දරුවන් නිවෙස්වලට සීමාවීම හේතුවෙන් මානසික රෝග වලට ගොදුරු වීමේ අවධානමක්

දරුවන් නිවෙස්වලට සීමාවීම හේතුවෙන් මානසික රෝග වලට ගොදුරු වීමේ අවධානමක්

*********************************************

දරුවන් නිවෙස්වලට සීමාවීම හේතුවෙන් මානසික රෝග වලට ගොදුරු වීමේ අවධානමක්

(10.11.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala)

දරුවන් නිවෙස්වලට සීමාවීම හේතුවෙන් යම් යම් මානසික රෝගී තත්ත්වයන්ට ගොදුරුවීමේ ඉහළයෑමක් දක්නට ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා.

එහි අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් නිවෙස් තුළ දරුවන්ට සුදුසු පරිසරයක් ඇති කිරීමට දෙමව්පියන් වගබලා ගතයුතු බවයි.

විවිධ මානසික තත්ත්වයන්ගෙන් දරුවන් මුදා ගැනීම සඳහා දරුවන්ව පාසල් වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය බවද වෛද්‍ය ජී. විජේසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.

“පසුගිය කාලයේ අපිට දරුවන් ඉතා විශාල ප්‍රමාණයක් වාර්තා වුණා යම් යම් මානසික තත්ත්වයන්වලට ගොදුරු වෙලා. රෝහලට ආවා ප්‍රතිකාර ගන්න. මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ පාසල් යන්නේ නැති නිසා ගෙවල්වලට සීමාවෙලා ඇති වෙච්ච තත්ත්වයන්. ගෙදර පරිසරය තුළ දරුවන් හිරවෙලා සිටීම. මේ දරුවන් දුරකථනවලට, අන්තර්ජාලවලට සහ වෙනත් ක්‍රීඩාවලට ඇබ්බැහි වෙලා මේ දරුවන් මානසිකව දුර්වල වෙලා තියෙන්නේ.

මේ තත්ත්වය තුළ එම දරුවන් නොයෙක් නොයෙන් අකටයුතුකම්වලට පෙළඹිලා. මානසික විකෘතිතාවය නිසා තමන්ගේ ජීවිතය හානිකර ගැනීමට පවා උත්සාහ කරපු අවස්ථා අපිට වාර්තා වුණා. මේ තත්ත්වය වළක්වා ගැනීමේ හැකියාව තියෙන්නේ දෙමව්පියන්ට. ගෙදර පරිසරය දරුවන්ට හිතකාමී ලෙස පවත්වාගෙන යන්න.

දරුවන්ගේ ඒදිනෙදා ක්‍රියාකාරකම් හොඳින් නිරීක්ෂණය කරන්න. ඒ වගේම දරුවන් පාසල් යැවීමට අවශ්‍ය පරිසරය ඇතිකිරීමේ වගකීම තියෙන්නෙත් දෙමව්පියන් අතේ. එසේ නොවුනහොත් දරුවාගේ මානසික මට්ටම තවදුරටත් පිරිහීම සිදුවේවි. ජනතාව කොවිඩ් පාලනය කරගත්තේ නැත්තම් දෙසැම්බර් මාසේ වෙනකොට තවදුරටත් පැතිරිලා නැවත රට වසා තැබීමේ තත්ත්වයක් ඇතිවෙයි” ෴

+++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 333 ක් සුවය ලබයි

(10.11.2021 – 14:57 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 333 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,22,517 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මෙරට සක්‍රීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 10,247 ක් ලෙස දැක්වෙනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 488 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,47,141 ක් ෴

තවත් කොරෝනා මරණ 16 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 13,908 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

(10.11.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala)

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ඊයේ (09) දිනයේ පැවති විරෝධතාවක් අතරතුර, අධිකරණයට අපහාස කිරීම, පොදු දේපළවලට හානි කිරීම සහ අයුතු ජන රාශියක සාමාජිකයින් වීමේ චෝදනා මත, පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුලු පස්දෙනෙකු (5) වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා ෴

******************************************

මහජන මුදල් ගසා කා, අතරමඟ නැවතුණු වීරකැටියේ පාලම

(10.11.2021 – 15:41 +0530 – hirunews.lk/sinhala)

ජනතා මුදල් අවභාවිතා කරමින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ පාලමක් අතරමඟ නවතා දැමීම හේතුවෙන් පීඩාවට පත් ජනතාව පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණේ වීරකැටිය ප්‍රදේශයෙන්.

******************************************

පෞද්ගලික අංශයේ සේවයකයන්ගේ විශ්‍රාමට වයසක්

(10.11.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික අංශයේ සේවයකයන්ගේ විශ්‍රාම යාමේ වයස නියම කිරීමේ පනත් කෙටුම්පතට කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එම උපදේශක කාරක සභාව රැස් වූ අවස්ථාවේදීයි.

පෞද්ගලික අංශයේ සේවය කරන බොහෝ සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ අවම වයස් සීමාවක් මෙතෙක් නියම කර තිබුණේ නැහැ.

එම සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීම සදහා පාදක කර ගනු ලැබුවේ සේව්‍ය හා සේවක දෙපාර්ශවය අතර ඇති කර ගන්නා ගිවිසුමේ සදහන් කොන්දේසි මතයි.

මෙම පනත් කෙටුම්පත් මගින් එම සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කර තිබෙනවා.

අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් දෙවන (2) වර කියවීමේ විවාදය හෙට (11) දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ ෴

******************************************

මාලිගාවත්තේ කාන්තාවගේ ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු මෙම මස 19 වනදා දක්වා රිමාන්ඩ්

(10.11.2021 – 16:50 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද – මාබිම – තෙල් පිරිපහදු සංකීර්ණය අසල මාර්ගයේ කසළ ගොඩක දමා ගොස් තිබියදී ගමන් බෑගයකින් සිරුර හමුවූ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (09) අත්අඩංගුවට ගත් සැකකරු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ මහර ප්‍රධාන මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරාගේ නියෝගයකට අනුවයි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ සහෝදරයා වන මෙම සැකකරු ඊයේ (09) වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගත්තා ෴

******************************************

දිස්ත්‍රික්ක 11 ක නායයාමේ අවදානම තවදුරටත් දිගු කෙරේ

(10.11.2021 – 17:31 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 11 කට පනවා ඇති නායයාමේ අනතුරු නිවේදනය හෙට (11) පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට එය අදාළ වන බවයි ෴

******************************************

ජිව අත්බෝම්බ සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රිමාන්ඩ්

(10.11.2021 – 17:33 +0530 – hirunews.lk/sinhala)

ජීව පෙට්‍රල් අත්බෝම්බයකින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චිලනි පෙරේරාගේ නියෝගයකට අනුවයි.

බම්බලපිටිය ආදිමලේ වීදියේ පිහිටි බෝරා මුස්ලිම් පල්ලියකට අදාළ පුද්ගලයා පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (09) අලුයම අත්අඩංගුවට ගෙන තිබුණේ බම්බලපිටිය පොලීසිය විසින් ෴

******************************************

පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට

(10.11.2021 – 18:33 +0530 – hirunews.lk/sinhala)

පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත දැනු දී තිබෙනවා.

පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් කර, මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසටයි ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබුණේ.

අදාළ දැනුම් දීම ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් ඔක්තෝබර් මස 06 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කලා.

එයට ප්‍රතිචාර වශයෙන් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.කේ.ඩී. විජේරත්න මහතා මෙම මස 08 වන දින වාර්තාවක් යොමු කර තිබෙනවා.

තිරුකුමාර් නඩේෂන්ගේ බැංකු ගිණුම් විස්තර ඇතුළත් වාර්තා විවිධ බැංකු හා මූල්‍ය ආයතන මගින් කැඳවා ඇති අතර, මේ වන විට එම වාර්තා ලැබෙමින් පවතින බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා ඇත්තේ.

විමර්ශන කටයුතු අවසාන වී නැති බැවින් ඊට අදාළව කැඳවන ලද වාර්තා සහ අනිකුත් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව ලබාදීමට කටයුතු කරන බවයි එමගින් වැඩිදුරටත් දන්වා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *