මෙරට රෝහලක් තුළ ඉදිකෙරෙන විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු (1) අදියර හෙට (11) විවෘත වෙයි

මෙරට රෝහලක් තුළ ඉදිකෙරෙන විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු (1) අදියර හෙට (11) විවෘත වෙයි

*********************************************

මෙරට රෝහලක් තුළ ඉදිකෙරෙන විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු (1) අදියර හෙට (11) විවෘත වෙයි

(10.11.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට රෝහලක් තුළ ඉදිකෙරෙන විශාලතම පිළිකා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පළමු (1) අදියර මහනුවර ජාතික රෝහලේදී හෙට (11) විවෘත කිරීමට නියමිතයි.

ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මහරගම අපේක්ෂා රෝහලට පමණක් දෙවෙනි වන මෙම ඒකකය ඉහළම නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත වනවා.

ඒ අනුව මෙම ඒකකය ඇදන් 600 ක ධාරිතාවයෙන් ඉඳි වන අතර මහල් 12 කින් යුක්තයි.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 1,945 ක් ෴

******************************************

විෂ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

(10.11.2021 – 09:26 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ දින (09) පේසාල ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථවේදී සැකකරු සන්තකයෙහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 කට අධික තොගයක් සොයා ගෙන ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි අයෙකු වන අතර, මෑතකට පෙර විෂ මත්ද්‍රව්‍ය චෝදනාව යටතේ රක්ෂිත බන්ධනගාරගතව සිට පැමිණි තැනැත්තෙකු බවට හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

සැකකරු අද (10) දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

ඇමති මහින්දානන්දගෙන් මන්ත්‍රී පාඨලීට එරෙහිව CID වෙත පැමිණිල්ලක්

(10.11.2021 – 09:46 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් ඊයේ දින (09) පාර්ලිමේන්තු විවාදයේදී සිදු කළ ප්‍රකාශයට එරෙහිව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දින (10) පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

උදෑසන 09:15 ට පමණ පැමිණි අමාත්‍යවරයා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳී සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

******************************************

විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් පොලිස් අත්අඩංගුවට

(10.11.2021 – 11:14 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ වැටලීම්වලින් විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය කරනවා.

ඒ අනුව, කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමකදී ඊයේ (09)දින පුද්ගලයෙකු හෙරොයින් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර ජාවත්ත මාර්ගයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී හමු වූ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 05 යි, මිලිග්‍රෑම් 340 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

36 හැවිරිදි මෙම සැකකරු ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, හෙතෙම අද (10) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, පානදුර – හොරේතුඩුව පාලම අසලදී පානදුර උතුර පොලිස් නිලධාරීන් විසින් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණේ, හෙරොයින් ග්‍රෑම් 02 යි, මිලිග්‍රෑම් 510 ක් සමගින්.

21 හැවිරිදි මෙම සැකකරු මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අද (10) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

එමෙන්ම, නීතිවිරෝධී මත්පැන් සමග පුද්ගලයින් සිව්දෙනෙකු (4) ඊයේ (09) දින විවිධ ප්‍රදේශවලදී සිදු කරන ලද වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ, පෑලියගොඩ – වනවාසල ප්‍රදේශයේදීයි.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනුණු අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ත්‍රීරෝද රථයකින් නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එහිදී ඔවුන් සන්තකයේ තිබී මත්පැන් ලීටර් 84 ක් සොයාගෙන තිබෙනවා.

මේ අතර, කිරිබත්ගොඩ – පෙතියාගොඩ හා දළුපිටිය ප්‍රදේශවලදී පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදී, නීතිවිරෝධී මත්පැන් සමග පුද්ගලයින් දෙදෙනකු (2) අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් සතුව තිබී සොයාගත් මත්පැන් ප්‍රමාණය ලීටර් 37 කට අධිකයි.

ඔවුන් වයස අවුරුදු 40 සහ 41 වයස්වල පසුවන්නන් වන අතර, අද (10) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය විමර්ශන සිදු කරනවා ෴

******************************************

ලොව පුරා සි‍රින්ජර් හිඟයක්

(10.11.2021 – 11:29 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි කාලයේ ලොව පුරා සි‍රින්ජර් හිඟයක් ඇති වනු හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

කොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණය සඳහා සි‍රින්ජර් සියලුම රටවල් භාවිතා කිරීම හේතුවෙන් මෙලෙස සි‍රින්ජර් බිලියනයක් පමණ හිඟ වනු ඇති බවයි එම සංවිධානය ප්‍රකාශ කළේ.

මේ වන විට ලොව පුරා කොරෝනා මර්දන එන්නත්කරණය සඳහා සි‍රින්ජර් බිලියන 6.8 ක් භාවිතයට ගෙන තිබෙනවා ෴

******************************************

ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල සහ ධුර සංශෝධනයකට ලක් කෙරේ

(10.11.2021 – 12:32 +0530 – hirunews.lk/sinhala)

‘එක රටක් එක නීතියක්’ සැකසීමේ අරමුණින් පිහිටුවන ලැබූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජික ලැයිස්තුව සංශෝධනයකට ලක් කරමින්, නව පත් කිරීම් ත්‍රිත්වයක් (3) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2021 නොවැම්බර් මස 06 වැනි සෙනසුරාදා දිනට අදාළ අංක 2252/56 දරණ ගැසට් පත්‍රය සංශෝධනයට ලක් කරමින්.

1978 දෙවන (2) ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව දේශපාලන විධායකය හෙවත් සත්‍ය විධායකයට පැවරී ඇති පූර්ණ ජනාධිපති බලතල අනුව මෙම පත් කිරීම් සිදු කර ඇත්තේ, 33 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරවයි.

ඒ අනුව මෙම කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතිත්වය යටතේ මෙම ලැයිස්තුවේ පත් කර ඇති නව සාමාජිකයින් ලෙස, මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ මංජුල, එන්. ජී. සුජීව පණ්ඩිරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ ඩබ්ලි. පී. ජේ. අම්. ආර. සංජය බණ්ඩාර මාරඹේ, ආර්. ඒ. එරන්ද කුමාර නවරත්න, පාහි වෑවල, මවුලව් එම්. ඉසෙඩ්. ඒ. එස්. මොහොමඩ් (බාරි – සභාපති ගාල්ල උලමා සභාව), කලීල් රහුමාන්, අබ්දුල් අසීස් මොහොමඩ් නිසාර්දීන් යන පිරිස ඊට ඇතුළත්.

ජනාධිපතිවරයා විසින් මෙම බලකායේ ධුරයන් සහ කාර්යන් සම්බන්ධයෙන් සංශෝධනයක් කර ඇති අතර, මීට පෙරාතුව මෙම බලකායේ සිටි සාමාජිකයින් වන මහාචාර්ය දයාරත්න බණ්ඩා, කථිකාචාර්ය මොහොමඩ් ඉත්තිකාබි යන දෙදෙනා අදාළ ධුරයන්ගෙන් ඉවත්වීම කරණකොටගෙන නව පත් කිරීම් ත්‍රිත්වයක් සිදු කරනු ලැබුවා.

නව පත් කිරීම් ලෙස ද්‍රවිඩ ජනයා නියෝජනය කරමින් රාමලිංගම් චක්‍රවර්තී කරුණාකරන්, යෝගේෂ්වරී පත්ගුණරාජා සහ අයියාම්පිල්ලෙයි දයානන්දරාජා යන නියෝජිතයින් පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

නව ධුර සංශෝධනය කිරීම මෙන්ම මෙම ජනාධිපති කාර්ය සාධන බලකාය වෙත පැවරී තිබූ බලතල ද යම් දුරකට සංශෝධනය කර තිබෙනවා.

එම නව සංශෝධිත බලතල ලෙස මෙරට තුළ ‘එක රටක් – එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාදයන් ද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළත් කොට, නව බලතල සංශෝධනය කර ඇති බව‍යි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

******************************************

ගුරු විදුහල්පති වැටුප් විෂමතා එකවර ගෙවීමට රජය තීරණය කරයි

(10.11.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

අදියර 3 කින් සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබූ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා එක්වර ලබාදීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවති සාකච්ඡාවේදී එකග වූ බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ මෙම සාකච්ඡාව පැවති අතර ඒ අනුව, මෙවර අයවැයෙන් අදාළ හිඟ මුදල් ලබාදීමට යෝජනා වූ බවයි ඇය සඳහන් කළේ.

මෙම සාකච්ඡාව සඳහා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් ද එක්ව සිටියා.

******************************************

බෙන්තර ගඟ පිටාර යාමෙන් අවිත්තාව ප්‍රධාන මාර්ගයක් ජලයෙන් වැසේ

(10.11.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම මේ වනවිට අවිත්තාව සිට වලල්ලාවිට දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ යගිරල ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම එම ප්‍රදේශවල පහත්බිම් රැසක් ද තවමත් ජලයෙන් යටව පවතින අතර, බෙන්තර ගඟ පිටාර ගැලීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

අවිත්තාව පාලම හරහා ගලා බසින බෙන්තර ගඟ එම පාලම අසලදී ජලය ගලා බැසීම මන්දගාමී වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පාලම අසල ගංවතුරට ගසාගෙන ආ ද්‍රව්‍ය එම ස්ථානයේ සිර වී තිබීම ද ගලා බසින ජලය මන්දගාමී වීමට ද හේතුවක්.

අවිත්තාව පාලම අසල විශාල වශයෙන් එලෙස ගසාගෙන ආ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙන්ම උණ පඳුරු ද ගොඩ ගැසී ඇති අයුරු දක්නට ලැබෙනවා ෴

******************************************

ග්‍රීන් කාඩ් සඳහා මෙවර ඉල්ලුම වැඩිවේ

(10.11.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala)

පෙර වසරවල් හා සැසදීමේදී මෙවර ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය සඳහා ඉල්ලුම් කිරීමට ජනතාව අතර දැඩි උනන්දුවක් පැවති බව කොළඹ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූපශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඔක්තෝම්බර් 06 වන දා ඒ සඳහා ඉල්ලුම් කිරීම ආරම්භ කෙරුණු අතර එය අවසන් කෙරුණේ ඊයේ (09) දිනයේදියි.

මෙවරත් ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා පුද්ගලයින් 55,000 කට ඇමරිකාවට ඇතුළු වීම සඳහා වීසා නිකුත් කිරීමට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූපශාලා හිමියන්ගේ සංගමයේ සභාපති රනිල් රූපසිංහ මහතා කියා සිටියේ මෙම ලොතරැයියට ඉල්ලුම් කිරීම සඳහා ඡායාරූප ගැනීම පෙර වසරවලට සාපේක්ෂව මෙවර සියයට 500 කින් පමණ ඉහළ ගොස් තිබූ බවයි ෴

******************************************

කරන්නාගොඩට එරෙහි අධිචෝදනා ඉවත් කිරීමට විරුද්ධ ගොනු කළ පෙත්සම ඉවතට

(10.11.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමට අභියාචනාධිකරණය අද (10) තීරණය කළා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ නඩු පැවරීමේ සහ ඉවත් කර ගැනීමට අදාළ අභිමතානුසාරී බලය නීතිපතිවරයා සතු බවයි.

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන නඩුවේ වගඋත්තකාර වසන්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු රහසිගත වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බවද විනිසුරුවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව නඩු පැවරීමට අදාළ නීතිපතිවරයාගේ අභිමතානුසාරි බලයට මැදිහත් වීමට අභියාචනාධිකරණයට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළා.

අතුරුදන් වූ තරුණයෙකුගේ මවක් වන සරෝජා ගෝවින්දසාමි නාගනාදන් ඇතුළු අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටියේ 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා සාමාජිකයන් 14 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් නඩු පැවරූ බවයි.

එම නඩුව විභාග වෙමින් තිබියදී එහි විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින වසන්ත කරන්නාගොඩට එරෙහි අධි චෝදනා ඉවත් කර ගැනීමට නිතිපතිවරයා තීරණය කිරීම යුක්ති සහගත නොවන බවයි පෙත්සම්කරුවන් චෝදනා කළේ ෴

******************************************

නිසි මිලක් නොමැතිව ලොකුලූණු ගොවීන් අසීරුතාවක

(10.11.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

දේශීය ලොකුලූණු සඳහා නිසි මිලක් නොමැති වීමෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව දේශීය ලොකුලූණු ගොවීන් පවසනවා.

ඔවුන් පවසන්නේ පවතින තත්ත්වය තුළ ලොකුලූණු අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් හටගෙන ඇති බවයි.

මේ අතර පොහොර නොමැති වීමෙන් වගාවන් සිදු කරගෙන යාමට නොහැකි වී ඇති බව පවසමින් අදත් (10) දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා පැවැත්වෙනවා.

වගාවන්ට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් කුරුඳු නිෂ්පාදකයින්ගේ ජාතික එකමුතුව අද (10) ඌරගස්මංහන්දිය නගරයේ සිට කරන්දෙණිය නගරය දක්වා රථ පෙළපාලියක් පවත්වමින් විරෝධතාවයේ නිරත වුණා ෴

******************************************

වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපති යළි රිමාන්ඩ්

(10.11.2021 – 14:55 +0530 – hirunews.lk/sinhala)

උපකාර කිරීමට බව පවසා පැමිණිලිකාර කාන්තාවකගෙන් රුපියල් ලක්ෂයක මුදල් සහ ලිංගික අල්ලස් ලබාගැනීමට තැත් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ අද (10) කැදවූ අවස්ථාවේදීයි.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා අසනීප තත්ත්වයේ පසුවන බැවින් ඔහුට බන්ධනාගාර රෝහලේ පහසුකම් නොමැති නිසා ඇප ලබාදීමට කටයුතු කරන ලෙසයි.

එම ඉල්ලීම සලකා බැලීම සඳහා ලබන 16 වන දා නඩුව කැදවීමටත්, එදින දක්වා සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *