උසස් පෙළ අයදුම්පත් කැඳවීම මෙම මස 20 වැනි දින තෙක් දීර්ඝ කෙරේ

උසස් පෙළ අයදුම්පත් කැඳවීම මෙම මස 20 වැනි දින තෙක් දීර්ඝ කෙරේ

*********************************************

උසස් පෙළ අයදුම්පත් කැඳවීම මෙම මස 20 වැනි දින තෙක් දීර්ඝ කෙරේ

(09.11.2021 – 15:45 +0530 – hirunews.lk/sinhala)

හෙට (10) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ 2021 අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගයෙහි අයදුම්පත්‍ර කැඳවීම තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ අයදුම්පත්‍ර දීර්ඝ කිරීම මෙම මස 20 වැනි දින තෙක් වලංගු වන බවයි ෴

******************************************

අග්‍රහාර රක්ෂණ අය කිරීම් සඳහා වූ චක්‍රලේඛනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතියි

(09.11.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

අග්‍රහාර රක්ෂණය සඳහා විශ්‍රාම වැටුපෙන් අය කරන මුදල් වැඩි කිරීමට අදාළව නිකුත් කළ චක්‍රලේඛනය ක්‍රියාත්මක කිරීම, තාවකාලිකව අත්හිටුවීමට රාජ්‍ය සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා ෴

******************************************

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මගී බස් රථයක් පෙරලෙයි

(09.11.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේයේ තලකිරියාගම පහළවැව ප්‍රදේශයේ දී අද (09) දහවල් බස් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් කුඹුරකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබුණා.

එහි ගමන්ගත් මගීන් 10 දෙනෙකු තුවාල ලබා දඹුල්ල වීර කොබ්බෑකඩුව රෝහලට ඇතුළත් කළ බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කදුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක්.

බස් රථයේ තිබූ ගෙවීගිය ටයර් හේතුවෙන් වර්ෂාවත් සමග එය ලිස්සා යන්නට ඇතැයි පොලීසිය සැක පලකරනවා.

අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

******************************************

කතරගම දේවාලයේ රුපියල් කෝටි 5 ක මැණිකකුත් අතුරුදහන්

(09.11.2021 – 16:31 +0530 – hirunews.lk/sinhala)

කතරගම දේවාලයට රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු විසින් පූජා කළ රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුතු මැණිකක් අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.

මේ වන විට ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බරුති රන් තැටියක් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව ‘අංගොඩ ලොක්කා’ගේ බිරිද වන ‘අගම්පොඩිගේ නිසසංලා’ නැමැත්තියගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (08) ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

‘අංගොඩ ලොක්කා’ගේ පුතාගේ අපල දුරුවීම සඳහා එම රන් තැටිය කතරගම දේවාලයට පූජා කර ඇත්තේ 2019 වසරේ ජූලි මස 03 වනදා බවට තොරතුරු අනාවරණය වි තිබෙන්නේ ෴

******************************************

චීන සමාගමේ එන්තරවාසිය ගැන ශාඛ නිරෝධායන සේවය නීතිපති උපදෙස් ලබාගනී

(09.11.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් මිලියන 8 ක වන්දි ඉල්ලා මතභේදයට තුඩුදුන් චීන පොහොර සමාගම, යොමුකර ඇති එන්තරවාසිය තමන්ට ලැබුණු බව ජාතික ශාඛ නිරෝධායන සේවය ප්‍රකාශ කළා.

එහි අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි පියවරයන්ට එළඹෙන බවයි.

එසේම අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය ලබන 19 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරනු ලැබුවා.

මේ අතර පොහොර ගැටළුවට විසඳුම් ඉල්ලා ප්‍රදේශ කිහිපයක අදත් (09) විරෝධතා පැවැත්වුණා ෴

******************************************

අගමැති වරයාගෙන් ප්‍රශ්න දෙක (2) බැගින් ඇසීමට, ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට අවස්ථාව යළිත්

(09.11.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටත් අගමැති වරයාගෙන් ප්‍රශ්න දෙක (2) බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී ලබා දෙන අවස්ථාව, 2021.11.10 වනදා බදාදා සිට යළි ක්‍රියාත්මක වන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කොවිඩ් තත්ත්වය මත පාර්ලිමේන්තුව නිසි පරිදි රැස් නොවු පසුගිය කාලයේ මෙම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබා දීම තාවකාලිකව නවතා තිබුනා.

එමෙන්ම හෙට (10) දිනයේදී 2020 අංක 07 දරණ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන අතර, 1969 අංක 01 දරණ ආනයන හා අපනයන(පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි ද පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ඇති.

එමෙන්ම එදිනම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනට පවත්නා වීසා කාලය ප්‍රතිශෝධනය කිරීම සඳහා ආගාමික හා විගාමික පනතට සංශෝධන අනුමත කර ගැනීමට ද නියමිත බව සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා සඳහන් කළා.

මීට අමතරව,1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් කරන ලද ආඥාවට අදාළ ගැසට් පත්‍රයත් හෙට (10) පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටද අද (09) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය වී තිබෙනවා ෴

******************************************

සෞඛ්‍ය වෘත්තිය සමිති සංකේත වර්ජනය හෙට (10) අවසන් කෙරේ

(09.11.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීය සමිති 15 ක් එක්ව ආරම්භ කල සංකේත වැඩ වර්ජනය හෙට (10) පෙරවරු 7 ට අවසන් කරන බව එම වෘත්තීය සමිති පවසනවා.

ඔවුන් සඳහන් කළේ එතැන් සිට සතියක කාලයයක් තුල සිය ගැටලු වලට විසඳුමක් ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

හෙද, ඖෂදවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, අක්ෂි තාක්ෂණවේදීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු සෞඛ්‍ය වෘත්තීය සමිති 15 ක් මෙම වර්ජනය ආරම්භ කලේ වැටුප් විෂමතා ගැටලු මෙන්ම සෞඛ්‍ය සේවකයන්ගේ දීමනා සහ පහසුකම් පිළිබඳ ගැටලු මුල් කර ගනිමින්.

අද (09) පෙරවරු 8 ට ආරම්භ කල මෙම සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර සහ පරීක්ෂණ කටයුතු සඳහා රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත් වුනා.

එමෙන්ම ගුරු – විදුහල්පති ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස රජයට බල කරමින් ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද (09) දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා වල නිරත වුනා.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති ස්ථානයේ දින 15 ක් පුරාවට උපවාසයක නිරතව සිටි ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් අද (09) එම උපවාසය තාවකාලිකව අවසන් කළා. ඒ ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බවට රජය දැනුම් දීමත් සමගයි.

එමෙන්ම කැළණිය ටයර් සංස්ථා සේවකයන් ජීවන වියදම ඉහල යාමට එරෙහිව සහ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස බල කරමින් අද (09) කැළණිය නගරයේදී විරෝධතාවයක නිරත වුනා.

රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති එකමුතුව අද (09) විරෝධතාවයක නිරත වුනේ එළඹෙන අයවැයෙන් වැටුප් වර්ධකයන් ලබා දෙන ලෙස ඉල්ලමින්.

එමෙන්ම අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අද (09) විරෝධතාවයක නිරත වුනා. ඒ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිසු සහ වෘත්තීය සමිති නායකයින් නිදහස් කරන ලෙස ඉල්ලමින්.

එමෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ඉහල දැමීමමට එරෙහිව දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක අද (09) විරෝධතා පැවැත්වුණා.

******************************************

රියදුරන් ට දැනුම්දීමක් : වාහන දඩ මුදල් ගෙවීම සඳහා ලබා දී ඇති සහන කාලය

(09.11.2021 – 20:06 +0530 – sinhala.adaderana.lk)

වාහන දඩ මුදල් ගෙවීම සඳහා ලබා දී ඇති සහන කාලය නොවැම්බර් මස 14 දිනෙන් අවසන් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, 2021.10.31 දින සිට කරන ලද වැරදි සම්බන්ධයෙන් වූ රථවාහන දඩ පත්‍රිකා නොවැම්බර් මස 14 දින දක්වා අතිරේක දඩ මුදල් රහිතව භාර ගැනීමත්, ඉන් පසුව දින 28 දක්වා අතිරේක දඩ මුදල් අයකර භාර ගැනීමත් කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනය කරයි.

එමෙන්ම නොවැම්බර් මස 01 වනදා සිට කරන ලද වැරිදි සම්බන්ධයෙන් වූ දඩ පත්‍රිකා සාමාන්‍ය පරිදි දින 14 ගණනය කර දඩ මුදල් භාර ගැනීමත්, දින 28 ක් දක්වා වූ රථවාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් අය කර භාර ගැනීමත්, දින 28 ක කාල සීමාව ඉක්මවු රථවාහන දඩපත්‍රිකා භාර නොගන්නා බවත් මහජනතාව වෙත දැනුම් දෙයි ෴

******************************************

චීන පොහොර ලබා ගන්නේ නියමිත ප්‍රමිතියෙන් ලබා දුන්නොත් පමණයි – මහින්දානන්ද අලුත්ගමගේ

(09.11.2021 – 21:37 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ කන්නය සඳහා වගාකළ යුතු හෙක්ටයාර ලක්ෂ 8 න්, හෙක්ටයාර 5,21,000 ක වගා කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ආන්දෝලනාත්මක චීන පොහොර සමාගමෙන් කාබනික පොහොර ලබා ගන්නේ මෙරට බලාපොරොත්තු වන නියමිත ප්‍රමිතියෙන් ලබා දුනහොත් පමණක් බවට එම සමාගමට දැනුම් දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

******************************************

මාලිගාවත්තේ කාන්තාවගේ මළ සිරුර ප්‍රවාහණය කිරීම සඳහා යොදා ගත් ත්‍රිරෝද රථය හමුවේ

(09.11.2021 – 23:09 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී හමුවු කාන්තා මළ සිරුර ප්‍රවාහණය කිරීම සඳහා යොදා ගත් ත්‍රිරෝද රථයද පොලිසිය සිය භාරයට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළා

******************************************

උණුසුම් වූ කොළඹ නගර සභා රැස්වීම

(09.11.2021 – 23:14 +0530 – hirunews.lk/sinhala)

නගර සභාවේ මුදල් අවභාවිත කරමින් කොළඹ නගරාධිපතිනියගේ නිළ නිවසට ආහාර ලබා ගත් බවට පුවත්පත් වාර්තා පළ වූ බව කියන සිද්ධියක් හේතුවෙන් අද (09) කොළඹ නගර සභා රැස්වීම උණුසුම් වුණා.

ඒ අතරතුර විපක්ෂයේ මන්ත්‍රී මහින්ද කහඳගම මහතා නගර සභා රැස්වීමෙන් ඉවත් කිරීමටද නගරාධිපතිනිය කටයුතු කළා.

කොළඹ නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මියගේ නිල නිවසට ලබා දුන් ආහාර දීමනාවක් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කිරීමත් සමග කොළඹ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එයට විරෝධය ප්‍රකාශ කළා.

මෙහිදී සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා.

******************************************

සිරිල් ගාමිණී පියතුමන් සම්බන්ධයෙන් මහා සංඝරත්නය පල කළ අදහස්

(09.11.2021 – 23:17 +0530 – hirunews.lk/sinhala)

සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නොපැමිණීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය අදත් (09) විවිධ අදහස් පළ කළා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයින් 6689 ක් සුවය ලබයි

(09.11.2021 – 16:58 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 6689 ක් සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,22,184 ක් වනවා ෴

තවත් කොරෝනා මරණ 17 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 13,892 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 538 ක් අද (09) දිනයේ මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් 5,46,473 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *