ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි – කළු සහ කුඩා ගංඟා ආශ්‍රිතව සුළු ගං වතුර තත්ත්වයක්

ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි – කළු සහ කුඩා ගංඟා ආශ්‍රිතව සුළු ගං වතුර තත්ත්වයක්

*********************************************

ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි – කළු සහ කුඩා ගංඟා ආශ්‍රිතව සුළු ගං වතුර තත්ත්වයක්

(08.11.2021 – 16:42 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම, ඉදිරි පැය 24 තුළ බෙංගාලබොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එමගින් දිවයිනේ දකුණුදිග මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 ත්, 70 ත් දක්වා ඉහළ යා හැකියි.

මේ අතර, කළු සහ කුඩා යන ගංඟා ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ ඉදිරි පැය කිහිපය තුළ සුළු ගං වතුර තත්ත්වයකට පත්වීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ වන විට කුඩා ගඟ, කළවැල්ලාව ආසන්නයේ පිහිටි මිල්ලකන්ද ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම මීටර් 7.25 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව බුලත්සිංහල, බදුරලිය, පාලින්ද නුවර, මිල්ලනිය, හොරණ, දොඩම්ගොඩ සහ කළුතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මීට අමතරව අත්තනගලුඔයේ ද ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වර්ෂාවත් සමග රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශ උපරිම මට්ටමට පැමිණීම හේතුවෙන් එම ජලාශවල ද වාන් දොරටු ස්වයංක්‍රීයව වරින් වර විවෘත වන බව ජලාශය භාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා.

කොත්මලේ ජලාශයේ ද වාන් දොරටු 3 ක් විවෘත කිරීම හේතුවෙන් පහත්බිම්වල ජනතාව අවධානයෙන් සිටින ලෙසටයි බලධාරීන් දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත්, පවතින වැසිත් සමඟ ඉදිරියේදී ගං වතුර අවදානමක් ඇති වුවහොත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා නාවික හමුදාව විසින් සහන කණ්ඩායම් 35 ක් සූදානම් කර තිබෙනවා.

මේ අතර, නුවරඑළිය – බ්ලැක්පූල් ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටී නුවරඑළිය – තලවකැළේ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.

පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 10 කට නාය යාමේ අවදානමක් ද නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ.

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 6 ක් වාර්තා වී ඇති අතර පූර්ණ වශයෙන් නිවාස 12 කට හානි සිදුව තිබෙනවා.

******************************************

ආපදාවකට මුහුණ දීමට රට සීරුවෙන්

(08.11.2021 – 15:53 +0530 – hirunews.lk/sinhala)

ආපදා තත්ත්වය මීට වඩා දරුණු වුවහොත් හෝ එන ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සෑම අවස්ථාවකම සූදානමින් සිටින අතර අවශ්‍ය බඩු බාහිරාදිය ස්ථානගත කිරීම් ආදිය සඳහා ආපදා කළමනාකරණ දිස්ත්‍රික් කාර්යාල දිසාපතිවරු හා සම්බන්ධ වී කටයුතු කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා පැවසුවා.

ඒ අනුව අවශ්‍ය පෙර සූදානම් කටයුතු සියල්ල පාහේ සූදානම් කර තිබෙන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

ඔහු මේ බව සඳහන් කළේ අද (08) මාධ්‍ය වෙත කරුණු දක්වමිනි.

ආපදා අවදානම මත ජනතාව සිටින ස්ථාන වලින් ඉවත්වන ලෙස දැනුම් දුන් වහාම ඉවත් වීමට කටයුතු කරන ලෙසද අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියා.

එමෙන්ම විශේෂයෙන් මෙවන් ආපදා තත්ත්වයක් පවතින මොහොතක විනෝද ගමන් ගොස්, කැළෑ තරණය කිරීම්, කඳු තරණය කිරීම්, ගංගා වල පිනීම්, ඔරු පැදීම් ආදිය සිදුනොකරන ලෙසත් එවන් ගමන් ගොස් අතරමං වූ විට ඔවුන්ව මුදා ගැනීමට පැමිණෙන කණ්ඩායම් වලටද ජීවිත අනතුරු පවතින හෙයින් එවැනි ගමන් වලින් වළකින ලෙසයි අවධාරණය කලේ.

එලෙස උපදෙස් නොතකා තවත් අයගේ ජීවිතය අනතුරේ හෙළමින් අනවසරයෙන්, අවිධිමත් ලෙස ගමන් යන අය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද රණසිංහ මහතා කියා සිටියා.

පවතින අපදා තත්ත්වය හා වසංගත තත්ත්වය ගැන සලකා අනවශ්‍ය ගමන් නොයන ලෙසයි ඔහුපැවසුවේ.

ගෙවුණු පැය 24 ක කාලය තුළ සහන මධ්‍යස්ථාන 09 ක පවුල් 63 ක පුද්ගලයින් 251 ක් රඳවා තිබෙන අතර ඔවුන්ට අවශ්‍ය සියලු සහන ලබා දීමට කටයුතු කර ඇති බවත් හානි පූරණ කටයුතු ද සිදුවන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

******************************************

ව්‍යාජ යතුරුපැදි ලේඛන සැකසු රාජ්‍ය නිලධාරිනිය රිමාන්ඩ්

(08.11.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදි 03 ක් සඳහා ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික සකස් කර, මුද්‍රණය කිරීමේ චෝදනාවට, අත්අඩංගුවට ගත් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය ලබන 22 දක්වා රිමාන්ඩ් භාරයේ රඳවාඟැනීමට අද (08) අධිකරණය නියෝග කර තිබෙනවා ෴

******************************************

රිය අනතුරකින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

(08.11.2021 – 17:00 +0530 – hirunews.lk/sinhala)

මීරිගම – පස්යාල මාර්ගයේ දංසලේවත්ත ප්‍රදේශයේදී අද (08) පස්වරුවේ වාහන 3 ක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ තවත් දෙදෙනෙකු (2) බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවයි.

කන්ටේනර් රථයක්, වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටී මෙම අනතුර සිදුවුණා.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වෑන් රථයේ ගමන් කළ 47 හැවිරිදි පුද්ගලයෙකු සහ 42 හැවිරිදි කාන්තාවක්.

ඔවුන් එකම පවුලේ ඥාතීන් බවටයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන්ගෙන් එක් (1) අයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර අනෙක් පුද්ගලයා වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

******************************************

නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමනයට බාධා

(08.11.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

නුවරඑලිය හැටන් ප්‍රධාන මාර්ගයේ නුවරඑලිය බ්ලැක්පුල් ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට (08) දින පස්වරු 03:30 ට පමණ විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පවසනවා.

නුවරඑලිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන මාර්ගයට පස් කන්ද කඩා වැටුණු බවත්, නුවරඑලිය මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද කොටසින් කොටස ඉවත් කර රථ වාහන ගමනා ගමනයට එක් මංතිරුවක් විවෘත කල බව සහකාර අධ්‍යක්ෂකවරයා පවසනවා.

ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

******************************************

පාර පනිමින් සිටින කුඩා දියණියට වෙන්න ගිය අනතුර

(08.11.2021 – 17:17 +0530 – hirunews.lk/sinhala)

අද (08) උදෑසන බියගම – පෑලියගොඩ මාර්ගයේ කැලණිය ප්‍රදේශයේදී වාහන තදබදයක් පවතින අවස්ථාවක මාර්ග නීති නොතකා ධාවනය වූ වෑන් රථයක් සම්බන්ධයෙන් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එහි දැක්වෙන්නේ කාන්තාවක් කුඩා දැරියක් සමග පදික මාරුවකින් පාර මාරුවන විට මාර්ග නීති උල්ලංඝනය කරමින් පැමිණෙන වෑන් රථයක ඔවුන් දෙදෙනා නොගැටී බේරෙන ආකාරයයි.

නමුත් එම වෑන් රථය නොනවත්වාම ධාවනය වන අයුරු මෝටර් රථයක සවිකර තිබු කැමරාවක සටහන්ව තිබුණා.

******************************************

ඇතැම් ප්‍රදේශවල ගෑස් කළු කඩ මිලට

(08.11.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සහ සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩවල හිඟයක් වෙළදපළේ පවතින අතර, ඇතැම් ප්‍රදේශවල කිසිදු පාලනයකින් තොරව භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

සීනි, සහල්, කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ යාමත් සමඟ මේ වන විට පාරිභෝගික ජනතාව පත්ව සිටින්නේ දැඩි අපහසුතාවකටයි. එවන් පසුබිමක ගෑස් මිල ඇතැම් ප්‍රදේශවල පාලනයකින් තොරව ඉහළ දමා ඇති බවට වාර්තා වනවා.

කිලෝග්‍රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 2675ක් වන අතර එම ප්‍රමාණයම ලාෆ් ගෑස් සිලින්ඩරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 2840ක්.

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවල එම මිල ඉක්මවා ගෑස් අලෙවි කෙරෙන අතර, අද දිනයේදීත් ගෑස් මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණා.

එමෙන්ම, සහල් සහ සීනි මිලදී ගැනීමේදි තවත් අමතර භාණ්ඩ 5ක් මිලදී ගත යුතු බවට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පසුගිය දා සිදුකළ ප්‍රකාශය අද පාර්ලිමේන්තුවේදී සංවාදයට බඳුන් වුණා.

මේ අතර, ජීවන වියදමට සරිලන ලෙස වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා දේශීය ආදායම් පොදු සේවක සංගමය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා ෴

රජයේ ණය ගැනීමේ සීමාව බිලියන 3,397 දක්වා ඉහළ දමයි

(08.11.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

ණයගැනුම් සීමාව වැඩිකිරීම සඳහා ඉදිරිපත් කළ 2020 අංක හත (7) දරණ විසර්ජන පනත සඳහා වූ සංශෝධනයට රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

එමඟින් අදාළ පනතේ දෙවන (2) වගන්තිය සංශෝධනය කෙරෙන අතර, ඒ අනුව රුපියල් බිලියන 2,997 ක්ව පැවති ණය ගැනුම් සීමාව බිලියන 3,397 දක්වා ඉහළ දමනු ඇති.

මෙම වසර සඳහා අපේක්ෂිත ආදායම ලබාගැනීමට නොහැකිවීම, පරිපූරක වියදම් ඉහළ යාම, රුපියල අවප්‍රමාණය වීම වැනි කරුණු ණය ගැනීමේ සීමාව ඉහළ දැමීමට හේතුවූ බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කළා.

******************************************

මුතුරාජවෙල ඉඩම් පවරා ගැනීමට, රජයෙන්ම විරෝධයක්

(08.11.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා ලෙසට තමන් රජයෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර, නාගරික සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව අද (08) කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

එහිදී නාගරික සංවර්ධන අධිකාරී සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා ඒ පිළිබදව කරුණු පැහැදිලි කිරීමක් ද සිදුකළා.

අදාළ ගැසට් නිවේදනයට එරෙහිව අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එමෙන්ම, ගැසට් නිවේදනයට විරෝධය පළ කරමින් කඳාන නගරයේ වෙළද සංකීර්ණය ඉදිරිපිට ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය අද (08) අවසන් කෙරුණා.

කෙසේ වෙතත්, සත්‍යග්‍රහයේ නිරත වූ පිරිස අද (08) පස්වරුවේ කොළඹ – මීගමුව මාර්ගයට පැමිණීමත් සමග රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

******************************************

පොල්වලට අවශ්‍ය පොහොර ආනයනයට පියවර

(08.11.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

පොල් වගාවට අවශ්‍ය ඇමෝනියම් සල්ෆේට් ඉදිරියේදී ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදීයි.

මේ අතර, අදත් (08) ප්‍රදේශ රැසකම ගොවීන් පොහොර සහ කෘමිනාශක ඉල්ලා විරෝධතා සංවිධාන කර තිබුණා.

එසේම, කාබනික පොහොර යොදා ගනිමින් සාර්ථකව සිය වගා කටයුතු සිදුකරන ගොවීන් පිළිබදව ද අද (08) දිනයේත් තොරතුරු රැසක් වාර්තා වූ අතර, කාබනික පොහොර යොදා ගනිමින් මහනුවර ප්‍රදේශයේ ගොවීන් මහ කන්නයේ ගොවි බිම් අස්වැද්දීමේ කටයුතු ද ආරම්භ කර තිබෙනවා ෴

******************************************

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය තැන්පත් කිරීමේ දුර්ලභ අවස්ථාව

(08.11.2021 – 20:22 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර, සඳහිරු සෑ කොත් වහන්සේ මත චූඩා මාණික්‍ය තැන්පත් කීරීම අද (08) උදෑසන මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් සිදුකෙරුණා.

සඳහිරු සෑ රඳුන් සසුනට පූජා කිරීමේ මහා පිංකම නොවැම්බර් මස 18 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

2010 වසරේ නොවැම්බර් 11 වනදා පළමු පස් පිඩැල්ල කැපීමේ සිට පුරා වසර 11 ක් මුළුල්ලේ මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරණු ලැබුයේ ත්‍රිවිධ හමුදාවේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දැනුමෙන් හා ශ්‍රමයෙන් වීම විශේෂත්වයක්.

දිවයිනේ නන් දෙසින් පැමිණි පිරිස් හැකි සෑම අවස්ථාවකදී ම ශ්‍රම දායකත්වය හා මුල්‍ය දායකත්වයද මේ සඳහා ලබාදුන් අතර එළඹෙන 18 වන දිනෙන් පසු බෞද්ධ ජනතාවට මෙම සිද්ධස්ථානය වැදපුදා ගැනිමේ අවස්ථාව උදාවනවා.

******************************************

ඉකුත් සතියේදී විදෙස් සංචාරකයින් 9000 ක් දිවයිනට

(08.11.2021 – 20:30 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සතියේදී විදෙස් සංචාරකයින් 9,545 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන් 3,107 දෙනෙකු ඉන්දියානුවන් වන අතර, රුසියානුවන් 774 ක්, බ්‍රිතාන්‍යයෙන් 764 ක් මෙන්ම ජර්මනිය, පාකිස්ථානය, මාලදිවයින, ප්‍රංශය, කැනඩාව, ඇමරිකාව හා ස්විට්සර්ලන්තය යන රටවලින් සංචාරකයින් විශාල පිරිසක් මෙම කාලය තුළ දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ.

රට විවෘත කිරීමත් සමඟ සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා යළි සීමා පැනවීමකින් තොරව රට පවත්වාගෙන යාමට හැකි වුවහොත් ලබන වසර අවසන් වනවිට මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීම උදෙසා සංචාරක ව්‍යාපාරයට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකිවනු ඇති බවට විශ්වාසය පළ කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *