වත්මන් අධිකරණ ඇමති වහබ්වාදය අනුමත කරන්නෙක් – සිංහල රාවයෙන් චෝදනාවක්

වත්මන් අධිකරණ ඇමති වහබ්වාදය අනුමත කරන්නෙක් – සිංහල රාවයෙන් චෝදනාවක්

*********************************************

වත්මන් අධිකරණ ඇමති වහබ්වාදය අනුමත කරන්නෙක් – සිංහල රාවයෙන් චෝදනාවක්

(05.11.2021 – 16:57 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුවේ ඇති අක්‍රමිකතා හේතුවෙන් මේ වනවිට රටේ සියලුම ක්ෂේත්‍රවල දැඩි පරිහානියක් සිදු ව ඇති බව සිංහල රාවය දේශපාලන පක්ෂයේ නායක පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පවසනවා.

දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ අද (05) පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ, මේ වනවිට නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීමේ විභාගයෙහි පවා විශාල වශයෙන් ප්‍රශ්න ඇති වී තිබෙන බවයි.

කොළඹ නීති විද්‍යාලයට නවක සිසුන් ඇතුළත් කිරීමේ විභාගය වෙනුවෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටින සිසුන් 3584 න්, 177 දෙනෙකු සමත් වී ඇති අතර, සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් වූ සිසුන් 1619 න්, සමත්ව ඇත්තේ, 19 දෙනෙකු පමණක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

එමෙන්ම දෙමළ මාධ්‍යයෙන් ඉදිරිපත් වූ සිසුන් 380 න් 37 දෙනෙකු සමත් වී ඇතත්, මෙම විභාග ප්‍රතිඵලවල යම්කිසි අක්‍රමිකතාවක් රජය දැනුවත්ව සිදුවී ඇති බව ද, සිංහල රාවයේ පක්ෂ නායකයා සඳහන් කරනවා.

වත්මන් අධිකරණ අමාත්‍යවරයාට චෝදනා එල්ල කරන උන්වහන්සේ කියා සිටින්නේ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි යනු අන්තවාදී පුද්ගලයෙකු වන අතර, මෙවැනි අක්‍රමිකතා ඇති කරමින් ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන මොහු, යහපාලන ආණ්ඩුවේ සිටි හිටපු අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්ට වඩා එහා ගිය අයෙකු බවයි.

එමෙන්ම, ‘එක රටක් එක නීතියක්’ පදනම් කරගනිමින් ගොඩනගා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට නව සභාපතිවරයා වශයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ධුරයට ද අධිකරණ අමාත්‍යවරයා තරයේ විරුද්ධ වන්නේ ද වහබ්වාදී ආකල්ප දැරීම හේතුවෙන් බවයි සිංහල රාවයේ පක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් සිදු කරන්නේ, එක රටකට යෝග්‍ය වන එක නීතියක් සැකසීම වන අතර, එය යහපත් ප්‍රගමනයක් බවත්, මෙම ක්‍රියාවලියට සම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව කිසිදු අයුරකින් විරුද්ධ නොවන බව ද, එහෙත් අධිකරණ අමාත්‍යවරයා විරුද්ධ වීම පුදුමසහගත කරුණක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරනවා.

එලෙස වත්මන් අධිකරණ අමාත්‍යවරයා විරුද්ධ වීමට ප්‍රධානතම හේතුව වන්නේ, අන් කිසිවක් නොව, ඔහු වහබ්වාදය අනුමත කරන්නෙකු නිසා බවයි පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පැවසුවේ ෴

******************************************

ඖෂධ නියාමන අධිකාරියේ මැකූ දත්ත ලබා ගැනීමට විශේෂඥ සහාය

(05.11.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත යළි ලබා ගැනීමේ කටයුතු සඳහා විශේෂඥ සහාය ලබාගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඒ සඳහා සුදුසු විශේෂඥයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව ඇති බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

ඉන් දෙදෙනෙකු (2) ශ්‍රී ලාංකිකයින් වන බවත් සඳහන්.

දත්ත යළි ලබා ගැනීමේ කටයුතු සඳහා සුදුසු විශේෂඥයා තෝරා ගැනීම අමාත්‍යංශය මගින් පත් කළ කමිටුවක් මගින් සිදු කරන බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේ ෴

******************************************

සෙල්ෆි ගැසූ තරුණයෙකු දුම්රියේ ගැටී මරුට- තවත් අයෙකුට තුවාල

(05.11.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව සෙට්ටිකුලම – කල්ලාරු පාලමේ සෙල්ෆි ජායාරූප ගැනීමට ගිය තරුණයෙකු දුම්රියේ ගැටීමෙන් අද (05) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසූවේ තරුණයින් දෙදෙනෙකු (2) තලෙයිමන්නාරම සිට මැදවච්චිය දක්වා ගමන්ගත් දුම්රිය පැමිණෙන අවස්ථාවේදී, පාලමේ සිට සෙල්ෆි ජායාරූප ගැනීමට ගොස් ඇති අතර, ඉන් එක් (1) තරුණයෙකු දුම්රිය මාර්ගයේ ඇදවැටීමෙන් අනතුරුව දුම්රියේ ගැටී ඇති බවයි.

අනෙක් තරුණයා දුම්රියේ පැමිණීම දැක පාලමෙන් ජලයට පැන දිවි බේරාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුරින් මන්නාරම – මුරුන්කන් ප්‍රදේශයේ පදිංචි ෆ්‍රැන්සිස් කන්නා නමැති 19 හැවිරිදි තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට තරුණයාගේ මෘත ශරීරය සෙට්ටිකුලම රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, පාලමෙන් පැනීමෙන් තුවාල ලැබූ තරුණයා ද ප්‍රතිකාර සඳහා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

******************************************

කඨින උත්සවවලට ජනප්‍රිය ගීත නොව, උචිත ගීත පමණක් වාදනය කරන්න – සංස්කෘතික අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(05.11.2021 – 18:28 +0530 – hirunews.lk/sinhala)

මෙම දිනවල දිවයිනේ විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් කඨින පූජෝත්සවය පැවැත්වෙන අතර, ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය විචාර පිළිබඳ විශේෂ නිවේදනයක් බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් අද (05) නිකුත් කර තිබෙනවා.

මේ හේතුවෙන් සංස්කෘතික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, සියලුම විහාරස්ථාන විසින් නිවේදනයේ ඇති කරුණු කෙරෙහි අවධානය යොමුකොට ක්‍රියා කරන ලෙසයි.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් විහාරස්ථාන තුළ කඨින පූජෝත්සවය පැවැත්වීමට කටයුතු කරන ලෙස දන්වා ඇති අතර, පූජනීය ස්ථානවල භක්ති ගීත ප්‍රචාරය කිරීමේදී වර්තමානයේ පවතින ජනප්‍රිය ගීත නොව, ආගමික පසුබිමක් පවතින සහ ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් වාදනයට පියවර ගනිමින්, එකී ආගමික කටයුත්තේ පූජනීයත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසටයි එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ෴

කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස කැලණිය රජමහ විහාරාධිපති පුජ්‍ය මහින්ද සංඝරක්ඛිත හිමි පත් කර තිබෙනවා ෴

******************************************

පොහොර නැව ගැන ලක් රජයෙන් චීනයට වාර්තාවක්

(05.11.2021 – 18:46 +0530 – hirunews.lk/sinhala)

මත භේදයට තුඩුදුන් චීන කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම ඇතුලු කරුණු සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ලබන සඳුදා (08) චීන තානාපති කාර්යාලය වෙත භාර දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළා.

අදාළ වාර්තාව මෙම සතිය තුළ තානාපති කාර්යාලයට භාර දීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ. කෙසේ වෙතත් අද (05) දිනයේදී එය භාර නොදෙන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා කියා සිටියා.

මේ අතර ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා මෙවර මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර බෙදා දීම දිස්ත්‍රික්ක කිහිපයක මේ වන විට ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශ වල ගොවීන් පවසන්නේ තමන්ට අවශ්‍ය පොහොර මෙතෙක් ලැබී නොමැති බවයි.

මේ අතර සිංහලේ සංවිධානය, රාවණා බලය සංවිධානය සහ නව සිංහල රාවය ජාතික සංවිධානයේ භික්ෂූන් වහන්සේ ඇතුලු නියෝජිත පිරිසක් අද (05) පදවිය සහ කැබිතිගොල්ලෑව ප්‍රදේශ වල කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථාන සහ කුඹුරු නිරීක්ෂණය කිරීමටත් වකුගඩු රෝගීන් හමුවීමටත් ගොස් තිබෙනවා.

එසේම, පොහොර ගැටලුව සහ ඉහළ යන බඩු මිලට විරෝධය පල කරමින් සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතාවක් බෙන්තර – මිරිස්වත්ත ප්‍රදේශයේදී පැවැත්වුණා. පොළොන්නරුව පරාක්‍රම සමූද්‍රයෙන් මෙවර මහ කන්නයට අවශ්‍ය ජලය නිකුත් කිරීම අද (05) උදෑසන ආරම්භ කෙරුණා. කවුඩුල්ල ජලාශයෙන් ද මහ කන්නයේ වගාවන්ට අවශ්‍ය ජලය නිකුත් කෙරුණේ ගොවි නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන්.

මේ අතර බදුල්ල – ඇල්ල ප්‍රදේශයේ ගොවීන් කාබනික පොහොර භාවිතයෙන් සිදු කළ සාරථක තක්කාලි වගාවක් පිළිබඳව හිරු ප්‍රවෘත්තී අංශයට වාර්තා වුණා.

එසේම, වලල්ලාවිට – උඩුගම මහා වෙල්යායේ පුරන්ව තිබූ අක්කර 10 ක පමණ කුඹුරු කාබනික පොහොර භාවිතකර යළි අස්වැද්දීම සිදු කර තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය කාබනික පොහොර වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් නිෂ්පාදනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, හානිකර බැක්ටීරියා සහිත පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට සහ එහි දේශිය නියෝජිතයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 19 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අද නියෝග කළා.

******************************************

බෑගයෙන් හමු වූ කාන්තා මළසිරුරෙහි අනන්‍යතාව හෙළි වේ

(05.11.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද – මාබිම – තෙල් පිරිපහදු සංකීර්ණය අසල මාර්ගයේ කසළ ගොඩක දමා ගොස් තිබියදී ගමන් බෑගයකින් හමුවූ කාන්තා මළ සිරුර මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියකගේ බවට අද (05) හඳුනා ගැනුණා.

ඒ, ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනා (2) විසින් දේහය රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේදී පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සපුගස්කන්ද, බ්ලූමැන්ඩල්, මාලිගාවත්ත සහ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් මේ වනවිට බොහෝ තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව ‘මොහොමඩ් ෂාෆි ෆාතිමා මුම්ටාස්’ නමැති මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 44 හැවිරිදි දෙදරු මවක් වන මෙම කාන්තාව, පසුගිය 28 වැනිදා පස්වරුවේ සිය නිවසෙන් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සමඟ ත්‍රීරෝද රථයකින් පිටත්ව ගොස් තිබෙනවා.

එය ඇගේ ඥාති පුත්‍රයෙකු විසින් දැක ඇති අතර, තම බිරිඳ නිවසට නොපැමිණීම නිසා පසුගිය 01 වැනිදා බ්ලූමැන්ඩල් පොලිසියට අතුරුදන් වූ කාන්තාවගේ සැමියා විසින් පැමිණිල්ලක්ද සිදුකර තිබුණේ ත්‍රීරෝද රථයෙන් අවසන් වරට ඇය සමඟ ගිය කාන්තාවද පොලිසියට කැඳවාගෙන යමින්.

මියගිය කාන්තාව බ්ලූමැන්ඩල් – ඕර්ස් ලේන් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයෙන් බැස ගිය බව එහිදී ඇය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, සපුගස්කන්ද – මාබිම ප්‍රදේශයේ මාර්ගයක, බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමත් සමඟ ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ තොරතුරු දැනගත් මෙම කාන්තාවගේ සැමියා සහ දරුවන් අද (05) රාගම ශික්ෂණ රෝහලට පැමිණ ඇයගේ මෘත ශරීරය හඳුනා ගත්තා.

මේ වනවිට මියගිය කාන්තාව සිය නිවසින් පිටත්ව ගිය ත්‍රීරෝද රථයේ සිටි කාන්තාව සහ ඇගේ සහෝදරයා බව කියන පුද්ගලයා ඔවුන් වාසය කරන මට්ටක්කුලිය – සමිට්පුර ප්‍රදේශයේ නොමැති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මියගිය කාන්තාව මුදල් පොලියට ලබාදීම සිදුකරන සහ මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වන තැනැත්තියක බවයි. මේ වනවිට අතුරුදන් කාන්තාවද එලෙස සූදු ක්‍රීඩාවේ නිරතවන්නියක් බව අනාවරණ වී තිබෙනවා. අතුරුදන් කාන්තාවගේ උකසක් මියගිය කාන්තාව විසින් බේරා දී ඇති බවද ඇයගේ පවුලේ ඥාතීන් පොලිසියට ප්‍රකාශ කර තිබුණා.

මියගිය කාන්තාවගේ සැමියා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ තම බිරිඳගේ මරණය සම්බන්ධයෙන් අතුරුදන් කාන්තාව සැක කරන බවයි.

මියගිය කාන්තාවගේ මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (06) සිදුකිරීමට නියමිතයි.

******************************************

මෙරට ආර්ථිකය පුපුරන්නට ආසන්න වූ කාල බෝම්බයක් හා සමාන බව ජාත්‍යන්තර සඟරාවක් පවසයි

(05.11.2021 – 22:08 +0530 – hirunews.lk/sinhala)

විදේශ සංචිත කඩාවැටීම, ජීවන වියදම ඉහළ යාම සහ මහ බැංකුව සිදු කරන අසීමාන්තික මුදල් මුද්‍රණය නිසා ශ්‍රී ලංකා ආර්ථිකය ඕනෑම මොහොතක පුපුරා යා හැකි කාල බෝම්බයකට සමාන බව ලෝ ප්‍රකට ආර්ථික විශ්ලේෂක සඟරාවක් වන ‘නික්කී ඒෂියා’ සඟරාව පෙන්වා දෙනවා .

ශ්‍රී ලංකා මහ බැංකුව ඔක්තෝම්බර් මාසයේදී පමණක් රුපියල් බිලියන 130 කට අධික මුදලක් මුද්‍රණය කර ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙනවා.

නමුත් එය ග්ලැසියරයක උඩ කොටස පමනක් ලෙස අර්ථකථනය කරන ඔවුන් පෙන්වා දෙන්නේ 2019 දෙසැම්බර් සිට 2021 අගෝස්තු දක්වා ශ්‍රී ලංකාවේ මුදල් සැපයුම රුපියල් ට්‍රිලියන 2.8 කින් හෙවත් 42% ක දැවැන්ත වැඩිවීමක් සිදුවී ඇති බවයි .

මෙලෙස මුද්‍රණය කරන ලද මුදල්වලින් වැඩි ප්‍රමාණයක් වැය වී ඇත්තේ රාජ්‍ය අංශයේ මිලියන 1.2 ක සේවකයන්ගේ වැටුප් ගෙවීමට සහ සෑම වසරකම රජයට රුපියල් ට්‍රිලියන එකක අධික මුදලක් වැය වූ විශ්‍රාම වැටුප් පියවීමටයි.

කොවිඩ්-19 වසංගතය තුළ වැටුප් කප්පාදුවලට ලක් වූ පෞද්ගලික අංශය මෙන් නොව, රාජ්‍ය සේවකයින් හිස් රාජ්‍ය භාණ්ඩාගාරය ද නොතකා සම්පූර්ණ වැටුප ලබා ගත් අතර පොලී අනුපාත අඩු මට්ටමක තබා ගැනීමේ අරමුණින් මුදල් මුද්‍රණය ද අඛණ්ඩව සිදු කළා.

මේ මස මුලදී මාධ්‍ය හමුවක් අමතමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට නම් මුදල් මුද්‍රණය සිදු කළ යුතු බවයි.

“ඔබ මුදල් නීතිය කියවන්නේ නම්, මහ බැංකුවේ එක් වගකීමක් වන්නේ මිල ස්ථායිතාව මෙන්ම මූල්‍ය පද්ධති ස්ථායිතාවයි,” ඔහු කියා සිටියා.

“සමහර විට, මූල්‍ය පද්ධති ස්ථායිතාව මෙන්ම ආර්ථික සහ මිල ස්ථායිතාව සඳහාත් රජයට අමතර භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ හැකි අවස්ථා තිබිය හැකියි” යනුවෙන් වැඩිදුරටත් ඔහු සඳහන් කරනවා.

එමෙන්ම ‘වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස’ රටවල් 120 ක පමණ මේ හා සමාන මුදල් සැපයුම වැඩිවීමක් දක්නට ලැබෙන බවත් කබ්රාල් මෙහිදී කියා සිටියා.

මෙම මතය ප්‍රතික්ෂේප කරන හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසන්නේ ආර්ථිකයට 42% මුදල් සැපයුම රට තුල දරුණු උද්ධමන තත්ත්වයක් ඇති කරන්නක් බවයි.

ඔහු අනතුරු අඟවන්නේ මේ හේතුව නිසා ඇතැම් විට ඉදිරි වසර කිහිපය තුළදී එම උද්ධමන තත්ත්වය 40% ඉක්මවිය හැකි බවටයි.

“සාමාන්‍යයෙන් මහ බැංකුවකට උද්ධමනය ඇති නොකර මෙම මුදල් තොගය වැඩි වීමට ඉඩ දිය හැක්කේ එම වැඩිවීම ආර්ථිකයේ සැබෑ වර්ධනයට සමාන නම් පමනක් බවයි ඔහු ‘නික්කී ඒෂියා’ සඟරාව වෙත කියා සිටියේ.

2020 දී මෙරට ආර්ථික වර්ධනය -3.6% ක් වූ අතර 2021 දී 4.5% ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ඉදිරි වසර දෙක සඳහා එහි සැබෑ ශුද්ධ වර්ධනය 1% ක් පමණ වනු ඇති බවටයි ඔහු පුරෝකථනය කරන්නේ.

ආර්ථික කාල බෝම්බ සාධකය සම්බන්ධයෙන් පැවසූ ඔහු කියා සිටියේ ‘එය දැන් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඕනෑම වේලාවක පුපුරා යා හැකි’ බවයි.

මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයකු වන සිරිමල් අබේරත්න වත්මන් මූල්‍ය ප්‍රතිපත්තියට වැඩි සහයෝගයක් දක්වමින් පවසන්නේ මෙය වසංගත තත්වය නිසා ඇති වී තිබෙන මූල්‍ය හානිය හේතුවෙන් හටගත් එකක් බවයි.

නමුත් ඔහු අවධාරණය කරන්නේ මෙම ප්‍රවේශය ‘තාවකාලික ක්‍රියාමාර්ගයක් පමණක්’ විය යුතු බවයි.

කෙසේ වෙතත් මෙම උද්ධමන තත්වය හඳුනා ගත් සැප්තැම්බර් මාසයේදීම මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ බවත් ඔහු සඳහන් කළා.

වොෂින්ටනය පදනම් කරගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය ප්‍රධාන ආර්ථික විද්‍යාඥ සර්ගි ලනාවු ද එවැනිම මතයක් ඉදිරිපත් කළ අතර ඔහු කියා සිටියේය පවතින සංගත තත්වය හේතුවෙන් මෙය අසාමාන්‍ය දෙයක් නොවන බවයි.

වසංගතය හේතුවෙන් රජයේ ඉහළ ගිය වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට මෙම පියවර ගැනීමට සිදු වූ බවත් පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ මහබැංකු ද මේ ආකාරයේම ක්‍රියාමාර්ග ගත් අතර ඔහු අවධාරණය කරන්නේ මෙම තත්ත්වය දිගින් දිගටම පවත්වා ගතහොත් ඒ හරහා උද්ධමනය සහ විනිමය අනුපාතිකයන් මත දැඩි වැඩි පීඩනයක් ඇති වීම වළක්වා ගත නොහැකි කරුණක් බවයි.

එය කිසිසේත් පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා උපකාර කරගත හැකි සාධනීය ක්‍රියාමාර්ගයක් නොවන බවටත් ඔහු අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතිකය මේ වසරේ 4% සිට 7% ක් දක්වා ඉහළ ගොස් ඇති නමුත් සැප්තැම්බර් මාසයේදී එය සුළු වශයෙන් පහත වැටුනා.

මේ අතර සැප්තැම්බර් ආහාර දර්ශකය ද වසර දෙකකට පසු 22% කින් ඉහළ ගියා.

මහාචාර් අබේරත්න පැවසුවේ, තාවකාලික සහ විච්ල්‍ය ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් මෙම මිල වැඩි වීම් වලට විශාල වශයෙන් හේතු වූ බවයි.

2019 දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස තේරී පත් වූ වහාම, මැතිවරණ ප්‍රතිඥාවක් ඉටු කිරීම සඳහා විශාල බදු අඩු කිරීම් ප්‍රකාශයට පත් කල අතර එකතු කළ අගය මත බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීම සහ දේශීය භාණ්ඩ හා සේවා සඳහා වූ 2% ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරීම මෙම පීඩනයට හේතු වුණා.

ලනාවු සහ ආචාර්‍ය විජේවර්ධන ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින් අවධාරනය කරන්නේ ශ්‍රී ලංකාවට දැන් මෙම ආර්ථික ආගාධයෙන් ගොඩ ඒමට ඇති එකම මාර්ගය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත හැරීම බවයි.

වසර 4.5 සිට 10 දක්වා කාලයකින් ආපසු ගෙවිය හැකි 3.55% ක අනුපාතයකින් ඩොලර් බිලියන 2.8 ක විශේෂ ණය පහසුකමක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබා ගැනීම විදේශ ආයෝජකයින්ගේ විශ්වාසය නැවත ලබා ගැනීමට සහ විදේශ විනිමය ප්‍රවාහය අඩු කිරීමට උපකාරී වනු ඇතැයි යන්න ආචාර්‍ය විජේවර්ධනගේ මතයයි.

‘එමඟින් රට නැවත වර්ධනයට ගෙන ඒම සඳහා අවශ්‍ය දිගුකාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට අවශ්‍ය හුස්ම ගැනීමේ අවකාශයක් ලැබෙනු ඇත’ යන්න ‘නික්කී ඒෂියා’ නිගමනයයි ෴

Sri Lanka’s economy seen as a ‘ticking time bomb’

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *