කොළඹ – මහනුවර මාර්ගය වැසේ

කොළඹ – මහනුවර මාර්ගය වැසේ

*********************************************

කොළඹ – මහනුවර මාර්ගය වැසේ

(10.11.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

කොලඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ 98 වන කිලෝමීටර් කණුව අසල නාය යාමේ අවධානමක් හේතුවෙන් අද (10) රාත්‍රී 10:00 ට පහල කඩුගන්නවෙන් මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

රාත්‍රී 10 තෙක් එක මංතීරුවක් පමණක් විවෘත කර තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසනවා.

හෙට (11) උදෑසන 07:00 ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් මාර්ග නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාර්ගය විවෘත කරන වේලාව දනුම් දීමට නියමිතයි.

කොලඹ සිට මහනුවරට ගමන් කරන රථවාහන සදහා විකල්ප ලෙස :

  1. අඹේපුස්සට හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවරට
  2. කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගලට ඉන් අනතුරුව ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවරට
  3. මාවනැල්ල සිට රඹුක්කන – හතරලියැද්ද – ගලගෙදර කටුගස්තොට හරහා මහනුවරට
  4. මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල – පේරාදෙණිය හරහා මහනුවරට

යන මාර්ග භාවිතා කලහැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සදහන් කරයි.

මහනුවර සිට කොළඹට ගමන් කරන රථවාහන සදහා විකල්ප මාර්ග ලෙස :

  1. කටුගස්තොට – ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොලඹ දක්වා
  2. කටුගස්තොට – ගලගෙදර – රඹුක්කනට පැමිණ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ කොළඹට

යන මාර්ග භාවිතා කල හැකිබව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා වැඩිදුරටත් පවසනවා.

******************************************

ආපදා මරණ 25 දක්වා ඉහළට – හෙට (11) සිට තද වැසි අඩු වෙයි

(10.11.2021 – 20:16 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, කෑගල්ල – ගලිගමුව – හත්නාගොඩ ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදන්ව සිටි පිය පුතු දෙදෙනාගේ (2) සිරුරු අද (10) පස්වරුවේ සොයා ගැණුනා.

ඒ යුද හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ විශේෂ සෝදිසියකින් පසුවයි.

කුරුණෑගල – රිදීගම ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් ද අඹුසැමි යුවලක් ඊයේ (09) රාත්‍රියේ ජිවිතක්ෂයට පත්වුණා.

ඒ අනුව, ගෙවුණු පැය 24 තුලදී පමණක් නායයාම් හේතුවෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් ඇති අතර, ඊයේ (09) දිනයේදී ද කෑගල්ල – රඹුක්කන ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් කුඩා දරුවන් දෙදෙනෙකු (2) ඇතුළු 3 දෙනෙකු මියගියා.

පසුගිය දින කිහිපය තුල ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයට වැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකින්ම නායයාම් වාර්තා වී ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, දිස්ත්‍රික්ක 11 කට පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය හෙට (11) පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට එය අදාළ වන බවයි.

මීට අමතරව, තවත් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර, එක් අයෙකු සැඩපහරකට හසුවී තවමත් අතුරුදන්වී සිටිනවා.

එසේම, කුරුණැගල – උඩුබද්දාව – පරණගම ඔයේ සැඩපහරකට හසුවී අතුරුදන්ව සිටි පියාගේ සහ පුත්‍රයාගේ දේහ අද (10) දහවල් සොයා ගනු ලැබුවා.

මීට අමතරව, කුලියාපිටිය – කනදුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු ද ගංවතුරට හසුව ආ පොල් එකතු කිරීමට ගොස් සැඩපහරකට හසුවී ජිවිතක්ෂයට පත්ව තිබුණා.

එමෙන්ම, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ද දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 3 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පසුගිය මස 27 වනදා සිට මේ දක්වා දිවයිනට බලපැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17 කට බලපෑම් එල්ල වී ඇති බවයි.

ඒ හේතුවෙන් පුද්ගලයින් 62,247 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

මීට අමතරව, නායයාම්, ගස් කඩා වැටීම් සහ විවිධ අනතුරු හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස 960 කට හානි සිදුව ඇති අතර, පූර්ණ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 18 ක්.

පසුගිය දින කිහිපය තුලම, දිවයිනට ඇදහැලුණු අධික වර්ෂාව සමග යටවූ පහත් බිම් වල ජලය මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් බැස යමින් පවතින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

විවෘත කර තිබූ ජලාශ කිහිපයක විවෘත කළ වාන්දොරටු ද ක්‍රමයෙන් වසා දමිමන් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ පැවති තද වැසි තත්ත්වයේ සාපේක්ෂ අඩුවීමක් ඉදිරි පැය 36 තුල බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත්, ධීවර සහ නාවික කටයුතු වලින් තවදුරටත් වැළකී සිටින ලෙස ඔවුන් දැනුම් දෙනවා.

අයහපත් කාලගුණයෙන් විපතට පත්ව සිටින ජනතාවට සහන ලබාදීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

******************************************

අතුරුදහන් වූ දැරියන් තිදෙනා (3) පිටුපස තිබූ ඇත්තම කතාව එළියට එයි

(10.11.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala)

රටේම අවධානය යොමු වූ පෙරේදා දිනයේ (08) අතුරුදහන් වී ඊයේ (09) දිනයේ නිවෙස් වෙත පැමිණි දැරියන් තිදෙනා (3) ‘සුපිරි නර්තන තරු’ වීමේ අභිලාශයෙන් නිවසින් පැන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා මේ බව තහවුරු කළා.

වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ,

“මේ දරුවෝ උදේ පාන්දරම රහසේම ගිහින් තිබුණේ නර්තන ශිල්පිනියන් වීමේ බලාපොරොත්තු ඇතුව. ඔවුන් තිදෙනා (3) අතේ තිබුණු මුදු 2 කුත් උගස් කරලා රුපියල් 60,000 ක මුදලක් ලබාගෙන තියෙනවා. පස්සේ ඇඳුම් අලෙවිසැලකින් ජින්ස්, ටීෂර්ට් සහ බොහෝ ඇඳුම් පැළඳුම් මිලදී ගෙන ඇති බව තමයි වාර්තා වුණේ. මේ අයට ඕනෙ වෙලා තියෙන්නේ කොහොම හරි නැටුම් කණ්ඩායමකට හරි පන්තියකට හරි සම්බන්ධ වෙන්න..”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඔවුන් තිදෙනා (3) වත්තල ප්‍රදේශයේ නර්තන කණ්ඩායමකට සම්බන්ධ වීමට ද උත්සාහ දරා ඇති බවයි.

පසුව එම උත්සහයත් ව්‍යාර්ථ වීමෙන් පසු ඔවුන් තිදෙනා (3) අනුරාධපුරය බලා යන බස් රථයකට ගොඩ වී තිබෙනවා.

එම අවස්ථාවේදී බස් කොන්දොස්තරවරයාට මෙම දැරියන් ගැන සැක පහළ වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව කොළඹ ආ ඔවුන්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට උත්සාහ ගෙන ඇති බව ද සඳහන්.

“ඔවුන් සුචරිතයට ගිහිල්ලා උදව් ඉල්ලලා තිබුණා. නමුත් ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු කරන්න කිසිවෙකු නොමැති බව ආරක්ෂක අංශ දැනුම් දීලා. පසුව ඔවුන් සමගි ජන බලවේග කාර්යාලයටත් ගිහින් තියෙනවා. නමුත් ඒ වෙලාවේ සජිත් ප්‍රේමදාස කාර්යාලයේ නැති නිසා ඔවුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ඨ කරගන්නට හැකියාවක් ලැබිලා නැහැ..”

කෙසේ වෙතත්, මේ අතරවාරයේ මෙම දැරියන් තිදෙනා (3)ගේ පලා යාම ප්‍රධාන ධාරාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පුවත් මවමින්, ප්‍රචාරය වුණා.

ඉන් අනතුරුවයි, මෙම දැරියන් තිදෙනා (3) නැවතත් ඔවුන්ගේ නිවෙස් වෙත පැමිණීමට තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත්, මෙම දැරියන් තිදෙනා (3) දැඩි මානසික කඩා වැටීමකට ලක්ව ඇති අතර, නිවෙස්වලින් ඔවුන්ට ‘සංගීතය හෝ රූපවාහිනි නැරඹීමටද තහංචි පනවා ඇති’ බවටයි, වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක අතර, දරුවන් ගැන මීට වඩා සැලකිල්ලෙන් සොයා බැලිය යුතු බවත්, තරුණ වියේ පසුවන දරුවන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් දෙමව්පියන් මීට වඩා වගකීම් සහග විය යුතු බවත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

වත්තල ඇලකන්ද ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක්

(10.11.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

වත්තල ඇලකන්ද ප්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්න නිවීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 2 ක් යොදවා තිබෙනවා ෴

******************************************

කෘෂිකර්ම ඇමතිගේ පැමිණිල්ල ගැන සී.අයි.ඩී. විමර්ශන ඇරඹේ

(10.11.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

නැනෝ නයිට්‍රජන් දියර පොහොර මෙරටට ආනයනය කිරීමේදී වංචාවක් සිදුවී ඇති බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අද (10) පෙරවරුවේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුවයි.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර මෙරටට ආනයනය කිරීමේදී වංචාවක් සිදුවී ඇති බවට පසුගිය මස 03 වනදා සමගි ජනබලවේගය කොළඹ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ඒ අනුවයි.

******************************************

ඉතිහාස ගතවන පොලිස්ථානයක ස්ථානාධිපතිනිය

(10.11.2021 – 20:30 +0530 – hirunews.lk/sinhala)

හෙට (11) විවෘතවීමට නියමිත නව පොලිස්ථානයක ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් වැඩ බාරගැනීමට නියමිතයි.

ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එම්.අයි. කාංචනා සමරකෝන් මහත්මිය එලෙස ගම්පහ නාල්ල පොලිස් ස්ථානයේ දී වැඩ බාරගැනීමට නියමිත බවයි.

හෙම්මාතගම ප්‍රදේශයේ උපත ලද කාංචනා සමරකෝන් මහත්මිය කෑගලු බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත.

1997 වසරේදී කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ ඇය හලාවත, වව්නියාව, ගම්පහ, මීරිගම, නිට්ටඹුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කොට්ඨාස ගණනාවක සේවය කර තිබෙනවා.

දරුවන් දෙදෙනෙකුගේ (2) මවක් වන කාංචනා සමරකෝන් මහත්මියගේ ස්වාමි පුරුෂයා ද ශ්‍රී ලංකා පොලීසියේ ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරනු ලබනවා.

මෙරට පොලිස් ස්ථානයක් සඳහා කාන්තා නිලධාරිනියක් ස්ථානාධිපති ධූරයේ කටයුතු කරන දෙවන (2) අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත ෴

******************************************

එක රටක්, ‘එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ බලතල සංශෝධනය කෙරේ

(10.11.2021 – 20:35 +0530 – hirunews.lk/sinhala)

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සභාපතීත්වය දරණ ‘එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ කාර්යයන් ජනාධිපතිවරයා විසින් සංශෝධනය කර තිබෙනවා.

ඒ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්.

පසුගිය 06 වනදා නිකුත් කෙරුණු අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට විවිධ පාර්ශවයන් දරණ අදහස් හා මතවාදයන් සැලකිල්ලට ගනිමින් මෙම සංකල්පය අධ්‍යයනය කර මෙරටට ආවේණික සංකල්ප රාමුවක් සකස් කිරීම සදහා යෝජනා ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන බවයි.

කෙසේ වෙතත්, මෙම කාර්ය සාධක බලකාය පිහිටුවමින් පසුගිය මස 26 වනදා නිකුත් කෙරුනු අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ශ්‍රී ලංකාව තුල එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා පනත් කෙටුම්පතක් සකස් කිරිමට බලතල ලබා දී තිබුනා.

එමෙන්ම, අධිකරණ අමාත්‍යාංශය මේ වන විට සකස් කර ඇති නීති කෙටුම්පත් හා සංශෝධනයන් අධ්‍යයනය කර ඊට අදාල යෝජනා අදාල කෙටුම්පතට ඇතුලත් කිරීමටද මෙම කාර්ය සාධක බලකායට බලතල ලබාදී තිබුණා.

කෙසේ වෙතත්, මෙම කාර්ය සාධක බලකායට අධිකරණ අමාත්‍ය අල් සබ්‍රිගේ විරෝධය පලවී තිබු අතර, ඔහු සිය මන්ත්‍රීධූරයෙන් සහ ඇමතිධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපි පසුගියදා ජනාධිපතිවරයා හමුවී භාර දුන් බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනේ.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපි භාර නොගත් බවද වාර්තා වුණා.

මේ අතර, මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් මෙම කාර්ය සාධක බලකායෙන් ඉවත් වී තිබෙනවා.

ඒ අනුව එහි නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්තී කරුණාකරන්, යෝගේෂ්වරී පත්ගුණරාසා සහ අයියම්පිල්ලෙයි දයානන්ද රාජා ජනාධිපතිවරයා විසින් පත් කර ඇත්තේ පසුගිය 06 වනදා නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්.

ස්ත්‍රී, පුරුෂ සමාජභාවය සහ කාර්ය සාධක බලකායේ සංයුතිය සලකා නව පත් කිරීම් සිදුකරන බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මීට පෙර සාමාජිකයින් 13 දෙනෙකු සමන්විත වු මෙම කාර්ය සාධක බලකාය මේ වන විට සාමාජකයින් සංඛ්‍යාව 14 ක්.

මේ අතර, එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍යවරයාට යොමුකළ ප්‍රශ්නයක් සමගයි.

******************************************

බලාපොරොත්තු ඉටු නොවුණොත් පරණ අය ගේන්න එපා – ජනපති කියයි

(10.11.2021 – 20:38 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කලේ ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ්‍රි ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (10) පැවති උත්සවය අමතමින්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *