උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කාලසටහන්වල වෙනසක්

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කාලසටහන්වල වෙනසක්

*********************************************

උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කාලසටහන්වල වෙනසක්

(02.11.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවත්වීම සදහා වන දින සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පෙබරවාරි 07 වනදා සිට මාර්තු 05 වනදා දක්වාත්, අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදා සිට ජුනි 01 වනදා දක්වාත් පැවැත්වීමටයි අනුමැතිය ලැබී ඇත්තේ.

එමෙන්ම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ජනවාරි 22 වනදා පවත්වනු ඇති.

පාසල් විවෘත කිරීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරිම සදහා ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතු බවයි ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත්තේ.

ඒ අනුව අදාළ ජාතික විභාග තුන ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.

******************************************

රාජ්‍ය කඨින පුණ්‍යෝත්සවයේ කඨින චීවරය විවීමේ කටයුතු ඇරඹෙයි

(02.11.2021 – 09:33 +0530 – hirunews.lk/sinhala)

මෙවර රාජ්‍ය කඨින පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් කඨින චීවරය විවීමේ චාරිත්‍රය ඓතිහාසික කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේදී ඊයේ (01) ආරම්භ වුණා.

ඒ, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මහා සංඝරත්නයේ ආශිර්වාදය පෙරදැරි කර ගනිමින් ඊයේ (01) මෙම කටයුතු ආරම්භ කළ බවයි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

******************************************

NMRA දත්ත සිද්ධියේ ඉන්ජිනේරුවා තව දුරටත් රිමාන්ඩ්

(02.11.2021 – 10:09 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින එම දත්ත ගබඩාව පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලොජි පෞද්ගලික සමාගමේ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයා මේ මස 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ, මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ අද (02) කැඳවනු ලැබූ අවස්ථාවේදීයි ෴

******************************************

වැල්ලවායේ අනතුරකින් අයෙක් මරුට

(02.11.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය පොලිස් බල ප්‍රදේශයට අයත් තෙලුල්ල ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (2) අලුයම සිදු වූ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් රියදුරු මියගොස් තවත් දෙදෙනකු (2) තුවාල ලබා තිබෙනවා.

තණමල්විල දෙස සිට වැල්ලවාය දෙස ධාවනය වූ වෑන් රථයක් වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට සීනී ප්‍රවාහනය කරමින් සිටි කන්ටේනර් රථයක මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිහතක් (27) වන පුද්ගලයකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර, වෑන් රථයේ ගමන්ගත් තවත් දෙදෙනකු (2) බරපතළ තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කර ඇති බව වාර්තා වෙනවා.

වෑන් රථයේ රියදුරුගේ අපරෙක්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව බව අනාවරණය වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් ඌව කුඩාඔය පොලිසිය විසින් ඉදිරි විමර්ශන මෙහෙයවෙනු ඇති.

******************************************

කොතලාවල විශ්වවිද්‍යාලය හා ඇමරිකාවේ ඩියුක් විශ්වවිද්‍යාලය අතර ගිවිසුමක්

(02.11.2021 – 10:55 +0530 – hirunews.lk/sinhala)

බැක්ටීරියාවක් හේතුවෙන් බෝ වෙන ‘මෙලියොයිඩොයිස්’ රෝගය ලෝකයේ බොහෝ නිවර්තන කලාපීය ප්‍රදේශවල දක්නට ලැබෙනවා.

මෙරට තුළ එම රෝගය කලින් හඳුනාගැනීමට, ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හා එය පාලනය කිරීමට හැකි වෙන පරිදි පර්යේෂණ සහයෝගිතාවක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හා ඇමරිකා එක්සත් ජනපදයේ ඩියුක් විද්වවිද්‍යාලය අතර ඇති කර ගැනීමට යෝජනා වී තිබෙනවා.

එම ගිවිසුමට එළඹීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන් ජනපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල‍ය විසින් අනුමත කළ බවයි වාර්තා වෙන්නේ ෴

******************************************

විදුලිබල කර්මාන්තය සම්බන්ධ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ මාලාවක්

(02.11.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)

2030 වසර වන විට විදුලිබල උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමත්, අනාගතයේදී නව ගල් අඟුරු බලාගාර ස්ථාපිත නොකිරීමත්, 2050 වන විට බලශක්ති උත්පාදනයේදී සිදු වන ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍ය කිරීමත් යන ප්‍රධාන ප්‍රතිපත්ති ඉලක්ක සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණය අනුව, 2022 සිට 2041 කාලසීමාවට අදාළ අවම පිරිවැය දිගුකාලීන ජනන සැලැස්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කළ යුතු බවටත් තීරණය කෙරුණා.

ඒ අනුව විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ, යෝජනාව අනුව 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල කර්මාන්තය සඳහා වූ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සඳහාඅත්, එම මාර්ගෝපදේශ පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහාත් මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා ෴

******************************************

රාජගිරියේ අනතුර සම්බන්ධයෙන් පාඨලීට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

(02.11.2021 – 11:33 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ වැලිකඩ පොලිස් වසම තුළදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු තුන් දෙනෙකුට (3) එරෙහි නඩුව මේ මස 30 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේ අද (02) කැඳවූ අවස්ථාවේදීයි.

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට අමතරව ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාරට සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති හා වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩලට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබෙනවා.

නඩුව විභාගයට ගන්නා මේ මස 30 වනදා සාක්ෂි දීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන් වශයෙන් නම් කර සිටින අනතුරට පත් සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා ඇතුළු සාක්ෂිකරුවන් හයදෙනකු (6) වෙත සිතාසි ද නිකුත් කරනු ලැබුවා.

එමෙන්ම මෙම රිය අනතුර සිදුවූ අවස්ථාවේදී පාඨලී චම්පික රණවක විසින් පැදවූ බව කියන ඩබ්ලිව්.පී.කේ.පී. 7545 දරණ ජීප් රථය මේ මස 22 වනදාට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාට නියෝග කළා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කරන ලෙස තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නා.

එම මූලික විරෝධතා නඩු විභාගය ආරම්භයේදී ඉදිරිපත් කරන ලෙසයි විනිසුරුවරයා විත්තියේ නීතිඥවරයාට දැනුම් දුන්නේ.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා ජීප් රථයක් පදවා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් සංදීප් සම්පත් නමැති තරුණයාට බරපතළ අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි නිර්මාණය කිරීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැත්තා නිත්‍යානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට වැරදි තොරතුරු වාර්තා කිරීම ඇතුළු අධි චෝදනා 16 ක් යටතේ මොවුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා ෴

******************************************

ලාෆ් සමාගම යළි මිල වැඩි කිරීමක් ඉල්ලයි

(02.11.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ලාෆ් ගෑස් සමාගම විසින් යළිත් වරක් ගෑස් මිල ඉහළ නැංවීමට ඉල්ලීමක් කර තිබෙනවා. තමන් ගෑස් මිල වැඩි කරන බවට එම සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, ලාෆ් සමාගම කොපමණ මුදලකින් මෙවර ගෑස් මිල වැඩි කරන්නේ ද යන්න මෙතෙක් අනාවරණ කර නැහැ.

දැනට අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ගෑස් ඉවත් කර ඇති අතර, ඒ සමඟම අදාළ ගෑස් සමාගම වෙත මිල වැඩි කිරීමේ හැකියාව ද පවතිනවා.

ලාෆ් සමාගම විසින් මීට පෙර ද කිලෝග්‍රෑම් 12.5 හේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 984 කින් ඉහළ නංවනු ලැබුවා. ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ 2,840 ක් ලෙසයි.

එසේම කිලෝග්‍රෑම් පහේ (5) ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 393 කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 1,136 ක්.

මීට අමතරව ලිට්රෝ ගෑස් සමාගම් විසින් ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබුණා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1182 කින් ඉහළ දැමුවා. මේ වන විට වෙළදපළේ කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ 2675 ක්.

කිලෝග්‍රෑම් පහේ (5) ගෑස් සිලින්ඩරයක් ද රුපියල් 473 කින් ඉහළ නංවනු ලැබුවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,071 ක්.

කිලෝග්‍රෑම් 2.5 ක කුඩා සිලින්ඩරයක් ද රුපියල් 217 කින් ඉහළ දැමූ අතර එහි නව මිල රුපියල් 506 ක් ෴

******************************************

බකමූණේ ගොවි උපවාසය අවසන්

(02.11.2021 – 12:52 +0530 – hirunews.lk/sinhala)

පොහොර ගැටළුවට විසදුම් ඉල්ලා ගොවීන් පිරිසක් බකමූණ නගරයේ සිදුකළ උපවාසය අද (02) පෙරවරුවේ තාවකාලිකව අවසන් කළා.

ඒ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය එම උපවාස භූමියට වැඩම කර උපවාසය අත්හරින ලෙස කළ ඉල්ලීමට අනුවයි.

මේ අතර, ඇල්ල, බදුල්ල හා හාලිඇල ඇතුළු ප්‍රදේශවල එළවළු අස්වැන්න අඩු වී ඇති බවට එම ප්‍රදේශවල ගොවීන් පිරිසක් චෝදනා කළා.

ඔවුන් පෙන්වා දෙන්නේ රසායනික පොහොර නොමැති නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

එසේම රසායනික පොහොර ලබානොදීම නිසා ගොවීන් මිරිස් වගාවෙන් ඉවත්වීම හේතුවෙන් මිරිස් බීජ අලෙවි කර ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ගලේවෙල ප්‍රදේශයේ මිරිස් බීජ නිෂ්පාදකයින් සදහන් කළා.

මේ අතර, සමගි ජන බලවේගය ඊයේ (01) අගලවත්ත නගරයේ සංවිධාන කර තිබූ විරෝධතාවකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එක්ව සිටියා.

කෙසේ වෙතත්, මහනුවර ඊයේ (01) පැවති උත්සවයකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ කාබනික පොහොර භාවිතය හරහා ගොවීන්ට කිසිදු අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවයි.

මේ අතර, මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, කොටියාගල, වත්තේගම, කැබිලිත්ත වනාන්තර ප්‍රදේශවල වන වැස්ම වැඩි කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම වනාන්තර කලාපයන්ට බීජ වර්ග 75,000 ක් අක්කර 499 ක ප්‍රදේශයක් පුරා ගුවනින් විසුරුවා හැර තිබෙනවා.

******************************************

පොදුජන පෙරමුණේ 5 වන සංවත්සරය අද (02)

(02.11.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

දුෂ්කර අවස්ථාවලදී එකට සිට එක් අරමුණක් වෙනුවෙන් සටන් කළ පිරිස් වෙන් කර දැමිය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වන සංවත්සරය නිමිත්තෙන් කොළඹ නෙලුම්පොකුණ රගහලේ අද (02) පැවති උත්සවයට සහභාගි වෙමින්.

එය නම් කර තිබුණේ අභිමානයෙන් සෞභාග්‍ය කරා ලෙසටයි.

පෙරවරු 10:30 ට පමණ සමුළුව ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලනඥයින් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන දේශපාලඥයින් ඇතුලු පිරිසක් ද ඊට එක්ව සිටියා.

සමුළුව පළමුවෙන් අමතනු ලැබුවේ පක්ෂයේ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්.

ස්කොට්ලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද සමුළුවට සහභාගි වීම සඳහා පිටව යාමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පක්ෂ සම්මේලනය වෙනුවෙන් මෙලෙස සිය සුබ පැතුම් එක් කර තිබුණා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ජාන විකෘති 3 ක් සහිත කොරෝනා අනු ප්‍රභේදයේ සාම්පල පරීක්ෂණ සඳහා හොංකොං රාජ්‍යයට

(02.11.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

දැනට වැඩි වශයෙන් කතාබහට ලක්වන ඒ-30 කොරෝනා අනු ප්‍රභේදය ලොව දැන් පවත්නා ප්‍රභේදයක් නොවන බව විද්‍යාඥ මතය යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මෙරට වැඩි වශයෙන් පැතිර යන්නේ ජාන විකෘති 3 ක් සහිත ඒ-28 කොරෝනා අනු ප්‍රභේදයයි. එම සාම්පල පිළිබද වැඩිදුර පරීක්ෂණ සඳහා හොංකොං රාජ්‍යයට යවා ඇති බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර, ගැබිනි මව්වරුන් යම් යම් සීමාවන්ට යටත්ව සේවයට කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසනවා.

ඇතැම් ආයතන පවත්වාගෙන යාමේදී මතුවන ගැටලු පිළිබඳ අවධානය යොමුකර එම තීරණයට එළඹි බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම අමාත්‍යාංශ මට්ටමින් මහජන දින යළි පැවැත්වීම ද සීමාවන්ට යටත්ව සිදුකෙරෙනු ඇති.

අවශ්‍යතාවන් මත දින හා වේලාවන් වෙන් කර ගැනීමෙන් පසු අමාත්‍යාංශ නිලධාරින් හමුවීමට ද ජනතාවට අවස්ථාව ලැබෙන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *