16 හැවිරිදි දරුවෙකු පැද වූ මෝටර් රථයක් වැලිසර දී වාහන 4 ක ගැටේ – එක් (1) අයෙකු මිය යයි – තිදෙනෙකුට (3) තුවාල

16 හැවිරිදි දරුවෙකු පැද වූ මෝටර් රථයක් වැලිසර දී වාහන 4 ක ගැටේ – එක් (1) අයෙකු මිය යයි – තිදෙනෙකුට (3) තුවාල

*********************************************

16 හැවිරිදි දරුවෙකු පැද වූ මෝටර් රථයක් වැලිසර දී වාහන 4 ක ගැටේ – එක් (1) අයෙකු මිය යයි – තිදෙනෙකුට (3) තුවාල

(04.11.2021 – 11:34 +0530 – hirunews.lk/sinhala)

16 හැවිරිදි දරුවෙකු පැද වූ මෝටර් රථයක් වැලිසර දී අනතුරකට ලක් වී තිබෙනවා.

එහි දී මෝටර් රථය තවත් වාහන 4 ක ගැටී අනතුරට ලක් වී එක් අයෙකු මිය ගොස් ඇති අතර, තිදෙනෙකු (3) තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

++++++++

+++++++++

වැලිසර අනතුරේ පිය – පුතු දෙපළ අත්අඩංගුවට

(04.11.2021 – 19:44 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකුට (1) මරු කැඳවමින් තවත් සිව් (4) දෙනෙකුට තුවාල සිදුකරමින් වැලිසර මහබාගේ ප්‍රදේශයේ අද (04) පෙරවරුවේ සිදුවූ රිය අනතුරට අදාළව එම රථය පැදවූ 16 හැවිරිදි ළමයා සහ ඔහුගේ පියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ළමයා පැදවූ සුඛෝපභෝගී රථය මාර්ගයෙන් ඉවතට පැන අනෙක් මංතීරුවේ පැමිණි මෝටර් රථයක ගැටී අනතුරට ලක්වූ අතර, ත්‍රිරෝද රථයක් (1) සහ යතුරුපැදි දෙකක් (2) ද ඊට මැදිවුණා.

අනතුරෙන් මියගියේ එක් යතුරුපැදියක ගමන් කළ මහබාගේ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි අයෙක්.

16 හැවිරිදි දරුවෙකු පැදවූ සුපිරි ජීප් රථයක් තවත් වාහන කිහිපයක ගැටී අනතුරට පත්වීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ තවත් සිව්දෙනෙකු අද පෙරවරුවේ තුවාල ලැබුවා.

එම අනතුර වාර්තා වුණේ කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේදියි.

ජීප් රථයේ අධික වේගය හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අනෙක් මංතීරුව වෙත කඩා වැදී තිබුණා.

අද පෙරවරු 9.30ට පමණ මෙම අනතුර සිදුව තිබුණේ කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිසර පොදු සුසාන භූමිය ආසන්නයේදීයි.

කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුවී තිබුණා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පස්දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතරල එහිදී බරපතළ තුවාල ලබා සිටි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු සමඟ යතුරුපැදියේ ගමන් ගත් පසුපැදිකරුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා.

අනතුරට ලක්වූ සුඛෝපභෝගී ජීප් රථය ධාවනය කර තිබුණේ 16 හැවිරිදි දරුවෙක්.

ඔහු මහබාගේ ප්‍රදේශයේම ස්වර්ණාභරණ වෙළෙඳසැල් හිමිකරුවෙකුගේ පුත්‍රයෙක්.

ජීප් රථය ධාවනය කළ දරුවාගේ පියා ද පසුව එම ස්ථානයට පැමිණි අතර, ඔහුට ද රැස්ව සිටි පුද්ගලයින් විරෝධය පළ කළා.

අනතුරට පත් ජීප් රථය ධාවනය කළ 16 හැවිරිදි දරුවා සහ ජීප් රථයේ හිමිකරු වන එම දරුවාගේ පියා මහබාගේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හෙට (05) දිනයේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

******************************************

බදු අඩු කිරීම තුළින් ඉදිරි උත්සව සමයේදී ආනයනික සහල් මිලෙහි පහළ යාමක්

(04.11.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

සහල් සඳහා පනවා තිබූ ආනයනික බදු අඩු කිරීම තුළින් ඉදිරි උත්සව සමයේදී සහල් මිලෙහි පහළ යාමක් අපේක්ෂා කරන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

නොවැම්බර් 02 වන දා සිට බල පැවැත්වෙන පරිදි මාස 6 ක කාලයක් සඳහා මෙතෙක් පැවති ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 65 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩු කිරීමටයි මුදල් අමාත්‍යාංශය ඊයේ (03) පියවර ගනු ලැබුවේ.

පවතින සහල් හිඟය සහ මිල වැඩි වීමට පිළියමක් ලෙස මීට පෙර සහල්වල උපරිම මිල සීමාව ද පසුගිය දා ඉවත් කළ අතර, ඉන් පසුව ද සහල් මිල ඉහළ ගියා.

වෙළද අමාත්‍යවරයා ඊයේ (03) ප්‍රකාශ කළේ යළි සහල් මිල ඉහළ යාමේ ප්‍රවනතාවක් පැවතීම හේතුවෙන් මේ වසර අවසන් වන තෙක් සහල් ආනයනය පිළිබද ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට රජය තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත්, ආනයනික සහල් සඳහා පැවති බද්ද අඩු කිරීම මේ වන විට වෙළදපළේ ඉහළ ගොස් ඇති සහල් මිල පාලනයට හේතුවක් වනු ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා කියා සිටියා.

මේ අතර, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 8 ක් සඳහා පනවා තිබූ උපරිම මිල සීමාවන් ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඊයේ (03) දින සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් නිකුත් කර ඇති නව ගැසට් පත්‍රය මගින් සීනි, කුකුළු මස්, කරවල, උම්බලකඩ, මුං ඇට, කඩල, ලොකුලූණු සහ බඩ ඉරිඟු පාලන මිල ඉවත් කර තිබෙනවා.

සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122 ක්, දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 125 ක් ලෙස මීට පෙර ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණා.

එමෙන්ම, හාල්මැස්සන් සඳහා රුපියල් 490 ක්, පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 159 ක්, කරවල කිලෝවක් සඳහා රුපියල් 1500 ක්, උම්බලකඩ කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 1500 ක් සහ ලොකුලූණු කිලෝවක් සඳහා රුපියල් 150 ක්, කුකුළුමස් කිලෝවක් සඳහා රුපියල් 500 ක් මෙන්ම මුං ඇට කිලෝවක් සඳහා රුපියල් 205 ක් සහ කඩල කිලෝවක් සඳහා රුපියල් 260 ක් ලෙස මීට පෙර නිකුත් කළ ගැසට් පත්‍ර මගින් මිල නියම කර තිබුණා.

ඊයේ (03) නිකුත් කළ ගැසට් පත්‍රයෙන් එම මිල සීමාවන් සියල්ල වෙනස් වනවා.

මේ අතර, තවදුරටත් වෙළදපළේ ගෑස් හිගයක් පවතින අතර ජනතාව අද (04) දිනයේත් පෝලිම්වල රැදී සිටින අයුරු දක්නට ලැබුණා.

එමෙන්ම, වෙළදපළේ මත්පැන් නිෂ්පාදනවල මිල ගණන් ද සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

පවතින තත්ත්වය මත සමාගම් විසින් මත්පැන් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වාර්තාවක් කැදවා ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

දෙවන (2) නයිට්‍රජන් දියර පොහොර තොගය බෙදා හැරීම ලබන සතියේ සිට

(04.11.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට අද (04) අලුයම දිවයිනට රැගෙන ආ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලබන සතියේ සිට ගොවීන්ට බෙදාදීම ආරම්භ කරන බව පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පවසනවා.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකකින් (2) නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් 145,152 ක් අද (04) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙන ආ මෙම දියර පොහොර තොගය කොමර්ෂල් සහ ලක් පොහොර යන රජයේ පොහොර සමාගම් හරහා බෙදාහැරීමේ කටයුතු කෙරෙනවා.

මීට පෙර දිවයිනට ආනයනය කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් 22,285 මේ වනවිට බෙදාහැර අවසන්ව ඇති අතර, පසුගියදා දිවයිනට රැගෙන ආ පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර මෙට්‍රික් ටොන් 30,000 න් මෙට්‍රික් ටොන් 16,983 ක් මේ වනවිට බෙදාහැර අවසන්.

අදත් රසායනික පොහොර ඉල්ලා ගොවීන් ස්ථාන කිහිපයක විරෝධතා පළ කළ අතර, ඇතැම් ප්‍රදේශවල ගොවීන් මේ වනවිටත් මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරමින් සිය වගාවන් ආරම්භ කර තිබෙනවා.

එසේම වැලිගම ප්‍රාදේශීය සභාව නිෂ්පාදනය කළ කාබනික පොහොර සහනදායී මිලට ලබාදීමේ වැඩසටහනක්ද ඊයේ (03) ආරම්භ කෙරුණා.

ඒ අනුව කාබනික පොහොර කිලෝග්‍රෑමයක් රුපියල් 18 ක් වැනි අඩු මිලකට ප්‍රාදේශීය සභා පරිශ්‍රයෙන් සහ තවත් මධ්‍යස්ථාන 07 කදී ගොවීන්ට මිලදී ගැනීමේ හැකියාව පවතිනවා ෴

******************************************

ගම්මිරිස් වගාකරුවන් අසීරුතාවක

(04.11.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

පවතින දැඩි වැසි තත්ත්වය හේතුවෙන් ගම්මිරිස් වගාවට බලපෑම් එල්ල වී ඇති බව වගාකරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ වැසි තත්ත්ව හමුවේ ගම්මිරිස් වැල් වර්ධනය නොවීම සහ ඵල හට නොගැනීම හේතුවෙන් ඉහළ ගම්මිරිස් ඵලදාවක් නොලැබෙන බවයි.

ඒ අනුව මෙවර අස්වැන්න අඩු වීමක් ඇති බවයි ගම්මිරිස් වගාකවරුන් ප්‍රකාශ කළේ ෴

******************************************

බුද්ධි අංශවලින් උපදෙස් ගෙන පාලනය කරන පුරුද්දක් මට නැහැ – සජිත් ප්‍රේමදාස

(04.11.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂ නායක නායක සජිත් ප්‍රේමදාස අද (04) පෙරවරුවේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කොළඹ අගරදගුරු නිල නිවසේදී බැහැ දුටුවා.

ඉන් අනතුරුව ජනමාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු විවිධ කුමන්ත්‍රණකරුවන් විවිධාකාර මඩ ප්‍රහාර සහ කුමන්ත්‍රණ දියත් කරමින් සහ පදනම් විරහිත අභූත චෝදනා නගමින් සිය චරිතය ඝාතනය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

ප්‍රහාරය සිදු වූ සැනින් ඒ පිළිබඳව සොයා බලමින් ප්‍රහාර සිදු වූ දේවස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීම උදෙසා තමන් ඉතා කඩිනමින් කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකවරයා මේ මිලේච්ඡ ප්‍රහාරය පිටුපස සිටින මහා මොළකරුවන් ගැන විමර්ශනය කොට වහාම අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් කියා සිටියා.

නමුත් ආණ්ඩුව එය සිදු කරනවා වෙනුවට විවිධ කුමන්ත්‍රණ සිදු කරමින් සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා තමා පාස්කු ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම හඬ නැඟූ සිය මන්ත්‍රීවරුන්ට ඒ සඳහා ශක්තිය සහ ධෛර්යය නිරන්තරයෙන් ලබා දුන්නා මිස, ඔවුන්ගේ මතවලට අංශුමාත්‍රයක බලපෑමක් නොකළ බවද පැවසුවා.

තමා සහ බුද්ධි අංශ ප්‍රධානියා අතර කිසිම ආකාරයක සබඳතාවයක් නැති බව පැවසූ විපක්ෂ නායකවරයා ඔවුන්ගේ උපදෙස් පිළිගෙන දේශපාලනය කිරීමේ පුරුද්දක් තමාට නැති බව ද වැඩිදුරටත් කියා සිටියා.

මේ ප්‍රහාරයේ යථාර්ථය රටට හෙළි නොකරන තාක්කල් එය සුබදායක නොවන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්නට නම් ඒකාන්තවම එහි මහ මොළකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බවත් අවධාරණය කළා.

මේ අතර පෑලියගොඩ සිට මීගමුව දක්වා ප්‍රදේශයේ කලපු සංරක්ෂණයේ නාමයට මුවාවෙමින් නාගරීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ තුලින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විපතට පත් වන බව‍යි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *