‘අල්ලි රාජා සුබාශ්කරන්’ දිවයිනට එද්දී කොටි පුල්ලි ගැලෙවූවේ කවුද?

‘අල්ලි රාජා සුබාශ්කරන්’ දිවයිනට එද්දී කොටි පුල්ලි ගැලෙවූවේ කවුද?

*********************************************

‘අල්ලි රාජා සුබාශ්කරන්’ දිවයිනට එද්දී කොටි පුල්ලි ගැලෙවූවේ කවුද?

(08.11.2021 – 21:22 +0530 – hirunews.lk/sinhala)

යහපාලනය රජය සමයේදී විපක්ෂය විසින් පට්ට ගැසූ එවකට ඔවුන් විසින් කොටි හිතවාදියෙකු ලෙස නම්කර සිටි කුප්‍රකට ව්‍යාපාරික ‘අල්ලිරාජා සුභාෂ්කරන්’ ඊයේ (07) දින කිසිදු බාධාවකින් තොරව මෙරටට ඇතුළුවී ඇත.

කොලඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ආරක්ෂකයන් 70 ගණනක් තම පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් තබාගෙන සිටින ඔහු සමග එවක කොටි නායක ප්‍රභාකරන් වෙනුවෙන් පුද්ගලික ආරක්ෂාව සැපයු අද එක්තරා ක්‍රිකට් කණ්ඩායමක කලමනාකරුවකුද ඔහු සමග පැමිණ සිටීදැයි මෙරට ආරක්ෂක අංශ සැක හැර දැනගත යුතු වෙයි.

ජාත්‍යන්තරයේ මුදල් විශුද්ධිකරණයට ඉහල නමක් දිනාගෙන ඇති මොහු ‘ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය’ ඇතුළුව ‘එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම් සමූහය’ට අයත් දේපොළ මිළදී ගැනීම සිදුව ඇත්තේ ද නීති විරෝධී ආකාරයට බව එම ගනුදෙනුවේ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති තැනැත්තෙකි.

කළු සල්ලි සුදු කරමින් මෙරට ව්‍යාපාර ගණනාවක තමන්ගේ අනසක පතුරවමින් සිටින ‘අල්ලිරාජා’ දෙමල කොටි ඩයස්පෝරාවටද මුදල් පොම්ප කල බවට චෝදනා ගණනාවකට ලක්ව සිටි අයෙකි.

පසුගිය දිනවල ඔහු විසින් නීතිවිරෝධීව මිලට ගනු ලැබූ මාධ්‍ය ආයතනය නැවතත් රජයට පවරා ගැනීමේ කසු කුසුවක්ද කනින් කොනින් අසන්නට ලැබුණි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුදල් මවන මැෂිම ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඔහුගේ වත්කම් මේ වන විට බ්‍රිතාන්‍ය පවුම් මිලියන 160 (රුපියල් මිලියන 28,793) ක් පමණ වේ.

‘සුභාෂ්කරන්’ බ්‍රිතාන්‍ය ධනවතුන්ගේ ලයිස්තුවේ 640 වැනි ස්ථානයේ පසුවන අතර එසේ ව්‍යාපාරික ලොවේ ධන කුවේරයකු වූයේ කෙසේද යන්න දන්නෝ දනිති.

ඔහුගේ පියාට අයිති මුලතිවු වී මෝල් වල හාලෙන් එල්.ටී.ටි.ඊ. සංවිධානය පෝෂණය වූ ආකාරයත් මෝලේ සල්ලි යුද්ධය අස්වැද්දීම සදහා යොදාගත් ආකාරයත් මෙරට ආරක්ෂක අංශ වෙලාවක් තිබ්බොත් වෙනම සොයා බැලිය යුතුය.

ඔහුගේ නම කිහිප අවස්ථාවකදී ඔහුගේ ව්‍යාපාරික තැරවුකරුවකු වන ‘ඇලෙක්ස් ලොවෙල්’ යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිදුකල ප්‍රශ්න කිරීම් වලදී හෙළිදරවු වී ඇතත් ඒවා කොපමණ දුරකට ඉදිරි පරීක්ෂණ සදහා සම්බන්ධ වනවාද යන්න දන්නේ අදාළ පරීක්ෂකයන් පමණි.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවන ‘ජැෆ්නා ස්ටාලියන්’ කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගැනීමටද ඔහු සමත්වී තිබීම මගින් මෙරටේ දේශපාලනය හා සම්බන්ධ කළු සල්ලිවල බල පුලුවන්කාරකම පමණක් නොව මෙරට ප්‍රධාන පුරවැසියාගේ වගකීමට යටත් ලේකම් කාර්යාල වල කුලියට වැඩ කරන නිලධාරීන්ගේ හයියද එලියට පැමිණීමද අදහාගත නොහැකි සිදුවීමකි.

එසේ හෙයින් මෙරට ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ‘අල්ලිරාජා සුභාෂ්කරන්’ව එදා රනිල් වික්‍රමසිංහලා ආරක්ෂා කල පරිදිම මෙදා මේ රජයේ නිලධාරීතුමන්ලාද ආරක්ෂා කරනු ඇත ෴

දිවයිනට පැමිණි කොටි හිතවාදී ‘අල්ලි රාජා සුබාශ්කරන්’ට විශේෂ ආරක්ෂාවක් ?

(08.11.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය ‘ලයිකා මොබයිල් ජාලය’ හිමි මෙරට සම්භවයක් සහිත කුප්‍රකට ව්‍යාපාරික ‘අල්ලි රාජා සුභාෂ්කරන්’ පෙරේදා (06) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ ඔහු කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණ ඇත්තේ විශේෂ අමුත්තන් සඳහා භාවිත කරන පර්යන්තය ඔස්සේ බවයි.

යුරෝපීය එල්ටීටීඊ ඩයස්පෝරාව සමඟ සමීප සම්බන්ධකම් පවත්වන ‘සුභාෂ්කරන්’ ලොව බොහෝ රටවල්වල මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙක්.

එමෙන්ම ඔහු එල්ටීටීඊ මුදල් පරිපාලන කටයුතු සිදු කළ බවටත් විවිධ පාර්ශව චෝදනා කරනවා.

ලොව බොහෝ රටවල් ‘අල්ලි රාජා සුභාෂ්කරන් ගේ ලයිකා මොබයිල් ජාලය’ අසාදු ලේඛන ගත කර ඇති අතර ඔහුගේ ව්‍යාපාර සමූහයටත් විවිධ සම්බාධක පනවා තිබෙනවා.

මේ හේතුවෙන් ‘අල්ලි රාජා සුභාෂ්කරන්’ හට ලොව බොහෝ රටවල් එරටට ඇතුළු වීම සඳහා අවසර ලබා නොදෙන අතර ඇතැම් අවස්ථාවල ඔහු ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ද තහංචි පැන වුණා.

පෙරේදා (06) දිවයිනට පැමිණි මෙම කුප්‍රකට ව්‍යාපාරිකයා ඊයේ (07) කොළඹ තරු පන්තියේ හෝටලයක ප්‍රිය සාදයක් ද පවත්වා ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සඳහා මෙරට ප්‍රභූ පැලැන්තියේ මෙන්ම දේශපාලන චරිත කිහිපයක් ද එක්ව සිටි බවට වාර්තා වනවා.

මෙරට ව්‍යාපාරික කටයුතු සඳහා ඇතුළත් වීමට වසර ගණනාවක් තිස්සේ නොයෙකුත් ක්‍රියාමාර්ග හරහා උත්සාහ දැරූ ‘අල්ලි රාජා සුභාෂ්කරන්’ ගේ එම උත්සාහය යථාර්තයක් බවට පත් වන්නේ පසුගිය යහපාලන රජය සමයේයි.

ඒ ‘ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය’ මිලදී ගැනීම හරහායි.

ඒ වන විට බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ ‘ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය’ සඳහා දේශීය වශයෙන් වැඩිම ලංසුව ඉදිරිපත් කර තිබූ දේශීය ව්‍යාපාරිකයෙක් නොසලකා හරිමින් ‘අල්ලි රාජා සුභාෂ්කරන්’ හට ‘ස්වර්ණවාහිනී ප්‍රමුඛ ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය’ ලබාදීමට පසුගිය යහපාලන රජය සමයේ බලයේ සිටි දේශපාලනඥයින් සහ තවත් විවිධ පුද්ගලයින් පියවර ගත්තා.

‘අල්ලි රාජා සුභාෂ්කරන්’ නැවත මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ ඔහුගේ මෙම ගණුදෙනුවේ ඉතිරි කටයුතු අවසන් කිරිම සඳහා බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම කුප්‍රකට ගනුදෙනුව සම්බන්ධයෙන් එවකට අදහස් දැක්වූ දැනට කැබිනට් අමාත්‍ය ධුරයක් ද දරණ විමල් වීරවංශ මහතා ප්‍රසිද්ධ වේදිකාවේ කියා සිටියේ එල්ටීටීඊ ඩයස්පෝරාවේ ආධාර උපකාර ලබන කොටි හිතවාදියකු වන ‘අල්ලි රාජා සුභාෂ්කරන්’ සම්බන්ධයෙන් වූ ‘ඊ.ඒ.පී. ගනුදෙනුව’ට සම්බන්ධ වූ සැමට තමන් බලයට පත්වන රජයක් යටතේ දඬුවම් විඳීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් මෙවර සිය ව්‍යාපාර කටයුතු තවත් පුළුල් කර ගැනීම සඳහා ‘අල්ලි රාජා සුභාෂ්කරන්’ මෙරටට පැමිණ ඇත්තේ මෙලෙස ප්‍රසිද්ධ වේදිකාවේ මෙම කුප්‍රකට ව්‍යාපාරිකයාට එදිරිව අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා කැබිනට් අමාත්‍ය ධූරයක් දරණ රජයක වීම කණගාටුවට කරුණක්.

මේ අතර තහවුරු නොකළ වාර්තා පෙන්වා දෙන්නේ දිවයිනට පැමිණි ‘අල්ලි රාජා සුභාෂ්කරන්’ ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බවත් එම ආරක්ෂාව ලබා දීමට මූලික වී කටයුතු කර ඇත්තේ මේ වන විට ජනාධිපති මාධ්‍ය අංශයේ ඉහළ තනතුරක් දරන පුද්ගලයෙකු බවත් ය ෴

******************************************

කැළණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල ඉදිරි පැය 06 – 12 අතර සුලු ගංවතුර තත්වයක්

(08.11.2021 – 22:09 +0530 – hirunews.lk/sinhala)

කැළණි ගංගා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල ඉදිරි පැය 06 – 12 අතර කාලය තුළ සුලු ගංවතුර තත්වයක් ඇතිවීමේ අවධානමක් ඇතැයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා ෴

(09.11.2021 – 06:23 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය අද (09) දිනයේ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවටයි වාර්තා වෙන්නේ.

උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළි දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි යි.

මාතලේ, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති වෙනු ඇති.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

******************************************

අගලවත්තේ දී මනුෂ්‍ය ඝාතනයක්

(09.11.2021 – 06:40 +0530 – hirunews.lk/sinhala)

අගලවත්ත පොලිස් වසමේ පහළ කුඩලිගම – නෑබඩ ප්‍රදේශයේ නිවසක දී පොල්ලකින් හා උදැල්ලකින් පහර දී සිදු කළ ඝාතනයක් පිළිබඳ වාර්තා වෙනවා.

බීමත් ව ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවට යි අනාවරණය වී ඇත්තේ.

මියගොස් ඇත්තේ, වයස අවුරුදු 45 ක නෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (09) දින මතුගම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අගලවත්ත පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

******************************************

බඳින ලද තුවක්කුව පත්තු වී පුද්ගලයෙකු මරුට

(09.11.2021 – 06:46 +0530 – hirunews.lk/sinhala)

හොරොව්පොතාන පොලිස් වසමේ පදවිය රක්ෂිතයට අයත් වඩුවාගම ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තු වී, බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ඊයේ (08) දින මියගොස් ඇති බවට හොරොව්පතාන පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ජීවිතක්ෂයට පත් පුද්ගලයා 42 හැවිරිදි නිකවැන, හොරොව්පොතාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘතශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා තිබෙන අතර, බඳින තුවක්කුවක් අටවන ලද පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

******************************************

අයහපත් කාලගුණය නිසා යාපනයේ පාසල් වැසෙයි

(09.11.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ සියළු පාසල් අද (09) දිනයේ වසා තැබීමට දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කර තිබෙනවා.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, ගංඟා සහ ඔයවල් රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් පහත්බිම්වල ජනතාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවයි.

ඒ අනුව නිල්වලා ගඟ සහ ගිං ගඟ මෙන්ම අත්තනුගලුඔය ආශ්‍රිත පහත්බිම්වල ජනතාව ද දැඩි අවධානයෙන් පසුවිය යුතු වනවා.

එසේම මහඔයේ ජල මට්ටම ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අලව්ව, දිවුලපිටිය, මිරීගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරාම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ කිහිපයක පහත් බිම්වල ජල ගැලීම් තත්ත්වයක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

******************************************

ගංගා කිහිපයක ජල මට්ටම ඉහළට – ජනතාවට අනතුරු ඇඟවීමක්

(09.11.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ වැසි සහිත කාලගුණය අද (09) දිනයේ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බොහෝ ප්‍රදේශවලට විටින්විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, උතුර, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකියි. මාතලේ, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර, ඊයේ (08) උදෑසන සිට මේ දක්වා මිහින්තලේ ප්‍රදේශයට මිලිමීටර් 214 ක වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇති අතර තම්බෝවට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර් 202 ක්.

කෑගල්ල දිස්ත්‍රික්කයේ තොටවැල්ල ප්‍රදේශයට මිලිමීටර් 184 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

තවත් ප්‍රදේශ රැසකට මෙලෙස තද වැසි ලැබී ඇති අතර, එම දත්ත ලැබෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එමෙන්ම, ගිණිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් ඇති වීමේ ඉහළ හැකියාවක් පවතින බව සඳහන්.

මේ නිසා එම මුහුදු තීරයේ සහ දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර, මහඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මහඔය ගංඟාවේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ මහඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල විශේෂයෙන් ගිරිඋල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරදගොල්ල, නාල්ල, දිවුලදෙණිය සහ වැලිහිඳ ප්‍රදේශවල සුළු ගං වතුර තත්ත්වයක් ඇති විය හැකියි.

එමෙන්ම, මීගමුව – කුරුණෑගල මාර්ගය ගිරිඋල්ල නගරය අසල දී මහඔය පිටාර ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

මීට අමතරව අලව්ව, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් ප්‍රදේශවලට ද සුළු ගං වතුර තත්ත්වයක් ඇති විය හැකියි.

එසේම, පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට ඇති මාර්ගය පාලවි ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ඇති අතර, පුත්තලම සිට කුරුණෑගල දක්වා මාර්ගය අරලිය උයන, දෙකේ කණුව සහ තම්බපන්නි යන ප්‍රදේශවලින් ජලයෙන් යට වී තිබෙනවා.

මේ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

මේ අතර, කැලණි ගං ද්‍රෝණි ධාරා ප්‍රදේශවලට ද ඉහළ වර්ෂාපතනයක් ලැබීම නිසා කැලණි ගං ද්‍රෝණියේ දැරණියගල, කිතුල්ගල සහ හොලොම්බුව ප්‍රදේශවලින් ගංඟාවේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

මේ නිසා කැලණි ගං ද්‍රෝණියේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගං වතුර නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගං වතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴

රඹුක්කන – දොඹේමඩ ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් 4 දෙනෙකු මිය ගොස් තිබෙනවා ෴

******************************************

පොලිතින් මිලත් ඉහළට

(09.11.2021 – 08:19 +0530 – hirunews.lk/sinhala)

නිෂ්පාදන පිරිවැය ඉහළයාම හේතුවෙන් පොලිතින් බෑග්වල මිල ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයින්ගේ සහ ප්‍රතිචක්‍රීකරන්නන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ලෝක වෙළඳපළේ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම මීට මූලික හේතුව වී ඇති බවයි.

වෙළදපළේ තවදුරටත් සිමෙන්ති සහ ගෑස් හිඟයක් පවතින අතර පාරිභෝගිකයින් ප්‍රකාශ කළේ ඒ හේතුවෙන් ඒවායේ මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි.

එසේම සීනි සහ සහල්වල මිල ගණන් ද පාලනයකින් තොරව ඉහළ ගොස් ඇති බවටයි පාරිභෝගිකයින් චෝදනා නගන්නේ ෴

******************************************

ගුරු – විදුහල්පතිවරුන් අද (09) විරෝධතාවක

(09.11.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව හා රටේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා අද ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෑම අධ්‍යාපන කලාප කාර්යාලයක් ඉදිරිපිටට එක්වෙමින් මෙම විරෝධතාව සිදුකිරීමට නියමිත බවයි එම සංගමය සඳහන් කළේ.

මේ අතර, මාවනැල්ල අධ්‍යාපන කලාපයට අයත් සියලුම පාසල්වල ගුරුවරුන් අද (09) අධ්‍යයන කටයුතුවලින් ඉවත්වී වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් කියා සිටියේ මෙඩේරිගම විදුහලේ විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට තර්ජනය කළ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.ජී. පියතිස්ස මෙතෙක් පොලිසිය අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කරන බවයි ෴

******************************************

ඩොලර් රුපියල් කිරීමේ නව නීතියෙන් ප්‍රේෂණවලට බලපෑමක් නැහැ – මහබැංකුවෙන් ප්‍රකාශයක්

(09.11.2021 – 08:29 +0530 – hirunews.lk/sinhala)

අපනයන ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් පනවන ලද නව නීති රටට ප්‍රතිඵල රැසක් අත් කර දෙන බව මහබැංකුව පවසනවා.

එමෙන්ම, එමගින් විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දිවයිනට එවන ප්‍රේෂණ සඳහා බලපෑමක් ඇති නොකරන බවයි මහබැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

මෙරට භාණ්ඩ හා සේවා අපනයනකරුවන් සඳහා බලපවත්වන පරිදි පසුගිය ඔක්තෝම්බර් 29 වන දා නිකුත් කෙරුණු නව නීතියට අනුව අපනයන ආදායමේ ශේෂය එළඹෙන මාසයේ 07 වන දිනට පෙර රුපියල්වලට හුවමාරු කළ යුතුයි.

කෙසේ නමුත් මහබැංකුව මගින් ප්‍රකාශිත විනිමය අනුපාතිකය වන රුපියල් 203 කට සිය ඩොලර් හුවමාරු කිරීමට අපනයනකරුවන් මැලිකමක් දක්වන බව සඳහන්.

එමගින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ද සිය ප්‍රේෂණ වෙනත් අතකට යොමු කිරීමේ හැකියාවක් පවතින බවට විශ්ලේෂකයන් අනතුරු අගවනවා.

කෙසේ නමුත් මහබැංකුව පෙන්වා දෙන්නේ මෙලෙස විදේශ විනිමය දේශීය මුදලට හුවමාරු කිරීමේ ක්‍රමවේදයක් අසල්වැසි රටවල ද ක්‍රියාත්මක වන බවයි.

කොරෝනා වසංගතයේ බලපෑමෙන් මෙරට සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට එල්ල වී ඇත්තේ බරපතල බලපෑමක්.

විදේශ විනිමය සංචිතය පහත වැටීම ද එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකියි.

මේ නිසා බාහිරව විදේශ මුදල් ලබා ගැනීමට මෙරට විදේශ විනිමය ආදායම් මත යැපීම ඉහළ නැංවිය යුතු බවයි මහබැංකුව අවධාරණය කළේ ෴

******************************************

උපාධිධාරීන්ට රජයේ රස්සා එපා… විශ්ව විද්‍යාල ස්වභාවික මරණයකට… උසස් පෙළ රටේ අනාගතය විනාශ කරමින්…

(09.11.2021 – 12:00 +0530 – lankacnews.com)

සෑම උපාධිධාරීයකුටම රජයේ රැකියා දෙන ප්‍රතිපත්තිය රටේ සංවර්ධනයට බාධාවක් බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශකයකු වන කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා පවසයි.

කොළඹ විශ්ව විදයාලයේ පරිගණක විද්‍යා අධ්‍යාපනය පිළිබදව හිටපු කථිකාචාර්යකු වන එම මහතා 2000 දී පාසල් පද්ධතියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදුන්වාදීමට නායකත්වය ලබා දෙන ලදි.

ඔහු අමාත්‍යංශ රැසක හා ආයතන රැසක උපදේශක ලෙස කටයුතු කර ඇත.

දිලන්ත විතානගේ මහතා ජාතික උපාධි මධ්‍යස්ථානයේ සේවය කරන අතර අවශ්‍ය ඕනෑම කෙනෙකුට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දිමේ අයිතිය තහවූරු කිරීම සදහා ‘සැමට උපාධියක්’ තේමාව ප්‍රවර්ධනයට නායකත්වය දෙනු ලබයි.

O/L වලින් පසු අවුරුදු 03 කින් උපාධියක් ලබාගතහැකි බව තරුණ ප‍්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු තව දුරටත් පැවසීය.

අන්තර්ජාල සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.

******************************************

ඔබේ මාතෘභුමිය අනාතයි – එදා මේ මෝඩ වැඩේ කලේ නැත්නම් … (09.11.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *