රසායානාගාර පරීක්ෂණ නිසි ලෙස සිදුකළ බව ශාක නිරෝධායන සේවය කියයි

රසායානාගාර පරීක්ෂණ නිසි ලෙස සිදුකළ බව ශාක නිරෝධායන සේවය කියයි

*********************************************

රසායානාගාර පරීක්ෂණ නිසි ලෙස සිදුකළ බව ශාක නිරෝධායන සේවය කියයි

(08.11.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට තුඩුදුන් චීන පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට අදාළ රසායානාගාර පරීක්ෂණ ක්‍රියාවලිය නිසි ලෙස සිදුකළ බව ජාතික ශාක නිරෝධායන සේවය ප්‍රකාශ කළා.

එහි අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා මේ බව පැවසුවේ අදාළ සමාගම ජාතික ශාක නිරෝධායන සේවයෙන් ඩොලර් මිලියන අටක (8) වන්දියක් ඉල්ලා යොමුකර ඇති එන්තරවාසිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

මේ අතර මතභේදයට තුඩුදුන් චීන පොහොර සමාගම, ඩොලර් මිලියන 8 ක වන්දි ඉල්ලා යොමුකර ඇතැයි කියන එන්තරවාසිය මෙතෙක් නිල වශයෙන් ලැබී නොමැති බව ජාතික ශාක නිරෝධායන සේවය පවසනවා.

එහි අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවේ එම එන්තරවාසිය ලැබුණහොත් ඊට අදාළ ඉදිරිපියවර ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර පොහොර නොමැතිව ඇතැම් ප්‍රදේශවල ගොවීන් තවදුරටත් පීඩාවට පත්ව සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ඒ අනුව අනුරාධපුර, කලන්කුට්ටිය, යක්කලමුල්ල, ඇල්ල ඉහළ, මැදිරිගිරිය, මීගොල්ලාවැව ඇතුලු ප්‍රදේශ කිහිපයක ගොවීන් විරෝධතා පවත්වනු ලැබුවා.

******************************************

චීන පොහොර නැව කොළඹ වරායෙන් සේවා ලබා ගනියි

(08.11.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

‘හිපෝ ස්පිරිට්’ නම් අදාළ නෞකාව ඊයේ (07) රාත්‍රියේ කොළඹ වරායට නාවික සැතපුම් 13 ක් දුරින් නැංගුම් ලා සැපයුම් ලබාගෙන ඇති බව වාර්තාවනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදි වරාය පාලක හෙවත් හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා ඒ බව තහවුරු කරමින් කියා සිටියේ නෞකාව පිටත වරායේ රඳවා ඔවුන් ඉල්ලා සිටි ජල සැපයුම් ලබාදුන් බවයි.

ඒ අනුව නෞකාව මේ වනවිට යළි ගමන් ආරම්භ කර ඇති අතර, එය මේ වනවිට මොරටුවට ආසන්න මුහුදු ප්‍රදේශයේ ගමන් කරමින් පවතින බවට නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් තොරතුරු වාර්තාකරන ‘මැරින් ට්‍රැෆික්’ වෙබ් අඩවියේ දැක්වෙනවා ෴

******************************************

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අල්ලස් කොමිසමට යයි

(08.11.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් කොමිසම විසින් 2019 වසරේ නොවැම්බර් 16 සිට මේ දක්වා පවරා තිබූ නඩු 45 ක් ඉවත්කරගෙන ඇති බවට චෝදනා කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද (08) එම කොමිසමට පැමිණියා.

එහි දී ඔවුන් තොරතුරු දැනගැනීමේ පනත හරහා ඉල්ලා සිටියේ, මෙලෙස ඉල්ලා අස්කරගත් නඩු සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසටයි ෴

******************************************

යුගදනවි ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂයෙන් ඉල්ලීමක්

(08.11.2021 – 13:35 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු ‘නිව් ෆෝට්‍රස්’ සමාගමට පැවරීමට අදාළ ගිවිසුම කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂය අද (08) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.

******************************************

මාර්ග 68,000 ක් සංවර්ධනය කිරීමට රජයේ අවධානය

(08.11.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රටේ මාර්ග 68,000 ක් සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, එම මාර්ගවලින් 14,000 ක වැඩ මේ වන විට ආරම්භ කර ඇති අතර, එයින් මාර්ග 1500 ක වැඩ අවසන් කොට, ජනතාව වෙත ලබාදී ඇති බවයි.

ඉදිරි මාස 03 ඇතුළත තවත් මාර්ග 2500 ක් විවෘත කිරීමට කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

******************************************

රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ සම්බන්ධයෙන් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

(08.11.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආයතනවල දූෂණ සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙලෙස අදහස් පළ කළා :

******************************************

කළු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම ඉහළට

(08.11.2021 – 15:41 +0530 – hirunews.lk/sinhala)

කළු ගඟේ සහ කුඩා ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. එම නිසා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින්, පහත්බිම්වල ජනතාව අවධානයෙන් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා ෴

******************************************

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්ණයක් ?

(08.11.2021 – 15:42 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීමෙදී මින් ඉදිරියට ශරීර ආරක්ෂාවට ලක්කරන ලෙසට කථානායකවරයා දැනුම් දී ඇතැයි අද (08) පාර්ලිමේන්තුවේ දී අනාවරණය වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ, පක්ෂ නායක රැස්වීමේ දී එම තීරණය ගත් බවට ලිපියක් මඟින් දැනුවත් කර ඇති බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,

“මගේ මේසේ උඩ ලියුමක් තියෙනවා කථානායකතුමා පක්ෂ නායක රැස්වීමේ දී ගත් තීරණයක් කියලා. මේකේ තියෙන්නේ ශරීර ආරක්ෂාවට ලක්කිරීම කට්ටිය ඇතුළට එනකොට මින් ඉදිරියට ක්‍රියාත්මක කරනවා කියලා. මම දැනුවත් කිරීමක් කරන්න ඕනේ, ලෝකයේ තියෙන නවීන තාක්ෂණය අනුව මේ කාලයේ කොහෙවත් කට්ටිය ශරීර අතපත ගාලා බලන්නේ නෑ පිස්තෝලයක් තියෙනවා ද? අරවා මේවා තියෙනවා ද කියලා. පාර්ලිමේන්තුව කියන්නේ රටේ තියෙන උත්තරීතර ආයතනය. මෙතනට ක්‍රමවේදයක් හදන්න ඕනේ ඇඟ අතපත ගාන්නේ නැතුව ආරක්ෂාව සපයා ගන්න. අනිත් පැත්තෙන් අපි දැනගන්න කැමතියි එකපාරට මෙහෙම දෙයක් ගේන්න මොකක් හරි තර්ජනයක් තියෙනවා ද ආරක්ෂාවට? බුද්ධි තොරතුරක් හරි කවුරු හරි බෝම්බයක් හරි පිස්තෝලයක් හරි ගේනවා කියලා. එහෙම තියෙනවා නම් අපිත් දැනුවත් වෙන්න ඕනේ. තොරතුරක් තියෙනවා නම් හංගගෙන මේක විතරක් කරාට වැඩක් නෑ.”

සභානායක දිනේෂ් ගුණවර්ධන : “ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතා, නඟපු කාරණාව වැදගත්. නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායකවරයා ගෙන තිබෙන තීරණය මං කථානායකවරයාගේ අවධානයට ලක්කරන්නම්” ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

පාසල් සහ රට යළි වසා දැමීමට සිදුවිය හැකි බවට සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

(08.11.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

මේ අතර මාස 06 පසු පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (08) යළි ආරම්භ කෙරුණා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණිවල සිසුන් පාසල් වෙත පැමිණීම දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය නොකළ හොත් පාසල් සහ රට යලි වසා දැමීමට සිදු වනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඇතැම් පාසල්වලින් සීමිත ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණ ද එය සාමාන්‍ය තත්ත්වයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, දෙමාපියන් ඒ පිළිබඳව අනියත බියක් ඇති කර නොගත යුතු බවයි.

එමෙන්ම අද (08) සිට නැවතත් සියලු කාර්යාල දුම්රිය සමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මීට පෙර 152 ක් ව පැවති දෛනික දුම්රිය ගමන්වාර සංඛ්‍යාව අද (08) සිට 302 දක්වා වැඩි කර තිබෙනවා.

මේ අතර එංගලන්තයෙන් ප්‍රථම වරට හඳුනා ගත් ‘බී 117’ හෙවත් ‘ඇල්ෆා විකෘති ප්‍රභේදය’ ඇමරිකාවේ සුනඛයන්ට සහ බළලුන්ට ද ආසාදනය වී තිබෙනවා.

මෙම විකෘති ප්‍රභේදය එම සතුන් අතරින් වාර්තා වූ පළමු අවස්ථාව බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම පූර්ණ එන්නත්කරණයට ලක් වූ විදෙස් සංචාරකයන් සඳහා දින 600 කට පසු ඇමරිකාව සිය දේශ සීමාවන් අද සිට යළි විවෘත කළා.

+++++++++++++++++++

6 සිට 9 දක්වා ශ්‍රේණි ආරම්භය ගැන තීරණය ලබන සතියේ

(08.11.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන සතියේ තීරණය කරනු ඇති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ෴

+++++++++++++++++

එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා නොගෙන එළියට ගියහොත් නීතිමය පියවර

(08.11.2021 – 14:35 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගියහොත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අදාළ තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති අතර, ඉදිරියේදී මෙම නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මෙරට කොරෝනා ආසාදිතයින් අතරින් තවත් 312 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 5,15,495 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 15,905 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 512 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 5,45,768 ක් ෴

තවත් කොරෝනා මරණ 19 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු මරණ ගණන 13,875 ක් ලෙස ඉහළ යනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 167 ක් මෙරටින් වාර්තා වීමත් සමඟ අද (08) දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 679 ක් වනවා. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 5,45,935 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *