කාන්තාවන්ගේ රන් මාල කොල්ල කෑ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

කාන්තාවන්ගේ රන් මාල කොල්ල කෑ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

*********************************************

කාන්තාවන්ගේ රන් මාල කොල්ල කෑ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(01.11.2021 – 16:47 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරිය, මිරිහාන මුල්ලේරියාව හා බොරලැස්ගමුව පොලිස් වසම් වල යතුරුපැදියකින් සැරිසරා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකු (2) මීගොඩ බටවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එක් (1) සැකකරුවෙකුට නුගේගොඩ අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අයෙක් බව පොලිසිය පවසනවා.

සැකකරුවන් සමග කොල්ල කන ලද රන් මාලයක් සහ කොල්ලකෑමට යොදාගත් යතුරුපැදිය ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

ඉකුත් මාස කිහිපය තුළ මෙම සැකකරුවන් දෙදෙනා (2) මහ මග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑම් කිහිපයක් සිදුකර තිබූ බවත් ඒ ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් බවත් පොලිසිය වැඩි දුරටත් කියා සිටියා.

කොල්ලකෑම සඳහා යොදා ගත් යතුරු පැදියට ව්‍යාජ අංක තහඩුවක් සවිකර තිබූ බවත් මුල්ලේරියාව හා බොරලස්ගමුව පොලිසිය මගින් මීට පෙර රන් මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් නඩු පවරා තිබෙන පුද්ගලයන් දෙදෙනෙකු (2) බවත් වැඩිදුරටත් අනාවරණය කර ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා (2) පසුගිය මස 15 වැනි දින මිරිහාන ධර්මරත්න මාවත මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් බිම පෙරළාගෙන ගෙල බැඳි රන්මාල ය කඩා ගන්නා අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ බවත් පොලිසිය සඳහන් කළා.

සිද්දිය පිළිබඳ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

https://www.youtube.com/watch?v=ZEpdB6w_KYo

******************************************

දිස්ත්‍රික් කබඩි තේරීම් තරගාවලියට මැර ප්‍රහාරය

(01.11.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

32 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව වාරියපොල කුරනාව ප්‍රදේශයේ පැවැති කුරුණෑගල දිස්ත්‍රික් කබඩි තේරීම් තරගාවලියට එක්වූ කණ්ඩායමකට මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

නිකවැරටිය කණ්ඩායම සහ පඬුවස් නුවර බටහිර කණ්ඩායම අතර පැවැති තරගය අතරතුර මෙම මැර ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

බීමත්ව සිටි පිරිසක් පොලු මුගුරු රැගෙන මෙලෙස පැමිණ ඇති අතර ඔවුන් සිදුකළ පහරදීමකින් පඬුවස්නුවර බටහිර කණ්ඩායමේ ක්‍රීඩකයෙකු තුවාල ලබා තිබෙනවා.

ඔහු වාරියපොල රෝහලට ඇතුළු කිරීමෙන් පසු කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවුණා.

පඬුවස්නුවර බටහිර කණ්ඩායම එම තරගය ජයග්‍රහණයට ආසන්න වෙමින් ඇති අවස්ථාවක නිකවැරටිය කණ්ඩායමේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම මැර ප්‍රහාරය එල්ල කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් වාරියපොල පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා ෴

******************************************

ප්‍රධාන ජලාශ 2 ක වාන්දොරටු විවෘත කරයි

(01.11.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ රාජාංගනය ජලාශයේ වාන්දොරටු 6 ක් සහ දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 4 ක් විවෘත කර තිබෙනවා ෴

උඩවලව ජලාශයේ ජල මට්ටම ඉහළට : ජලාශය පහළ කොටසේ වළවේ ගඟ දෙපස අම්බලන්තොට දක්වා ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා ෴

******************************************

ISIS සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු හෙළිවේ

(01.11.2021 – 18:04 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල අයි.එස්. සාමාජිකයෙකු සමග සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයන් 702 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මොහොමඩ් සම්සුදින් නම් අයි.එස්. සාමාජිකයෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශය විසිනුයි.

ඔහුගේ වට්ස්ඇප් ගිණුමේ තිබී ශ්‍රී ලාංකිකයන් 702 දෙනෙකු සමග සබඳතා පැවැත්වූ තොරතුරු හමුවී ඇතැයි ත්‍රස්ත මර්දන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ ගිණුමේ තිබී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරුවෙකු ලෙස කටයුතු කල සහරාන් හෂීම් ගේ ඡායාරූප සහ දේශනද සොයාගෙන ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියා.

මෙම 702 දෙනා අතුරින් එක් (1) අයෙකු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවද අධිකරණය හමුවේ අනාවරණය කෙරුණා.

ඔහු රඳවාගෙන අයි.එස්. සබඳතා පිළිබඳ විමර්ශන සිදුකරන බවයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කලේ ෴

******************************************

භාණ්ඩ මිල සහ ඉන්ධන මිල තවත් ඉහළ යා හැකි බව එස්.බී. දිසානායක කියයි

(01.11.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී බඩු මිල සහ ඉන්ධන මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා.

පූඩළුඔය ප්‍රදේශයේ ඊයේ (31) පැවති රැස්වීමකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සදහන් කළේ බඩු මිල සහ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.

මේ අතර, සීනි ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ලබා ගැනීම පිළිබද විශේෂ සාකච්ඡාවක් හෙට (02) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ සීනි ආනයනකරුවන් අතර පැවැත්වීමට නියමිතයි.

ඊට විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ද එක්වීමට නියමිතව තිබෙනවා ෴

******************************************

චීන පොහොර නැව හම්බන්තොට මුහුදු කලාපයේ

(01.11.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු කෙරුණු චීන කාබනික පොහොර රැගත් ‘හිපෝ ස්ප්‍රිට්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ඇති බව, නෞකා දත්ත විශ්ලේෂනය කරන වෙඩ් අඩවි වාර්තා කරනවා.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් ද සිල්වා මහතා සඳහන් කළේ, අදාළ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ඇතත් එය මෙරට වරාය සීමාවට පැමිණීම සඳහා ඉඩ ලබා නොදෙන බවයි.

චීන සමාගමක් වන ‘චින්ඩා ඕ සීවින්ග් බයෝටෙක් ගෲප්’ සමාගමෙන් කාබනික පොහොර තොගයක් ගෙන්වීමට, අදාළ සමාගමේ මෙරට නියෝජිත ආයතනය මීට පෙර පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත් අදාළ පොහොර සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ජාතික ශාක නිරෝධායන සේවය මගින් අදාළ කාබනික පොහොරවල ‘අර්වේනියා’ නමැති අහිතකර බැක්ටීරියාව අන්තර්ගත බවට දෙවරක්ම තහවුරු කළා.

මෙට්‍රික් ටොන් 20,000 ක අදාළ කාබනික පොහොර තොගය මෙරටට රැගෙන ඒමට නියමිතව තිබුණේ පැනමා ධජය යටතේ ලියාපදිංචිව ඇති ‘හිපෝ ස්ප්‍රිට්’ නමැති ‍නෞකාව මගින්.

ඒ අනුව එම නෞකාව කොළඹ වරාය පරිශ්‍රයට ඇතුලු‍විම වලක්වන ලෙස ජාතික ශාක නිරෝධායන සේවය කොළඹ වරායට දැනුම් දි තිබුණා.

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් ද සිල්වා මහතා සඳහන් කළේ අදාළ ‘හිපෝ ස්ප්‍රිට්’ නෞකාව කොළඹ වරාය පරිශ්‍රයට ඇතුල්වීම වලක්වන ලෙස තමන් සියළු අංශ වලට නියෝග කළ බවයි.

අදාළ නෞකාව මෙරටට ඇතුළුවීම වළක්වන ලෙස කොළඹ වානිජ මහාධිකරණය මගින් වාරණ නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.

එවන් පසුබිමක අදාළ ‘හිපෝ ස්ප්‍රිට්’ නෞකාව පසුගිය මස 14 වැනිදා වන විට මලක්කා සමුද්‍රසන්ධියේ පැවැති බවටත් ඉන් අනතරුව එය ජී.පී.එස්. පද්ධතියෙන් ඉවත්ව ඇති බවටත් අප පසුගියදා අනාවරණ කළා.

අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර රැගත් ‘හිපෝ ස්ප්‍රිට්’ නෞකාව වෙනත් නමකින් හම්බන්තොට වරායට සේන්දුවන බවට විවිධ ප්‍රචාර පැතිර යන්නේ එවන් පසුබිමකයි.

‘හිපෝ ස්ප්‍රිට්’ නෞකාව ‘සෙයියෝ එක්ස්ප්ලෝරර්’ ලෙස නම වෙනස්කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවටයි ඇතැම් විදෙස් වෙබ් අඩවි මෙලෙස වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් ඒ පිළිබඳ අප කළ සොයාබැලීමකදී ‘ෆ්ලීට් මොන්’ වෙබ් අඩවියේ දැක්වුණේ ‘හිපෝ ස්ප්‍රිට්’ නමැති අදාළ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ඇති බවයි.

එය මීට දින 8 කට පෙර හම්බන්තොට වරායේ සිට නාවුක සැතපුම් 44.82 ක දුරින් නැංගුරම්ලා ඇති බව අදාළ වෙබ් අඩවියේ දැක්වෙනවා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව නෞකාව කුමන ස්ථානයේ ස්ථානගත කර ඇත්දැයි පෙන්නුම් කෙරෙන්නේ නැහැ.

කෙසේ වෙතත් ආරංචි මාර්ග පවසන්නේ අදාළ ‘හිපෝ ස්ප්‍රිට්’ නෞකාවට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය ලබන 05 වැනිදා අධිකරණයේදී සළකා බැලීම සිදු කෙරෙන තෙක් එය හම්බන්තොට වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති අතර ඉන් අනතරුව එය හම්බන්තොට වරායට පැමිණීමට සූදානමින් සිටින බවටයි.

මේ අතර, අදාළ පොහොර නෞකාව සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා අපේ ජන බල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් මහතා කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයට පැමිණි අතර ඔහුට එහිදී කිසිදු නිලධාරියෙකු හමුවීමට අවස්ථාව ලැබී නැහැ ෴

++++++++

චීන කාබනික පොහොර වලට පරික්ෂා නොකර ගෙවන්න ලංකාව එකඟ වෙලා – CEO මහජන බැංකුව (30.10.2021)

+++++++

මහාචාර්ය බුද්ධි මාරඹේ රටින් ගිය පසු ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව (01.11.2021)

******************************************

ගොවි විරෝධතා සාධාරණයි – ඇමති චමල් රාජපක්ෂ කියයි

(01.11.2021 – 20:10 +0530 – hirunews.lk/sinhala)

අද (01) දිනයේදීත් පොහොර ඉල්ලා දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති අතර බකමූණ ප්‍රදේශයේ ගොවීන් ආරම්භ කළ උපවාසය අද (01) 9 වන දිනටත් ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත්, ගොවි උද්ඝෝෂණ පිටුපස පවතින්නේ දේශපාලනය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා යළිත් කියා සිටියා.

ගොවි සංවිධාන 41 ක නියෝජිතයින් බකමූණ නගරයේ ආරම්භ කර ඇති උපවාසයට සහය පළ කරමින් දිස්ත්‍රික්ක 4 ක ගොවි සංවිධාන නියෝජිතයින් අද (01) විරෝධතා පා ගමනකින් උපවාස භූමියට පැමිණියා.

මේ අතර, කෘෂි රසායනික ද්‍රව්‍ය හිගයකින් තොරව ලබාදීමට බලධාරීන්ගේ අවධානය යොමු වේවායැයි ප්‍රාර්ථනා කරමින් කුඩාවිලච්චිය ගොවීන් පිරිසක් අනුරාධපුර – කදිරේෂන් කෝවිලේදී දේව කන්නලව්වක් පැවැත්වුවා.

එමෙන්ම, තිරසර ගෙවතු වගා වැඩසටහන යටතේ ආහාර සුරක්ෂිතතාවය උදෙසා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන සෞභාග්‍යා දීප ව්‍යාප්ත ගෙවතු වගා වැඩසටහන ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී ආරම්භ වුණා.

ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සහ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා ද එක්ව සිටියා.

සෞභාග්‍යා දීප ව්‍යාප්ත ගෙවතු වගා වැඩසටහනේ ප්‍රතිලාභී ගොවි පවුල් ලක්ෂ 12 කට එළවළු බීජ ප්‍රදානය ද සිදුකෙරුණා.

මෙම වැඩපිළිවෙල යටතේ දිස්ත්‍රික්ක සහ පළාත් මට්ටමින් හොඳම ගෙවත්ත නිර්මාණය කරන ගෙවිලියට හෝ ගොවියාට නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවසක් සාදා දීමට නියමිතයි.

එමෙන්ම සෑම දිස්ත්‍රික්කයකම හොදම ගෙවත්ත නිර්මාණය කරන පවුල් 200 ක් සදහා නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් 50,000 බැගින් පිරිනමනු ලබනවා.

මේ අතර, යල කන්නයේ අස්වැන්නේ අග්‍රඵලය ශ්‍රී දළදා වහන්සේ වෙත පූජා කිරීමේ අස්වනු පූජාව අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්වුණා. ඊට එක්වෙමින් අදහස් දැක්වූ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සදහන් කළේ ගොවි විරෝධතා සාධාරණ බවයි ෴

++++++

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳ අවදානමක්

(01.11.2021 – 10:37 +0530 – hirunews.lk/sinhala)

රටවල් කීපයක් අතර මේ දිනවල පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය අප රටට තුළට ඇතුල් නො වී තිබේවි යන විශ්වාසයෙන් කටයුතු නොකළ යුතු බවත්, එසේ වුවහොත් දැඩි අවදානම් තත්ත්වයකට රට නැවතත් තල්ලු විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

+++++++++++++++++

අවදානම් කණ්ඩායම් වලටත් බූස්ටර් එන්නත

(01.11.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

අනෙකුත් අවදානම් කණ්ඩායම්වලට බූස්ටර් එන්නත ලබාදීම ඉදිරියේදී ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ අතර ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා කොරෝනා මර්දන බූස්ටර් එන්නත ලබාදීම අද ආරම්භ කෙරුණා.

කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06 කට පසුවයි මෙම එන්නත ලබාදෙන්නේ.

මේ දක්වා මෙරට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 13,460,092 ක්.

මේ අතර පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ අන්තර් පළාත් දුම්රිය සේවා ද අද (01) සිට ආරම්භ කෙරුණා ෴

++++++++++++++++++

ප්‍රධාන මාර්ගයේ සංඥා දෝෂයට හේතුව හෙළි වෙයි

(01.11.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තල මාර්ගයේ අද (01) පෙරවරුවේ හටගත් දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

මේ අතර පුත්තලම සිට පානදුර බලා ධාවනය වෙමින් පැවති දුම්රියේ ඊට පිටුපසින් පැමිණි බලවේග කට්ටල දුම්රියක් ගැටී අද (01) උදෑසන අනතුරක් සිදුවුණා.

කෙසේ වෙතත් ඉන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවයි රාගම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ප්‍රධාන මාර්ගයේ සංඥා දෝෂයක් ඇතිවීමට හේතුව කැළණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී කිසියම් පිරිසක් රැහැන් කිහිපයක් කපා සොරකම් කිරීම බවයි ෴

+++++++++++++++++++

අන්තර් පළාත් දුම්රිය සේවාව ඇරඹේ

(01.11.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග අන්තර් පළාත් දුම්රිය සේවාද අද (01) සිට ක්‍රියාත්මකයි.

මේ අතර, ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අද (01) සිට කොවිඩ් මර්දන තුන්වන (3) එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ වුණා.

එලෙස තුන්වැනි (3) මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

++++++++++++++++++++

තවත් ආසාදිතයින් 294 ක් සුව අතට

(01.11.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 294 දෙනෙකු අද (01) දිනයේදීත් සුවය ලබා තිබෙනවා. ඒ සමග මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව 5,13,092 ක් දක්වා ඉහළ යනු ඇති.

තවදුරටත් පුද්ගලයින් 14,238 දෙනෙකු රෝහල්ගතව සහ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

අද (01) වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5,41,073 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 408 ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 5,41,481 ක් වනවා ෴

තවත් කොරෝනා මරණ 17 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු මරණ ගණන 13,760 ක් ෴

++++++++++++++++++

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇගවීමක්

(01.11.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

තවමත් දිනකට කොරෝනා රෝගීන් 500 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන බැවින් සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළහොත් වසංගත තත්ත්වය යළි ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අද (01) අනතුරු ඇගවීමක් සිදුකළා.

මේ අතර, පුත්තලම – කොට්ටුකච්චිය ප්‍රදේශයේ පිරිවෙනක ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 18 දෙනෙකු සහ අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල පාසල් සිසුන් මෙන්ම ගුරුවරුන් ඇතුළු 30 දෙනෙකුට පමණ කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මෙලෙස කොරෝනා වැළදී ඇත්තේ කොට්ටුකච්චිය – වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙනේ අධ්‍යාපනය ලබමින් සිටින භික්ෂූන් වහන්සේලා පිරිසකටයි. මෙහි භික්ෂූන් වහන්සේලා 65 දෙනෙකු සහ කුඩා දරුවන් දස (10) දෙනෙකු අධ්‍යාපනය ලබමින් සිටිනවා.

එමෙන්ම, කැකිරාව – කළුගල ප්‍රාථමික විදුහලේ දෙවන (2) ශ්‍රේණියේ සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එහි ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන් දෙදෙනෙකු (2) සහ සිසුන් 25 දෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

මේ අතර අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙකෙහි පාසල් සිසුන් සහ ගුරුවරුන් 30 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය ප්‍රකාශ කළා.

මේ අතර, පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ලබාදෙන ‘බූස්ටර් මාත්‍රාව’ ලබාදීම අද (01) සිදුකෙරුණා.

අද (01) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 408 ක් වාර්තා වී තිබෙනවා.

ඊයේ (31) තහවුරු කළ කොරෝනා මරණ 17 ක් ද වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,760 ක් දක්වා ඉහළ ගියා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 158 ක් මෙරටින් හමු වී තිබෙනවා. අද (01) දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 566 ක් වන අතර මෙරට මුළු ආසාදිතයින් ගණන 5,41,639 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *