ගමන් බෑගයෙන් හමු වූ කාන්තා මළසිරුර

ගමන් බෑගයෙන් හමු වූ කාන්තා මළසිරුර

*********************************************

ගමන් බෑගයෙන් හමු වූ කාන්තා මළසිරුර

(04.11.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද – තෙල් පිරිපහදුව අසල මාර්ගයේ කසල ගොඩක තිබූ ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් අද (04) සොයා ගත්තා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවයි.

අවුරුදු 30 ත් 40 ත් අතර වියේ පසුවන කාන්තාවකගේ සිරුරක් මෙලෙස සොයා ගෙන ඇති අතර එහි අත් පා ගැට ගසා තිබූ බව පොලීසිය ප්‍රකාශ කළා. ප්‍රදේශවාසීන් විසින් එම ස්ථානයෙන් දුගඳක් හමන බවට පොලීසියට සිදුකළ දැනුම්දීමකට අනුවයි බෑගය පරීක්ෂා කර ඇත්තේ.

බෑගය, කොළ පැහැති පැදුරකින් ඔතා එම ස්ථානයට ගෙනවිත් දමා ඇති අතර පොලීසිය දැනට සැක පළ කරන්නේ මීට දින 4 කට පමණ ඉහතදී එය කසල ගොඩට දමා ඇති බවටයි. මෘත ශරීරය හඳුනාගත නොහැකි අන්දමට නරක්වී ඇති බැවින් ශරීරයේ යම් කැපුම් තුවාලයක් තිබේදැයි පහසුවෙන් නිරීක්ෂණය කළ නොහැකි බව ද පොලීසිය සඳහන් කළා.

පසුගිය මාර්තු මාසයේදී ද කොළඹ – වේල්ලවීදියේ බෑගයක තිබී හිස නොමැති කාන්තා මළ සිරුරක් සොයා ගත් අතර, මෙතෙක් එම සිරුරේ හිස සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීමට පොලීසියට හැකියාව ලැබුණේ නැහැ.

******************************************

සංවර්ධන නිලධාරින් සහ රැකියාලාභී උපාධිධාරින් 8 වනදා අසනීප නිවාඩු

(04.11.2021 – 15:06 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධන නිලධාරි සේවා සංගමය සහ රැකියාලාභී උපාධිධාරින්ගේ සංගමය එළඹෙන 8 වනදා සඳුදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ එක්දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

සංවර්ධන නිලධාරි සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ වෘත්තිය ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් එම තීරණය ගත් බවයි.

දැනට රාජ්‍ය සේවාවට බඳවාගෙන සිටින සංවර්ධන සහකාර නිලධාරින්, අභ්‍යාසලාභී උපාධිධාරින්, ඇතුළු පළාත් රාජ්‍ය සේවා උපාධිධාරින්ගේ නොවිසඳුනු ගැටලු කිහිපයක් විසඳා ගැනීමේ අරමුණින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

******************************************

ඩෙංගු උණ වැළදී 11 හැවිරිදි දරුවෙකු ජිවිතක්ෂයට

(04.11.2021 – 16:30 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගය වැළඳී බදුල්ල – බදුලුපිටිය ප්‍රදේශයේ වයස අවුරුදු 11 ක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

උණ සහ වමනය හේතුවෙන් දරුවා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඊයේ (03) රාත්‍රියේ ජිවිතක්ෂයට පත් වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා ඌව මහ විදුහලේ පස්වන (5) ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

මියගිය දරුවාගේ නැගණිය ද ඩෙංගු රෝගය වැළදී මේ වනවිට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

******************************************

පැන්ඩෝරා පත්‍රිකා විමර්ශන ගැන අතුරු වාර්තාවක් ජනපතිට

(04.11.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශනවල අතුරු වාර්තාවක් ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව අල්ලස් කොමිසමේ ලේකම්, අප්සරා කල්දේරා මහත්මිය ප්‍රකාශ කළා.

පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් සම්බන්ධයෙන් පසුගියදා අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කළ අතර ඔහු දෙවරක් එහි පැමිණ ප්‍රකාශ ලබාදුන්නා.

පැන්ඩෝරා ලේඛන මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති තොරතුරු පිළිබඳ වහාම පරීක්ෂණයක් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේ ජනාධිපතිවරයා විසින්.

මසක් ඇතුළත තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා එහි දී දැනුම් දී තිබුණේ ෴

******************************************

මන්ත්‍රිනී ඩයනාගෙන් පක්ෂ සාමාජිකත්වය රැකගැනීම වෙනුවෙන් අධිකරණයට පෙත්සමක්

(04.11.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ විසින් අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

පෙත්සම මගින් ඇය ඉල්ලා ඇත්තේ, සමගි ජන බලවේගය විසින් ගත් එම තීරණය බලරහිත කරන ලෙසටයි.

******************************************

සහල් මෙට්‍රික් ටොන් 15,000 ක ඇණවුමක් ඉන්දියාවෙන්

(04.11.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

සතොසෙන් සහල් සහ සීනි පමණක් මිලදී ගැනීමට අවස්ථාව ලබානොදී තවත් භාණ්ඩ 5 ක් වත් මිලදී ගත යුතු බවට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැනවූ කොන්දේසිය පාරිභෝගික අධිකාරි පනත උල්ලංඝනය කිරීමක් බව නීතිවේදීන් පෙන්වා දෙනවා.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ගත් මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කර තිබූ අතර, සීනි සහ සහල් මිලදී ගැනීමට සතොස වෙළඳසැල් වෙත පාරිභෝගිකයින් පැමිණ සිටියා.

කෙසේ වෙතත්, පාරිභෝගික කටයුතු පිලිබඳ සභාවේ හිටපු සභාපති නීතිඥ එන්.එම්.ෂහීඩ් මහතා ප්‍රකාශ කළේ භාණ්ඩයේ මිල නොපමාව ගෙවිය යුතුය යන කොන්දේසි හැර වෙනත් කොන්දේසි පාරිභෝගිකයන්ට පැනවීමට වෙළඳුන්ට හැකියාවක් නොමැති බවයි.

එලෙස කොන්දේසි පනවමින් භාණ්ඩ අලෙවිකරන වෙළඳුන්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියට ක්‍රියා කළ හැකි වනවා.

ඒ අනුව, එලෙස අත්අඩංගුවට ගන්නා වෙළඳුන්ට දඩ පැනවීමට මෙන්ම, බන්ධනාගාර ගත කිරීමට 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරි පනත යටතේ නියමයන් පනවා ඇති බවයි පාරිභෝගික කටයුතු පිලිබඳ සභාවේ හිටපු සභාපති එන්.එම්. ෂහීඩ් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මේ අතර, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 8 ක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, ඒ අනුව සීනි, කුකුළු මස්, කරවල, උම්බලකඩ, මුංඇට, කඩල, ලොකුලූණු සහ බඩඉරිඟු සඳහා පනවා තිබූ පාලන මිල ද ඉවත් කෙරෙනු ඇති.

මේ අතර, ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 65 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

එලෙස ආනයනික බදු සංශෝධනය කිරීමෙන් අනතුරුව අද (04) දිනයේ මේ දක්වා ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 15,000 ක් ආනයනය කිරීම සඳහා ඇණවුම් ලබාදී ඇති බවයි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ.

අද (04) දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස්, භූමිතෙල් සහ සිමෙන්ති මිලදී ගැනීම සඳහා ජනතාව පෝලිම් වල රැදී සිටි බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

******************************************

ආනයනය කළයුතු පලිබෝධ නාශක වල ලැයිස්තුව සැකසේ

(04.11.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

පලිබෝධ නාශක ගෙන්වීම සදහා මේ වනවිට ලැයිස්තුවක් සකස් කරමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අනතුරුව එය කැබිනට් මණ්ඩලයට තීරණයක් ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

දේශීය පලිබෝධ මර්දන ක්‍රම වැඩි වශයෙන් යොදා ගන්නා බැවින් අවශ්‍යතා අනුව පරිසර හිතකාමි කෘමිනාශක ගෙන්විම කෙරෙහි අවධානය යොමුකරන බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජන්ත සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, ඉන්දියාවේ සිට අද (04) අලුයම මෙරටට ගෙන ආ නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගය ලබන සතියේ සිට ගොවීන්ට බෙදා හැරිම සිදුකරන බවයි පොහොර ලේකම් කාර්යාලය සදහන් කළේ.

එසේම, පොලොන්නරුව ඕණෑගම ප්‍රදේශයේ ගොවිපවුල් 385 ක් පමණ මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරමින් වගාවට සුදානම් වන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම, වගාහානි සදහා රජය විසින් වන්දි ලබාදීමට පොරොන්දු වි ඇති බැවින් වගාකටයුතු ආරම්භ කීරීමට සුදානම් බවද පොලොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ ගොවින් සදහන් කළා. ඒ අනුව වගා කටයුතු ආරම්භ කිරීම සදහා ඔවුන් ඇළ වේලි සකසමින් සිටිනවා.

පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ ගොවි ජනතාව වාරි ජලය නිකුත් කිරිමට පෙර වැසි ජලයෙන් සිය වගා කටයුතු ආරම්භ කර ඇති අතර ඔවුන් පවසන්නේ මහකන්නය සදහා රජය විසින් පොහොර ලබාදෙන බවට පොරොන්දු වී ඇති බැවින් වගාකටයුතු ආරම්භ කළ බවයි.

එමෙන්ම, කුරුණැගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 82,000 ක් වගා කිරීමට අවශ්‍ය කාබනික පොහොර එම දිස්ත්‍රික්කයේ පොහොර මධ්‍යස්ථාන 56 ලබාදි ඇති අතර ඒවා ගොවීන්ට බෙදාදීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

******************************************

අද (04) රාත්‍රී කාලයේදීත් ගිගුරුම් සහිත වැසි

(04.11.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

අද (04) රාත්‍රී කාලයේදීත් ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, දැදුරු ඔය, රාජාංගනය, වෙහෙරගල සහ උඩවලව යන ජලාශවල තවදුරටත් වාන්දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියා.

එසේම, මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, කළුතර, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කවලට අදාළව නිකුත් කළ නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1504 කට අයත් පුද්ගලයින් 6034 දෙනෙකු බලපෑමට ලක්වී තිබෙනවා.

පුද්ගල මරණ 4 ක් වාර්තා වී ඇති අතර නිවාස 432 කට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

පූර්ණ එන්නත්කරණය ලැබූ මෙරට සමස්ත ජනගහනය 61 % ඉක්මවයි

(04.11.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

පුර්ණ එන්නත් කරණයට ලක් වූ මෙරට පුද්ගලයින් සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් 60% ඉක්මවා ගොස් තිබෙනවා.

කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට තුල පුද්ගලයින් 1,35,21,516 දෙනෙකු පූර්ණ එන්නත් ලබා තිබෙනවා.

එය සමස්ත ජනගහනයෙන් 61% ක්.

මේ වනවිට පුද්ගලයින් 21,924 දෙනෙකුට කොරෝනා 03 වන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

මේ අතර, ඇමෙරිකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 58 දෙනෙකු පූර්ණ එන්තත්කරණයට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් ගෙවුණු දිනයේ ලොව වැඩිම කොරෝනා මරණ වන 1436 ක් ඇමෙරිකාවෙන් වාර්තා වූ අතර 75,000 ඉක්මවා ගෙවුණු දිනයේ ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද එරටින් වාර්තා වුණා.

එමෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත කොවැක්සීන් එන්නත හදිසි භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය හිමි වී තිබෙනවා.

++++++++++++++++++

තවත් ආසාදිතයින් 354 ක් සුව අතට

(04.11.2021 – 15:12 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 354 ක් සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 5,14,234 ක් දක්වා ඉහළ යනු ඇති ෴

තවත් කොරෝනා මරණ 15 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (04) තහවුරු කළා. ඊයේ (03) දිනයේ සිදුවූ කොරෝනා ආසාදිත මරණ 15 ක් මෙලෙස තහවුරු කෙරුණු අතර ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,806 ක් ලෙසයි.

තවත් ආසාදිතයන් 354 දෙනෙකු අද සුවය ලැබූ අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව සටහන් වන්නේ 5,14,234 ක් ලෙසයි. ආසාදිතයින් 14,768 දෙනෙකු මේ වනවිට වාර්තා වන බව ද වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා. අද (04) දිනයේ මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 468 ක් ෴

නව්‍ය කොරෝනා වයිරසය ආසාදනය වූ 468 දෙනෙකු අද (04) දින හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 5,43,261 ක් දක්වා ඉහළ යනු ඇති ෴

නව්‍ය කොරෝනා ආසාදිතයින් තවත් 124 දෙනෙකු අද (04) දිනයේදී හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට අද (04) දිනට හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 592 ක් දක්වා ඉහළ යනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *