ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුවළ රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ

ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුවළ රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ

*********************************************

ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් යුවළ රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ

(07.11.2021 – 12:21 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවක් ඝාතනය කර එම මළ සිරුර ගමන් බෑගයක දමා සපුගස්කන්ද ප්‍රදේශයේ කසළ ගොඩකට දමා යාමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අඹු සැමි යුවල අද (07) මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී නියෝග කෙරුණේ හෙට (08) දිනය දක්වා රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි.

මේ අතර අදාල ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව අඹුසැමි යුවල පදිංචිව සිටි නිවසෙන් පළා යෑම සඳහා භාණ්ඩ ප්‍රවාහනය කළ අවස්ථාවේ CCTV දර්ශනද ලැබී තිබෙනවා.

සපුගස්කන්ද – මා බිම ප්‍රදේශයේ කසල එක්රැස් වී ඇති ස්ථානයක තිබියදී අත් පා ගැට ගසා ගමන් බෑගයකට දමා තිබූ මළසිරුරක් හමුවූයේ පසුගිය 04 වැනිදායි.

මියගොස් ඇත්තේ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 44 හැවිරිදි ‘මොහොමඩ් සාෆී ෆාතිමා මුම්ටාස්’ නැමැති කාන්තාවක් බව පසුව තහවුරු වුණා.

ඝාතනයට ලක් වූ ‘ෆාතිමා මුම්ටාස්’ මුදලට සූදූ ක්‍රීඩා කළ සහ මුදල් පොලියට ලබා දෙන කාන්තාවක් බවද විමර්ශනවලදී හෙළි වී තිබුණා.

ඒ අනුව වැඩිදුර විමර්ශන සිදුකළ සපුගස්කන්දලබ්ලුමැන්ඩල්, මාළිගාවත්ත සහ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ මගින් මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ පදිංචි ‘රොසානා’ නම් කාන්තාවක් සහ ඇගේ සැමියා ගනු ලැබුවා.

ඒහිදි අණාවරණ වුණේ ඝාතනයට ලක් වූ කාන්තාව 28 වැනිදා පස්වරු 3 ට පමණ ත්‍රී රෝද රථයක නංවාගෙන පැමිණ ඇත්තේ මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ පදිංචි සැකකාර ‘රොසානා’ගේ නිවස වෙත බවයි.

එහිදී ‘ෆාතිමා මුම්ටාස්’ මුදලට සූදූ ක්‍රීඩාවේ නිරත වී ඇති අතර මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටයි විමර්ශකයින් සැක පළ කරන්නේ.

ආරවුල අතරතුර ‘ෆාතිමා මුම්ටාස්’ගේ ගෙල සිර කර ඝාතනය සිදු කරන්නට ඇති බවටද විමර්ශකයින් සැක පළ කරනවා.

එළෙස පසුගිය මස 28 වැනිදා ඝාතනයට ලක් වූ ‘ෆාතිමා මුම්ටාස්’ගේ මළ සිරුර ඊට පසු දින, එනම් 29 වැනිදා පෙරවරුවේ මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ ‘රොසානා’ නැමැත්තියගේ නිවසේ සිට ගමන් බෑගයක දමා රිදී පැහැති සම්පූර්ණයෙන් ආවරණය කරන ලද ලොරි රථයකින් සපුගස්කන්ද ප්‍රදේශයේ කසළ ගොඩ දෙසට ප්‍රවාහනයකර තිබෙනවා.

ලොරි රථයේ තිබූ මල සිරුර සහිත ගමන් මල්ල අතරමගදී ත්‍රීරෝද රථයකට මාරු කොට සපුගස්කන්ද ප්‍රදේශයේ කසළ ගොඩ අසලට ප්‍රවාහණය කර ඇති බවත් විමර්ශකයින් අණාවරණ කරගෙන තිබෙනවා.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව හෙළිකරගත් එම කරුණු මත මළ සිරුර ප්‍රවාහනය කළ රිදී පැහැති ලොරි රථයද පොලිස් භාරයට ගැණුනා.

‘රොසානා’ නැමැති සැකකාර කාන්තාව සහ ඇගේ සැමියා ඝාතන සිද්ධියෙන් පසු පසුගිය 01 වැනිදා ඔවුන් පදිංචිව සිටි කුළී නිවස අතහැර පළ යාම සඳහා නිවසේ භාණ්ඩ ලොරි රථයකට පටවන අකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණා.

දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර අඹුසැමි යුවල සපුගස්කන්ද පොලිසියට භාර දීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කටයුතු කළා.

ඒ අනුව සැකකාර අඹුසැමි යුවල මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කළා.

එහිදී මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා සපුගස්කන්ද පොලිසියට අවසර ලබාදුන්නා.

සැකකරුවන් හෙට (08) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් ‘රොසානා’ගේ සහෝදරයා වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකුද මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

******************************************

කොස් ඇට බවාගැනීම සඳහා දෙමළ ජාතික සන්ධාන බළලාට ඇමරිකාවෙන් ආරාධනයක්

(07.11.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධානයට ඇමරිකාවෙන් ආරාධනයක්

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇරයුමක් මත දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් එරට සංචාරයක් සඳහා සූදානම් වනවා.

දේශපාලන කරුණු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සඳහන් කළේ.

ජනාධිපති නීතීඥ කේ. කනගීස්වරන් සහ ආචාර්ය නිර්මලා චන්ද්‍රහාසන් ද සුමන්දිරන් මන්ත්‍රීවරයා සමඟ ඇමරිකානු සංචාරයට එක්වනු ඇති.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමඟ පවත්වන සාකච්ඡාවේදී බලය බෙදාහැරීමේ ෆෙඩරල් විසඳුමක් සඳහා වන යෝජනාව මෙන්ම රජය මගින් සකස් කරන නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සඳහන් කළා.

මෙරට දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු වෙනත් රටවල ක්‍රියාත්මක ෆෙඩරල් ව්‍යුහයන් ගැටුම් විසඳාලීම සඳහා යොදාගෙන ඇති ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමුවන බවයි සුමන්දිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය 2011 වසරේදීද ආර්. සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් එක්සත් ජනපදයේ සංචාරයක නිරතවෙමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තු සහ සෙනෙට් සභිකයන් සමඟ සාකච්ඡාවල නිරතවූයේ සිය දේශපාලන අභිලාෂයන් පිළිබඳ දැනුම්වත් කිරීමටයි.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ගේ ඇමරිකානු සංචාරය එහි නායක ආර්. සම්බන්ධන් හිරු ප්‍රවෘත්ති අංශයට සනාථ කළා ෴

******************************************

ශ්‍රී ලංකාව ආශ්‍රිතව අභිසාරී කලාපයක් – අධික වැසි තත්වය තවදුරටත්

(07.11.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

වැසි තත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ දිවයින ආශ්‍රිතව සුළං අභිසාරී කලාපයක් වර්ධනය වීම නිසා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂිකා ශිරෝමනි ජයවර්ධන මහත්මිය සදහන් කළේ ඒ අනුව අද (07) සහ ඉදිරි දින තුනේදීත් (3) ඉහළ වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවයි.

අද (07) දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුර යන පලාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල විටින් විට වැසි බලාපොරොත්තු විය හැකි බවද ඇය වැඩිදුරටත් සදහන් කළා.

අධික වර්ෂාව හේතුවෙන් කළුගඟේ ජල මට්ටම ඉහල ගොස් ඇති අතර එය මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ළඟාවී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කළුගඟ සහ දැදුරු ඔය ආශ්‍රිතව පසු ගිය පැය 24 ක කාලය තුල වැඩිම වර්ෂාපතනයක් වාර්තාවී ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

කාසල්රී සහ මාවුස්සාකැළේ ජල පෝෂකවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ලක්ෂපාන ජලාශයේ වාන්දොරටු තුනක් (3) විවෘත කර තිබෙන අතර නොර්ට්න් බ්‍රිජ්, විමලසුරේන්ද්‍ර ජලාශ වාන් දැමීම ආරම්භ කර ඇති බවයි නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ.

මේ අතර ඉහල කොත්මලේ ජල පෝෂක වලට ඊයේ (06) සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ එක් (1) වාන් දොරටුවක් අද (07) පෙවරුවේ විවෘත කෙරුනා.

එමෙන්ම, රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් (2) ද විවෘත කර ඇති බව සදහන්.

එමෙන්ම බණ්ඩාරවෙල සිට අඹේගොඩ දක්වා මාර්ගය ගසක් කඩා වැටීම හේතුවෙන් විදුලි කණු 06 කට සහ දුරකථන රැහැන්වලට හානි සිදුව ඇති අතර එම මාර්ගයේ ගමනාගමනය පැය කිහිපයකට නවතා දමා තිබුනා.

ඊයේ (06) සහ අද (07) අලුයම ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ කුඩා වැව් කිහිපයක් වාන් මට්ටමද පැමිණ තිබෙනවා.

මේ හේතුවෙන් මහකන්නයේ වගාකළ කුඹුරු රැසක් ජලයෙන් යටවී තිබුණා. ඒ අනුව ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ කුඹුරු අක්කර 50 කට අධික ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වී ඇති අතර ගොවීන් ඉල්ලා සිටින්නේ තමන්ට සහනයක් සළසා දෙන ලෙසයි.

******************************************

අලි සබ්‍රි ගේ ඉල්ලා අස්වීම ලත් තැනම ලොප් වේ

(07.11.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි සිය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට ගත් තීන්දුව නැවතත් සළකා බැලීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, ඊයේ (06) ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසුවයි.

අලි සබ්‍රි සිය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස් වීමේ ලිපි දෙක (2) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (06) දිනයේ භාරදුන් බවට ඔහුගේ සමීපතම අරංචි මාර්ග වාර්තා කළා.

අධිකරණ අමාත්‍යවරයා ගේ මෙම තීන්දුවට ප්‍රධාන හේතුවක් වූයේ ‘එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපතිධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඔහුගේ අනුදැනුමකින් තොරව පත් කිරීම බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහත් කන්ස්සල්ලෙන් සිටි බවටයි වාර්තා වුනේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා සිය තීරණය ආපසු හරවා ගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපි භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවටත් වාර්තා වුනා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති මෙම සාකච්ඡාවේදී රටේ නීති සකස් කිරීමට නිශ්චිත ආයතන තිබියදී මෙවන් කාර්ය සාධක බලකා හරහා නීති සකස් කිරීමට යාම අනවශ්‍ය ගැටලු ඇති කරන්නක් බව අධිකරණ අමත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම එම පත්කිරීම් සහ එහි සංයුතිය පිළිබඳව ද තමන්ගේ පැහැදීමක් නැති බව අමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිවරයාට පවසා තිබෙනවා.

මෙහිදී අමාත්‍ය වරයාට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම බලකාය පත් කරන ලද්දේ තමාට උපදෙස් ලබා ගැනීමට පමණක් බවයි.

එසේ නොමැතිව ඒ හරහා නීති සෑදීමක් හෝ නීති වෙනස් කිරීමට කිසිදු අදහසක් නොමැති බවට ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම නීති සකස් කිරීමේ දී අනිවාර්යෙන්ම අධිකරණ අමාත්‍ය වරයා ගේ සහ ව්‍යවස්ථා දායකයේ අනුමැතියකින් තොරව එය සිදුකළ නොහැකි බවටත් පෙන්වාදුන් ජනාධිපතිවරයා ඒ ආකාරය ‍ව්‍යවස්ථා විරෝධී ක්‍රියා මාර්ගයක් කෙරෙහි යොමු වීමට තමන් කිසිසේත් කටයුතු නොකරන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි වෙත දැනුම් දී තිබෙනවා ෴

******************************************

මහාචාර්ය තිස්ස විතාරණ කළකිරීමෙන්

(07.11.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමා කළකිරීමකට පත්ව ඇති බව ලංකා සමසමාජ පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළා.

ඒ, බණ්ඩාරවෙල ප්‍රදේශයේදී අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

******************************************

ප්‍රදේශ රැසක ගොවින් කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු අරඹයි

(07.11.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර භාවිතයෙන් ප්‍රදේශ රැසක ගොවින් මෙවර මහකන්නයේ වගා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් රසායනික පොහොර නොමැතිව ඇතැම් ප්‍රදේශවල ගොවින් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

රත්නපුර සහ කුරුවිට ප්‍රදේශයේ කුඩා තේවතු හිමියන් ඇතළු ගොවින් පොහොර ගැටලුවට විසදුම් ඉල්ලා කුරුවිට නගරයෙදී උද්ඝෝෂණයක නිරත වුණා.

අම්පාර උහන ප්‍රදේශයේ ගොවීන් මෙවර මහ කන්නයේ වග කටයුතු ආරම්භ කර ඇත්තේ වගාවන්ට අවශ්‍ය කාබනික හෝ රාසායනික පොහොර කිසිවක් නොමැතිවයි.

අවශ්‍ය පොහොර ලබාදි ඇති බව බලධාරින් ප්‍රකාශ කලද ගොවීන් පසවන්නේ මෙතෙක් තමන්ට පොහොර ලැබි නොමැති බවයි.

ගලේන්බිදුණුවැව, ගැටලාව, කරුවලගස්වැව ප්‍රදේශයේ ගොවින් කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු සිදු කළද සාර්ථක අස්වැන්නක් ලබාගත නොහැකි බවට චෝදනා කරනවා.

කාබනික පොහොර භාවිතයෙන් ගාල්ල දිස්ත්‍රිකයේ ගොවින් මෙවර මහ කන්නයේ වගා කටයුතු කිරිමට සුදානම් වනවා.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ පුරන්කුඹුරු අක්කර 3100 ක් වගා කිරිමට සූදානම් කර ඇති අතර ඊට අවශ්‍ය බීත්තර වී බෙදාදිම සිදුවුණා.

මහවිලච්චිය මන්නාරම් හන්දිය ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විල්පත්තු බලකා මුලස්ථානයට අනුයුක්ත ගොවින්ට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරිම ආරම්භ කර තිබෙනවා.

මේ එම සිවිල් ආරක්ෂක නිලධාරින් කාබනික පොහොර භාවිතයෙන් සිදු වගාවන්.

කාබනික පොහොර යොදාගනිමින් සිදුකරන මහ කන්නයේ ගොවිබිම් අස්වැද්දීමේ කටයුතු නිරීක්ෂණයට හිරු ප්‍රවෘත්ති කණ්ඩායම මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වුණා.

මේ අතර මහවැලි අධිකාරිය මඟින් මහවැලි D කලාපයේ මැදිරිගිරිය දහම් වැව ප්‍රදේශයේ ගොවින් කාබනික පොහොර නිෂ්පාදනයට යොමුකර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම විසින් ස්ථාන 33 ක මෙවන විට කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භකර ඇති අතර එය නිරික්ෂණය කිරිමට සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් භික්ෂුන් වහන්සේ පිරිසක් එක්වුණා.

******************************************

ගැටලුවලට විසඳුම් සොයන හැටි ඇමති ජී.එල්. කියයි

(07.11.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

රජය අභ්‍යන්තරයේ විවෘත සාකච්ඡාවක් පැවැත් වීම තුළින් වර්තමානයේ පවතින ඇතැම් ගැටලුවලට විසඳුම් ලබාගත හැකි බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

ඔහු මේ අදහස් පල කළේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මහා සංඝරත්නය දැනුවත් කිරීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී.

විදේශ අමාත්‍යවරයා, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් බැහැදැක රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳ දැනුවත් කරමින් ආශීර්වාද ලබාගත්තා.

අනතුරුව විදේශ අමාත්‍ය ආචාර්ය ජී.එල්. පීරිස් මහතා අස්ගිරි පාර්ශවයේ මහා ලේකඛාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි සහ නියෝජ්‍ය ලේකඛාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තා.

අනතුරුව විදේශ අමාත්‍යවරයා මාධ්‍යෙව්දීන් නැඟූ ප්‍රශ්න කිහිපයකටද පිළිතුරු ලබාදුන්නා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *