, පේදුරුතුඩුවේ සිට කිලෝමීටර 250 ක් පමණ උතුරු දෙසින් පවතිනවා.

එය රැඳී ඇත්තේ, උතුරු අක්ෂාංශ 11.7 ත් නැගෙනහිර දේශාංශ 81.6 ත් ආසන්න ප්‍රදේශයේ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එය වයඹ දෙසට ගමන් කර, අද (11) දින සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ළඟා වේ යැයි අපේක්ෂා කරනවා.

දිවයිනේ පැවති තද වැසි තත්ත්වයේ සාපේක්ෂව අඩුවීමක් අද (11) දින සිට බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි‍යි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව පෙන්වා දෙන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, දිවයින හරහා විටින් විට පැ.කි.මි. (40-50) පමණ තද සුළං ද ඇති විය හැකි බවයි නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේත් අද (11) දින සවස් කාලය වනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටින ලෙස දැනුම්දෙනු ලබන අතර. ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටිනවා ෴

******************************************

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (11) කෝප් කමිටුව හමුවට

(11.11.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද (11) කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලියේ කාර්යසාධන ඇගයීම් පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය ආයතන 10 ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.

මේ අතර ජාතික තරුණ සේවා සභාව සමඟ තරුණ සේවා පෞද්ගලික සමාගම ලබන 16 වනදාත්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව ලබන 17 වනදාත්, කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *