කහටගස්දිගිලිය කුරුක්කුරාගම මුස්ලිම් ගම්මාන ප්‍රදේශයේදි පොලිස් නිලධාරින්ට ප්‍රහාරයක් එල්ලවේ

කහටගස්දිගිලිය කුරුක්කුරාගම මුස්ලිම් ගම්මාන ප්‍රදේශයේදි පොලිස් නිලධාරින්ට ප්‍රහාරයක් එල්ලවේ

*********************************************

කහටගස්දිගිලිය කුරුක්කුරාගම මුස්ලිම් ගම්මාන ප්‍රදේශයේදි පොලිස් නිලධාරින්ට ප්‍රහාරයක් එල්ලවේ

(07.11.2021 – 20:39 +0530 – lankaleadnews.com)

ඊයේ (06) කහටගස්දිගිලිය කුරුක්කුරාගම මුස්ලිම් ගම්මාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොළිස් නිලධාරීන්ට පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තාවේ.

අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ එම වැටලීමේදී හොරොයින් ග්‍රෑම් 27 ක් සමග 18 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු (2) අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එසේම මේ වන විට පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවන් 06 දෙනෙකු ඒ අතර වන බව පොලීසිය පවසයි.

සැකකරුවන් සහ සැකකාරියන් අද (07) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

******************************************

ගරු පොලිස්පතිතුමනි, ඔබගේ අවධානයට !

(06.11.2021 – 20:28 +0530 – lankaleadnews.com)

පසුගිය 04 වෙනිදා මීගමුව කොළඹ පාරේ මහබාගේ ප්‍රදේශයේදී ඇතිවු රිය අනතුර සිදු කළ බාල වයස්කාර දරුවා නිදහස්කර යැවීමට උත්සහා කරණ පොලිස් නිලධාරියෙකු ඉන්නා දර්ශන අඩංගු වීඩියෝවක් සමාජ ජාලා පරිශීලකයන් අතර සංසරණය වේ.

රැස්ව සිටි ජනයාගේ විරෝධය හමුවේ සැකකාර දරුවා නිදහස් නොකරණ නමුදු පොලිස් නිලධාරියා “වාහනය තියෙනවානේ මහත්තයා” යනුවෙන් පැහැදිලිව ප්‍රකාශ කරණු එම විඩියෝ දර්ශන නැරඹීමේදී පැහැදිලිව ශ්‍රවනය වේ. මාරාන්තික බරපතල රිය අන්තුරක් සිදු කළ බාලවයස්කාර සැකකරුවෙකු මෙතරම් සරලව නිදහස් කර යැවීමට උත්සහා ගැනීම සම්බන්ධයෙන් සාධරණ පරීක්ෂණයක් කළ යුතුය යන්න අපගේ අදහසයි.

******************************************

අදත් (08) දිවයිනේ ප්‍රදේශ රැසකට ම වැසි

(08.11.2021 – 06:33 +0530 – hirunews.lk/sinhala)

දිවයින ආසන්නයේ පවතින සුළං අභිසාරී කලාපයේ බලපෑම් හේතුවෙන් බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලටත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 150 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ඌව සහ උතුර පළාත්වලටත්, මාතලේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

මේ අතර, ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ තද වැසි සමග විටින් විට පැයට කිලෝමීටර් 60 – 70 දක්වා වූ තද සුළං ඇති විය හැකි බැවින් අද (08) පස්වරුවේ සිට නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම බදුල්ල, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 8 සදහා නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

කළු, කැලණි, ගිං, නිල්වලා ගංඟා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් පහත්බිම් අවට සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ සුගීෂ්වර සීනිපැල්ලගේ මහතා ඉල්ලා සිටියේ.

හෙට (09) දිනයේත් පළාත් කිහිපයකට මිලිමීටර 150 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න කියා සිටියා.

ඊයේ (07) පෙරවරු 08:30 සිට මේ දක්වා කාලය තුළ බුලත්සිංහල පාලින්දනුවරට මිලිමීටර 130.5 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

ඊට අමතරව නිට්ටඹුව – වතුපිටිවලට මිලිමීටර 100 ක සහ මීරිගම – පත්තලගෙදරට මිලිමීටර 96.5 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

******************************************

පිටබැද්දර දී මනුෂ්‍ය ඝාතනයක්

(08.11.2021 – 06:41 +0530 – hirunews.lk/sinhala)

පිටබැද්දර පොලිස් වසමේ නමුනුකුලවත්ත තැන්නහේන ලැයිමට යන මාර්ගයේ දී රාත්‍රී ජංගම සංචාරය කරන පොලිස් නිලධාරින් විසින් මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

කැපුම් තුවාල සහිත ව මාර්ගය අසල දමා ගොස් තිබියදියි මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් සොයාගෙන නැති බව වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පිටබැද්දර පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

******************************************

විශේෂ පාර්ලිමේන්තු දිනයේ අසන ප්‍රශ්න 50 බෙදී යන්නේ මෙහෙමයි

(08.11.2021 – 07:04 +0530 – hirunews.lk/sinhala)

මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 50 ක් සඳහා අවස්ථාව ලබාදීම අද (08) විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය කාලයේ පාර්ලිමේන්තුව නියමිත ලෙස රැස්වීමට නොහැකි වීමෙන්,, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න සඳහා මෙසේ අවස්ථාව ලබා දීමට තීරණය කෙරුණේ පසුගිය 21 වැනි දින රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.

මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුර අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට පමණක් විශේෂ පාර්ලිමේන්තු දින 2 ක් වෙන් කිරීමට, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට යෝජනා කෙරුණා.

ඒ අනුව මීට පෙර පැවති පාර්ලිමේන්තු සභා වාරයේදී (04) වැනිදා සඳුදා දින විශේෂ පාර්ලිමේන්තු දිනයක් ප්‍රකාශ කළ අතර, එහිදී මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න 40 ක් සඳහා අවස්ථාව ලබා දුන්නා.

මේ අතර, අද (08) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී යොමු කිරීමට නියමිත ප්‍රශ්න අතර, අග්‍රාමාත්‍යවරයා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික, මහාමාර්ග, ධීවර, කර්මාන්ත, ඉඩම්, බලශක්ති, වැවිලි, තරුණ හා ක්‍රීඩා යන අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න 02 බැගින් විමසෙනු ඇති.

එක් (01) ප්‍රශ්නය බැගින් ආරක්ෂක, වාරිමාර්ග, විදේශ, ප්‍රවාහන, විදුලිබල, වෙළෙඳ, ජනමාධ්‍ය, පරිසර, සංචාරක හා අධිකරණ අමාත්‍යවරුන්ගෙන් ඇසීමට නියමිත අතර, ප්‍රශ්න 03 බැගින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයාගෙන් ද, මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 04 ක් ද, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න 05 ක් සහ ප්‍රශ්න 06 ක් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ද මෙහිදී විමසීමට නියමිතයි.

ඒ අනුව මෙම කැබිනට් අමාත්‍යවරුන් වෙත ප්‍රශ්න යොමුවී ඇති අතර වැඩි ම ප්‍රශ්න සංඛ්‍යාව වන ප්‍රශ්න 06 ක් යොමු වී ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යවරයා වෙතය ෴

******************************************

මීගමුවේ දී ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් සිවු දෙනෙකු (4) අත් අඩංගුවට

(08.11.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

මීගමුව පොලිස් වසමේ කුරණ ප්‍රදේශයේ දී මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදු කෙරුණු වැටලීමකින් ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.

ලැගුම්හලක මුවාවෙනුයි මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇත්තේ.

එහි දී ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක හා ගණිකා සේවයේ යෙදීම සම්බන්ධ සැකකාරියන් තිදෙනෙකු (3) අත් අඩංගුවට පත් වුණු බව වාර්තා වෙනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 26 ත් 50 ත් අතර වයස්වල පසු වෙන අත්තනගල්ල, දෙහිඅත්තකණ්ඩිය, කල්පිටිය හා නුගවෙල ප්‍රදේශවල පදිංචිකාරිනියන් පිරිසක්.

අදාළ සැකකාර පිරිස අද (08) දින මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මීගමු පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

******************************************

රුපියල් කෝටියක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට

(08.11.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙය වන බව කියන ‘පානදුර සලිදු’ නැමැත්තාගේ ගෝලයෙකු රුපියල් කෝටියක (1,00,00,000) පමණ වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මත්කුඩු සහ මත්පෙති ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පානදුර – මාලමුල්ල මාර්ගයේ කුරුක්කුමුල්ල තැපැල් කාර්යාලය අසල දී ඊයේ (07) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි දී ඔහු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු ඇසුරුම් 3600 ක් සොයාගෙන තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට බෙදාහැරීම සඳහා රැගෙන යමින් සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ ෴

******************************************

10 සිට 13 දක්වා ශ්‍රේණි අද (08) ඇරඹේ

(08.11.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සියලු පාසල්වල 10 ශ්‍රේණියේ සිට 13 වන දක්වා, ශ්‍රේණි අද (08) ආරම්භ කිරීමට නියමිතයි.

ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඉලක්ක කර ගනිමින් 10, 11, 12 සහ 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කිරීමට කොවිඩ් මර්දන කමිටුවෙන් ලැබුනු නිර්දේශවලට අනුව මෙලෙස පාසල් විවෘත කරන බවයි.

ඒ අනුව පාසල තුලදීත් මුහුණු ආවරණ පැලඳීම, දෑත් විෂබීජහරණය සහ සිසුන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම යන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්ය වනවා.

කොරෝනා වසංගතය හමුවේ වසර දෙකක (2) පමණ කාලයක් දිවයිනේ පාසල් වරින් වර වසා දමා තිබූ අතර වසංගත තත්ත්වය යම් මට්ටමකට පාලනය වීමත් සමග දිවයින පුරා සියලු‍ පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය මස 25 වැනි දා ආරම්භ කෙරුණා.

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මෙන්ම අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට අදාළ කටයුතු පිළිබඳව ද මේ වනවිටත් අවධානය යොමුව තිබෙනවා.

මේ අතර, දැනට ආරම්භ කෙරෙන මේ වසරේ අවසන් පාසල් වාරය ලබන වසරේ මාර්තු 31 දක්වා දීර්ඝ කරන ලෙස ජාතික අධ්‍යාපන ආයතනය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම, කොරෝනා වසංගතය හේතුවෙන් මඟ හැරුණු පාසල් විෂය නිර්දේශ සති 20 කින් ආවරණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කළ බවයි ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රේණි දෙකකට (2) අදාළව මඟ හැරුණු විෂය නිර්දේශ සති 20 ක් තුළ ආවරණය කර ඉහළ ශ්‍රේණියට දරුවන් සමත් කර ඉගෙනුම් සිදු කිරීමට නියමිතයි.

මේ අතර, ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව හා රටේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා හෙට (09) ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

සෑම අධ්‍යාපන කලාප කාර්යාලයක් ඉදිරිපිට එක්වෙමින් මෙම විරෝධතාව සිදු කිරීමට නියමිත බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලින් සඳහන් කළේ ෴

******************************************

තල් සංවර්ධන මණ්ඩලයෙන් තල් පැළ දහසක් (1000)

(08.11.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය – පුනරීන් කලපු ප්‍රදේශයේ තල් පැළ දහසක් (1000) සිටුවීම තල් සංවර්ධන මණ්ඩලයේ දායකත්වයෙන් සිදුකර තිබෙනවා.

ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ සහ ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් මෙම තල් පැළ සිටුවීම ඊයේ (07) සිදු කෙරුණු අතර, යුද සමයේ සහ ඉන් පසුව සිදු කෙරුණු සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් තල් විශාල ප්‍රමාණයක් විනාශ වීම හේතුවෙන් ඊට පිළියම් ලෙසයි මෙලෙස තල් ගස් දහසක් රෝපණය කර ඇත්තේ ෴

******************************************

චීන පොහොර සමාගම ශාක නිරෝධායන සේවයෙන් ඩොලර් මිලියන අටක (8) වන්දි ඉල්ලයි

(08.11.2021 – 08:02 +0530 – hirunews.lk/sinhala)

විද්‍යාත්මක පරීක්ෂණ ප්‍රතිඵල උල්ලංඝනය කරමින් පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම සහ සාවද්‍ය පරීක්ෂණ ප්‍රතිඵල පිළිබද වැරදි ප්‍රචාරණයන් සිදු කිරීම සම්බන්ධයෙන් ජාතික ශාක නිරෝධායනයෙන් ඩොලර් මිලියන අටක (8) වන්දි ඉල්ලා මතභේදයට තුඩුදුන් චීන පොහොර සමාගම එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

ජාතික නිරෝධායන සේවයේ නොසැළකිලිමත් ක්‍රියාකලාපය සහ අසත්‍ය වාර්තා හේතුවෙන් තමන්ට අලාභයක් සිදුව ඇති බවයි ඔවුන් අදාළ එන්තරවාසිය යොමු කරමින් සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවට ලබාදීමට රැගෙන ආ ‘හිපෝ ස්පිරිට්’ නෞකාවේ අඩංගු කාබනික පොහොරවල ‘අර්වීනියා’ නම් හානිකර බැක්ටීරියා නොමැති බවත් එහි ඇතුළත් වන්නේ ඉතා ආරක්ෂිත සහ ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් කාබනික පොහොර බවත් ‘චීන ක්වින්ඩාඕ සීවින්’ සමාගම එම එන්තරවාසියෙන් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම එන්තරවාසිය ලැබී දින තුනක් (3) තුළ අදාළ වන්දි මුදල් ගෙවිය යුතු බවට ද එහි සඳහන් කර ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් අදාළ එන්තරවාසිය ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් අප ජාතික නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා ගෙන්ගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ මේ දක්වා එය නිල වශයෙන් තමන් වෙත නොලැබුණු බවයි ෴

******************************************

හබරණ සෆාරි ජිප් රථය අනතුරට හේතුව හෙළි වේ

(08.11.2021 – 08:07 +0530 – hirunews.lk/sinhala)

හබරණ – හුරුළු පාරිසරික උද්‍යානයේදී සෆාරි ජිප් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙකුට (1) මරු කැදවමින් තවත් අට දෙනෙකුට (8) තුවාල සිදු වූ අනතුර සම්බන්ධයෙන් සෆාරි ජිප් රථයේ රියදුරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඒ, අදාළ ජිප් රථයේ නියමිත ප්‍රමාණය ඉක්මවා පුද්ගලයන් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මතයි.

ඊයේ (07) පස්වරුවේ හුරුළු‍ පාරිසරික උද්‍යානයේදී සෆාරි ජිප් රථයකට පහරදීමට වනඅලියෙකු පැමිණි අවස්ථාවේ ජීප් රථය පසුපසට ධාවනය කිරීමේදී එය පෙරළීමෙන් අනතුර සිදුව තිබුණා.

එහිදී පුද්ගලයෙකු මිය ගොස් ළමයින් 4 දෙනෙකු ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් දෙදෙනෙකුගේ (2) තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලැබූවන් අතර, ජීප් රථයේ රියදුරු ද වනවා.

සෆාරි ජිප් රථයක ප්‍රවාහනය කළ හැක්කේ 6 දෙනෙකු පමණක් වන අතර, මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ එහි 11 දෙනෙකු ගමන් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ ෴

******************************************

බඩල්කුඹුරෙන් හමු වූ හිස් කබල වේල්ලවීදියෙන් හමු වූ හිස සුන් කාන්තාවගේ දැයි සැකයක්

(08.11.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

බඩල්කුඹුර – පස්සර ප්‍රධාන මාර්ගයේ අලුපොත ප්‍රදේශයේ තිබී මිනිස් හිස් කබලක් හමු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, කිලෝමීටර් 11 කණුව ආසන්නයේ පාළු ඉඩමක තිබී මෙම හිස් කබල සොයා ගත් බවයි.

මීට මාස කිහිපයකට පෙර කොළඹ – වේල්ලවිථිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී හමු වූ කවන්ද කාන්තා මළසිරුර හා මෙම සොයා ගත් මිනිස් හිස් කබල අතර සම්බන්ධයක් පවතින්නේ ද යන්න පිළිබදව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පදිංචිව සිටියේ ද බඩල්කුඹුර ප්‍රදේශයේ බැවින් ඊට අදාළව විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

(Photo from gossiplankanews.com)

මේ අතර, කාන්තාවක් ඝාතනය කර එම මළසිරුර ගමන් බෑගයක දමා සපුගස්කන්ද ප්‍රදේශයේ කසළ ගොඩකට දමා යාමේ සිද්ධියට අදාළව මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

සපුගස්කන්ද – මා බිම ප්‍රදේශයේ කසල එක්රැස් වී ඇති ස්ථානයක තිබියදී අත් පා ගැට ගසා ගමන් බෑගයකට දමා තිබූ මළසිරුරක් හමුවූයේ පසුගිය 04 වැනිදායි.

මියගොස් ඇත්තේ, මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 44 හැවිරිදි ‘මොහොමඩ් සාෆී ෆාතිමා මුම්ටාස්’ නැමැති කාන්තාවක් බව පසුව තහවුරු වුණා.

සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ ඊයේ (07) මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී නියෝග කෙරුණේ අද (08) දක්වා රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි.

මේ අතර, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට නියමිත අනෙක් පුද්ගලයා ඝාතනයට ලක් වූ ‘ෆාතිමා මුම්ටාස්’ගේ ජංගම දුරකතනය ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකුට විකුණා මුදල් ලබාගෙන ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *