ආයෙත් ගෑස් නෑ – පාරිභෝගිකයන් මැසිවිලි නගයි

ආයෙත් ගෑස් නෑ – පාරිභෝගිකයන් මැසිවිලි නගයි

*********************************************

ආයෙත් ගෑස් නෑ – පාරිභෝගිකයන් මැසිවිලි නගයි

(02.11.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

නැවතත් දිවයින පුරා ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් හිඟයක් මතුව ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

ඔවුන් බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ, මේ වන විට දෛනික අවශ්‍යතාවන් සපුරා ගැනීමට හෝ අදාළ ගෑස් සමාගම් දෙකේම ගෑස් සැපයුම ප්‍රමාණවත් නොවන බවටයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපතිවරයා කියා සිටියේ මේ වන විට සිය සමාගම ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කර තිබුණ ද, ඒ සඳහා මෙරට වාණිජ බැංකු සතුව ඩොලර් නොමැතිකම හේතුවෙන් අදාළ ප්‍රමාදය මතුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අර්බුදකාරී තත්ත්වය යටතේ වුව ද දිනකට ගෑස් ටොන් 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් දිවයින පුරා බෙදා හරින බව ඔහු කියා සිටියා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වැගපිටිය මහතා සඳහන් කළේ පවත්නා තත්ත්වය යටතේ අවම තරමින් මෙරට වාණිජ බැංකු හරහා ණයවර සහතික හෝ ලබා ගැනීමට සිය සමාගම උත්සාහ දරමින් සිටින බවයි.

මේ අතර ලිට්ට්‍රෝ ගෑස් සැපයීමේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ ප්‍රකාශකයකු සඳහන් කළේ සිය සමාගම අඩුවකින් තොරව ගෑස් සැපයුම අඛණ්ඩව සිදුකරගෙන යන බවයි.

කෙසේ වෙතත් ඔවුන්ගේ තරගකාරී සමාගම වන ලාෆ්ස් සමාගමේ මතුව ඇති ගෑස් සැපයුම අඩු වීම හේතුවෙන් සිය සමාගමේ නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් අඩුවකින් තොරව ගෑස් සැපයුමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියා ෴

ලිට්‍රෝ සමාගමට අයත් ගෑස් මෙට්‍රික් ටොන් 4000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඒ අනුව හිඟයකින් තොරව අද (02) සිට දිවයින පුරා ගෑස් බෙදාහැරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා ෴

******************************************

පොදුජන පෙරමුණේ 5 වන සංවත්සරය අද (02)

(02.11.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

දුෂ්කර අවස්ථාවලදී එකට සිට එක් අරමුණක් වෙනුවෙන් සටන් කළ පිරිස් වෙන් කර දැමිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වන සංවත්සරය නිමිත්තෙන් කොළඹ නෙලුම්පොකුණ රගහලේ අද (02) පැවති උත්සවයට සහභාගි වෙමින්.

එය නම් කර තිබුණේ ‘අභිමානයෙන් සෞභාග්‍ය කරා’ ලෙසටයි.

පෙරවරු 10:30 ට පමණ සමුළුව ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලනඥයින් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දේශපාලඥයින් ඇතුලු පිරිසක් ද ඊට එක්ව සිටියා.

සමුළුව පළමුවෙන් අමතනු ලැබුවේ පක්ෂයේ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්.

ස්කොට්ලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමුළුවට සහභාගි වීම සඳහා පිටව යාමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පක්ෂ සම්මේලනය වෙනුවෙන් මෙලෙස සිය සුබ පැතුම් එක් කර තිබුණා.

******************************************

අයවැයේ අරමුණු භාණ්ඩාගාර ලේකම් පැහැදිලි කරයි

(02.11.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

රටේ සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා සහ අයවැය හිඟය ප්‍රශස්ථ මට්ටමකින් අඩු කර ගැනීම ඉලක්ක කරගෙන මෙවර අයවැය සකස් කර ඇති බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා සදහන් කළේ ජලය, මහාමාර්ග සහ වාරිමාර්ග ඇතුළු රජය දියත් කර ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙවර අයවැයෙන් වැඩි වශයෙන් මුදල් වෙන් කර ඇති බවයි.

2025 වසර වන විට අයවැය හිඟය සියයට 4.5 ත්, සියයට 5 මට්ටමට රැගෙන ඒම අපේක්ෂාව බව ද භාණ්ඩාගාර ලේකම්වරයා සදහන් කළා ෴

******************************************

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ සරසවි කුලපති තනතුරට

(02.11.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සරසවියේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පත් කර තිබෙනවා.

උන්වහන්සේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සඳහන් කළේ මේ මස 17 වන දා සිට එම ධුරයේ වැඩ භාර ගැනීමට අදාළ ලිපිය ද තමන් වෙත ලැබී ඇති බවයි.

******************************************

ප්‍රදේශ රැසකට අද (02) දිනයේත් මහ වැසි

(02.11.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් 8 ක් සඳහා තවදුරටත් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, ප්‍රදේශ රැසකට අද (02) දිනයේදීත් මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බවයි.

******************************************

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස්

(02.11.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

පවතින දේශපාලන අර්බුධ හා තත්ත්වයන් පිළිබඳ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු විවිධ අදහස් පළ කළා

******************************************

බෝගම්බර බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා රිමාන්ඩ් භාරයට

(02.11.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

තමන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට බන්ධනාගාරය තුළ භාවිත කිරීමට තහනම් උපකරණ ලබා දුන් බවට චෝදනා එල්ල වූ බෝගම්බර බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ලබන දොළොස් වැනි දා (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඉකුත් 29 වන දින බෝගම්බර බන්ධනාගාර රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණි කාන්තා අංශයේ රැදවියෙකු හට ජංගම දුරකතන ආරෝපණ උපකරණයක් හා ජංගම දුරකතන බැටරී 02 ක් ලබා දෙන අවස්ථාවේ බන්ධනාගාර නිළධාරින් අදාල විසින් වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තා.

පසුව ඔහුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී මේ ආකාරයට මීට පෙර අවස්ථාවලදීත් ජංගම දුරකතන හා උපාංග කාන්තා රැදවියන්ට මුදලට විකිණු බව පිළිගෙන තිබෙනවා.

අනතුරුව සිදුවිම සම්බන්ධයෙන් ඉදිරී නිතීමට කටයුතු සදහා ප්‍රධාන වෛද්‍යවරයා පල්ලේකැලේ පොලිසිය වෙත භාර දෙනු ලැබුවා.

ඒ අනුව නඩු අංක බී1563/21 යටතේ 2021-10-30 වන දින සැකකරු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඉදිරි විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඔහු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මොහු නැවත 2021.11.12 වන දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර, එතෙක් සැකකරු කෑගල්ල බන්ධනාගාරයේ රදවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර අධිකාරී (පාලන) චන්දන ඒකනායක මහතා සඳහන් කලා ෴

******************************************

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

(02.11.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා කළ පැමිණිල්ලේ විමර්ශන අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) පෙත්සමක් ගොනු කළා.

ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට සිරිල් ගාමිණී පියතුමන්ට පසුගියදා දැනුම්දීමක් සිදුකර තිබුණත්, පියතුමන් එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නැහැ.

එහි පැමිණි වෙනත් පියතුමන් තුන්දෙනෙකු (3) ප්‍රකාශයක් ලබාදීම සඳහා සතියක කාලයක් ඉල්ලා සිටියා.

අදාළ පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තමා හෙට (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවද සිරිල් ගාමිණී පියතුමන් සිය පෙත්සමෙන් පෙන්වාදී තිබෙනවා.

ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් පෙත්සම හෙට (03) දිනයේම සළකා බැලීම සඳහා කැඳවන ලෙසද පියතුමන් ඉල්ලා ඇති බව සඳහන්.

පෙත්සම විභාගයට ගෙන අවසන් වනතුරු තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන තහනම් නියෝගයක් වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙසද මෙමඟින් ඉල්ලා තිබෙනවා.

******************************************

සම්ප්‍රදායික නොවන අය වැයක් මෙවර රටට ?

(02.11.2021 – 15:42 +0530 – hirunews.lk/sinhala)

සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පවසනවා.

හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමි වනු ඇති අතර ‘සෞභාග්‍යයේ දැක්ම’ තුළ කටයුතු කරමින් රටේ ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බව ලේකම්වරයා පෙන්වා දුන්නා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (02) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ මුදල් ලේකම් එස්.ආර්. ආටිගල පිළිතුරු ලබා දුන්නා.

‘ඉදිරි අය වැය සහ රටේ ආර්ථික තත්ත්වය’ තේමාව යටතේ මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණා ෴

******************************************

ජාන වෙනස් කළ සෝයා බෝංචි කන්ටේනර් පහක් (5) නිදහස් නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කරයි

(02.11.2021 – 16:20 +0530 – hirunews.lk/sinhala)

අනවසරයෙන් ආනයනය කළ ජාන වෙනස් කරන ලද සෝයා බෝංචි ඇට සහිත කන්ටේනර් 5 ක් වරායෙන් නිදහස් නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය නිර්දේශ කර තිබෙනවා.

අනුරාධපුරයේ පිහිටි සමාගමක් විසින් ඇමෙරිකාවෙන් මෙම සෝයා බෝංචි ඇට තොගය මෙරටට ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ජාන වෙනස් කරන ලද ආහාර මෙරටට රැගෙන ඒමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ අවසරයක් ලබාගත යුතුයි. එසේම, ඒවා වෙළඳපොලට මුදා හරින්නේ නම් ජාන වෙනස් කරන ලද ආහාර බවට ඇසුරුම් තුල ප්‍රදර්ශනය කළ යුතු ද වනවා.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය රසායනාගාර වාර්තා පරීක්ෂා කිරීමේදී ඒවා ජාන වෙනස් කරන ලද සෝයා බෝංචි ඇට බව හෙළි කරගෙන තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

සයිනොෆාම් එන්නත ලබා පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාවක්

(02.11.2021 – 15:49 +0530 – hirunews.lk/sinhala)

සයිනොෆාම් එන්නත ලබා ගනිමින් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පුර්ණ කළ පුද්ගලයින් සඳහා මාස 6 ඉක්මවීමට පෙර බූස්ටර් මාත්‍රාව ලබාදීම පිළිබඳව විද්වතුන් විසින් තීරණය කරනු ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයින්ට මාස 6 ක් ඉක්මවීමට පෙර බූස්ටර් මාත්‍රාව ලබාදිය යුතු බවට ඇතැම් පාර්ශව අදහස් පළ කර තිබුණා.

ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය රජීව් ද සිල්වා මහතා පැවසුවේ, සයිනොෆාම් එන්නතේ කාර්යක්ෂමතාව මාස 3 කට පමණ පසුව අඩුවන බවට අනාවරණය වී ඇති බවයි.

“සයිනොෆාම් එන්නත දිහා බැලුවොතින් බහරේන්වල දත්තවලින් පෙනිලා තියෙනවා මාස 5 කට පස්සේ, සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් (2) ගත්ත අය සහ ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා සහ ස්පුට්නික් මාත්‍රා ගත් අයට සාපේක්ෂව වැඩියෙන් කොවිඩ් හැදෙනවා. බරපතළ ආසාත්මිකතා ඇතිවෙනවා සහ මරණ පොඩ්ඩක් වැඩී. ඒ නිසා කාලයක් යනකොට සයිනොෆාම් එන්නතේ ආරක්ෂකතාවය අඩුයි. ආරක්ෂාකතාවය අඩුවෙන එක පේනවා මහාචාර්ය නීලිකා මලවිගේ ගේ දත්ත අනුව. හැම වයස් කාණ්ඩයකම පෙනිලා තියෙනවා සයිනොෆාම් එන්නත් දෙකක් (2) ගැහුවට පස්සේ, සති 12 කට පස්සේ එයාගේ ප්‍රතිදේහ ප්‍රමාණය ඉතාමත්ම අඩු තත්ත්වයකට වැටෙනවා. ඒක නිසා මං හිතන්නේ අවුරුදු 20 ට නැත්නම් අවුරුදු 30 ට වැඩි ඕනෑම කෙනෙකුට මාස 6 කට පස්සේ, තුන්වෙනි (3) මාත්‍රාවක් දෙන එක නුවනට සුදුසුයි” ෴

++++++++++++++++++

එන්නත් කාඩ් පත ළඟ තබාගැනීම ජනතාවට අනිවාර්ය කරයි ?

(02.11.2021 – 16:37 +0530 – hirunews.lk/sinhala)

පළාතකින් පළාතකට යද්දි එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගත් බව සහතික කෙරෙන එන්නත් කාඩ් පත ළඟ තබාගැනීම ජනතාවට අනිවාර්ය කරන ලෙස රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා රජයට යෝජනා කරනවා.

එසේම හෝටල් සහ ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථානවලට ගමන් ගන්නා පුද්ගලයන්ගේ එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගත් බව සහතික කෙරෙන එන්නත් කාඩ්පත පරීක්ෂා කිරීමද අනිවාර්ය කළ යුතු බවත්, අද ලෝකයේ බොහෝ රටවල් මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිඵල ළඟා කරගෙන තිබෙන බවද සඳහන් කළා.

මෙවැනි වැඩපිළිවෙළක් අනුගමනය කිරීමෙන් කොවිඩ් පළාතකින් පළාතකට ගමන් කිරීම සැලකිය යුතු ලෙස පාලනය කරගත හැකිවන බවත් විශේෂයෙන් තරුණ පරපුර එන්නත්කරණයට යොමුවීමටද මෙමගින් කිසියම් පෙළඹවීමක් ඇති කෙරෙන බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

විශේෂයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි සඳහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පැවසුවේ.

මේ අතර රටට කොවිඩ් වයිරස නව ප්‍රභේද ඉදිරියටත් පැමිණෙනු ඇති බවත් එන්නත්කරණයට යොමුවීම සහ මූලික සෞඛ්‍යය නීති දිගටම අනුගමනය කිරීම නව වයිරසවලින් ගැලවීමට තිබෙන එකම මාර්ගය බවද සඳහන් කළා.

මුව ආවරණ අනිවාර්ය කිරීමේ නීතිය රටේ තදින් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නා.

වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත නව සෞඛ්‍ය මාර්ගෝපදේශ වරින් වර හඳුන්වාදීම වැදගත් බවත් මෙම සෞඛ්‍යය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි නිරන්තරව පසු විපරම් කිරීම රජයේ වගකීම බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසුවා ෴

++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 448 ක් සුවය ලබයි

(02.11.2021 – 16:53 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 448 ක් සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 5,13,540 ක් ෴

තවත් කොරෝනා ආසාදිත මරණ 10 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 13,770 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 498 ක් මෙරටින් වාර්තා. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 5,42,137 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 74 ක් මෙරටින් වාර්තා වනවා. අද (02) දිනයේ හමු වූ මුළු කොරෝනා ආසාදිතයින් ගණන 572 ක් වන අතර මෙරට මුළු ආසාදිතයින් ගණන 5,42,211 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *