පාසල් ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්

පාසල් ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්

*********************************************

පාසල් ආරම්භය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්

(06.11.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු පාසල්වල සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ශ්‍රේණි අනිද්දා (08) අනිවාර්යයෙන් ආරම්භ වන අතර, ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, 10, 11, 12 සහ 13 ශ්‍රේණි අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කිරීම සඳහා කොවිඩ් මර්දන කමිටුවේ නිර්දේශ ලැබී ඇති බවයි.

කොරෝනා වසංගතය හමුවේ වසර දෙකක (2) පමණ කාලයක් දිවයිනේ පාසල් වරින් වර වසා දමා තිබූ අතර වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමග සියලු‍ පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය මස 25 වැනිදා ආරම්භ කෙරුණා.

6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පිළිබඳ මෙන්ම අතපසු වූ විෂය නිර්දේශ ආවරණය කිරීම සහ විභාග පැවැත්වීමට අදාළ කටයුතු පිළිබඳවද මේ වනවිටත් අවධානය යොමුව තිබෙනවා.

මේ අතර, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සියයට 50 ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වැනි දා සිට ආරම්භ කිරීමට නියමිතයි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

වැලිපැන්නේ දී මනුෂ්‍ය ඝාතනයක්

(06.11.2021 – 06:51 +0530 – hirunews.lk/sinhala)

වැලිපැන්න පොලිස් වසමේ පල්ලිය පාර, ගල් අස්සගොඩ ප්‍රදේශයේ දී අතින් පයින් පහර දීමක් හේතුවෙන් සිදු කළ ඝාතනයක් පිළිබඳ වාර්තා වෙනවා.

පහර දීම නිසා බරපතළ ලෙස තුවාල ලැබූ මරණකරු සින්නවත්ත රෝහලට ඇතුළත් කර ඇති නමුත් පසු ව මිය ගිය බවයි වාර්තා වෙන්නේ.

කලක පටන් පැවති ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති බව සඳහන්.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 53 ක ගල් අස්සගොඩ – වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන අතර, මෘත ශරීරය සින්නවත්ත රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ ව වයස අවුරුදු 56 ක වැලිපැන්න ප්‍රදේශයේ අයෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සැකකරු අද (06) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැලිපැන්න පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

******************************************

ග්‍රාමීය සහ අතුරු මාර්ග 1500 ක් අද (06) ජනතා අයිතියට

(06.11.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ගවලට පහසුවෙන් පිවිසිය හැකි අභ්‍යන්තර, ග්‍රාමීය හා අතුරු මාර්ග ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ ඉදිකළ මාර්ග 1500 ක් අද (06) ජනතා අයිතියට පත් කෙරෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීරකැටිය – මණ්ඩාඩුව ක්‍රීඩාංගනයේදීයි.

සියලුම දිස්ත්‍රික්ක සහ මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි මෙම මාර්ග 1500 නිම කර ඇති අතර මෙම සියලු මාර්ග මාස 3 ක් ඇතුළත නිම කර තිබීම ද විශේෂත්වයක්.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කිලෝමීටර 42 ක කොටස මෙම මාසය තුල විවෘත කිරීමට සැළසුම් කර තිබෙනවා.

එහි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සැලසුම් කරමින් සිටින බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන්නේ අදියර 4 ක් යටතේයි.

ඒ අනුව කඩවත සිට මීරිගම දක්වාත්, මීරිගම සිට කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත් දඹුල්ලේ සිට ගලගෙදර දක්වාත් එම අධිවේගී මාර්ගය ඉදි කෙරෙනු ඇති ෴

******************************************

සපුගස්කන්දේ බෑගයකින් සොයාගත් කාන්තා සිරුර සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු රැසක්

(06.11.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද – මාබිම – තෙල් පිරිපහදු සංකීර්ණය අසල මාර්ගයේ කසළ ගොඩක දමා ගොස් තිබියදී ගමන් බෑගයකින් හමු වූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්තී අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අද (06) දිනයේදී සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකි බවයි.

සපුගස්කන්ද ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු ද සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 4 ක් යොදවා ඇති බවයි.

එමෙන්ම ඇය පැළඳ සිටි රුපියල් ලක්ෂ 8 ක පමණ රන් ආභරණද අතුරුදන් වී ඇති බව ඔහු සඳහන් කළා.

මෙම කාන්තාව මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකගේ බවට ඊයේ (05) හඳුනා ගැනුණා.

ඒ, ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනා (2) විසින් දේහය රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව ‘මොහොමඩ් ෂාෆි ෆාතිමා මුම්ටාස්’ නැමැති මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 44 හැවිරිදි දෙදරු මවක් වන මෙම කාන්තාව, පසුගිය 28 වැනිදා පස්වරුවේ සිය නිවසෙන් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සමඟ ත්‍රීරෝද රථයකින් පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය ඇගේ ඥාති පුත්‍රයෙකු විසින් දැක ඇති අතර, තම බිරිඳ නිවසට නොපැමිණීම නිසා පසුගිය 01 වැනිදා බ්ලූමැන්ඩල් පොලිසියට අතුරුදන් වූ කාන්තාවගේ සැමියා විසින් පැමිණිල්ලක්ද සිදු කර තිබුණේ ත්‍රීරෝද රථයෙන් අවසන් වරට ඇය සමඟ ගිය කාන්තාවද පොලිසියට කැඳවාගෙන යමින්.

මියගිය කාන්තාව බ්ලූමැන්ඩල් – ඕර්ස් ලේන් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයෙන් බැස ගිය බව එහිදී ඇය ප්‍රකාශ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මියගිය කාන්තාව මුදල් පොලියට ලබාදීම සහ මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වන තැනැත්තියක බවයි.

මියගිය කාන්තාවගේ මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි ෴

******************************************

කොරෝනා පරීක්ෂණ උපකරණවල මිල ඉහළ යෑමක් ?

(06.11.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා පරීක්ෂණ සඳහා ක්‍රියාත්මක උපරිම මිල සීමා ඉහළ නැංවීමට දැනට අවශ්‍යතාවයක් නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන නිසා එම කාර්යභාරය අවසන් කළ බවයි.

මේ අතර පවතින අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ ඒවායේ මිල ඉහළ යාම පිළිබඳව මේ දිනවල දේශපාලන කරළියේ විවිධ අදහස් පළ වනවා ෴

******************************************

විදුලි වෘත්තිය සමිති යළි අරගලයකට සැරසේ

(06.11.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ජාතික සම්පත් විදෙස් සමාගම්වලට ලබා දීමට එරෙහිව, ඉදිරියේදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සමග එක්ව ඒකාබද්ධ වර්ජනයකට අවතීර්ණ වන බව තෙල්, වරාය සහ විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එය නියෝජනය කරන ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (05) පස්වරුවේ සෙසු වෘත්තීය සමිති සමග පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවක් කැඳවමින්.

ඊයේ (05) පස්වරුවේ පැවති එම සාකච්ඡාවට ලංකා විදුලි බල මණ්ඩලය, වරාය, ලංකා ඛණිජ තෙල් සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය යන ආයතන නියෝජනය කරන වෘත්තීය සමිති මෙන්ම ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ නායකයින්ද එක්ව සිටියා ෴

******************************************

පනත් 37 ක් නව පනත් ලෙස සංශෝධනයට

(06.11.2021 – 08:41 +0530 – hirunews.lk/sinhala)

පනත් 37 ක් නව පනත් ලෙස සංශෝධනය කිරීම සඳහා නීති සකස් කරමින් පවතින බව අධිකරණ අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

ගත වූ මාස 14 ක කාලය තුල පාර්ලිමේන්තුව විසින් නීති හෝ අණ පනත් අටක් (8) සම්මත කරගනු ලැබුවා.

නියමිත ක්‍රියාවලිය අවසන් කර විවිධ පනත් කෙටුම්පත් 4 ක් පාර්ලිමේන්තුවට යොමු කර ඇති අතර කැබිනට් අනුමැතියෙන් නීතිපති සහතිකය සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් සංඛ්‍යාව 7 ක්.

එසේම කෙටුම්පත් 29 ක් නීති කෙටුම්පත් සම්පාදක වෙත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර යොමු කර තිබෙනවා ෴

******************************************

මුල්ලේරියාව ඝාතනයේ සැකකරුවන් භාවිත කළ ජංගම දුරකතන 3 ක් සොයාගැනේ

(06.11.2021 – 09:15 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව – මීගහවත්ත ප්‍රදේශයේදී 42 හැවිරිදි නුවන් මිලින්ද නැමැති පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් භාවිත කල බවට සැකකෙරෙන ජංගම දුරකතන 3 ක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, අදාළ වෙඩි තැබීම සිදු කළ සැකකරුවන්ගෙන් පාර්සලයක් ලබාගත් පුද්ගලයින් දෙදෙනා (2) ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදියි.

අදාළ ජංගම දුරකතන තුන (3) සොයාගෙන ඇත්තේ, එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ බිරිඳට අයත් රාගල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදියි.

පසුගිය මස 26 වන දා මීගහවත්ත ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබුණා ෴

******************************************

ස්ත්‍රී දූෂණ හා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු අත්අඩංගුවට

(06.11.2021 – 09:47 +0530 – hirunews.lk/sinhala)

අගුණකොළපැලැස්ස පොලිස් වසමේ පුරාණ විහාරය, තෙරුංගම, කි.මී. 15 කණුව අසල දී පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් වැටලීමක් සිදු කර තිබෙනවා.

එහි දී කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි වලස්මුල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 33 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.

මෙම පුද්ගලයාට 2013 වර්ෂයේ සිදු කරන ලද ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් ගරු තංගල්ල මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව ද වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

සැකකරු ලංගම බස් රථයක රියදුරු මහතකු සමඟ ඇති කරගත් ගැටුමක් සම්බන්ධයෙන් ගරු මොරටුව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත්, පුද්ගලයින් පිරිසක් සමඟ ඇති කරගත් ගැටුමක් සම්බන්ධයෙන් ගරු වලස්මුල්ල අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් පොලිසිය පවසනවා.

මොහුට විරුද්ධව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීමට අදාළව හා නීති විරෝධී ක්‍රියා සිදු කිරීම සම්බන්ධයෙන් අගුණකොළපැලැස්ස පොලිස් ස්ථානය මගින් අධිකරණයේ නඩු කිහිපයක් ගොනුකර ඇති බව තවදුරටත් වාර්තා වුණ බවයි සඳහන් වන්නේ.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ, සැකකරු සතුව කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 350 ක් තිබී ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ පහක් (5) පමණ වන බවට තක්සේරු කර තිබෙනවා.

වැඩිදුර විමර්ශන අගුණකොළපැලැස්ස පොලිසිය විසින් සිදු කෙරෙනු ඇති ෴

******************************************

නීති විරෝධී දුම්වැටි සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට

(06.11.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින් විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව වැටලීමක් සිදු කර තිබෙනවා.

ඒ 04 වන දින කටුනායක පොලිස් වසමේ ඇවරියවත්ත බස් නැවතුම්පොළ ඉදිරිපිටදියි.

එහි දී නීති විරෝධී දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි වාර්තා වන්නේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30 ක බ්ලු මැන්ඩල් පාර, කොළඹ 13 පදිංචි පුද්ගලයෙක්.

අත් අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී දුම්වැටි 2800 ක පමණ ප්‍රමාණයක් වන අතර, ඒවායේ වටිනාකම රුපියල් එක්ලක්ෂ අසූ දහසකට (1,80,000) වැඩි ලෙසයි ගණන් බලා ඇත්තේ ෴

******************************************

මෙරට මාර්ග අනතුරු අඩු කිරීමට රුපියල් බිලියන දෙකක (2) ආයෝජන අවශ්‍ය බව ලෝක බැංකුව කියයි

(06.11.2021 – 10:37 +0530 – hirunews.lk/sinhala)

මෙරට මාර්ග අනතුරු අඩකින් අඩු කිරීමට ඉදිරි වසර 10 තුල ඇමෙරිකානු ඩොලර් බිලියන 2 කට වැඩි ආයෝජන අවශ්‍ය වන බව ලෝක බැංකුව පවසනවා. එමගින් පෙන්වා දෙන්නේ එසේ නොවුණහොත් එය මෙරට ආර්ථික වර්ධනයට ද අහිතකර ලෙස බලපානු ඇති බවයි.

ලෝක බැංකුව ප්‍රකාශ කරන පරිදි වාර්ෂිකව මෙරට මාර්ග අනතුරු 38,000 ක් පමණ සිදුවනවා. එහිදී පුද්ගලයන් 3000 කට අධික පිරිසක් මියයන අතර තුවාල ලබන සංඛ්‍යාව 8000 කට අධිකයි.

ජනගහනයට සාපේක්ෂව මාර්ග අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව සැලකූ විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම අගයක් සලකුණු කරන බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ. එමෙන්ම, සංවර්ධිත රටවල් හා සැලකූ විට මෙරට මාරක මාර්ග අනතුරු අනුපාතය 5 ගුණයකින් පමණ ඉහළ අගයක් ගන්නා බව සඳහන්.

මෙරට මාර්ග අනතුරුවලින් මියයන අය අතුරින් බහුතරයක් වයස අවුරුදු 15 ත් 64 ත් අතර, ශ්‍රමබලකායට අයත් පුද්ගලයන්. ඉන් සියයට 90 ක්ම පදිකයන්, පාපැදි සහ යතුරුපැදිකරුවන්. ලෝක බැංකුව පෙන්වාදෙන පරිදි මෙරට මාර්ග අනතුරුවලින් ජීවිත හානි සහ තුවාල හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3 ත් 5 ත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව අහිමිවනවා.

එමෙන්ම මෙවැනි මාර්ග අනතුරු පසුගිය දශකය තුළ මෙරට ආර්ථික වර්ධනයේ ප්‍රගතියට මෙන්ම දුප්පත්කම තුරන් කිරීමට සහ සශ්‍රීකත්වය වර්ධනයට අහිතකර ලෙස බලපා ඇති බව ලෝක බැංකුව සඳහන් කළා.

මේ නිසා ඉදිරි දශකය තුළ ජාතික මාර්ග පද්ධතියේ මාරක අනතුරු සියයට 50 කින් අඩු කිරීම සඳහා වන තිරසර සංවර්ධන ඉලක්කය ළඟා කරගැනීමට ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2 කට වැඩි අතිරේක මුදලක් වැය කළ යුතු බවයි ලෝක බැංකුව ප්‍රකාශ කළේ. මාර්ග ආරක්ෂාව සහතික කිරීම සඳහා එය දිගුකාලීන ආයෝජනයක් වනු ඇති බවද එමඟින් අවධාරණය කළා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

දිනෙක කොරෝනා ආසාදිතයින් යළි 600 ඉක්මවයි

(06.11.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වන එක් දිනෙක කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළි 600 සීමාව ඉක්මවමින් ඊයේ (05) 628 ක් දක්වා ඉහළ ගියා.

ඒ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 5,44,013 දක්වා ඉහළ නංවමින්.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙරට තුළ කොරෝනා ආසාදිතයන් අඩුවීම නැවතී ඇති බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ද එම මාධ්‍ය හමුවට එක් වූ අතර ඔහු පැවසුවේ, ජනතාව එක් රැස්වන ස්ථාන ආශ්‍රිතව මේ දිනවල කොරෝනා ආසාදිතයන් හමුවන බවයි.

කොරෝනා ආසාදිත වී රෝහල්ගත වන ගැබිනි මව්වරුන් සංඛ්‍යාවද සුළු මට්ටමකින් ඉහල ගොස් තිබෙනවා.

එසේම ඊයේ (05) දිනයේ තවත් කොරෝනා ආසාදිත මරණ 15 ක් වාර්තා වූ අතර මේ වන විට මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,821 ක් ලෙසින් ෴

++++++++++++++++++

ෆයිසර් සමාගමෙනුත් කොරෝනා පෙත්තක්

(06.11.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස් ආසාදිතයන් රෝහල් ගතකිරීම සහ මරණයට පත්වීම කැපී පෙනෙන ලෙස අවම කරන ඖෂධ පෙත්තක් ඇමරිකානු ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

එහි සායනික පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ එම පෙත්ත සියයට 89 ක ශක්‍යතාවකින් යුක්ත වන බවයි.

‘පැක්ස්ලොවිඩ්’ ලෙස නම් කෙරුණු මෙම කොරෝනා පෙත්ත කොරෝනා ආසාදනය වී සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්ට ලබාදිය හැකියි.

එලෙස සිදු කළ සායනික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඖෂධය ලැබූ පුද්ගලයන් රෝහල් ගතකිරීම් සහ මරණයට පත්වීම කැපී පෙනෙන ලෙස අඩුවන බවයි.

අවදානම් කාණ්ඩයේ ආසාදිතයන් 1,219 දෙනෙකුට ‘පැක්ස්ලොවිඩ්’ ඖෂධය ලබාදීමෙන් අනතුරුව රෝහල්ගත කිරීම සිදුව ඇත්තේ රෝහල් ගතකර ඇත්තේ ඉන් සියයට දශම බින්දුවයි අටක් (0.08%) පමණයි.

එහෙත් සාපේක්ෂව ඖෂධය ලබා නොදුන් පුද්ගලයන් අතරින් සියයට හතක් (7%) රෝහල් ගත කිරීමට සිදුව තිබෙනවා.

රෝග ලක්ෂණ පෙන්වා දින 5 කට පසු ෆයිසර් සමාගමේ කොරෝනා පෙත්ත ලබාදුන් පුද්ගලයන් අතරින් සියයට එකක් (1%) පමණක් රෝහල් ගතකිරීමට සිදුව ඇති අතර, කිසිවෙකු මියගොස් නැහැ.

එහෙත් ඖෂධය ලබා නොදුන් සාම්පල නියැදියේ පුද්ගලයන් අතුරෙන් සියයට 6.7 ක් රෝහල් ගතකර ඇති අතර, ඉන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ඖෂධය ක්‍රියාත්මක වන්නේ කොරෝනා වයිරසය මිනිස් සිරුර තුළ ප්‍රගුණනය වීමට අවශ්‍ය එන්සයිමයක් වැළැක්වීමෙන්.

එය, ‘රිටොනවීර්’ නැමති වයිරස්නාශක ඖෂධය සමඟ ලබාදුන් විට සිරුර තුළ වැඩි කාලයක් පවතින බවයි අනාවරණ වී ඇත්තේ.

‘පැක්ස්ලොවිඩ්’ ෆයිසර් කොරෝනා පෙත්ත තවදුරටත් සායනික පරීක්ෂණ මට්ටමේ පැවතුණද ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය විසින් එම පෙති ලක්ෂ ගණනක් දැනටමත් ඇණවුම් කර තිබෙනවා.

කොරෝනා රෝගය වැළැක්වීමේ ප්‍රධාන පියවර එන්නත්කරණය වූවත්, විශේෂයෙන් වයස්ගත අවදානම් කාණ්ඩයට ප්‍රතිකාර කිරීමේ ඖෂධ ලබාදීමට සිදුවනවා.

ඒ අනුව මීට පෙර ‘මර්ක්’ ඖෂධ සමාගම විසින් ඒ සඳහා ‘මොනුපිරවියා’ නැමති ඖෂධය ඉදිරිපත් කළ අතර, එමඟින් කොරෝනා ආසාදිතයන් රෝහල් ගතකිරීම සහ මරණය සියයට 50 කින් වළක්වන බව සඳහන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *