‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ අරමුණු එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පහදා දෙති

‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ අරමුණු එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පහදා දෙති

*********************************************

‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ අරමුණු එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පහදා දෙති

(01.11.2021 – sinhala.news.lk)

‘ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම’ වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අපේක්ෂිත අරමුණු එහි සාමාජිකයන් සමග එක්ව නොපිරිහෙලා ඉටු කිරීමට කැපවන බව එහි සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

එකී කාර්යභාරය ඉටුකිරීමේදී මූලික ප්‍රතිපත්ති රාමුවක් තුළ පිහිටා කටයුතු කරන අතර ජාතිය, ආගම, කුලය හෝ වෙනත් සාධකයක් මත කිසිදු පුරවැසියෙකු නීතියේ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ කාර්යභාරය පිළිබඳ ප්‍රථම මාධ්‍ය හමුව අද (01) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

කුමන ජන කොටසකට, ආගමකට හෝ දේශපාලන පක්ෂයකට අයත් වුවත් ඒ සියල්ලටම උඩින්, ‘රට’ අංක එකට තබා කටයුතු කළ හැකි නම්, එ වැනි රටක නීතිමය රාමුව පිළිබඳ සියලු අදහස්වලට සවන් දීමට කාර්ය සාධක බලකාය සූදානම් බව මෙහිදී අවධාරණය කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙම ගැටලුව පිළිබඳ පුළුල් කියැවීමක් සහ ගැඹුරු අධ්‍යයනයක් ජනාධිපති කාර්ය සාධක බලකාය සතුව පවතින බව පැවසූහ.

අපගේ වගකීම වන්නේ රටේ අනාගත පරපුර ඊළග සියවසට සහ ඉන් ඔබ්බට ගැළපෙන එක් ජාතියක් – එක් කොඩියක් යටතට එක් කළ හැකි, රටට ගැළපෙන එක් නීතියක් නිර්මාණය කිරීම බව ද උන්වහන්සේ පැවසූහ.

අපට අවශ්‍ය පටු බෙදීම්වලින් මිදුනු ඒකීය ජාතියක් ලෙස එකිනෙකාගේ සංස්කෘතික, ආගමික උරුමයන්ට ගරු කරමින් සමගි සම්පන්නව එකට ජීවත්වන ජාතියක්. අපගේ වගකීම වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස හෝ බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ලෙස හෝ නොබෙදුනු එම සියලු ජාතීන් එකට ගොනු කරන එක නීතියක් මේ රට තුළ ගොඩනැගීමට අවශ්‍ය පරිසරය සැකසීමයි.

ජාති, ආගම්, පළාත් අනුව බෙදීම හේතුවෙන් වැඩිම පීඩාවකට ලක් වූයේ මේ රටේ තරුණ පරපුරයි. එබැවින් මෙම ක්‍රියාවලිය තුළ තරුණ පරපුරට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව පැවසූ උන්වහන්සේ විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන සහ විවිධ සංවිධාන නියෝජනය කරන සියලු තරුණ තරුණියන්ට සිය අදහස් සහ යෝජනා කාර්ය සාධක බලකාය වෙත ලබාදෙන ලෙස ආරාධනා කරන බව ද පැවසූහ.

එමෙන්ම මේ පිළිබඳ රටේ සියලු දේශපාලන පක්ෂ, ආගමික හා සිවිල් සංවිධාන සහ කණ්ඩායම් සමග ඉදිරියේ අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ උන්වහන්සේ සැගවුණු න්‍යාය පත්‍රවලින් තොරව එන සියලුදෙනාට සාකච්ඡාව විවෘත බව සඳහන් කළහ. මේ සියලු අදහස් විමසීමෙන් අනතුරුව කාර්ය සාධක බලාකයේ මතය සහ නිර්දේශ නියමිත කාලය තුළ ජනාධිපතිතුමා වෙත භාරදීමට අපේක්ෂා කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

ශ්‍රී ලංකාව තුළ ‘එක් රටක් -එක් නීතියක්’ ක්‍රියාත්මක කිරීම පිළිබඳ අධ්‍යයනය කර පනත් කෙටුම්පතක් සැකසීමේ කාර්යභාරය ‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ වෙත පැවරී තිබෙන බව එහි සාමාජික මහාචාර්ය සුමේධ සිරිවර්ධන මහතා සඳහන් කළේය. එසේ නොමැතිව නීති සැකසීමේ බලයක් ජනාධිපති කාර්ය සාධක බලකායට නොමැති අතර එය ව්‍යවස්ථා සභාව විසින් සිදු කරනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

+++++

එහිදී මාධ්‍යවේදීන් ඥාණසාර හිමියන්ගේ පත්වීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි අප්‍රසාදය පළ කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායකද ඊට ප්‍රතිචාර දක්වා සිටියා.

මේ අතර කාර්ය සාධක බලකායට දමිළ නියෝජිතයින් නොමැතිවීම සම්බන්ධයෙන්ද මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්ණ කළා.

******************************************

රාගම සහ පේරලන්ද අතර දුම්රිය ගැටීමෙන් හානියක් නැහැ

(01.11.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala)

රාගම සහ පේරලන්ද දුම්රිය ස්ථාන අතර අද (01) උදෑසන, දුම්රිය දෙකක් (2) ගැටී තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවයි රාගම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පුත්තලම සිට පානදුර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ඊට පිටුපසින් පැමිණි බලවේග කට්ටල දුම්රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් ගැටීමට ලක් වූ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කළ බවයි රාගම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයා කියා සිටියේ.

සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් අද (01) පෙරවරුවේ හටගෙන තිබූ අතර, එය මේවනවිට යථා තත්වයට පත් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික දසනායක මහතා සඳහන් කළේ ෴

******************************************

තලවකැලේ වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවක

(01.11.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

තලවකැලේ වතු යායට අයත් කටුකැලේ කොටසේ වතු කම්කරුවන් පිරිසක් එහි පාලනාධිකාරියට එරෙහිව කර්මාන්තශාලාවට පිවිසෙන ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.

පාලනාධිකාරිය සහ කටුකැලේ කොටසේ වතුකම්කරුවන් අතර පසුගියදා ඇතිවූ ගැටුමක් හේතුවෙන් තමන්ට දින 35 කට ආසන්න කාලයක සිට දෛනික වැඩ ලබා නොදෙන බවටයි ඔවුන් එහිදී චෝදනා කළේ ෴

******************************************

වැඩිම වර්ෂාපතනය යටියන්තොට – වේවැල්තලාවට

(01.11.2021 – 12:45 +0530 – hirunews.lk/sinhala)

අඩුපීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථාපිතව පවතින බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිඟු‍රුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර අද (01) උදෑසන 08:30 න් අවසන් වූ වැඩිම වර්ෂාපතනය යටියන්තොට – වේවැල්තලාව ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර, එය මිලිමීටර 240 ක්.

හලාවත – මාදම්පේ ප්‍රදේශයට මිලිමීටර 178 ක් සහ බත්තරමුල්ල ප්‍රදේශයට මිලිමිටර 159 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

බණ්ඩාරවෙල වැල්ලවාය මාර්ගයේ 24 වෙනි කිලෝමීටර් කණුව ආසන්නයෙන් අද (01) අලු‍යම පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනයට සම්පූර්ණයෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා වුණා.

දෙමෝදර සහ ඇල්ල අතර ආරුක්කු පාලම ආසන්නයේ ස්ථාන කිහිපයකින්ම උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

එසේම හපුතලේ දුම්රියපොළ මාර්ගය ආසන්නයේ පිහිටි නිවසකට සහ ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කඳු කඩාවැටීම හේතුවෙන් එම නිවාසවලට හානි සිදුව තිබෙනවා.

මේ අතර ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් හිනිඳුම – නාගොඩ ප්‍රදේශයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යටව තිබුණා.

එමෙන්ම රත්නපුර ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාවත් සමඟ රත්නපුර – හංගමු ගඟ පිටාර ගැලීම හේතුවෙන් හංගමුව ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවුණා.

පවතින වර්ෂාවත් සමඟ කළු ගගේ ජල මට්ටමද මේ විට ඉහළ යමින් පවතින අතර එය පිටාර මට්ටමේ පවතින බව අප වාර්තාකරු සඳහන් කළා.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයට හා කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයට ඊයේ (31) පස්වරුවේ නිකුත් කෙරුණු නාය යාමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

******************************************

‘සෞභාග්‍යා කාබනික ගෙවතු වගා සතිය’ අදින් (01) ඇරඹේ

(01.11.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ‘සෞභාග්‍යා කාබනික ගෙවතු වගා සතිය’ අදින් (01) ආරම්භ වුණා.

ආහාර සුරක්ෂිතතාව උදෙසා ක්‍රියාත්මක කරන මෙම වගා වැඩසටහනේ ආරම්භය සිදු කෙරුණේ ගන්නෝරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදියි.

එමෙන්ම යල කන්නයේ අස්වැන්නෙහි අග්‍රඵලය ශ්‍රී දළදා වහන්සේ වෙත පූජා කිරීම අද (01) පෙරවරුවේ සිදු කෙරුණේ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර වගාවන් සඳහා පොහොර ලබාදෙන ඉල්ලා පොළොන්නරුව – බකමූණ ප්‍රදේශයේ ගොවි සංවිධාන 41 ක් එක්ව ආරම්භ කළ උපවාසය 9 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඊයේ (31) දිනයේදී ද මහා සංඝරත්නය පැමිණ උපවාසයේ නිරත ගොවීන්ට සහය පළ කළා.

මැදිරිගිරිය – යෝධඇළ ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරන්නේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය ආරම්භ කර ඇතත්, මෙතෙක් එම පොහොර නිසි පරිදි දිරාපත්වී නොතිබීම ගැටළුවක් වී ඇති බවයි.

මේ අතර දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි භූ රසායනික සිතියම් සකස් කිරීම යළි ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

රජයේ කාබනික කෘෂිකර්ම වැඩපිළිවෙලට සහයෝගය දැක්වීම සඳහා ඒ ඒ ප්‍රදේශවල පාංශු ස්ථරවල පවතින රසායනික තත්වයන් හඳුනාගැනීමේ අරමුණින් මෙය දියත් කරන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රජයේ කාබනික පොහොර වැඩපිළිවෙලට නිසි සහයක් පරිසර අමාත්‍යාංශයෙන් නොලැබෙන බවට චෝදනාවක් ද එල්ල කළා.

******************************************

බංග්ලාදේශය සමඟ සංචාරක ව්‍යාපාරයට අවබෝධතා ගිවිසුමක්

(01.11.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව මෙරට බංග්ලාදේශ මහකොමසාරිස් අරිෆුල් ඉස්ලාම් ප්‍රකාශ කළා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමග ඊයේ (31) පැවති හමුවකදියි ඔහු මේ බව සදහන් කර ඇත්තේ.

එමෙන්ම, කොරෝනා වසංගතයෙන් බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සඳහා ආසියානු කලාපීය රටවල් අතර ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිළිවෙලක් සැකසීමේ අරමුණෙන් දකුණු ආසියානු කලාපීය සංචාරක අමාත්‍යවරුන්ගේ සමුළුවක් කැඳවීමට ද නියමිතයි ෴

******************************************

වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස්

(01.11.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාරයේ ආණ්ඩුව සතු කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් පැවැත්වූ මහජන සම්මන්ත්‍රණය පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු පිරිස් මෙලෙස අදහස් පළ කළා :

******************************************

වසන්ත කරන්නාගොඩ නිදහස් කිරීමේ රහස්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

(01.11.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ නිදහස් කිරීමට අදාළ රහස්‍ය වාර්තාව හෙට (02) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (01) නීතිපතිවරයාට නියෝග කළා.

ඒ සෝභිත රාජකරුණා, ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ල හමුවේ මීට අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේදියි.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉවත් කරගෙන ඇත්තේ, අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු විසින් සකසන ලද රහස්‍ය වාර්තාවක් පදනම් කරගෙන බවටයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් මෙරින් පුල්ලේ කරුණු දක්වමින් කියා සිටියේ.

එම තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අතුරුදන් වූ පවුල්වල ඥාතීන් සිව්දෙනෙකු (4) විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සළකා බැලීම හෙට (02) දක්වා කල් දැමීමට විනිසුරු මඩුල්ල එහිදී තීරණය කළා.

කෙසේ වෙතත් විරෝධතා හා ලිඛිත දේශන ලබන බදාදා (03) හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසටයි අභියාචානාධිකරණය දෙපාර්ශවයටම නියෝග කරනු ලැබුවේ ෴

******************************************

මින්නේරියේ ‘නො පිබිදුණු’ පොළොන්නරුවට ගම්වාසීන්ගෙන් චෝදනා

(01.11.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

ජනතා මුදල් කෝටි ගණනින් වැයකර ඉදිකෙරුණු ගොඩනැගිල්ලක් කිසිඳු ප්‍රයෝජනයකට නොගනිමින් අභාවයට යාමට ඉඩහළ පුවතක් මින්නේරිය – මිනිහිරිගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

******************************************

උදරයේ සඟවාගෙන ආ මත්ගුලි තොගයක් සමග විදේශිකයෙකු අත්අඩංගුවට

(01.11.2021 – 15:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඊයේ (31) ගුවන්තොටුපල පරිශ්‍රයෙන් පිටව යාමට තැත් කළ කෙන්යානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමිරේට්ස් ගුවන් සේවයේ අංක EK650 ගුවන් යානයෙන් මෙරටට පැමිණි අදාළ පුද්ගලයා සන්තකයේ තිබී, කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් සඟවාගෙන සිටියදී සොයා ගැනුණු බවයි රේගු මාධ්‍ය අංශය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුව ගුවන්තොටුපල පරිශ්‍රයේ ඇති ශරීර පරීක්ෂණ යන්ත්‍රය මගින් පරීක්ෂා කිරීමේ දී ඔහුගේ උදරයේ සැක කටයුතු යමක් සඟවා ඇති බවට ගුවන් තොටුපල නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.

සැකකරු 39 හැවිරිදි අයෙක් වන අතර, ඔහුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

ඔක්තෝම්බරයේ උද්ධමනය කැපී පෙනෙන ලෙස ඉහළට

(01.11.2021 – 16:21 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික වෙනස මගින් මනිනු ලබන උද්ධමනය ඔක්තෝම්බර් මාසයේදී සියයට 7.6 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

සැප්තැම්බර් මාසයේදී එය සටහන් වූයේ සියයට 5.7 ක් ලෙසයි.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් ඉහළ යාම ඒ සඳහා හේතු වී ඇති බවයි මහබැංකුව ප්‍රකාශ කළේ. ආහාර කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේ පැවති සියයට 10 සිට ඔක්තෝම්බර් මාසයේදී සියයට 12.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බරයේදී සියයට 3.8 ක් ලෙස පැවති අතර ඔක්තෝම්බර් මාසයේදී සටහන් වන්නේ සියයට 5.4 ක් ලෙසයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස ද සියයට 1.94 ක් වන අතර ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මිල ගණන් ඉහළ යාම ඊට හේතුවයි.

විශේෂයෙන් සහල්, කිරිපිටි, පොල් සහ මසුන් මිල ගණන් මෙන්ම එල්.පී. ගෑස් ඇතුළු ඉන්ධන සහ ආපනශාලා මිල ගණන් ඉහළ යාම ද එහිදී දැකිය හැකියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *