අයහපත් කාලගුණය : ආපදා මරණ 15 ක් – දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයින් 28,000 කට පීඩා

අයහපත් කාලගුණය : ආපදා මරණ 15 ක් – දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයින් 28,000 කට පීඩා

*********************************************

අයහපත් කාලගුණය : ආපදා මරණ 15 ක් – දිස්ත්‍රික්ක 17 ක පුද්ගලයින් 28,000 කට පීඩා

(09.11.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික්ක 17 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගතවූ පැය විසි හතර (24) තුළදී පමණක් කුඩා දරුවන් ඇතුලුව පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

කෑගල්ල – කෝඳාපොලුව ප්‍රදේශයේදී මාඔයේ ඔරු පැදීමට ගිය 18 හැවිරිදි තරුණයෙකු අද (09) දහවල් ජීවිතක්ෂයට පත්වූ අතර, රඹුක්කන – දොඹේමඩ ප්‍රදේශයේ දී අද (09) අලුයම පස් කන්දක් නාය යාම හේතුවෙන් නිවසක සිටි 36 හැවිරිදි මව, ඇගේ 8 හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි තවත් ඥාති දියණියක් ජිවිතක්ෂයට පත් වුණා.

සිද්ධියෙන් බරපතල තත්ත්වයේ පසුවන 40 හැවිරිදි පියා කෑගල්ල රෝහලේ මේ වනවිටත් ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත්, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේ නාය යාමෙන් මිය ගිය නිවැසියන්ට ඊයේ (08) පස්වරුවේ ද එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබූ බවයි.

එමෙන්ම අලව්ව වන්නෝරුව ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (08) රාත්‍රියේ පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි 23 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්වුණා.

අධික වර්ෂාවත් සමඟ බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රිකක්වලට පැනවූ නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක 17 කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 93 ක පුද්ගලයින් 28,263 කට වැඩි සංඛ්‍යාවක් අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පීඩාවට පත්ව ඇති බවයි.

පසුගිය ඔක්තෝම්බර් 27 වනදා සිට මේ දක්වා දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මියගිය පුද්ගලයින් 12 දෙනාට අමතරව තවත් පුද්ගලයින් පස්දෙනෙකු (5) තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

තද සුළං, ගල් පෙරළීම් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් නිවාස 802 කට අර්ධ හානි සිදුව ඇති අතර, පූර්ණ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 13 ක් ෴

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් හෙට (10) දිනයෙන් පසු අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමනි ජයවර්ධන මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද (09) රාත්‍රියේදි ප්‍රදේශ රැසකට මිලීමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇති වන බවයි.

අධික වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රධාන වාරි ජලාශ 73 න් 13 ක්ම මේ වනවිට වාන් දමමින් පවතිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ රාජාංගණය, තබ්බෝව, යෝධ වැව, මහවිලච්චිය, දැදුරු ඔය සහ මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශ තවදුරටත් ජල ගැලීම් අවදානම් තත්ත්වයේ පවතින බවයි.

එමෙන්ම, තිසා වැව, අභයවැව, අංගමුව, නාච්චාදූව සහ තුරුවිල ජලාශ ද වාන් දමමින් පවතිනවා.

මාඔය පිටාර ගැලීම නිසා කොළඹ- කුරුණෑගල අංක පහ මාර්ගය ගිරිඋල්ල – නගරයෙන් සහ මීගමුව මාර්ගය කොටදෙණියාව ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, කටාන, නාරාම්මල සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත්බිම් වල මේ වනවිට ගං වතුර තත්ත්වයක් ද හට ගෙන ඇති බව සඳහන්.

පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පහත් බිම් රැසක් මාඔය පිටාර ගැලීම නිසා ජලයෙන් යට වී තිබෙනවා.

මේ අතර හලාවත – ආනමඩුව මාර්ගයේ ද ගමනාගමනයට බාධා එල්ල වී ඇත්තේ ජලයෙන් යටවීම හේතුවෙන්.

එමෙන්ම, හලාවත – මැරවල, බණ්ඩරවත්ත, පම්බල ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති අතර, හලාවත මහරෝහලේ වාට්ටු කිහිපයක් ද ජලයෙන් යට වූ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

හලාවත කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට ඇති පාලවිය ප්‍රදේශය සහ පුත්තලම සිට කුරුණෑගල මාර්ගයේ අරලිය උයන, දෙකේ කණුව, තම්බපණ්ණි ප්‍රදේශවල මාර්ග ජලයෙන් යට වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඒ-9 මාර්ගය ද මහනුවර – දුනුවිල ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා.

මේ අතර, ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් අඩුවීමක් අද (09) දිනයේ දක්නට ලැබුණ ද තවදුරටත් කැළණි ගඟ සහ මාඔයේ ජල මට්ටම් ඉහළ යමින් පවතිනවා. මාඔය – බඩල්ගම ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමක් දක්වා වැඩිවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම, පවතින තත්වය මත ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය කොළඹ සිට පොල්ගහවෙල දක්වා සීමා කර තිබෙනවා.

ඒ බදුල්ලේ සිට මහනුවර බලා අද (09) පෙරවරුවේ ධාවනය වූ දුම්රියක් හාලිඇල හා උඩුවර දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන්.

එසේම කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගය ගිලා බැසීමකට ලක්වීම නිසා තවදුරටත් එම මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා මතුව තිබෙනවා.

මෙම තත්ත්වය මත කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය කිරිමට නියමිත තිබු දුම්රිය ගමන් වාර 8 ක් නැවත දැනුම්දෙන තුරු අවලංගු කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කළා.

එසේම, දැදුරුඔය පිටාර ගැලීම නිසා මඳුරන්කුලිය උප දුම්රිය ස්ථානය සහ බංගදෙණිය දුම්රිය ස්ථාන අතර මාර්ගය මුළුමනින්ම ජලයෙන් යටවී තිබෙනවා. මේ හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කොළඹ කොටුවේ සිට හලාවත දක්වා සීමා කෙරුණා.

අයහපත් කාලගුණය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියළුම පාසල් හෙට (10) දිනයේ වසා දැමීමට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් තීරණය කර තිබෙනවා.

මන්නාරම, තලෙයිමන්නාරම, ශාන්තිපුරම්, සංගානි, කයිට්ස්, උඩුවිල් සහ ඩෙල්ෆ් ඇතුළු උතුරු පළාතේ ප්‍රදේශ රැසක මේ වන විට ගං වතුර තත්ත්වයක් හට ගෙන ඇති බවයි අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ ද අද (09) පාසල් වසා දැමුණා.

මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයින් 2,20,000 කට පමණ විදුලිය ඇණහිට ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කළ හැකි ප්‍රදේශවල පාරිභෝගිකයින්ට ඉදිරි පැය කිහිපය තුළ විදුලිය ලබාදීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර ඉදිරි පැය 36 තුළදී ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයක් පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වී උතුරු තමිල්නාඩු වෙරළට ළඟාවනු ඇති බවට අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත්, නැවත දැනුම් දෙනතුරු නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයින වටා මුහුදේ ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

******************************************

මාඔය පිටාර ගලයි

(09.11.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල දිවයින පුරා ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මහා මාර්ග බොහොමයක් ජලයෙන් යටවී තිබෙන අයුරු දැක ගන්නට පුළුවන්.

එමෙන්ම ගංගා ඇළ දොළ ආශ්‍රිතව පිහිටා ඇති නගර බොහොමයක් ද ඉහළ ගිය ජළ කඳ හේතුවෙන් යට වී ගියා.

දිවයිනට මෑත ඉතිහාසයේ බලපෑ වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ ද මෙම කාල සීමාව තුළදීයි.

සතියකට ආසන්න කාලයක් අඛණ්ඩව ඇද හැලෙන මෙම වර්ෂාව හේතුවෙන් අද (09) උදෑසන වනවිට ගිරිඋල්ල නගරය ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයටයි.

මා ඔය පිටාර ගැලීම හේතුවෙන් මෙලෙස නගරයේ ව්‍යාපාරික ස්ථාන බොහොමයක් අඩි 4 ක පමණ ජල කඳකින් වැසී ගොස් තිබුණු අතර නගරය හරහා ගමනාගමන කටයුතුවලට ද බරපතළ බාධා එල්ල වී තිබුණා.

සේයාරූ : [01][02][03][04]

******************************************

ඉදිරි පැය 36 තුල පළාත් කිහිපයකට තද වැසි

(09.11.2021 – 17:55 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය 36 තුල උතුර, වයඹ සහ උතුරු මැද පළාත්වලට මිමී 150 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිමී 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ෴

******************************************

අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය ගමන්වාර 8 ක් අවලංගු කෙරේ

(09.11.2021 – 18:12 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු කොළඹ කොටුව සහ මහනුවර අතර දුම්රිය ගමන්වාර 8 ක් අවලංගු කර තිබෙනවා.

******************************************

කරවටක් දියේ ගිලී කල මානුෂීය මෙහෙයුම

(09.11.2021 – 22:05 +0530 – hirunews.lk/sinhala)

කරවටක් දියේ ගිලී කල මානුෂීය මෙහෙයුම පොල්ගහවෙල ගොඩවෙල වත්තතේ පවුල් 50 ක් බේරා ගත් හමුදාව.

[සේයාරූ]

******************************************

ගිනි ගත් නැවේ වන්දි ඩීල් එකකින් හොර පාරේ ගියාද ?

(10.11.2021 – 14:10 +0530 – lankacnews.com)

කොළඹ වරාය ඉදිරියේ මෑතක දී ගිනි ගැනීමකට ලක්ව මුහුදුබත් වූ නෞකාවේ වන්දි, ‘ඩීල්’ එකකින් හොර පාරේ ගියා යැයි එල්ලවන චෝදනාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රතික්ෂේප කරයි.

එහි සභාපතිනි දර්ශනීය ලහඳපුර මහත්මිය සඳහන් කරන්නේ එම නැවේ වන්දි මුදල් ගසා කෑමක් සිදු වී නැති බවයි.

තමන් ඇතුළු පිරිසට මඩ ගසන්නේ ව්‍යාපාරිකයන් බවත් පවසන ඇය කිසිම අයථා ගනුදෙනුවක් සිදුවන්නේ නැති බවද කියා සිටියි.

ඇතැමුන් තමන්ට ද සන්තෝසම් දෙන්නට පැමිණි බවත් තමන්ගේ කාර්යමණ්ඩලයටද ඒවා යෝජනා කර ඇති බවත් ඇය සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඇය මෙම අදහස් පළ කළා ය.

******************************************

නීතිවිරෝධී ගිනිඅවි සහ උණ්ඩ තොගයක් සමග පුද්ගලයින් දෙදෙනකු (2) STF භාරයට

(10.11.2021 – 07:32 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ දින (09) කටාන පොලිස් වසමේ අංක 210ඊ, කොන්ද ගම්මුල්ල, දෙමන් හන්දියේදී වැටලීම් දෙකක් (2) සිදු කරනු ලැබුවා.

එහිදී නීතිවිරෝධී ක්‍රියා රැසකට සහ කොල්ලකෑම්, මහජන බියවැද්දවීම සඳහා යොදාගත් විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවි සහ මෙරට නිෂ්පාදිත ගිනිඅවි සහ උණ්ඩ ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනකු (2) විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රො වර්ගයේ පිස්තෝල ගිනිඅවියක්, බෝර 12 ගිනිඅවියක්, මිලිමීටර් 0.22 වර්ගයේ උණ්ඩ භාවිත කිරීමට හැකි පරිදි නිර්මාණය කරන ලද රිවොල්වර ආකෘතියට සැකසූ ගිනිඅවියක්, බෝර 12 උණ්ඩ 48 ක්, පිස්තෝල උණ්ඩ ගැබ් එකක් සහ මිලිමීටර 0.22 වර්ගයේ ගිනි අවි සඳහා යෙදිය හැකි උණ්ඩ 20 ක් ද මෙහිදී සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි 51 හැවිරිදි සහ 55 වියෙහි පසුවන්නන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටාන පොලීසියට භාර දී තිබෙනවා ෴

******************************************

විද්‍යාපීඨ ඩිප්ලෝමාව ගෞරව උපාධියක් කිරීමට නිර්දේශ

(10.11.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පාඨමාලා සම්පූර්ණ කරන ශික්ෂාලාභීන්ගේ ඩිප්ලෝමාව ගෞරව උපාධියක් ලෙස ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් මගින් සාකච්ඡා කර අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥයන්ගේ වෘත්තීය සංගමය ඇතුළු වෘත්තීය සමිති වෙත ලිපියක් යොමු කරමින්.

එහිදී අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ යෝජනාව පිළිබඳ අවසන් කෙටුම්පත ලබන වසරේ ජනවාරි 18 ට පෙර ඉදිරිපත් කළ යුතු බවට තීරණය කළ බවයි.

සියලු කාර්යයන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අධීක්ෂණයට යටත්වන අතර, නියමිත දිනට අදාළ යෝජනා සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළා.

මේ අතර, 2020 සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 11 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සිදු කරමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා ෴

******************************************

තවත් රාජ්‍ය ආයතන 10 ක් කෝප් කමිටුවට

(10.11.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 10 ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (11) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එම කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.

නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලියේ කාර්යසාධන ඇගයීම් පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

මේ අතර ජාතික තරුණ සේවා සභාව සමඟ තරුණ සේවා පෞද්ගලික සමාගම ලබන 16 වනදාත්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව ලබන 17 වනදාත්, කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.

එමෙන්ම ලබන 23 වනදා භූ විද්‍යා හා සමීක්ෂණ පතල් කාර්යාංශය කෝප් කමිටුව වෙත කැඳවා තිබෙනවා.

ගල්ඔය වැවිලි සමාගම 24 වනදාත්, ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය 30 වනදාත් කෝප් කමිටුව වෙත කැඳවා ඇති අතර, ලබන මස 01, 02, 07 සහ 09 යන දිනයන්හි තවත් ආයතන කිහිපයක් කෝප් කමිටුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

සෞඛ්‍ය වර්ජන අද (10) අවසන්

(10.11.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීය සමිති 15 ක් එක්ව ආරම්භ කළ සංකේත වර්ජනය අද (10) පෙරවරු 7 ට අවසන් කරන බව එම වෘත්තීය සමිති පවසනවා.

ඔවුන් සඳහන් කළේ අද (10) සිට සතියක කාලයක් තුළ සිය ගැටලුවලට විසඳුමක් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

හෙද, ඖෂධවේදී, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, අක්ෂි තාක්ෂණවේදීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු සෞඛ්‍ය වෘත්තීය සමිති 15 ක් ඊයේ (09) මෙම වර්ජනය ආරම්භ කළේ වැටුප් විෂමතා, සෞඛ්‍ය සේවකයන්ගේ දීමනා සහ පහසුකම් පිළිබඳ ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්.

ඊයේ (09) පෙරවරු 8 ට ආරම්භ කළ සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර සහ පරීක්ෂණ කටයුතු සඳහා රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත් වුණා.

එමෙන්ම ගුරු – විදුහල්පති ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස රජයට බල කරමින් ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ද ඊයේ (09) දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතාවල නිරත වුණා.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති ස්ථානයේ දින 15 ක් පුරාවට උපවාසයක නිරතව සිටි ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ (09) පස්වරුවේ එම උපවාසය තාවකාලිකව අවසන් කළා.

ඒ සිය ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට රජය දැනුම්දීමත් සමගයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *