සපුගස්කන්දේ කසල ගොඩකින් සිරුර හමුවූ කාන්තාවගේ ඝාතනයට – සැකකරුවන් 2 ක් අත් අඩංගුවට – තවත් අයෙකු සොයා මෙහෙයුම්

සපුගස්කන්දේ කසල ගොඩකින් සිරුර හමුවූ කාන්තාවගේ ඝාතනයට – සැකකරුවන් 2 ක් අත් අඩංගුවට – තවත් අයෙකු සොයා මෙහෙයුම්

*********************************************

සපුගස්කන්දේ කසල ගොඩකින් සිරුර හමුවූ කාන්තාවගේ ඝාතනයට – සැකකරුවන් 2 ක් අත් අඩංගුවට – තවත් අයෙකු සොයා මෙහෙයුම්

(06.11.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද ප්‍රදේශයේ කසල ගොඩක ගමන් බෑගයක දමා ගොස් තිබී සිරුර හමුවූ කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 36 ක කාන්තාවක් හා 36 හැවිරිදි ඇයගේ ම ස්වාමි පුරුෂයා යි.

ඊට අමතරව ඇයගේ ඝාතනය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තවත් පුද්ගලයෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

සපුගස්කන්ද – මාබිම ප්‍රදේශයේ මාර්ගයක, කසල එක්රැස් වී ඇති ස්ථානයක තිබියදී මෙම මළ සිරුර හමු වුණේ පසුගිය 4 වැනිදායි.

අත් පා ගැට ගසා ගමන් බෑගයකට දමා තිබූ මළසිරුර ප්ලාස්ටික් පැදුරකින් ඔතා තිබූ අතර, එලෙස මියගොස් තිබුණේ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 44 හැවිරිදි ‘මොහොමඩ් සාෆී ෆාතිමා මුම්ටාස්’ නැමැති කාන්තාවක් බවට පසුව තහවුරු වුණා.

ඝාතනයට ලක් වූ ‘ෆාතිමා මුම්ටාස්’ මුදලට සූදූ ක්‍රීඩා කළ සහ මුදල් පොලියට ලබා දෙන කාන්තාවක් බවටද විමර්ශකයින් අනාවරණ කරගෙන තිබුණා.

මෙම මරණය සම්බන්ධයෙන් සපුගස්කන්ද, බ්ලු‍මැන්ඩල් , මාළිගාවත්ත සහ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව අණාවරණ වූයේ අදාළ කාන්තාව පසුගිය 28 වැනිදා පස්වරු 3 ට පමණ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි ‘රොසානා’ නැමැති කාන්තාවක් සහ ඇගේ සහෝදරයකු බව කියන පුද්ගලයෙක් සමග ත්‍රී රෝද රථයක නැගී පිටව ගොස් ඇති බවයි.

ඒ මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ පදිංචි සැකකාර රොසානා නැමැති කාන්තාවගේ නිවස වෙතයි.

එම නිවසේදී ඇය මුදලට සූදූ ක්‍රීඩාවේ නිරත වී ඇති අතර එහිදී මුදල් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාම මෙම ඝාතනයට හේතුවී ඇති බවටයි විමර්ශකයින් සැක පළ කරන්නේ.

ආරවුල අතරතුර ‘ෆාතිමා මුම්ටාස්’ගේ ගෙල සිර කර ඝාතනය සිදු කරන්නට ඇති බවට මේ වනවිට සැක කළ හැකි බව ද විමර්ශකයින් සඳහන් කළා.

එලෙස පසුගිය මස 28 වැනිදා ඝාතනයට ලක් වූ ‘ෆාතිමා මුම්ටාස්’ගේ මළ සිරුර ඊට පසු දින, එනම් 29 වැනිදා මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ ‘රොසානා’ නැමැත්තියගේ නිවසේ සිට ගමන් බෑගයක දමා සපුගස්කන්ද ප්‍රදේශයේ කසළ ගොඩ අසලට ප්‍රවාහණය කර ඇති බවට විමර්ශකයින් අණාවරණ කරගෙන තිබෙනවා.

ඒ රිදී පැහැති, සම්පූර්ණයෙන් ආවරණය කළ ලොරි රථයකින්.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණේ ෆාතිමා මුම්ටාස් අවසන් වරට ත්‍රීරෝද රථයෙන් කැඳවාගෙන ගොස් ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවන රොසානා සහ ඇයගේ සැමියායි.

එම යුවල කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මළ සිරුර ප්‍රවාහනය කළ ලොරි රථයද පොලිස් භාරයට ගැණුනා.

ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව සැකකාර අඹුසැමි යුවල සපුගස්කන්ද පොලිසියට භාර දීමෙන් අනතුරුව හෙට (07) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

‘රොසානා’ නැමැත්තියගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සහෝදරයෙකු ද මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඝාතනයට ලක් වූ ‘ෆාතිමා මුම්ටාස්’ගේ පශ්චාත් මරණ පරික්ෂණය රාගම ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතයි.

මේ වනවිට සිදු කල පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ මියගිය කාන්තාව පැළඳ සිටි රුපියල් ලක්ෂ 8 ක පමණ රන් ආභරණද අතුරුදන් වී ඇති බවයි.

******************************************

ඩුබායි සිට මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කළ කාන්තාවක් අත් අඩංගුවට

(06.11.2021 – 11:48 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි රාජ්‍යයේ සැඟ ව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘මාලේවෙල ඉන්දික’ හෙවත් ‘ඉන්දික මහේෂ් රණවීර’ නමැති පුද්ගලයාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය පවත්වාගෙන ගිය කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, ඇල්පිටිය – ඌරගහ කිරිමැටියාව පදිංචි ඌරගහ ‘චූටි බේබි’ නමැති කාන්තාව බවයි වාර්තා වෙන්නේ.

ඉමෝ තාක්ෂණය හරහායි සැකකාරිය මෙම ජාවාරම සිදු කර තිබෙන්නේ.

දිවයිනේ විවිධ ලැගුම්හල් භාවිත කරමින් සැකකාරිය මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර, දින කිහිපයකට පෙර අලුත්ගම ප්‍රදේශයේ ලැගුම්හලක දී මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරමින් සිටිය දී අත් අඩංගුවට ගත් බව සඳහන්.

අත් අඩංගුවට පත් වෙනවිට අදාළ කාන්තාව සතු ව හෙරොයින් ග්‍රෑම් 12 යි මිලි ග්‍රෑම් 650 ක ප්‍රමාණයක් තිබුණු බවට පොලිසිය වාර්තා කළා.

අත් අඩංගුවට ගත් සැකකාරිය මීට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සිදුවීම් කිහිපයකට ම චෝදනා ලැබ සිටින කාන්තාවක් වන අතර, ඇයට එරෙහි ව ඇල්පිටිය මහාධිකරණයේ නඩු 6 ක් ක්‍රියාත්මක වී ඇප ලැබී තිබෙනවා.

මෙම ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙන අතර, අත් අඩංගුවට ගත් සැකකාරිය ව අද (06) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

මෙරට පොල් නිෂ්පාදන යුරෝපයේ ප්‍රවර්ධනය කිරීමට පියවර

(06.11.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

මෙරට පොල් නිෂ්පාදන යුරෝපා සංගමයට අයත් රටවල ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජර්මනියේ ලබන වසරේ පැවැත්වෙන ප්‍රදර්ශනයක් සඳහා ඉදිරිපත් වීමට පොල් සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.

‘අයි.පී.එම්. එසෙන්’ ලෙස නම් කෙරුණු මෙම ප්‍රදර්ශනය ලොව විශාලතම උද්‍යාන විද්‍යා ප්‍රදර්ශනයක් ලෙසයි සැළකෙන්නේ.

ඒ සඳහා තුරුලතා ආශ්‍රිත හරිත නිෂ්පාදන ඉදිරිපත් කෙරෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් වසරක විරාමයකින් පසු මෙම ප්‍රදර්ශනය ලබන වසරේ ජනවාරි 25 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙහිදී හරිත නිෂ්පාදන පිළිබඳ විද්වතුන්, ආයෝජකයන් සහ වෙළඳ අංශ එක්වන අතර, එහිදී ශ්‍රී ලාංකික පොල් නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමටයි පොල් සංවර්ධන මණ්ඩලය සැළසුම් කර ඇත්තේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව මේ වසරේ මුල් මාස 9 තුළ ශ්‍රී ලංකාව පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 608.76 ක් උපයා ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 25 ක පමණ වර්ධනයක් ෴

******************************************

බස්නාහිර සහ නැගෙනහිර සඳුදා (08) සිට ඩෙංගු මර්දන වැඩසටහන්

(06.11.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 ක් ඉලක්ක කරගෙන ලබන සඳුදා (08) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය සැළසුම් කර තිබෙනවා.

එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ, පසුගිය හතර වනදා (04) වනවිට ශ්‍රී ලංකාවේ ඩෙංගු යැයි සැක කරන රෝගීන් 22,902 ක් වාර්තාවී ඇති බවයි.

ඩෙංගු වාහක මදුරුවන් සහ මදුරු කීටයන් පිළිබඳව රට පුරා කරන ලද සමීක්ෂණ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමක් දක්නට ලැබෙන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.

ඒ හා සමගාමීව ඉදිරි සති කිහිපයේදී ඩෙංගු රෝගීන් වාර්තාවීම වැඩිවීමක් අපේක්ෂා කරන බවයි ඔහු කියා සිටියේ.

කොරෝනා වසංගතයේ පීඩාවෙන් ක්‍රම ක්‍රමයෙන් මිදෙමින් සිටින මේ මොහොතේ රටපුරා ඩෙංගු වසංගතයක් පැතිරුණහොත් යළි විශාල පීඩාවකට මුළු රටම පත්විය හැකියි.

එබැවින් මෙම අවස්ථාවේ ඩෙංගු වසංගතයද පැතිරීම වළක්වා ගැනීම සැමගේ වගකීමක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.

ඩෙංගු මදුරුවන් ඉතා ඉක්මනින් තම පරිසරයට අනුවර්තනය වන බැවින් එම මදුරුවන් බෝවිය හැකි ලෙස ජලය රැඳෙන විවිධ ආකාරයේ භාජන සහ ස්ථානවල මදුරු කීටයන් වර්ධනය වීම වැළැක්වීමට නිරන්තරයෙන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

ජාතික සංවිධාන කිහිපයක් අනුරාධපුරයේ කාබනික වගා නිරීක්ෂණයක

(06.11.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට කෘෂිකර්ම විශේෂඥයින් පර්යේෂණ මගින් සොයාගත් කාබනික පොහොර ලබන කන්නයේදී ගොවීන්ට බෙදාහැරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.

ඒ සඳහා වන සාකච්ඡා මේ දිනවල සිදු කරන බවයි අමාත්‍යාංශ ලේකම්, මහාචාර්ය උදිත් ජයසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙම පරීක්ෂණ මගින් සාර්ථකව අත්හදාබැලූ කාබනික පොහොර නිසි රෙගුලාසි යටතේ නිෂ්පාදනය කර බෙදාහැරීම සඳහා සමාගම් තෝරාගැනීම මෙහිදී සිදු කෙරෙනවා.

ඒ අනුව මෙරට පොහොර ගැටලුවට යම් විසඳුමක් ලැබෙනු ඇති බවයි අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වගාවන්ට අවශ්‍ය පලිබෝධනාශක සීමාවක් යටතේ ආනයනය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමාගම්වලට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව නිසි ප්‍රමිතියකින් යුත් අදාළ පලිබෝධනාශක ද්‍රව්‍ය මේ වනවිටත් මෙරටට ගෙන්වා ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර අදත් ප්‍රදේශ කිහිපයක ගොවීන් පොහොර ඉල්ලා විරෝධතාවල නිරතවුණා.

එමෙන්ම අනුරාධපුර ප්‍රදේශයේ කාබනික පොහොර භාවිතයෙන් සිදු කරන වගා කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජාතික සංවිධාන කිහිපයක් නියෝජනය කරන භික්ෂූන් වහන්සේ කිහිප නමක් එක්ව සිටියා.

ඊට පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ඇතුළු මහා සංඝ රත්නය එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

******************************************

සහල් සහ සීනි මිල දී ගැනීමේදී සතොස පැන වූ කොන්දේසිය ඉවතට

(06.11.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

සතොසෙන් සීනි සහ සහල් මිල දී ගන්නා පාරිභෝගිකයින් අද (06) සිට වෙනත් භාණ්ඩ ලබාගත යුතු නොවන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, එම අමාත්‍යාංශයේ අද (06) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සහල් සහ සීනි මිල දී ගැනීමේදි ඊට අමතරව, තවත් භාණ්ඩ 5 ක් මිලදී ගත යුතු බවයි අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළේ.

******************************************

වත්මන් දේශපාලන ආර්ථික තත්ත්වයන් පිළිබඳ දේශපාලන වේදිකාවේ පළ වුණු අදහස්

(06.11.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

සතොසින් සීනි සහ සහල් මිල දී ගන්නා පාරිභෝගිකයින්ට වෙනත් භාණ්ඩ මිල දී ගැනීමට බලපෑම් සිදු කළ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අත්අඩංගුවට ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.

මේ අතර, ඉහළ යන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවත් අදහස් පළ වුණා.

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 177 කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා. මීට පෙර සිමෙන්ති කොට්ටයක් රුපියල් 1098 කට අලෙවි කළ අතර, ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1275 ක් ෴

******************************************

කාදිනල් හිමිපාණන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(06.11.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල තෙත්බිම් කලාපයේ ඉඩම් හෙක්ටයාර 3,863 ක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

උන්වහන්සේ එමගින් ඉල්ලා ඇත්තේ අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

******************************************

මිලටරි පාලනයකට තමන් සූදානම් නැහැ – ජනපති

(06.11.2021 – 18:32 +0530 – hirunews.lk/sinhala)

මිලටරි පාලනයකට තමන් කිසිසේත්ම සූදානම් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

තමා කරමින් පවතින්නේ ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම බැවින් සියලු බධාක හමුවේ තමන්ට එම කර්තවයන් කිරීම සඳහා සහය වන ලෙසටයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැඩ නිමකළ මාර්ග 1500 ක් එකම දිනයකදී විවෘත කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමින් මෙම අදහස් පළ කළා.

******************************************

චීන නෞකාව කොළඹ වරාය ආසන්නයේ

(06.11.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

මතභේදයට තුඩුදුන් චීන කාබනික පොහොර තොගය රැගත් නෞකාව බේරුවල සහ කළුතර අතර, මුහුදු ප්‍රදේශයේ ස්ථාන ගතව පවතින බව නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ‘මැරින් ට්‍රැෆික්’ වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.

ඒ අදාළ, පොහොර තොගය මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය තවදුරටත් දිර්ඝ කර ඇති පසුබිමකයි.

මේ අතර, ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා සදහන් කලේ සම්පලවල හානිකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම නිසා අදාළ සමාගමට කාබනික පොහොර තොග අනායනය සදහා බලපත්‍ර නිකුත් නොකල බවයි.

ඒ හේතුවෙන් අදාළ නෞකාවේ පොහොර තොගය මෙරටට ඇතුලු‍කර ගන්නේ නම් එය නීති විරෝධී බවයි ඔහු කියා සිටියේ.

නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ‘මැරින් ට්‍රැෆික්’ වෙබ් අඩවියේ සදහන් වුණේ අදාළ නෞකාව පස්වරු 04:30 ට කොළඹ වරායට ලඟාවිමට නියමිත බවයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අපකළ විමසීමකදී වරාය පාලකවරයා හෙවත් ‘හාබර් මාස්ටර්’ කපිතාන් නිර්මාල් සිල්වා මහතා සඳහන් කලේ එම නෞකාවට සැපයුම් ලබාගැනිම සඳහා කොළඹ වරාය වෙත පැමිණිය හැකි වුවත් එහි අඩංගු නීති විරෝධි හා හානිකර පොහොර තොගය මෙරටට ගොඩබෑමට අවසර හිමි නොවන බවයි.

එමෙන්ම සැපයුම් ලබා ගැනීමට හෝ නෞකාවක් වරායට ඇතුල් වන්නේ නම් දේශිය නියෝජිතයෙක් පත් කර නෞකාවේ පැමිණිම ලියාපදිංචි කර ඒ සඳහා වන ගෙවිම් සිදු කර නෞකාවේ ඇතුළත් අන්තරායකර භාණ්ඩ වාර්තා කර එහි සහතිකයත්, සෞඛ්‍ය සහතිකයත් ලබා ගැනීම අනිවාර්ය වනවා.

එහෙත් මෙම නෞකාව එවැනි කිසිදු ක්‍රියාවලියක් මේ දක්වා සිදුකර නොමැති බවයි වරාය පාලකවරයා තහවුරු කළේ.

******************************************

රුපියල් මිලියන 52,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් නොවැම්බර් 10

(06.11.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 52,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් නොවැම්බර් 10 වැනිදා සිදුකෙරෙනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 20,000 ක බිල්පත් සහ දින 182 කින් කල් පිරෙන මිලියන 15,000 ක මෙන්ම, දින 364 කින් කල් පිරෙන මිලියන 17,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි ෴

******************************************

කුලුණු මතින් ඉදි වන කැලණිය නව ගුවන් පාලම මේ වසර අවසන් වන විට ජනතා අයිතියට

(06.11.2021 – 22:40 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය හමුවේ සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ නවතා දැමුවේ නම් අද මෙලෙස මාර්ග 1500 ක් විවෘත කිරීමට නො හැකි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මාර්ග කි.මි. ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේදී ග්‍රාමීය හා වතු මාර්ග සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇතැයි පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා රට ගොඩනැඟීමට ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය විය යුතු බව සඳහන් කළා.

මාර්ග සංවර්ධනයට සමගාමීව ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවිය හැකි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර තිබෙන බව ද අග්‍රාමාත්‍යවරයා විසින් සිහිපත් කරනු ලැබුවා.

මේ අතර කුලුනු මතින් ඉදි වන කැලණිය නව ගුවන් පාලම සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර මේ වසර අවසන් වන විට ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග අමාත්‍යවරයා ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *