මිල ඉහළ දැමූව ද තවදුරටත් ගෑස් හිඟයක් – වාහන අමතර කොටස් මිල වැඩිවීම ගැනත් පැමිණිලි

මිල ඉහළ දැමූව ද තවදුරටත් ගෑස් හිඟයක් – වාහන අමතර කොටස් මිල වැඩිවීම ගැනත් පැමිණිලි

*********************************************

මිල ඉහළ දැමූව ද තවදුරටත් ගෑස් හිඟයක් – වාහන අමතර කොටස් මිල වැඩිවීම ගැනත් පැමිණිලි

(01.11.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

මිල ඉහළ දැමුව ද ඇතැම් ප්‍රදේශවල තවදුරටත් ගෑස් හිඟව පවතින බවට වෙළදපළ ආරංචි මාර්ග පවසනවා.

ඇතැම් ප්‍රදේශවල ගෑස් සඟවා ඇති බවටයි පාරිභෝගිකයින් චෝදනා කළේ.

කුරුණෑගල නගරය ඇතුළු තවත් නගර කිහිපයකම ඊයේ (31) ගෑස් හිඟයක් පැවති බවයි පාරිභෝගික ජනතාව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, වෙළෙදපළේ ඉහළ ගොස් තිබූ වාහනවල මිල ගණන් මේ වන විට යම්තාක් දුරට පහත බැස ඇති බවත්, එය ස්ථාවර මිලක පවතින බවත්, වාහන ආනයනකරුවන් පවසනවා.

කෙසේ වෙතත්, පාලනය කළ නොහැකි අයුරින් වාහන අමතර කොටස් මිල ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.

ඇතැම් වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන සමාගම් විසින් අසාධාරණ අන්දමින් අමතර කොටස් මිල ඉහළ දමා ඇති බවට පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි ලැබී තිබෙනවා.

ඩොලරයේ අගය ඉහළයාම ඇතුළු වෙළඳපල තත්වයන් මත වාහන අමතර කොටස් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවටයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අප කළ විමසීමකදී කියා සිටියේ.

කෙසේ වෙතත්, මේ වනවිට වෙළදපළෙහි වාහනවල මිල ස්ථාවර වී ඇති අතර, එය යම් සාධනීය තත්වයක් බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, භාණ්ඩ මිල ඉහළ යාම ගෝලීය වසංගත තත්ත්වයේ ප්‍රතිඵලයක් බවත්, පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කළුතරදී ඊයේ (31) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා ෴

******************************************

බියගම, දොම්පේ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්

(01.11.2021 – 08:16 +0530 – hirunews.lk/sinhala)

කැලණිය – මුදුන්ගොඩ මාර්ගයේ ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් දොම්පේ, වැලිවේරිය, දෙල්ගොඩ, රතුපස්වල, කෑරගල, දෙකටන ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (01) පෙරවරු 10 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, නාරංවල, සියඹලාපේ වත්ත බියගම, උඩුපිල – අතුරුමුල්ල, පැළහැළ, ඉන්දොලමුල්ල, දෙමළගම සහ කඳුබොඩ යන ප්‍රදේශවලටද ඒ අනුව ජල සැපයුම අත්හිටුවන බවයි ෴

******************************************

කටුවාපිටියෙන් මතුවූ පාස්කු ප්‍රහාරයේ ශෝකාන්තය

(31.10.2021 – 21:01 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ ඇයිදැයි තමන්ට තේරුම්ගත නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය බිරිඳ සහ දරුවන් අහිමි වු කටුවාපිටිය ප්‍රදේශවාසියෙකුට නිවසක් ප්‍රදානය කිරීමේ අවස්ථාවකදී සංවේදි වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළහ.

“ඉස්සරලා හිටපු අය රට පාලනය කළේ නැහැ. ඒගොල්ලෝ රට විනාශ කෙරුවා. එකෙන් තමයි ඔය අන්තවාදියෝ බෝවෙලා ඒගොල්ලන්ට ඔය වගේ දෙයක් කරන්න ඉඩකඩ ලැබුණේ. ඒගොල්ලෝ දැනගෙන හිටියා. නමුත් ඒගොල්ලෝ මුකුත් කළේ නැහැ ඒක වළක්වන්න. පොලීසියේ උසස් නිලධාරිනුයි හිටපු ජනාධිපතී ඒ ඔක්කෝම කට්ටිය එකතුවෙලා කළේ. ඒගොල්ලන් අතර ලියුමක් යවලා ඒගොල්ලෝ ආරක්ෂා වුණා. මිනිස්සුන්ට මොනවා වුණත් කමක් නැහැ කියලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වගකීම් ඉෂ්ට කළේ නැහැ. ඒක බොරුවක් නෙමේ ඒක ඇත්තක්. දැන් මේ කට්ටිය මොකක්ද කළේ. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ කරලා තියන එකක්වත් ඉටු කරන්න කටයුතු කරන්නේ නැහැ. අපිට ඒක තේරුම්ගන්න අමාරුයි. ඇයි ඒක කරන්නේ නැත්තේ කියලා. මේ කට්ටියගේ කාලේ නෙමේනේ මේ බෝම්බ පිපිරුවේ. අපිව මැරුවත් කමක් නැහැ. ඔබට යුක්තිය ඉටු කරන්න කැපවෙනවා.”

2019 වසරේ පාස්කු ඉරුදින කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියා එම දෙව්මැදුරේ දිව්‍ය පුජාවට සහභාගි වෙමින් සිටි ප්‍රදීප් සුසන්තගේ බිරිඳව මෙන්ම දරු තිදෙනාවද ඔහුගෙන් උදුරා ගත්තේය.

ප්‍රදීප් සුසන්ත මහතා මාධ්‍ය වෙත අදහස් පවසා සිටියේ, “21 මගේ දරුවෝ මරලා දාලා ඒ අවසන් කටයුතු කරලා සති දෙකකට පස්සේ මම පල්ලියට ගියා. එතන තිබුණා මගේ බිරිඳගේ පර්ස් එක. පස්සේ මම පර්ස් එක ඇරලා බැලුවා. ඒකේ පේපර් සර්වියට් එකකින් ඔතලා මාරි බිස්කට් 06 ක් තිබුණා. කාදිනල් පියාණනි ඒ අම්මා ඒ දරුවන්ට බඩගිනි වුණාම කන්න දෙන්න ඒ බිස්කට් ගෙනිහින් තියෙන්නේ. ඒ බිස්කට් 06 වත් කන්න මගේ දරුවන්ට හම්බවුනේ නැහැ. මැරුණේ මගේ බිරිඳ දරුවෝ තුන්දෙනා විතරක් නෙමේ. මේ සුසන්තත් මැරුණා ස්වාමිනි එතනම. අපේ දරුවෙකුට කවුරු හරි ගැහුවොත් ගිහිල්ලා අහනවා ඇයි ගැහුවේ කියලා. කාදිනල්තුමනි මගේ දරුවෝ මරලා තියෙන්නේ. මම කාගෙන්ද ගිහිල්ලා අහන්නේ ?” යනුවෙනි.

මේ අතර පසුගියදා කතෝලික රදගුරු සම්මේලනය හා ආණ්ඩු පක්ෂ විපක්ෂ කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවට සහභාගි නොවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද (31) පැවති උත්සවයකින් පසු අදහස් පළ කළේය.

“පැහැදිලිවම කියන්න ඕනේ සමහරක් කරුණු කාරණා සම්බන්ධයෙන් අගරදගුරුතුමත් වැරදි තැනක ඉන්නවා කියන එකයි අපිට තේරෙන්නේ. අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතුමන්ව කවුරු හරි මෙහෙයවනවාද කියලා. මම කියන්නේ නැහැ සමස්ත රදගුරු මණ්ඩලයම මෙතන ඉන්නවා කියලා. හැබැයි එතුමාට කවුරු හරි වැරදි උපදෙස් දීලා මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයක් තමයි අපිට පේන්නේ. හිටපු ජනාධිපතිතුමන්ට ඇති චෝදනාව තමයි නොසැලකිලිමත්කම. ඇත්තටම එයා වගකියන්න ඕනේ. ඒ නිසා අපි ආදරයෙන් ඉල්ලනවා අගරදගුරුතුමන්ගෙන් … මේ සම්බන්ධයෙන් ගන්න ඕන හැම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා.”

******************************************

යතුරුපැදියේ පිටුපස ගමන් කළ කාන්තාව ට අත්වූ අවාසනාවන්ත ඉරණම – CCTV

(31.10.2021 – 12:35 +0530 – sinhala.adaderana.lk)

හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධියේදී ඊයේ (30) පස්වරුවේ යතුරුපැදියක පිටුපස අසුනේ ගමන් කළ කාන්තාවක් ටිපර් රථයකට යටවී අනතුරකට ලක්ව තිබුණි.

පාදුක්ක දෙස සිට බොරැල්ල දෙසට ටිපර් රථය සහ යතුරුපැදිය ගමන් කර තිබුණි.

යතුරුපැදියේ සමබරතාවය බිඳීයෑමෙන් ඔවුන් දෙදෙනා ටිපර් රථය ආසන්නයේ ඇද වැටෙන අතර එහිදී යතුරුපැදියේ පිටුපස ගමන් කළ කාන්තාව ටිපර් රථයට යටවී තිබේ.

අනතුරට ලක්වූ කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ටිපර් රථය සහ එහි රියදුරු මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුර සිදුවෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.

******************************************

ගුරු ස්ථාන මාරු ගැටලු පිළිබඳ විමසීමට දුරකතන අංකයක්

(01.11.2021 – 10:00 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 තත්ත්වය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු ස්ථාන මාරු ඒකකයට ගුරුවරුන් කැඳවීම අත්හිටුවා තිබෙනවා.

ජාතික පාසල් ගුරු ස්ථාන මාරු ගැන ගැටලු සඳහා 011 278 4434 හා 011 278 5141 යන අංකවලට ඇමතිය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ ෴

******************************************

වගාබිම කුණුවෙනවා. බොල්වෙනවා. – කෘෂි රසායන ගෙන්වන්නේ වගා කන්නය ඉවර වුනාමද?

(31.10.2021 – colombotoday.com)

ලංකාවේ ලියාපදිංචි කෘෂි රසායන වර්ග 150 ක් පමණ තිබෙනවා. ඒවාගෙන් 80 ක් (55% ක්) ම වල් නාශක. හෙට (01) කැබ්නට් රැස්වීමේ දී එකම වල් නාශකයක් හෝ නැතිව කෘමි නාශක, දිලීර නාශක කිහිපයක් ගෙන්වන්න ආණ්ඩුව අනුමැතිය ගන්නට හදනවා. මේක ගොවියාගේ ඇස් බැඳවා කුඹුරුට හේනට දක්කන්න හදන ප්‍රෝඩාවක්. වල් නාශක නැතිව වී, ඉඩඉරිඟු, තේ වගාව කරන්න බැරි බව කෘෂි විශේෂඥයින් කියනවා. මහා පරිමාන වගාකරුවෝ සියළු දෙනා දැන් නන්නත්තාර වෙලා. නැගෙනහිර, රජරට, මහියංගනය අතුළු මහවැලි කලාපයේ ගොවියන්ට වල් නාශක, කෘමි නාශක ලැබුනේ නැත්තම් ඔවුන් සදා අනාථ වෙනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.

“ආණ්ඩුව කියන පට්ටපල් බොරු අහලා ගොවියෝ ටික දෙනෙක් වී වගාව කරලා තියෙනවා. හැබැයි දැන් ගොවියාට වල්ටික ගලවා ගන්න බෑ. කෘෂි රාසායන මිල දැන් හතර ගුණයකට වඩා ඉහළ ගිහින්. කළු කඩේ තියෙන්නේ ප්‍රමිතියක් නැති හොර බෙහෙත්. ආණ්ඩුව දැන් මාසයක් තිස්සේ ගොවියාට බෙහෙත් ටික දෙනවා කියනවා. තවම කිසිම ආනයන අවසරයක් දීලා නෑ.”

“සඳුදා කැබිනට්ටුවේ දී ඇස්වහලා කෘෂි රසායන කිහිපයකට අනුමැතිය ගන්න හදනවා. නමුත්, ඒවායෙන් විතරක් වගාව කරන්න බෑ. මේ ලැයිස්තුවේ සියළුම වල් නාශක ඉවත් කරන්නට කාෂිකර්ම ලේකම් අද උපදෙස් දීලා තියෙනවා. මේ මහාචාර්ය ලේකම් දන්නේ නැද්ද වී වගාවේ වල්ටික දවස් 45 ක් මර්ධනය කළේ නැත්තම් වී කරල බොල් වෙනවා කියලා. වල් තියෙන කුඹුරකට ‘නැනෝ නයි රාජයා’ ගැහුවම ගොයමට වඩා වේගයෙන් වල් ටික හැදෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මේක බොරු ඇස්බැන්දුමක්. ගොවියා මඩට දාලා, හේනට දාලා තවදුරටත් විනාශ කරන්න හදනවා. කන කර උගස් තියලා වගාවට යන ගොවියා මෙහෙම විනාශ කරන උන් මේ වැහිදවස්වල එලියට බහින්න එපා.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

අඅ

aa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *