හෙට – අනිද්දා (03-04) විදුලිය බිඳවැටීමක් සිදු වෙයි ද ? – ප්‍රදේශ කිහිපයක භූමිතෙල් පෝලිම්

හෙට – අනිද්දා (03-04) විදුලිය බිඳවැටීමක් සිදු වෙයි ද ? – ප්‍රදේශ කිහිපයක භූමිතෙල් පෝලිම්

*********************************************

හෙට – අනිද්දා (03-04) විදුලිය බිඳවැටීමක් සිදු වෙයි ද ? – ප්‍රදේශ කිහිපයක භූමිතෙල් පෝලිම්

(02.11.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ කිසිදු ප්‍රදේශයක හෙට සහ අනිද්දා දිනවල (03-04) විදුලි බිඳවැටීමක් හෝ ස්වාභාවික හේතුන් මත සිදුවන බිඳවැටීම් යථා තත්වයට පත් නොකිරීමේ තත්වයක් සිදු නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එහි සභාපති එම්.එම්.සී ෆර්ඩිනෑන්ඩෝ මහතා කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ විදුලිබල වෘත්තීය සමිති එවැනි තත්වයක් පිළිබඳව දැනුම් දී නොමැති බවයි.

මේ අතර දිවයින පුරා සිටින සියලු විදුලිබල මණ්ඩල සේවකයන් හෙට (03) මධ්‍යහ්න 12 ට කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරතවීමට සැළසුම් කර තිබෙනවා.

මෙම විරෝධතාවයට සහය දක්වමින් හෙට (03) වරාය සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිතිද විරෝධතා සංවිධානය කර තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩෝ මහතා කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ විදුලිය බිඳ වැටීමක් සිදුවීමට කිසිදු ඉඩක් නොමැති බවයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු වෘත්තිය සමිති කිහිපයක් අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමට එළඹ ඇති ගිවිසුම වළක්වාල නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව භුමිතෙල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැදි සිටින අයුරු ද අද දක්නට ලැබුණා. මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල මෙන්ම මාවනැල්ල, ගම්පොල ඇතුලු ප්‍රදේශ කිහිපයක මෙම තත්වය දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

ඇතැම් වෙළඳ සැල් සහ ඉන්ධන පිරවුම්හල්වල එක් අයෙකුට ලබාදෙන භුමිතෙල් ප්‍රමාණය සීමා කිරීමටද පියවර ගෙන තිබුණා.

වෙළඳ පොළේ පවතින ගෑස් හිඟය සහ විදුලි වෘත්තිය සමිති වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පළ කළ අදහස් මෙම තත්වයට හේතු වී ඇති බවයි වාර්තාවුණේ.

******************************************

බදුලු දුම්රිය තවත් පමාවන ලකුණු

(02.11.2021 – 17:59 +0530 – hirunews.lk/sinhala)

ගම්පොල සහ උලපනේ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ පාලමක කොටසක් කැඩී යාම නිසා කොළඹ – කොටුව සහ බදුල්ල අතර දුරගමන් සේවා දුම්රිය ධාවනය දින කිහිපයක් ප්‍රමාද වනු ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කළා.

දුම්රිය ධාවන කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වුවත් මෙතෙක් බදුල්ල දක්වා දුම්රිය ධාවනය සිදුවන්නේද නැහැ.

පාලමේ අලුත්වැඩියා කටයුතු අවසන් වූ පසු කොළඹ – කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය ආරම්භ කෙරෙනු ඇතැයි අපේක්ෂිතයි.

එසේම පවතින කාලගුණ තත්වය ද උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා මතුකර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළා ෴

******************************************

සීනී සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කෙරේ – සහල් ආනයනයටත් අවසර

(02.11.2021 – 18:39 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් සීනී සඳහා රජය විසින් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා සහල් තොග ආනයනය කිරීමටත් අද (02) සවස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මුලිකත්වයෙන් රැස් වූ ජිවන වියදම් කමිටුව තීරණය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව හෙට (03) සිට කිලෝවක් රුපියල් 135 ත් 140 ත් අතර මිලකට සිනි තොග අලෙවිය සිදුවන අතර සිල්ලර මිල තීරණය කර ඇත්තේ රුපියල් 150 සිමාවේ රඳවා ගන්නටයි.

මෙහිදී අප කළ විමසීමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා සීනි ආනයන කරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ අතවශ්‍ය භාණ්ඩ රැගත් කන්ටේනර් 976 ක් වාරයේ සිරවී ඇති බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කලේ ඒ අතර ඇති සීනි කන්ටේනර් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් ප්‍රමාණය ලබා දීමට මුදල් අමාත්‍ය වරයා එකඟ වූ බවයි.

******************************************

නැනෝ නයිට්‍රජන් දියර පොහොර දෙවන (2) කොටස තවත් ප්‍රමාද වෙයි

(02.11.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ආනයනය කරන නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයේ දෙවන (2) කොටස අද (02) දිවයිනට ලැබීමට නියමිතව තිබුණද, එම ගුවන් යානා නොපැමිණෙන බව ගුවන් තොටුපල කාර්ය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

මේ අතර පොහොර ගැටළුවට විසදුම් ඉල්ලා බකමූණ නගරයේ පැවැත්වූ ගොවි උපවාසය දින 10 කට පසු අද (02) අවසන් කෙරුණා.

පසුව ගොවීන් උපවාසය සිදුකළ අට්ටාලය එම ස්ථානයෙන් ඉවත් කළා.

එසේම අදත් (02) දිවයිනේ ප්‍රදේශ රැසකම විරෝධතා සංවිධාන කර තිබුණේ පොහොර ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්. පොහොර නොමැතිකමින් තම වගා හානි වී ඇති බවද ගොවීන් ප්‍රකාශ කර සිටියා.

එසේම පොහොර ලබාදීමකින් තොරව සොරබොර වැවේ ජලය වගා කටයුතු සඳහා මුදාහැර ඇති බවටද ගොවීන් පිරිසක් චෝදනා කළා.

මේ අතර ‘ෆ්ලීට් මොන්’ වෙබ් අඩවියේ දැක්වුණේ අහිතකර බැක්ටීරියා අන්තර්ගත බවට තහවුරු වූ කාබනික පොහොර තොගය මෙරටට රැගෙන එන බව කියන හිපෝ ස්පිරිට් නමැති ‍නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ඇති බවයි.

එය මීට දින 8 කට පෙර හම්බන්තොට වරායේ සිට නාවුක සැතපුම් 44.82 ක දුරින් නැංගුරම්ලා තිබූ බව අදාළ වෙබ් අඩවියේ දැක්වුණා.

කෙසේ වෙතත් අදාල නෞකාව අද (02) දිනයේ දැක්වෙන්නේ හම්බන්තොට වරායට නාවුක සැතපුම් 81.2 ක් දුරින්.

නෞකාවට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය ලබන 05 වැනිදා අධිකරණයේදී සළකා බැලීම සිදු කෙරෙන තෙක් එය හම්බන්තොට වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති අතර ඉන් අනතරුව හම්බන්තොට වරායට ළඟාවීමට සූදානමින් පවතින බවටද වාර්තා පළවනවා.

එසේම හිගුරක්ගොඩ – යුදගනාව ප්‍රදේශයේ අක්කර 03 කින් පමණ ගෙවත්තක සාර්ථක ලෙස කාබනික පොහොර යොදා වගා කටයුතු සිදුකරන බවටද තොරතුරු වාර්තාවුණා.

ඔවුන් පේර, අඹ, වැල් දොඩම් දෙළුම්, කෙසෙල් හා දොඩම් ඇතුලු‍ පලතුරු බෝග මෙන්ම කෝමාරිකා වගාවක්ද සිදුකරනු ලබන්නේ කාබනික පොහොර යොදාගනිමින්.

******************************************

බද්දේගම දී මනුෂ්‍ය ඝාතනයක්

(03.11.2021 – 06:51 +0530 – hirunews.lk/sinhala)

බද්දේගම නගරයේ පිහිටි හෝටලයකට කොත්තුවක් මිලට ගැනීමට පැමිණි පුද්ගලයෙකු කොත්තු සකසමින් සිටි හෝටලයේ හිමිකරු සමඟ බහින්බස් වීමක් සිදු වී තිබෙනවා.

පසු ව එම පුදගලයා නිවසට ගොස් මන්නා පිහියක් රැගෙනවිත් හෝටල් හිමිකරුට පහර දුන බව වාර්තා වෙනවා.

සිද්ධිය දුටු හෝටල් හිමිකරුගේ පුතා, තම පියාට පහර දෙනු දැක එම පුද්ගලයාට මෝල් ගසකින් පහර දුන් බවයි වාර්තා වෙන්නේ.

පහර කෑ පුදගලයා එම ස්ථානයේ දී ම මිය ගිය බව සඳහන්.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 26 ක කොටගොඩ, බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ම තබා ඇති අතර, මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (03) සිදු කිරීමට නියමිත යි.

හෝටල් හිමිකරු බද්දේගම රෝහලේ ප්‍රතිකාර ලබා, වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිට රෝහලට මාරු කර තිබෙනවා.

මෝල් හසෙන් පහර දුන් වයස අවුරුදු 25 ක පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර, බද්දේගම පොලිසිය විසින් සිදුවීම සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

මේ අතර, බදුල්ල පොලිස් වසමේ කොට්ටගොඩ ප්‍රදේශයේ ද පොල්ලකින් පහර දී සිදු කළ ඝාතනයක් පිළිබඳා වාර්තා වෙනවා.

බහින්බස් වීමක් මෙම ඝාතනයට හේතු වී තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 30 ක කොට්ටගොඩ – බදුලු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනයට සම්බන්ධ 28 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර, බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා ෴

******************************************

සිමෙන්ති හිඟය සති 3 කින් අවසන් වන ලකුණු

(03.11.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

සිමෙන්ති ආනයනකරුවන්ද ඊයේ (02) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමු වූ අතර, එම අවස්ථාවට එක්ව සිටි සිමෙන්ති සමාගමක නියෝජිතවරයෙකු කියා සිටියේ, තවත් සති 3 ක් හෝ මාසයක් ඇතුළත සිමෙන්ති හිඟය මඟ හැරෙණු ඇති බවයි.

මේ අතර ලිට්රෝ සමාගමට අයත් ගෑස් මෙට්‍රික් ටොන් 4,000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒ අනුව දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බවයි.

මේ වනවිටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගෑස් හිඟයක් පවතින බවට වාර්තා වනවා.

මේ අතර මෙතෙක් සීනි සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සුදු සීනි කිලෝවක් සඳහා පැවති රුපියල් 122 ක සහ දුඹුරු සීනි සඳහා පැවති රුපියල් 125 ක පාලන මිල ඉවත් කරමින් ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

සහල් ආනයනය සදහා පෞද්ගලික අංශයට අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් අතර ඊයේ (02) පැවති සාකච්ඡාවකදියි.

එමෙන්ම දැනට වරායෙහි සිර වී ඇති පරිප්පු, සීනි, අල, ලූනු ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් බහලුම් 976 ක් නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එකඟ වූ බව සීනි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 16 ක මුදලක් ඒ සඳහා වෙන් කෙරෙන බවයි මුදල් අමාත්‍යවරයා සමඟ ඊයේ (02) පැවති සාකච්ඡාවකින් අනතුරුව එම සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ෴

******************************************

විදුලි, තෙල්, වරාය වෘත්තිය සමිති අද (03) විරෝධතාවයේ

(03.11.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40% ක කොටස් ඇමරිකානු සමාගමකට පවරා දීමට එළඹ ඇති ගිවිසුම අහෝසි කරන ලෙස බල කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සංවිධාන කරන විරෝධතාවට සහය දක්වමින් අද (03) වරාය, ජල සම්පාදන සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති ද විරෝධතාවල නිරත වනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද (03) දහවල් විරෝධතාවයේ නිරත වන්නේ කොළඹ පිහිටි විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදියි.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩෝ කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, දිවයිනේ කිසිදු ප්‍රදේශයක අද (03) විදුලි බිඳ වැටීමක් සිදු වීමට ඉඩ නොදෙන බවයි.

මේ අතර, අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (02) සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විදුලි සේවක විරෝධතාවයට සහය දක්වමින් ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවකයන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සහ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිටදී අද (03) දහවල් විරෝධතාවයේ නිරත වනවා.

ඒ හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වල යම් ප්‍රමාදයක් සිදු විය හැකි බවයි ලංකා ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටියේ.

මේ අතර, කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට මාර්ගයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයෙන් මහජන පීඩාවක් ඇති වන බැවින් එය නවතා දමන ලෙස ආඥාවක් නිකුත් කරන්නැයි වැල්ලම්පිටිය පොලීසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (02) ප්‍රතික්ෂේප කළා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් තමාට නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි අතිරේක මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අපරාධ නඩු විධාන සංග්‍ර පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙන්ම පොලිස් බලතල පාවිච්චි කරමින් එහිදී කටයුතු කළ හැකි බවයි ඇය පැමිණිලි පාර්ශවයට කියා සිටියේ.

එමෙන්ම, ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු, ඉංජිනේරු උපාලි රත්නායක මහතා කියා සිටියේ විදුලි සේවක උද්ඝෝෂණය හමුවේ විදුලි විසන්ධි වීමක් සිදුව එය යථා තත්වයට පත් කිරීමට නොහැකි වුවහොත් ජල සැපයුමට ද බාධා එල්ල විය හැකි බවයි.

මීට සමගාමීව වරාය වෘත්තීය සමිති සංවිධානය කර ඇති විරෝධතාවය කොළඹ වරාය ඉදිරිපිට පිහිටි ඔරලෝසු කනුව අසලදී පැවැත්වෙන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා සඳහන් කළා.

******************************************

නැනෝ නයිට්‍රජන් දෙවන (2) පොහොර තොගය අද (03) දිවයිනට

(03.11.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර ලක්ෂ 24 ට අදාළ 2 වන පොහොර තොගය අද (03) ගුවන් මගින් මෙරටට ලැබීමට නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහතා කියා සිටියේ, නැනෝ නයිට්‍රජන් පළමු (1) පොහොර තොගයෙන් පොහොර හිමි නොවූ ගොවීන්ට මෙම පොහොර ලබා දෙන බවයි.

මීට පෙර මෙරටට ගෙන් වූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගයේ පොහොර බෝතල් ගොවීන්ට බෙදා දීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළා.

ඒ අනුව මේ වන විට අම්පාර, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්වල ගොවීන්ට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා එම පොහොර බෝතල් බෙදා දී තිබෙනවා.

කෙසේ වෙතත් අවශ්‍ය තරම් පොහොර නොමැතිව වගාවන් සිදු කර ගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගොවීන් තවදුරටත් විරෝධතා වල නිරත වනවා ෴

******************************************

මෙරට ආර්ථිකය ගැන අවධානයෙන් – ජනපති ලේකම්

(03.11.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රුපියල් බිලියන 700 කට ආසන්න ණය මුදල් බැංකු සහ මූල්‍ය ආයතනවලට අය කර ගැනීමට ඉතිරිව තිබෙන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් සහ මෙරට ආර්ථිකය නගා සිටුවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ලේකම්වරයා සඳහන් කළේ.

පවතින ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස එම අරමුදලෙන් ණය ලබා ගැනීමක් සිදු කරන්නේද යන්න මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නෙකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

විදේශ රටවලින් ලබා ගත් ණය ගෙවීමට බාධාවක් ඇති වී නොමැති බවද ජනාධිපති ලේකම්වරයා මෙහිදී සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *