විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයකට යාමේ සූදානමක්

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයකට යාමේ සූදානමක්

*********************************************

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයකට යාමේ සූදානමක්

(07.11.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේ දී හදිසි වැඩ වර්ජනයකට යාමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා.

ඒ යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමේ ගිවිසුමට එරෙහිවයි.

කෙසේ වෙතත් දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයකට යාමේ සූදානමක් නොමැති බවයි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ.

මෙලෙස වැඩ වර්ජනයකට යාමෙන් රටේ ජනතාව දැඩි අපහසු තාවයකට පත්වන බවත් රජය විසින් මීට නිසි පිළිතුරු ලබා දිය යුතු බවයි හිරු ප්‍රවෘත්ති අංශයට ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

******************************************

ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරකයන් දැනුම්වත් කිරීමට විශේෂ වැඩසටහනක්

(07.11.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයින්ට රට විවෘත කිරීමත් සමඟ ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සංචාරක අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ, සඳහා සහභාගිවීමට ඉන්දියාවේ සහ නෝර්වේ මාධ්‍යවේදීන් 10 දෙනෙකු පමණ මේ වනවිටත් දිවයිනට පැමිණ ඇති අතර, ඉදිරි මාස දෙක (2) තුළ තවත් මාධ්‍ය ක්‍රියාකාරීන් 25 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිතයි.

දිවයිනට පැමිණ සිටින මාධ්‍ය කණ්ඩායමේ අටදෙනෙකු (8) මේ වනවිට උතුරේ විශේෂ සංචාරයක නිරතව සිටින බවද සඳහන්.

යුද්ධයෙන් පසු උතුරේ වත්මන් තත්වය මෙන්ම කොරෝනා පාලනයත් සමඟ සංචාරකයින්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් ඔවුන් අධ්‍යයනයක නිරතව සිටින බවයි වාර්තාවන්නේ ෴

******************************************

මහ පරිමාණ වන රක්ෂිත විනාශයක් ගැන පළවන වාර්තා අසත්‍ය බව රජය කියයි

(07.11.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ගතවූ වසර දෙක (2) තුළ රක්ෂිත තුළ වැඩිම වන විනාශයක් සිදුව ඇති බවට සමීක්ෂණ වාර්තාවලින් හෙළිවී ඇතැයි මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අවශේෂ කැලෑ ඉඩම් පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලතල ලබා දීමේ චක්‍රලේඛය හේතුවෙන් අනුරාධපුර, පොළොන්නරුව, වව්නියාව, මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල වන විනාශය සිදුව ඇති බවට වාර්තා පළවී තිබූ බවයි.

කෙසේ වෙතත් අදාළ දිස්ත්‍රික්කවල ලේකම්වරුන් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන්.

එසේම අනවසර කැලෑ එළිකිරීම් සම්බන්ධ තොරතුරු වාර්තාවන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාකිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය ලබාදී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ වාර්තාවන්ට අනුව වැඩිම වන විනාශයක් සිදුව ඇති දිස්ත්‍රික්ක ලෙසට නම්කර ඇත්තේ අනුරාධපුර, පොළොන්නරුව, වව්නියාව, මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්‍රික්කයි.

එම දිස්ත්‍රික්වල වන විනාශයට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ අවශේෂ කැලෑ ඉඩම් පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලතල දීමේ චක්‍රලේඛය බවයි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශකර ඇත්තේ අනුරාධපුර අවශේෂ කැලෑ ඉඩම් එළි කිරීම් සම්බන්ධයෙන් තමන් වෙත වාර්තා වී නොමැති අතර අනවසර කැලෑ එළි කිරීම් පිළිබඳ දැඩිව ක්‍රියා කරන ලෙසට දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම් දී ඇති බවයි.

ප්‍රාදේශීය ලේකම්වරුන් භාරයේ පවතින අවශේෂ වනාන්තර විනාශ වීමක් පිළිබඳ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙතෙක් සිදුව නොමැති අතර එවැනි දැනුම්දීමක් තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කරනවා.

******************************************

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් CCD අත්අඩංගුවට

(07.11.2021 – 14:23 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන නිලධාරිනියක් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යතුරුපැදි 3 කට අදාළව ව්‍යාජ ලියාපදිංචි සහතික සකස් කර මුද්‍රණය කිරීම සහ පැවරීමේ චෝදනාව මතයි ෴

******************************************

තවත් දිස්ත්‍රික්ක දෙකකට (2) නාය යාමේ අනතුරු ඇගවීම්

(07.11.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට අමතරව තවත් දිස්ත්‍රික්ක 2 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙක (2) ද අලුතෙන් ඇතුළත් කරමින්.

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, රත්නපුර සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ඒ අවට ප්‍රදේශවල ජනතාවටත් අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.

මේ අතර වැසි තත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ දිවයින ආශ්‍රිතව සුළං අභිසාරී කලාපයක් වර්ධනය වීම නිසා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂිකා ශිරෝමනි ජයවර්ධන මහත්මිය සදහන් කළේ ඒ අනුව අද (07) සහ ඉදිරි දින තුනේදීත් (3) ඉහළ වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවයි.

අද (07) දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුර යන පලාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල විටින් විට වැසි බලාපොරොත්තු විය හැකි බවද ඇය වැඩිදුරටත් සදහන් කළා.

අධික වර්ෂාව හේතුවෙන් කළුගඟේ ජල මට්ටම ඉහල ගොස් ඇති අතර එය මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ළඟාවී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කළුගඟ සහ දැදුරු ඔය ආශ්‍රිතව පසු ගිය පැය 24 ක කාලය තුල වැඩිම වර්ෂාපතනයක් වාර්තාවී ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

කාසල්රී සහ මාවුස්සාකැළේ ජල පෝෂකවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු තුනක් (3) විවෘත කර තිබෙන අතර නොර්ට්න් බ්‍රිජ්, විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දැමීම ආරම්භ කර ඇති බවයි නුවර එළිය ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.

මේ අතර ඉහල කොත්මලේ ජල පෝෂක වලට ඊයේ (06) සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ එක් (1) වාන් දොරටුවක් අද (07) පෙවරුවේ විවෘත කෙරුනා.

එමෙන්ම, රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් (2) ද විවෘත කර ඇති බව සදහන්.

එමෙන්ම බණ්ඩාරවෙල සිට අඹේගොඩ දක්වා මාර්ගය ගසක් කඩා වැටීම හේතුවෙන් විදුලි කණු 06 කට සහ දුරකථන රැහැන්වලට හානි සිදුව ඇති අතර එම මාර්ගයේ ගමනාගමනය පැය කිහිපයකට නවතා දමා තිබුනා.

ඊයේ (06) සහ අද (07) අලුයම ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ කුඩා වැව් කිහිපයක් වාන් මට්ටමද පැමිණ තිබෙනවා.

මේ හේතුවෙන් මහකන්නයේ වගාකළ කුඹුරු රැසක් ජලයෙන් යටවී තිබුණා. ඒ අනුව ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ කුඹුරු අක්කර 50 කට අධික ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇති අතර ගොවීන් ඉල්ලා සිටින්නේ තමන්ට සහනයක් සළසා දෙන ලෙසයි ෴

******************************************

පූජ්‍ය මුරුංගස්යායේ ඤාණිස්සර නාහිමිගේ දේහයට ජනපති අගමැති අවසන් ගෞරව දක්වයි

(07.11.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

ප්‍රංශයේ ජේතවනාරාමාධිපති, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, කොළඹ මාලිගාකන්ද ව්ද්‍යෝදය පිරිවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ ආචාර්ය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ආචාර්ය පූජ්‍ය මුරුංගස්යායේ ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අවසන් ගෞරව දක්වනු ලැබුවා.

ඒ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ වීරකැටිය, විතාරන්දෙණිය, කුඩා බැදිගම ශ්‍රී සුදස්සනානන්ද විහාරය වෙත අද (07) දහවල් පැමිණි අවස්ථාවේදීයි.

එහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විහාරස්ථ සහ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, දායක සභාව ඇතුළු ප්‍රදේශවාසීන් වෙත සිය සාතිශය සංවේගය ද පළ කළා.

මෙම අවස්ථාවට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු පිරිසක් එක් වුණා.

******************************************

රුපියල් කෝටි 11 ක බාල ඖෂධ මෙරටට ගෙන්වීම ගැන රවී කුමුදේෂ් ගෙන් හෙළිදරව්වක්

(07.11.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala)

2020 විගණන වාර්තාව අනුව මෙරටට නිසි ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ආනයනය කර ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා චෝදනා කළේ, ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම පමණක් නොව, එලෙස ගෙන්වූ ඖෂධ පොළොන්නරුව රෝහල වෙත ලක්ෂ 06 ක තොගයක් ලබා දී ඇති අතර, එයින් ලක්ෂ 05 ක් මේ වනවිට රෝගීන් වෙත ද නිකුත් කර ඇති බවයි.

ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු අහිතකර ද්‍රව්‍ය අඩංගු මෙම බාල ඖෂධ මේ වනවිට අසරණ රෝගීන් භාවිත කර ඇති බවත්, නිසි ප්‍රමිතියකින් තොර ඖෂධ භාවිත කිරීම තුළින් ජනතාවගේ ජීවිත වෙනුවෙන් කිසිදු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් හෝ වගකිව යුතු බලධාරියෙකු වග නොකියන බව ද සභාපතිවරයා පෙන්වා දෙනවා.

මෙරට තුළ භාවිත වන ඖෂධ සම්බන්ධයෙන් වගකිව යුතු අමාත්‍යවරයෙකු පත් කර සිටිය ද, ඔහු කිසිදු අයුරකින් ඊට වගකීම භාර නොගන්නා බවත්, බාල ඖෂධ ගෙන්වීම ද පෙර පැවති රජයේ වරදක් ලෙස පවසා එම වරද නිවැරදි නොකරන බවටත් සභාපතිවරයා ප්‍රකාශ කරනවා.

එමෙන්ම මේ වනවිට ඖෂධ සම්බන්ධයෙන් වෙනම අමාත්‍යාංශයක් පිහිටුවීම සිදු කෙරුණ ද, එතුළින් කිසිදු සෙතක් සිදු නොවීම සහ ඖෂධ සංස්ථාවල දත්ත මැකීම වැනි දූෂිත සිද්ධීන් මගින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල අපකීර්තියක් ඇති වී තිබෙන බවයි හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

රට තුළ ඖෂධ නිෂ්පාදන ඇනහිට ඇති අතර, ඖෂධ ගෙන්වීමේදී මෙන්ම සෞඛ්‍ය උපකරණ කට්ටල ගෙන්වීමේ ක්‍රියාවලිය තුළ දී ද විශාල ලෙස අක්‍රමිකතා සිදු ව ඇති බවටයි සභාපතිවරයා පවසන්නේ.

එබැවින් වෙනම අමාත්‍යාංශයක් පිහිටුවා රටේ ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් බලාපොරොත්තු වන්නේ සුබදායී පිලිතුරක් මිස, තව තවත් අක්‍රමිකතා සිදු නොවීම බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

තාක්ෂණික ඇගයීම් කමිටුවල වංචාසහගත තීරණ නිසා, කොවිඩ් PCR ප්‍රතික්‍රීයක වැඩිමුදලට ගැනීම හේතුවෙන්, මාස කිහිපයක දී රුපියල් මිලයන 125 ක් රජයට අහිමි වී ඇති බව ද සභාපතිවරයා සඳහන් කරනවා.

මෙම ඖෂධ අක්‍රමිකතා හෝ මාෆියා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා හෝ කිසිදු පරිපාලන දැනුමකින් තොර සෞඛ්‍ය ලේකම්වරා හෝ ඊට අවශ්‍ය පිළියම් ලබා නොදෙන බව දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ ෴

******************************************

විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක්

(07.11.2021 – 16:26 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියා ලබාදෙන බව පවසා වංචනික ලෙස මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබදව තොරතුරු වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.

දකුණු කොරියාව, ජපානය සහ ඊශ්‍රායලය යන රටවල රැකියා සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන බදවා ගැනීමේ වැඩසටහන යටතේ රැකියා ලබාදෙන බව පවසමින් මෙම මුදල් ජාවාරම සිදුකර ඇති බව සඳහන්.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ දකුණු කොරියාවේ රැකියා සඳහා බදවා ගැනීම් හා පුහුණු කිරීම් එම කාර්යාංශය මගින් පමණක් විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදුකරන බවයි.

එමෙන්ම, ජපානයේ හා ඊශ්‍රායලයේ රැකියා සඳහා ද බදවා ගැනීම් සිදු කරනු ලබන්නේ දෙරට අතර එළඹ ඇති ගිවිසුමට අනුව අවසරලත් බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන මගින් පමණක් බව ද කාර්යාංශය ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් වංචනික පුද්ගලයින්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම්දෙනවා ෴

******************************************

අයහපත් කාළගුණය හේතුවෙන් 5 දෙනෙකු ජීවිතක්ෂයට

(07.11.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාළගුණය හේතුවෙන් පවුල් 1143 ක පුද්ගලයන් 4391 දෙනෙකු බලපෑමට ලක්ව සිටින අතර පුද්ගල මරණ 05 ක් වාර්තා වී තිබෙනවා. නිවාස 635 කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති අතර පූර්ණ හානි සිදුව ඇති නිවාස ගණන 12 ක් ෴

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඉදිරි පැය 36 තුළ මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම වයඹ සහ උතුර පළාත්වලත් මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.

ඊට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

******************************************

නිධන් හැරූ පොලිස් සැරයන්වරයා ඇතුළු සිව්දෙනා (4) රිමාන්ඩ්

(07.11.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

තෙල්දෙණිය – මැද මහනුවර ප්‍රදේශයේ නිධන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ඇතුළු 4 දෙනා ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද (07) තෙල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම පොලිස් සැරයන්වරයා 58 හැවිරිදි කටාන පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව සේවය කරන අයෙක්.

ඔහු සමඟ අත්අඩංගුවට පත් සෙසු පුද්ගලයින් තිදෙනා (3) සැරයන්වරයාගේ සොහොයුරන් බවටයි පොලීසිය ප්‍රකාශ කළේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

සෞඛ්‍ය උපදෙස් කඩ කරන අය සොයා බස්නාහිර විශේෂ මෙහෙයුමක්

(07.11.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා ඊයේ (06) පැය 2 ක කාලයක් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ මාර්ගෝපදේශ අනුගමනය නොකළ මගී ප්‍රවාහන බස් රථ 334 කට සහ වායු සමනය කළ බස් රථ 69 ක රියදුරන් සඳහා මෙන්ම වෙළඳසැල් 507 ක් සඳහා අවවාද කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙම මෙහෙයුමට පොලිස් නිලධෘරීන් 469 ක් එක්ව තිබෙනවා.

මෙහෙයුමේදී මගී ප්‍රවාහන බස් රථ 1005 ක්, වායු සමනය කළ බස් රථ 216 ක්, සිල්ලර වෙළඳසැල්, ඔසුසැල් සහ වෙනත් කුඩා වෙළඳසැල් 1312 ක් මෙහිදී පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඊයේ (06) දහවල් 12 සිට පස්වරු 2 දක්වා කාලය තුල ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම මගින් මගී ප්‍රවාහන බස් රථවල ආසන ධාරිතාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන්නේ ද යන්න පරීක්ෂා කිරීම, මගී ජනතාව නිවැරදිව නාසය සහ මුඛය වැසෙන පරිදි මුව ආවරණ පැළඳ සිටීම, වායු සමනය කළ මගී ප්‍රවාහන බස් රථ තුලට වාතාශ්‍රය නිසි ලෙස ලැබෙන පරිදි ජනෙල් වීදුරු විවෘත කර තිබීම, සිල්ලර වෙළඳසැල් ඔසුසැල් සහ වෙනත් කුඩා වෙළඳසැල් තුලට ඇතුලුවිය හැකි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව සහ ඒවායේ පිටත දැන්වීමක් ප්‍රදර්ශණය කර තිබීම මෙන්ම වෙළඳසැල් තුල සිටිය හැකි ප්‍රමාණයට පමණක් ගනුදෙනුකරුවන් ඇතුලත් කරගෙන තිබේ ද යන්න පරීක්ෂා කිරීම මෙම මෙහෙයුමේ අරමුණ වූ බව පොලිසිය කියාසිටියා ෴

++++++++++++++++++

ආසාදිතයින් 458 ක් මෙරටින් හමුවේ

(07.11.2021 – 17:08 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත 458 දෙනෙකු අද (07) දිනයේදී හඳුනාගෙන තිබෙනවා. ඒ සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ මුළු සංඛ්‍යාව 5,45,088 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ෴

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 271 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද (07) දිනයේදී පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට වෛරසය ආසාදිතව සුවය ලද මුළු සංඛ්‍යාව 5,15,183 ක් දක්වා ඉහළ යනු ඇති ෴

+++++++++++++++++

තවත් ෆයිසර් එන්නත් තොගයක් මෙරටට

(07.11.2021 – 17:18 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට සමගාමීව තවත් ෆයිසර් එන්නත් තොගයක් අද (07) පස්වරුවේ දිවයිනට රැගෙන ආවා.

එලෙස ගෙන ආ ෆයිසර් එන්නත් තොගය දෙලක්ෂ දෙදහසක් (2,02,000) බවයි රාජ්‍ය ඖෂධ සංස්ථාව නිවේදනය කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *