රත්නපුර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කෙරුවාව මෙන්න

රත්නපුර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කෙරුවාව මෙන්න

*********************************************

රත්නපුර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කෙරුවාව මෙන්න

(03.11.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනටමත් දඬුවම් ස්ථාන මාරුවීමක් පමණක් ලබා සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු විසින් අදාළ පුද්ගලයාට පොලිස් ස්ථානයක් තුල දී වධහිංසා පැමිණවීම සහ ලිංගික අපයෝජනය කළ බවට ලිපියක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත්තේ, නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පහරදීම්ට ලක් වූ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින නිලකන්දන් සහ නීලකන්දන් යන නීති සමාගම විසින්.

එම ලිපිය මගින් අදාල නීති සමාගම ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි පියවර ගෙන තම සේවාදායකයාට සාධාරණය ඉටු කර දෙන ලෙසයි.

සබරගමුව පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යම් පුද්ගලයෙකුට මහ මගදී පහරදෙන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශනවල සටහන්ව තිබුණා.

මෙම සිද්ධියට අදාලව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෛද්‍ය සේවා සහ සුබසාධන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කිරීමක් පමණක් කර තිබුනේ මෙම සිදුවීමට දඬුවම් වශයෙනුයි.

කෙසේ වෙතත්, නීලකන්දන් සහ නීලකන්දන් නීති සමාගම ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන් වන්නේ, ඔවුන්ගේ සේවාදායකයා මහමග ඇති වූ මෙම සිදුවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන කිරිඇල්ල පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් එහි කාමරයක් තුළදී දරුණු වධ හිංසාවන්ට ලක් කර ඇති බවයි.

එහි දී සිය සේවා සේවාදායකයා නිරුවත් කර කාමරය තුළ දණ ගැසීමට බල කර ඇති බවත් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන්.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිලධාරීන් තිදෙනකු (3) ඉදිරියේ සිය සේවාදායකයාට පහර දීමෙන් අනතුරුව ඔහු නිරුවතින් සිටි ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඔහුට නින්දා අපහාස කරන බවට තර්ජනය කර ඇති බව ද නීලකන්දන් සහ නීලකන්දන් නීති සමාගම ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන්.

එම ලිපියේ තවදුරටත් දක්වා ඇත්තේ, මෙම සිදුවීම් සියල්ල සිදුවන අතර වාරයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ මුවින් මත්පැන් ගඳ වහනය වූ බවට සිය සේවාදායකයා චෝදනා කරන බවටයි.

එමෙන්ම පොලිස් නිලධාරින් විසින් බලහත්කාරයෙන් ලබා ගත් ඔහුගේ ජංගම දුරකතනය ද ඔහුට ලබාදී ඇත්තේ පැය ගණනාවකට පසුව බව අදාල නීතිඥ සමාගම මෙම ලිපිය හරහා ජනාධිපතිවරයාට පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් අනතුරුව සිය සේවාදායකයා කිරිඇල්ල ග්‍රාමීය රෝහලට ඉදිරිපත් කර එම වෛද්‍ය වෛද්‍යවරයාට බලපෑම් සිදු කර පොලිසිය තුළදී පහරදීමක් සිදුව නොමැති බවට වාර්තාවක් ද සකස් කර ඇති බවටත් මෙම ලිපියේ සඳහන්.

මෙම සිද්ධියත් සමඟ තමන්ගේ සේවාදායකයා සහ ඔහුගේ පවුලේ අය බරපතළ මරණ බියකින් පසුවන බව අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් අතර පිටු 6 කින් සමන්විත ජනාධිපතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින් :

******************************************

දේශීය මිරිස් බීජ නිෂ්පාදකයින් අසීරුතාවක

(03.11.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

දේශීය මිරිස් බීජ නිෂ්පාදනය කළ ගලේවෙල ගොවීන් තම නිෂ්පාදන අලෙවි කරගැනීමට නොහැකිව අසීරුතාවට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ කාබනික වගාවට යොමුවීමට ගොවීන් දක්වන මැලිකම හේතුවෙන් තම නිෂ්පාදන අලෙවි කරගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි ෴

******************************************

උඩවලව ජලාශය වාන් මට්ටමට

(03.11.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

පැවති වර්ෂාපතනයත් සමඟ උඩවලව ජලාශය මේ වන විට වාන් මට්ටමට ළඟා වී තිබෙනවා.

ඒ අනුව අද (03) පස්වරු 2 පමණ වන විට ජලාශයේ එක් (1) වාන් දොරටුවක් අඩිය (1) බැගින් විවෘත කිරීමට කටයුතු කරන බවයි ජලාශය භාර ඉංනේරු කාර්යාලය සඳහන් කළේ.

ඒ හේතුවෙන් තත්ත්පරයට ඝන අඩි 2300 ක ජල ප්‍රමාණයක් වලවේ ගඟට මුදා හැරෙනවා ෴

******************************************

රජයේ නිවාස ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අයෙකු අත් අඩංගුවට

(03.11.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

රජයේ නිවාස ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි අයෙකු ඊයේ (02) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ කොට්ඨාසයට ලද පැමිණිලිවලට අනුවයි.

මොහු විසින් රජයේ නිවාස දෙන බව පවසා කොළඹ ප්‍රදේශයේ දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 6 ක මුදලක් වංචා කර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා ෴

******************************************

වාත්තු කර්මාන්තයේ අමුද්‍රව්‍ය හිඟයට පිළියම් – විමල් වීරවංශ ගෙන් ප්‍රකාශයක්

(03.11.2021 – 09:16 +0530 – hirunews.lk/sinhala)

අබලි වශයෙන් ලෝහ පිටරට යැවීම නතර කිරීමට ගත් තීරණයත් සමඟ මෙරට වාත්තු කර්මාන්තයේ අමුද්‍රව්‍ය හිඟයට පිළියම් ලැබී ඇති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

එමඟින් මෙතෙක් ආනයනය කරනු ලැබූ යන්ත්‍ර සූත්‍ර ඇතුළු, ඒවාට අවශ්‍ය ලෝහමය උපාංග දේශීයව නිපදවීමට හැකියාව ලැබීමෙන් විදේශයන්ට ඇඳී ගිය විදේශ විනිමය ද රට තුළ ඉතිරි කර ගැනීමට හැකියාව ලැබුණු බවයි ඔහු සදහන් කළේ.

ඒ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පන්නල කර්මාන්ත ජනපද පරිශ්‍රයේදී ඊයේ (02) පැවති උත්සවයකට එක්වෙමින් ෴

******************************************

දරුවන් තුළ බැක්ටීරියා ආසාදනවලට එරෙහිව එන්නතක් නිපදවීම කෙරෙහි අවධානය

(03.11.2021 – 09:39 +0530 – hirunews.lk/sinhala)

කුඩා දරුවන්ට බැක්ටීරියා ආසාදනවීම හේතුවෙන් සිදු වන ආසාත්මිකතාවන් වැළැක්වීමට එන්නතක් නිපදවීම කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී තිබෙනවා.

එහි සංඛ්‍යා දත්තවලට අනුව බැක්ටීරියා ආසාදන හේතුවෙන් වසරකදී ලොව මිය යන දරුවන් සංඛ්‍යාව 1,50,000 කට අධිකයි.

තවත් ලක්ෂ ගණනක් මළ දරු උපත් ද වාර්තා වනවා ෴

******************************************

සිරිල් ගාමිණී පියතුමන්ගේ පෙත්සම සලකා බැලීමේ තීරණයක්

(03.11.2021 – 10:50 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම සලකා බැලීමට අද (03) දින නියම වුණා.

පාස්කු ප්‍රහාරයට අදාළව සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ කළ පැමිණිල්ලේ විමර්ශන අනුව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට ඉල්ලා ඊයේ (02) සිරිල් ගාමිණී පියතුමන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.

ඒ අනුව එම පෙත්සම ලබන 08 වැනි දා සලකා බැලීමටයි ශ්‍රේෂ්ඨාකරණය අද (03) නියෝග කළේ.

මෙම පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට සිරිල් ගාමිණී පියතුමන්ට පසුගියදා දැනුම්දීමක් සිදු කර තිබූ අතර, ඒ සඳහා උන්වහන්සේ සතියක කාලයක් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව අද (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිය නීතිඥවරුන් මාර්ගයෙන් ලිපියක් යොමු කරමින් උන්වහන්සේ දැනුම් දී ඇත්තේ, මේ වන විට තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති බැවින් අද (03) එහි නොපැමිණෙන බවයි.

මේ අතර, කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය, බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමඟි ජන බලවේගය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ද සලකා බැලීම සඳහා මේ මස 12 වැනි දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියම කළා.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ගොනු කළ මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබූවේ.

එම අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු වගඋත්තරකාර පාර්ශවයේ කිහිපයක් වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටියා.

මෙම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ඇමරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටියේ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් වලින් 40% ක් වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි.

මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වගඋත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔහු චෝදනා කළා.

එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරිය වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම කොටස් පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර නොමැති බවද පෙත්සමේ සඳහන් කර තිබෙනවා ෴

******************************************

තවදුරටත් වෙළෙදපොළේ ගෑස් හිඟ වේ

(03.11.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

සමාගම් විසින් ගෑස් බෙදා හැරීම සිදු කරන බවට දැනුම් දුන්න ද තවමත් ප්‍රදේශ රැසක ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

මෙවන් පසුබිමක යළිත් වරක් ලාෆ් ගෑස් සමාගම විසින් මිල ඉහල දැමීමට සූදානම් වන බවටයි හිරු ප්‍රවෘත්ති ඔස්සේ ඊයේ (02) අනාවරණය කළේ.

මේ අතර ලිට්රෝ සමාගමට අයත් ගෑස් මෙට්‍රික් ටොන් 4000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ඊයේ (02) පැමිණි අතර එම සමාගම සඳහන් කළේ, එම අවස්ථාවේ සිට ම දිවයින පුරා ගෑස් බෙදා හැරීම ආරම්භ කළ බවයි.

කෙසේ වෙතත් පාරිභෝගිකයින් චෝදනා කළේ, තවදුරටත් ප්‍රමාණවත් පරිදි වෙළඳපොළේ ගෑස් නොමැති බවටයි.

මේ අතර, එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙද ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් ක්‍රිෂාන් මාරඹගේ මහතා කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ, ගෑස් නොමැති වීම හේතුවෙන් පිටකොටුවේ ආපනශාලා ද වැසී යාමේ අවදානමක් මතුව ඇති බවයි.

******************************************

ගුරු – විදුහල්පතිවරුන්ට සහාය දක්වමින්, පාසල් ඉදිරිපිට මව්පියන් විරෝධතාවයේ

(03.11.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

ගුරු විදුහල්පති ගැටලුව මුල් කර ගනිමින් අද (03) පෙරවරුවේ දිවයින පුරා පිහිටි පාසල් රැසක් ඉදිරිපිට ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විරෝධතාවල නිරත වුණා.

ඊට දෙමාපියන් ද සහාය පළ කරමින් එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ දරුවන්ගේ දෙමාපියන් එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් ඉල්ලා සිටියේ, ගුරුවරුන්ගේ ඉල්ලීම් ලබාදීමට හැකි ඉක්මනින් කටයුතු කරන ලෙසටයි.

ගාල්ල – අමුගොඩ සුදාරක ප්‍රාථමික විද්‍යාලයේ මව්පියන් පිරිසක් ද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ගුරු විදුහල්පතිවරුන්ට සහය පල කරමින් එම විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

හලාවත, මීගමුව, බදුල්ල, හාලිඇල, මාතර, මාතලේ, හෝමාගම, සූරියවැව, ඇඹිලිපිටිය සහ මහනුවර යන ප්‍රදේශ වල පිහිටි පාසල් ඉදිරිපිට ද දෙමාපියන් විරෝධතාවල නිරත වුණා.

මේ අතර, ආමර්වීදිය – ජේතවනාරාමය විහාරය අසලදී අද පෙරවරුවේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය දෙමාපියන් පිරිසක් ද සමග එක්ව විරෝධතාවක නිරත වුණා.

******************************************

ජනපති, රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් හමුවෙයි

(03.11.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

වෙළද, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, රටවල් රැසක රාජ්‍ය නායකයින් හමු වී තිබෙනවා.

ඒ, ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබදව සමුළුවෙන් අනතුරුවයි.

බහාරේන් අග්‍රාමාත්‍ය සලමන් බීන් හමාඩ් අල්කලීෆා සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (02) සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී දෙරට අතර රැකියා අවස්ථා තවදුරටත් උදා කර ගැනීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් පැවැත්වුණේ ග්ලාස්ගෝ හි මර්චන්ට් මන්දිරයේදියි.

එහිදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර වෙළද අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි වැඩි අවදානයක් යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර, නේපාල අග්‍රාමාත්‍ය ෂා බහදුර් දෙව්බා, යුක්රේන ජනාධිපති බ්ලැඩ්මීර් සෙනෙන්ස්කි, වේල්සයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ මැදපෙරදිග සහ බටහිර රටවල රාජ්‍ය නායකයින් රැසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා ෴

******************************************

පළාත් කිහිපයක ද්‍රවිඩ පාසල්වලට අනිද්දා (05) නිවාඩු දිනයක්

(03.11.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

හෙටට (04) යෙදී ඇති දීපවාලි උත්සවය නිමිත්තෙන් පළාත් කිහිපයක ද්‍රවිඩ මාධ්‍ය පාසල් සඳහා අනිද්දා (05) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ද්‍රවිඩ පාසල් සඳහා මෙලෙස නිවාඩු ලබාදීමටයි එම පළාත්වල ආණ්ඩුකාරවරුන් තීරණය කර ඇත්තේ.

එමෙන්ම, එම දිනය වෙනුවට ලබන 13 වන සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණය කර තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොවිඩ් තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින්නැ යි වෛද්‍ය හේමන්ත හේරත් මහතා ගෙන් ඉල්ලීමක්

(03.11.2021 – 10:42 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා ඉවත් කිරීම සමඟ යම් ආකාරයකට කොවිඩ් තත්ත්වය වැඩි වී තිබෙනව බවට වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

විශේෂයෙන් පොදු ප්‍රවාහනය භාවිතයේ දී හා සෙසු කටයුතුවල දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල් තැන දෙමින් කටයුතු කළ යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ වනවිට සියලු රෝහල්වලට පැමිණෙන පුද්ගලයින් හා තෝරාගත් ස්ථානවල Antigen පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

පුද්ගල ඒකරාශී විම් ආයතන තුළ තිබෙන රැස්වීම් විවිධ ක්‍රියාකාරකම් රට බරපතළ තත්ත්වයකට තුඩු දෙන නිසා එවැනි කටයුතු වලින් ඈත් වී සිටින ලෙසත් වෛද්‍යවරයා ඉල්ලා සිටිනවා.

තව ද වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේ, නිර්දේශ ලැබුණු පසු සයිනොෆාම් තෙවැනි (3) මාත්‍රාව ද ලබා දීමට සූදානම් බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *