සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැ යි අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ගෙන් ඉල්ලීමක්

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැ යි අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ගෙන් ඉල්ලීමක්

*********************************************

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නැ යි අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ගෙන් ඉල්ලීමක්

(06.11.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (06) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සියල්ලන් දැඩි ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අතිශය වැදගත් බව සඳහන් කර සිටියා.

තුන්වන (3) හෙවත් වර්ධක මාත්‍රාව යටතේ ඊයේ (05) දිනයේ ෆයිසර් එන්නත පුද්ගලයින් 15,495 දෙනෙකුට ලබා දී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ, මේ වනවිට පුද්ගලයින් 44,111 දෙනෙකුට වර්ධක මාත්‍රාව ලබා දී ඇති බවයි.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ බහුලව භාවිත කෙරෙන කොරෝනා එන්නත් වර්ග තුනක (3) ශක්‍යතාව කාලයත් සමඟ කැපී පෙනෙන ලෙස පහත වැටෙන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ඇමරිකානුවන් අටලක්ෂයක් (8,00,000) යොදාගෙන සිදු කළ එම අධ්‍යයනයේදී ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් කොරෝනා එන්නත් සළකා බලා ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ ෆයිසර් එන්නතේ ශක්‍යතාව මාස හයකට (6) පසු සියයට 89.2 සිට සියයට 58 දක්වා පහත වැටී ඇති බවයි.

මොඩර්නා එන්නතේ ශක්‍යතාව එම කාලය තුළ සියයට 86.9 සිට සියයට 43 දක්වා පහත වැටී ඇති අතර, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ ශඛ්‍යතාව 86.4 සිට සියයට 13 දක්වා පහත වැටී තිබෙනවා.

මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ යලි 600 සීමාව ඉක්මවා ගියේ ආසාදිතයන් 628 ක් වාර්තා වෙමින්.

එමෙන්ම වයස අවුරුදු 60 ඉක්ම වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා බූස්ටර් හෙවත් වර්ධක මාත්‍රාවක් ලබා දීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ඉල්ලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මෙතෙක් අවසන් තීරණයක් ලැබී නොමැති බවද වාර්තා වනවා.

මේ අතර මේ වසරේ අවසන් පාසල් වාරය ලබන වසරේ මාර්තු 31 දක්වා දීර්ඝ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජාතික අධ්‍යාපන ආයතනය මගින්.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ විෂය නිර්දේශ ආවරණය කරමින් විභාග පැවැත්වීමට කාලය ලබා ගැනීම සඳහා එම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි.

දෙසැම්බර් සුබදායි නොවන බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන කියයි

(06.11.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

ලෝක ප්‍රවණතා අධ්‍යයනයේදී කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් ලබන දෙසැම්බර් මාසය එතරම් සුබදායි නොවන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොරෝනා එන්නත් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ සිදුකළ නව අධ්‍යයනය පිළිබඳ අදහස් පළ කරමින්.

ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ බහුලව භාවිත කෙරෙන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග තුනක (3) ඵලදායීතාවය කාලයත් සමඟ කැපී පෙනෙන ලෙස පහත වැටෙන බව නව අධ්‍යයනයකින් හෙළිවුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ එන්නත්කරණයෙන් ලැබුණු ආරක්ෂාව අඩු වන බවට ප්‍රකාශ වීම සුබදායි තත්ත්වයක් නොවන බවයි.

මෙරට කොවිඩ් ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් 339 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව,මෙරට සුවය ලැබූ මුළු කොවිඩ් රෝගීන් ගණන 5,14,912 දක්වා ඉහළ යනු ඇති ෴

මේ අතර, තවත් කොරෝනා ආසාදිත මරණ 20 ක් අද වාර්තා වූ අතර, මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ඒ අනුව, 13,841 ක් ලෙස ඉහළ ගියා. එසේම, තවත් කොරෝනා ආසාදිතයින් 339 දෙනෙකු අද (06) සුවය ලැබූ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

තවත් කොරෝනා ආසාදිතයින් 482 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 5,44,495 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 135 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 5,44,630 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

හෙරොයින් සමග තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී උණුසුම් තත්වයක් – පොලිසියේ දෙදෙනෙක් (2) රෝහලේ

(07.11.2021 – 06:25 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසියට බාධා කළ කාන්තාවන් ඇතුලු 9 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) දහවල් මෙය සිදුව ඇත්තේ කහටගස්දිගිලිය තුරුක්කුරාගම ප්‍රදේශයේදීයි.

ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් වැටලීමක් සිදු කර හෙරොයින් ග්‍රෑම් 27 ක් සමග 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් සැකකරු මුදා ගැනීමට පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් වැටලීමට ගිය නිලධාරීන්ට විරෝධය පළකර පහරදී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරුව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පැමිණ හෙරොයින් සම්බන්ධ සැකකරු සහ විරෝධය පළකර පහරදීමට සම්බන්ධ සැකකරුවන් 3 ක් සහ සැකකාරියන් 6 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරකෑමට ලක්වූ පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය කියාසිටියේ.

හෙරොයින් සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් වන අතර පහරදීමට අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 16 ත් 68 ත් අතර වයස්වල පසුවන පිරිසක්.

සැකකරුවන් සහ සැකකාරියන් අද (07) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කහටගස්දිගිලිය පොලිසිය පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

විදුලිසැර වැදීමෙන් පිරිමි ළමයෙකු ජිවිතක්ෂයට

(07.11.2021 – 06:10 +0530 – hirunews.lk/sinhala)

ලුණුගල අලකොලගල ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පිරිමි ළමයෙකු මරණයට පත්වී තිබෙනවා.

ඊයේ (06) සවස නිවසේ රවුටරයකට විදුලිය ලබාගැනීමට උත්සාහ කිරීමේදී ඔහුට විදුලිසැර වැදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව ලුණුගල රෝහලට ඇතුලත් කරනු ලැබූ මෙම ළමයා මරණයට පත්ව තිබෙනවා.

16 හැවිරිදි පිරිමි ළමයාගේ මළ සිරුර ලුණුගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලුණුගල පොලිසියයි පරීක්ෂණ සිදුකරන්නේ ෴

******************************************

2022 අයවැය සම්පාදනය ඉතිහාසයේ පළමු වරට වැඩිම පිරිසකගේ දායකත්වයෙන්

(07.11.2021 – 05:51 +0530 – hirunews.lk/sinhala)

2022 වසර සඳහා වන අයවැය ලේඛනය සම්පාදනයේදී මෙරට අයවැය ඉතිහාසයේ පළමු වරට වැඩිම පිරිසකගේ සහ ආයතනවල දායකත්වය ලබාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මගපෙන්වීම සහ අමාත්‍යංශයේ ඍජු මැදිහත්වීමෙන් ආයතන සංවිධාන සහ පුද්ගලයන් විශාල පිරිසක් අයවැය සැකසීමේදී යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ බවයි.

කොවිඩ්-19 වසංගතය හමුවේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආර්ථිකයට පීඩනයක් ඇති ව ූකාලයක අභියෝග සාර්ථකව ජය ගැනීමට හැකි ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් වන අයවැයක් සම්පාදනය අමාත්‍යවරයාගේ අදහස වූ බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.

අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු උසස් නිලධාරීන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින්, දිස්ත්‍රික් දේශපාලන අධිකාරිය, විවිධ වෘත්තීය සංගම්, වෙළඳ ව්‍යාපාර සංවිධාන, ආනයනකරුවන්, තරුණ සංවිධාන, තේ, පොල්, රෙදි, එළවළු හා පළතුරු, ආහාර, මත්ස්‍ය, තොරතුරු තාක්ෂණ, පශු සම්පත්, මැණික් හා ස්වර්ණාභරණ, ධීවර යන අංශ ඇතුලු 102ක පමණ කණ්ඩායමක් 2022 අයවැය ලේඛනය සකස් කිරීමට දායක වී තිබෙනවා.

මෙවර අයවැය ලබන 12 වනදා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

ළිඳකට පැන පිහිනීමට ගිය පාසල් සිසුවෙක් මරුට

(07.11.2021 – 06:39 +0530 – hirunews.lk/sinhala)

යාපනය වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ ළිඳක ගිලීමෙන් පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (06) පාසලේ පැවැත්වූ ශ්‍රමදාන වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව සිසුන් පිරිසක් ළිඳකින් දිය නෑමට ගිය අවස්ථාවේදීයි එක් අයෙක් මෙම අනතුරට ලක්වී ඇත්තේ.

මෙම සිසුවා වඩුක්කෝඩෙයි ප්‍රදේශයේම පදිංචි 18 හැවිරිදි අයෙක්.

ඔහු දිය නෑමට ගිය අවස්ථාවේදී ළිඳට පැන පිහිනීමට උත්සාහ කිරීමේදී මෙලෙස දියේ ගිලී ඇතැයි සඳහන්.

මිතුරන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහු ගොඩට ගෙන රෝහල් ගත කරන අවස්ථාවේදී මරණයට පත්ව තිබෙනවා.

සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

******************************************

හෙට (08) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

(07.11.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

හෙට (08) සිට ලබන 13 වනදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබෙනවා.

බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 59 ක් තුළ ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

2021 වසරේ නොවැම්බර් 04 වනදා වන විට ශ්‍රී ලංකාවේ ඩෙංගු යැයි සැක කරන රෝගීන් 22,902 ක් වාර්තාවී තිබෙනවා.

ඉන් 2979 ක් ඔක්තෝම්බර් මාසයේදී ද 505 ක් මෙම මාසයේ පළමු දින 4 තුල ද වාර්තාවීම විශේෂත්වයක්.

ඩෙංගු වාහක මදුරුවන් සහ මදුරු කීටයන් පිළිබඳව දිවයින පුරා කරන ලද සමීක්ෂණ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමක් දක්නට ලැබෙන අතර ඊට සමගාමීව ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

මෙම තත්වය වසංගත අවධියක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීම අරමුණු කරන ගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩසටහන තුලදී මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීමට සහ එවැනි ස්ථාන ඉවත් කිරීමට අදාළ නිවැසියන් දැනුවත් කිරීමට මෙන්ම නිවෙස් ආශ්‍රිතව ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන පිළිබඳ දැනුවත් කිරීමට ද කටයුතු කෙරෙනවා.

මෙම අවස්ථාවේ රට පුරා ඩෙංගු වංසගතයක් පැතිරුණ හොත් නැවත විශාල පීඩාවකට මුලු රට ම පත්විය හැකි බැවින් මෙම අවස්ථාවේ කොවිඩ්-19 වංසගතය මෙන්ම ඩෙංගු වසංගතයක් පැතිරීම වළක්වා ගැනීම ද සැමගේ වගකීමක් වනවා.

එබැවින් හෙට (08) සිට ආරම්භ වන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලුදෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ ෴

******************************************

ගීතා කුමාරසිංහ කනස්සල්ලෙන්

(07.11.2021 – 07:09 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සමයේ තාප්පවල සිතුවම් ඇඳි තරුණයින් දහස් ගණනක් රැකියා ඉල්ලා තමන් වෙත පැමිණියද ඔවුන්ට සහනයක් සැලසීමට නොහැකිවූ බව පාර්ලිමෙන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

මේ අතර ඉහළ යන බඩු මිල සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව රැසක් අදහස් පළ කළා.

******************************************

විශ්‍රාම වැටුපට නව චක්‍රලේඛයක්

(07.11.2021 – 07:18 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අය කර ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය අනුව විශ්‍රාම වැටුපෙන් මුදල් අයකර ගැනීමට විරුද්ධ පුද්ගලයින් ලබන 12 වැනිදාට පෙර ලිඛිතව සිය අකමැත්ත දැන්විය යුතුයි.

විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා විශ්‍රාමිකයන්ගේ වැටුපෙන් මුදලක් අයකර ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව 2016 ජනවාරි මස පළමු වැනිදා (01) ට පෙර විශ්‍රාම ලැබූ සියලුම රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් මුදලක් මෙම රක්ෂණාවරණය සඳහා යොදා ගැනීමට යෝජනා කරමින් අදාළ චක්‍රලේඛ්‍ය පසුගිය ඔක්තෝබර් මස 29 වැනිදා රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා විසින් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ වයස අවුරුදු 70 ට වැඩි විශ්‍රාමිකයකුගේ වැටුපෙන් රුපියල් 600 ක්, සහ වයස අවුරුදු 70 ට අඩු විශ්‍රාමිකයකුගේ වැටුපෙන් රුපියල් 400 ක් මෙම රක්ෂණාවරණය සඳහා අයකර ගන්නා බවයි.

කෙසේ වෙතත් මෙම යෝජනා ක්‍රමයට තම වැටුපෙන් මුදල් අයකර ගැනීමට එකඟ නොවන විශ්‍රාමිකයින් ලබන 12 වැනිදාට පෙර තම අකමැත්ත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැන්විය යුතු වනවා.

එම කාලය තුලදී ඒ සඳහා ප්‍රතිචාර නොදක්වන පුද්ගලයින්ගේ විශ්‍රාම වැටුපෙන් අදාළ යෝජනා ක්‍රමයට එකඟ බව සළකා අදාළ අය කර ගැනීම සිදුකර ගනු ඇති.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ පසුව එම මනාපය ඉවත් කර ගැනීමට අවස්ථාවක් නොමැති බවයි.

මෙහිදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුවේ www.pensions.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස public service යටතේ දක්වා ඇති මනාප ප්‍රකාශ කිරීමේ ක්‍රමය භාවිත කර විශ්‍රාමිකයාගේ ජංගම දුරකථනයට ලැබෙන OTP අංකයෙන් ‘අකමැති’ නම් ‘NO’ ලෙස ඇතුළත් කර පිළිතුර ලබාදීමේ හැකියාව පවතිනවා.

මෙම අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ලෙස පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමේදී වසරකට රුපියල් 1,20,000 ක මුදලක් හිමිවනවා.

රජයේ රෝහලක ප්‍රතිකාර ලබන්නේනම් එහිදී උපරිම දින 10 ක් සඳහා දිනකට රුපියල් 500 බැගින් වසරකට උපරිම දින 20 කට යටත්ව රුපියල් 10,000 ක් ලබා දීමට නියමිතයි.

ඊට අමතරව රජයේ රෝහලක ප්‍රතිකාර ලබන පුද්ගලයකුට වසරකට ඖෂධ වියදම් සඳහා රුපියල් 50,000 ක් සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා රුපියල් 20,000 ක් හිමි වනවා.

කෙසේ වෙතත් විපක්ෂනායකවරයා මෙම යෝජනා ක්‍රමයට දැඩි අප්‍රසාදය පල කළා.

******************************************

‘වේ ගඟ’ වනසන මැණික් ගැරීම

(07.11.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

‘වේ ගඟේ’ ඉවුරු වනසමින්, ගංගාව ද මුළුමනින්ම හරස් කරමින් සංවිධානාත්මක පිරිසක් මේ දිනවල මැණික් ඉල්ලම් සෙවීමේ ජාවාරමක නිරත වන බවට ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු අනාවරණය කර ගත්තා.

මෙරට නීතියට ද අවනත නොවෙමින් එම සංවිධානාත්මක පිරිස් ‘වේ ගඟේ’ මැණික් කොල්ලය සිදුකරන ආකාරය පිළිබඳවයි අද (07) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය.

‘වේ ගඟ’ රත්නපුර – නිවිතිගල ප්‍රදේශය සරුසාර කරමින් ගලා බසිනා සුන්දර ස්වභාවික සම්පතක්.

මෙම ගංගාව දෙපස ඉවුරු මැණික් ජාවාරම්කරුවන් විසින් සුනු විසුනු කිරීම අරඹා ඇත්තේ, නිවිතිගල කංකානම්වත්ත, අධිකාරීහේන යන ප්‍රදේශ ආශ්‍රිතවයි.

ජාවාරම්කරුවන් දිනපතා මෙලෙස ඉවුරු බිඳීමට කටයුතු කිරීමත් සමග ගංගාව දෙපස ඉඩම් මුළුමනින්ම ‘වේ ගංගාවේ’ ජලපහරට බිළිවෙමින් පවතිනවා.

ඉන් ද නොනැවතී සංවිධානාත්මක පිරිස් වේ ගඟ මුළුමනින්ම ලී කොට, උණ බට ආදිය යොදා මුළු මනින්ම හරස්කොට පසුව දැවැන්ත යාන්ත්‍රික මෙවලම් ද උපයෝගී කරගනිමින් ගඟේ පතුල සුරා ගොඩදමන්නේ මැණික් ඉල්ලම් සෙවීමටයි.

ඔවුන් සම්බන්ධයෙන් නීතිය කිසිදු අයුරකින් ක්‍රියාත්මක නොවන පසුබිමක මෙම ජාවාරම්කරුවන් සිත් සේ ‘වේ ගඟ’ සුනු විසුනු කරමින් ක්‍රියාත්මක වනවා.

මෙම නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් පසුගිය දිනක නිවිතිගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අවස්ථාවේ ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් ස්ථානය තුළදීම පැමිණිලි ඉදිරිපත් කළ එම පුද්ගලයන්ට මරණ තර්ජන එල්ල කර තිබුණා.

‘වේ ගඟේ’ විනාශයට එරෙහි වන පිරිස් බිය වද්දමින් මැණික් ජාවාරම්කරුවන් මේ වනවිට නීතිය ද අතට ගෙන ‘වේ ගඟ’ වනසා දමන්නේ කාගේ බලපුළුවන්කාර කමකට ද ?

දිනපතා ඇස් පනාපිට සිදුවන මෙම අපරාධයට වැට බැදීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ක්‍රියාත්මක නොවන්නේ ඇයි ?

‘හිරු සී.අයි.ඒ.’ මෙම අනාවරණයෙන් පසුව හෝ ඔවුන් නිදිගැට හැරපියා මෙම මැණික් කොල්ලයට එරෙහිව කටයුතු කරන්නේ දැයි ‘හිරු සී.අයි.ඒ.’ අවධානයෙන්..

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *