මුතුරාජවෙල ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සමක්

මුතුරාජවෙල ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සමක්

*********************************************

මුතුරාජවෙල ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සමක්

(05.11.2021 – 13:55 +0530 – sinhala.adaderana.lk)

මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදී කලාපයක් වශයෙන් නම්කර එය ‘රැම්සා’ තෙත්බිමක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහ එම ප්‍රදේශයේ පදිංචි ධීවරයෙකු වන කේ. එස්. එන්. ප්‍රනාන්දු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා, රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශ ලේකම්වරයා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා, වත්තල, මීගමුව, ජා-ඇළ ප්‍රාදේශීය ලේකම්වරු, නීතිපතිවරයා ඇතුළු 14 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

මුතුරාජවෙල මීගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ පුද්ගලයන් ලක්ෂ 3 ක් පමණ ජීවත් වන අතර එයින් 5,000 ක පමණ පිරිසක් එම තෙත්බිම ආශ්‍රිතව ධීවර, වගා ආදී කටයුතුවල නිරත වන බව පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ඉකුත් ඔක්තෝබර් මස 07 වනදා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ 2248/44 දරණ ගැසට් නිවේදනය මගින් මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ පිහිටි ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන ඒවා ‘රැම්සා’ තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමට අවසර ලබාදී ඇති බවය.

‘රැම්සා’ තෙත්බිම සංවර්ධනය කිරීමේ කාර්යය නාගරික සංවර්ධන අධිකාරියට ඉටු කළ නොහැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එය සිදු කළ යුත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ බව සඳහන් කරයි.

‘රැම්සා’ තෙත්බිමක් නම් කළ පසු ඊට මහජනතාව ඇතුළුවීම තහනම් කෙරෙන අතර මේ හරහා අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ජීවන කටයුතුවලට දැඩි අගතියක් සිදුවිය හැකි බව පෙත්සම්කරුවන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ අනුව නීතිවිරෝධී ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් පවරා ගැනීමට ගෙන තිබෙන තීරණය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ස්ථාපිත කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.

එමෙන්ම නීතිය ඉදිරියේ බලාත්මක නොවන අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් එම ගැසට් නිවේදනය පදනම් කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබේ ෴

තෙත්බිම් සුරැකීම වෙනුවෙන් අධිකරණයට පෙත්සමක්

(05.11.2021 – 23:08 +0530 – hirunews.lk/sinhala)

තෙත්බිම සංවර්ධනය කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා.

මේ අතර කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා සහ ප්‍රදේශයේ කතෝලික පියතුමන්ලා ද ඉල්ලා සිටින්නේ අදාළ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙසයි.

******************************************

නාගලගම් වීදිය ජල පොම්පාගාරය ජනපතිගේ හා ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට

(05.11.2021 – 22:18 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නාගලගම් වීදිය ජල පොම්පාගාරය අද (05) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ලෝක බැංකු නියෝජිතයන්ගේ නිරීක්ෂණයට ලක් කෙරුණා.

ජනාධිපතිවරයා එවක ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම්වරයා ලෙස 2012 වසරේදී කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සැලසුම් කරනු ලැබුවා.

ඊට උප ව්‍යාපෘති 55 ක් ඇතුළත් වන අතර, නාගලම් වීදිය ජල පොම්පාගාරය එක් උප ව්‍යාපෘතියක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

කොළඹ නගරය වැසි ජලයෙන් යටවීම වැළැක්වීම, වියළි කාලයේ දී ඇළ මාර්ගවල ජලය අඩු වීම නිසා සිදුවන අපවිත්‍රතා මඟහැරවීම මෙම උප ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණුයි.

තත්පරයකට ජලය ඝණ මීටර් 30 ක් කැලණි ගඟට මුදා හැරිය හැකි පොම්ප පහක් (5) සහ තත්පරයකට ජලය ඝණ මීටර් 12 ක් කැලණි ගඟෙන් ඇළ මාර්ගවලට රැගෙන ආ හැකි පොම්ප දෙකක් (2) මෙහි සවිකර තිබෙනවා.

ස්වයංක්‍රීය දොරටු දෙකකින් (2) සහ පාලක පද්ධතියක් ද මීට ඇතුළත්.

සමස්ත ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 321 ක් වැය කෙරෙන අතර ලෝක බැංකුව ඩොලර් මිලියන 213 ක සහනදායී ණයක් ඊට සපයා තිබෙනවා.

ශ්‍රී ලංකා රජය ඊට ලබා දී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 108 ක්.

සමස්ත ඉදිකිරීම් ඉදිරි මාස කිහිපය තුළ නිම කළ හැකි බව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂිකා ඒ.එච්. තුෂාරි මහත්මිය විසින් ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ප්‍රගතිය සමාලෝචනය කරමින් මෙහිදී කියා සිටියා.

මීට සමගාමීව තෝරාගත් ප්‍රදේශ කිහිපයක මාර්ග කිලෝමීටර් 47 ක් සංවර්ධනය කෙරෙනු ඇති.

විහාරමහා දේවී, කාක දූපත වෙරළ සහ බැද්දගාන තෙත් බිම් යන උද්‍යාන වැඩිදියුණු කිරීම ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්විග් ෂෙෆර් ඇතුළු නියෝජිතයන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා ෴

******************************************

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිට

(05.11.2021 – 21:11 +0530 – sinhala.adaderana.lk)

කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි ව පත්කර තිබේ.

මීට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කළේ අපවත් වී වදාළ අති පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිය.

******************************************

ගෑස් මාෆියාවක් ගැන ලිට්‍රෝ සභාපති හෙළිකරයි

(05.11.2021 – 20:08 +0530 – sinhala.adaderana.lk)

ලිට්‍රෝ ආයතනයට දැනට ගෑස් සපයන සමාගමේ තර්ජනයන්ට යටවී ගෑස් මිලදී ගැනීමේ ගිවිසුම තවත් වසර දෙකකට (2) දීර්ඝ කිරීමට සිදුවූයේ නම් රුපියල් බිලියන 10 ක පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ හිටපු සභාපතිවරයා අස්සන් කළ එම ගිවිසුම නිසා ජාත්‍යන්තරයෙන් අඩු මුදලට ගෑස් මිලදී ගැනීමට නොහැකි වී ඇති බවය.

“කාටවත් මේ ගෑස් වෙළෙඳපොළට එන්න දෙන්නේ නෑ. එක කණ්ඩායමක් විතරයි ගෑස් අලෙවි කරලා තියෙන්නේ. පක්ෂ ආණ්ඩු අදාළ නැහැ. හොරු කියන්නේ එක කණ්ඩායමක්. හොරුත් එක්ක සියලු දෙනාම ඉන්නවා. ඒක නිසා වැඩ කරන මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. පසුගිය 28 සිට මේ මස 01 වැනිදා දක්වා ගෑස් නිකුත් කරන්න බැරි වුණා. අපේ ප්ලාන්ට් එක වහන්න වුණා. ගෑස් පොඩ්ඩක්වත් අපි ළඟ තිබුණේ නැහැ. හේතුව, ගෑස් නැව වරායට ඇවිල්ලා තියෙද්දි ඔවුන් අපිට තර්ජනය කළා, ගෑස් දෙන්න බෑ… මේ කොන්ත්‍රාත්තුව තව අවුරුදු දෙකකට (2) දීර්ඝ කරන්නේ නැත්නම් කියලා. එයට අකමැතිවීම නිසාත් සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසාත් මට සිද්ධ වුණා ජනපතිතුමාගේ උපදෙස් ලැබෙනකම් ඉන්න. මේකට සම්බන්ධවූ පිරිසට ඕන වුණා මගේ අත්සනින් කොන්ත්‍රාත්තුව දීර්ඝ කරගන්න. මේ කොන්ත්‍රාත්තුව නිසා රටට නැතිවෙන සමස්ත මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 10 ක් විතර වෙනවා. එවැනි මුදලක් කවුරුහරි කෙනෙකුගේ අතට යනවා. ගිහින් නම්, ඒක අතීතයෙත් සිද්ධ වුණා නම්, ඒ ලැබිච්ච අය සහ ලැබෙනකම් බලන් ඉන්න අය මටත් ලේසියෙන් ඉන්න දෙන එකක් නෑ. ඒකට අපි බය නැහැ. මේකෙදි ජනපති හා මහබැංකු අධිපති මැදිහත්වුණා, අවසන් වශයෙන් ලැබුණු නැව නිදහස් කරගන්න. ඒ නිසා පෙර පරිදි අපි නිෂ්පාදන කටයුතු ආරම්භ කළා. මේ ගැන කලින් කියන්න බැරිවුණ එක ගැන කනගාටුයි. හැබැයි මම සතුටු වෙනවා හොරකම වෙන්න දීලා කියනවාට වඩා හොරකම නවත්තන්න පුළුවන් වුණ එක ගැන.

එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, “කවුද මේක අත්සන් කරලා තියෙන්නේ ?”

තෙෂාර ජයසිංහ මහතා – අත්සන් කරලා තියෙන්නේ 2020.02.28 වැනිදා. දැන් පවතින කොන්ත්‍රාත්තුව අවුරුදු 2 ක් තියෙනවා. කල් ඉකුත් වෙන්නේ 2022.02.28.

මාධ්‍යවේදියෙක් – මේක ගිවිසුම්ගත වෙච්ච පුද්ගලයෝ කරපු වැඩක් ද?

තෙෂාර ජයසිංහ මහතා – මෙවැනි කොන්ත්‍රාත්තුවකින් වරප්‍රසාද ලබන අය ඉන්නවා. ලෝක වෙළෙඳපොළෙන් මීට වඩා අඩුවට, ඩොලර් 50 සිට ඩොලර් 200 දක්වා අඩුවට ලංසු ලබාගන්න පුළුවන්. දැනට වඩා ඩොලර් 100 ක් අඩුවෙන් ගෑස් ලබාදෙන සමාගමක් සමග අපි කෙටි කාලීන ගිවිසුමකට එළඹිලා තියෙනවා. වැඩි මිලට ගන්නකොට ලාභයක් ලැබෙන තැනක් ඇති.

මාධ්‍යවේදියෙක් – ඒ කියන්නේ ඔබතුමාට පෙර හිටපු සභාපතිතුමාගේ කාලේ ගිවිසුම්ගතවීමත් එක්ක තමයි මේ වංචාකාරී ක්‍රියාව සිද්ධ වෙන්නේ ?

තෙෂාර ජයසිංහ මහතා – දැන් ක්‍රියාත්මක ගිවිසුමට එළඹිලා තියෙන්නේ 2020 මාර්තුවල. ඒ මට කලින් හිටපු සභාපතිවරයාගේ කාලේ.

මාධ්‍යවේදියෙක් – ඔබතුමත් මේ ආණ්ඩුවෙන්. එතුමත් මේ ආණ්ඩුවෙන් පත්වෙච්ච අය. හොරකම් කරන්නනේ මේ පත්වීම් දීලා තියෙන්නේ?

තෙෂාර ජයසිංහ මහතා – ජනාධිපතිතුමා මාව පත් කළේ ජනතාවට සේවයක් කරන්න. පසුගිය අවුරුදු 10 ම අඩු මිලට ගෑස් අරගෙන නැහැ.

මාධ්‍යවේදියෙක් – දැන් ඔබතුමාලා ඔය සමාගම් දණ ගස්සවන්න ගිහිල්ලා අන්තිමේදි අර චීන පොහොර නැව ඇවිල්ලා මහජන බැංකුවට වෙච්ච දේ වගේ ‘බ්ලැක් ලිස්ට්’ වුණොත්?

තෙෂාර ජයසිංහ මහතා – මං එයාලව ‘බ්ලැක් ලිස්ට්’ කරන්න ඉඩ තියෙනවා. ඒ අයට අපිව ‘බ්ලැක් ලිස්ට්’ කරන්න බෑ. අප විසින් ඔවුන්ගෙන් අඩුවෙන්ම මිලදී ගතයුතු කියන ප්‍රමාණය අතිශයින්ම මාසික අවශ්‍යතාවට සමානයි. පසුගිය කාලයේ මම වැඩභාර ගන්නාවත් එක්කම ලාෆ් සමාගම ගෑස් නිකුත් කිරීම නැවැත්තුවා.

******************************************

වැලිසර රිය අනතුර සහ ඒ ළමයා… (05.11.2021)

******************************************

2024 මුන් ටික එලවනවම තමයි (06.11.2021)

******************************************

ලංකාව අපෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ – මම ආපහු යනවා – ලංකාවෙන් අංක එකට පත්වූ කෘෂි විද්‍යා මහාචාර්යවරයා (05.11.2021)

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් ආසාදිතයින් 339 ක් පූර්ණ සුවයට

(05.11.2021 – 15:29 +0530 – hirunews.lk/sinhala)

නව්‍ය කොරෝනා වයිරසය ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 339 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (05) රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ සමග මෙරට වයිරසය ආසාදිතව සුවය ලද මුළු සංඛ්‍යාව 5,14,573 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ. තවදුරටත් පුද්ගලයින් 15,006 දෙනෙකු රෝහල්ගතව සහ නේවාසිකව ප්‍රතිකාර ලබනවා ෴

++++++++++++++++++

අද (05) ආසාදිතයින් 482 ක් හමුවේ – 15 දෙනෙකු ජීවිතක්ෂයට

(05.11.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala)

නව්‍ය කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 482 දෙනෙකු අද (05) දිනයේදී හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5,43,867 ක් දක්වා ඉහළ යනු ඇති ෴

නව්‍ය කොරෝනා වයිරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 15 දෙනෙකු අද (05) දිනයේදීත් ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. එම මරණ අතර කාන්තා මරණ 09 ක් සහ පිරිමි මරණ 06 ක් ඇතුළත්. අවුරුදු 30 ට අඩු කිසිදු මරණයක් මෙම මරණ අතර වාර්තා වී නැහැ. කෙසේවෙතත් වයිරසය ආසාදිතව මෙලෙස මියගොස් ඇති පුද්ගලයින් අතර, අවුරුදු 30-60 ත් අතර වයසේ පසුවන්නන් 02 ක් සහ 60 ට වැඩි වයස් කාණ්ඩයේ පසුවන්නන් 13 දෙනෙකු බවයි සෞඛ්‍ය අමාත්‍යාශය නිවේදනය කළේ ෴

නව්‍ය කොරෝනා වෛරස ආසාදිතයින් තවත් 145 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව අද (05) දිනට වාර්තා වන නව්‍ය කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 627 ක් දක්වා ඉහළ යනු ඇති. එමෙන්ම මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 5,44,012 ක් ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *