සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අද (01) සිට කොරෝනා 3 වන මාත්‍රාව

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අද (01) සිට කොරෝනා 3 වන මාත්‍රාව

*********************************************

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අද (01) සිට කොරෝනා 3 වන මාත්‍රාව

(01.11.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අද (01) සිට කොරෝනා තුන්වන (3) එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරෙනවා.

එලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

මෙලෙස බූස්ටර් එන්නත් ලබාදෙන්නේ කොරෝනා දෙවන (2) මාත්‍රාව ලබාගෙන මාස 6 කට පසුවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ රෝගීන් සමඟ ඉදිරිපෙළ ගැටෙන සෞඛ්‍ය සේවකයින්ට, ත්‍රිවිධ හමුදාවට, ගුවන් තොටුපල, වරාය, සංචාරක කර්මාන්තයේ යෙදෙන පිරිසටත් මෙලෙස බූස්ටර් එන්නත ලබාදෙන බවයි.

පසුව වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ටත්, අවුරුදු 30 ත් 60 ත් අතර විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ටත් බූස්ටර් එන්නත ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

ඉන් අනතුරුව අවුරුදු විස්සට (20) වැඩි සියලුදෙනාට බූස්ටර් එන්නත ලබාදීමට අපේක්ෂාවෙන් සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

මේ දක්වා එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගෙන ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 1,34,60,092 ක්.

එය මෙරට ජනගහනයෙන් සියයට 62.5 ක අගයක් ගන්නවා.

ඊයේ (31) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 542 ක් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,41,073 ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 14,532 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (30) සිදු වූ බවට ඊයේ (31) තහවුරු කළ මරණ 18 ත් සමඟ මෙරට මුළු මරණ සංඛ්‍යාව 13,743 ක් ලෙස ඉහළ ගියා.

මේ අතර, ඊයේ (31) අලුයම 4 සිට පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවසර හිමි වුණා.

කෙසේ වෙතත්, ඊයේ (31) දිනයේ අන්තර් පළාත් බස් රථ සීමිත ප්‍රමාණයක් පමණක් ධාවනයට එක් කර තිබූ අතර සාමාන්‍ය කාල සටහන් අනුව දුම්රිය ධාවනය ආරම්භ වන්නේ අද (01) දිනයේ සිටයි.

පළාත් අතර සංචරණ සීමා ඊයේ (31) අලුයම ඉවත් කිරීමත් සමඟ අන්තර් පළාත් දුම්රිය දුර ගමන් සේවා අද (01) සිට ආරම්භ කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

සංචරණ සීමා ඉවත් කිරීමට පෙර දිනකට දුම්රිය 133 ක් පමණ ධාවනය කෙරුණු අතර, එය, අද (01) සිට 152 දක්වා ඉහළ නංවා ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික දසනායක මහතා සඳහන් කළේ.

අන්තර්පළාත් දුර ගමන් සේවා බස් රථ 1,600 ක් පමණ ධාවනයට එක් කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.

පොදු ප්‍රවාහන සේවා මෙලෙස සාමාන්‍ය පරිදි ධාවනය ආරම්භ කළ ද ආසනගත මගීන් සංඛ්‍යාවක් පමණක් ප්‍රවාහනයට අවසර හිමි වන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ.

එය උල්ලංඝණය කරන බස් රථවල මාර්ග බලපත්‍ර අත්හිටුවීමට අදාළව දැඩිව පොලීසියට උපදෙස් ලබාදෙන බව ද ඔහු කියා සිටියා.

මේ අතර ධවල මන්දිර ප්‍රකාශිකා ජෙන් සාකිට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

ලොව පුරා කොරෝනා ආසාදිතයන් විසි හතර කෝටි හැත්තෑ හතර ලක්ෂ හතළිස් හයදහස් පන්සිය තුනක් (24,74,46,503) ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 50,14,748 ක් ලෙසයි ෴

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පෑලියගොඩ නව කැලණි පාළම අසල සිට කොළඹ දෙසට වන මන්තීරුවේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා. (01.11.2021 – 08:41 +0530)

******************************************

සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව ජනපති කියයි

(01.11.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරනවා.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හි දී පැවැත්වෙන COP:26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ‘නයිට්‍රජන් නැවත සොයා ගැනීම : දේශගුණික විපර්යාස, සෞඛ්‍ය ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය’ යන තේමාව යටතේ, ශ්‍රී ලංකාව සංවිධාන කළ විශේෂ සම්මන්ත්‍රණය අමතමිනුයි, ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

ඒ ඊයේ (31) එරට වේලාවෙන් පස්වරු 5 ට පැවති සමුළුවේදියි.

සිය රජයේ ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය බව අවධාරණය කළ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණයන් සහ අභිලාෂයන්ගෙන් ඒ බව මනාව පිළිබිඹු වන බව ද සඳහන් කළා.

නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නොකොට, කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති අභියෝගයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ, දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතළ ගැටලුවක් වී ඇති බවයි.

රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දිරිමත් කිරීමටත් තම රජය පියවර ගත්තේ මෙම පසුබිම තුළ බවයි මෙහිදී කියා සිටියේ.

මෙම ක්‍රියාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත්, ඊට විවේචන සහ විරෝධතා එල්ල වී ඇති බවත්, රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව, අස්වැන්න වැඩි කර ගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට පුරුදු වී ඇති ගොවීන්ගෙන් මෙම විරෝධතා පැමිණ ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකර්මික උරුමය සලකා බැලීමේ දී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගිතිශීලි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන්නේ, සංවර්ධනය වෙමින් පවතින ජාතියක් ලෙස එයට මුහුණදෙන සම්පත් බාධක මාධ්‍යයේ බව පැවසූ ජනාධිපතිවරයා, සංවර්ධන වැඩසටහන් සමගින් එවැනි න්‍යාය පත්‍රයක් පවත්වාගෙන යාම කොවිඩි වසංගතයෙන් පසුව, සංවර්ධනය වෙමින් පවතින සියලුම ජාතීන්ට අභියෝගාත්මක බව ද පැවසුවා.

සංවර්ධිත රටවල් මගින් එවැනි ජාතීන්ට සංවර්ධන ආධාර, තාක්ෂණ හුවමාරු කිරීම්, කුසලතා සංවර්ධනය, ආයෝජන සහ මූල්‍ය සහාය හරහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා, මෙහිදී ව්‍යාපාර සඳහා සැලකිය යුතු කාර්යභාරයක් පවතින අතර තිරසර සංවර්ධනය සඳහා ආයෝජන කිරීමේ දී සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබිය යුතු බව ද සඳහන් කළා.

මේ අතර, හරිත කෘෂිකර්මාන්තයට 100% ක්ම පරිවර්තනය වීමට තීරණය කළ ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටින බව සම්මන්ත්‍රණයට පැමිණ සිටි විදේශ නියෝජිතයන් පිළිගනිමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.

දේශගුණික විපර්යාස සඳහා තිරසර විසඳුම් සහිත හරිත – සමාජ ආර්ථිකයක් නිර්මාණය කිරීම එහි අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

‘දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය පිළිබඳ ශ්‍රී ලංකාවේ අපේක්ෂාව COP:26 සහ ඉන් ඔබ්බට’ යන මාතෘකාව ඔස්සේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා අදහස් දැක්වූ අතර, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය විසින් සිය අදහස් දක්වනු ලැබුවා ෴

******************************************

පස් කන්දක් කඩා වැටීමෙන් ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගය අවහිර වේ

(01.11.2021 – 07:02 +0530 – hirunews.lk/sinhala)

අඩුපීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථාපිතව පවතින බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර අධික වර්ෂාවත් සමඟ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරයේ සිට කිලෝමීටර හතරක් (4) පමණ වැල්ලවාය දෙසට වන්නට ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (31) රාත්‍රියේ මෙලෙස පස් කන්ද කඩාවැටී ඇති අතර, ආපදා කළමනාකරණ නිලධාරීන්, මාර්ග සංවර්ධණ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව මාර්ග අවහිරතාව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තාවන්නේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.

අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක වාන් දොරටු මේ වනවිටත් විවෘතව පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර මහතා කියා සිටියේ.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ ෴

******************************************

අදත් (01) දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ම වැසි

(01.11.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala)

අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිත ව ස්ථානගත ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි වාර්තා වෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 50 ට වැඩි තද වැසි ඇති වෙනු ඇති.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදු වෙන අනතුරු අවම කරගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

******************************************

සය (6) වසරකට පසු ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹේ

(01.11.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

වසර හයකට (6) පසු, ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර සෘජු ගුවන් ගමන් අද (01) දින යළි ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මගීන් 200 ක් රැගත් පළමු ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත අද (01) අලුයම ළඟා වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

******************************************

සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්

(01.11.2021 – 07:18 +0530 – hirunews.lk/sinhala)

සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් අද (01) පෙරවරුවේ ප්‍රධාන මාර්ගයේ සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා ෴

******************************************

ඌරගස්මංහන්දියේ ගැටුමකින් අයෙක් (1) මරුට

(01.11.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

ඌරගස්මංහන්දිය කළුවලගොඩදී ඇති වූ ගැටුමකින් අයෙක් මිය ගොස් තිබෙනවා. තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ ෴

******************************************

නිවසක් කොල්ලකෑමට ආ පුද්ගලයෙකු ප්‍රදේශවාසින්ගේ පහර දීමකින් මරුට

(01.11.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව පොලිස් වසමේ මාළිගාගොඩැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට අයුතු ලෙස ඇතුළු වූ තිදෙනෙකු (3), එහි සිටි නිවැසියන් බිය ගන්වා දේපළ හා මුදල් කොල්ල කෑමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ නිවැසියන් කෑ ගසා ඇති අතර, එම ශබ්දය ඇසී නිවසට පැමිණි අසල්වාසින් එක් (1) සැකකරුවෙකු අල්ලාගෙන තිබෙන බවා වාර්තා වෙනවා.

අනෙක් සැකකරුවන් දෙදෙනා (2) යතුරු පැදියකින් පලා ගොස් ඇති අතර, අල්ලා ගත් සැකකරුවාට ප්‍රදේශවාසින් විසින් පහර දී ඇත.

පහර කෑමට ලක් වූ පුද්ගලයා තුවාල සහිත ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමේ දි මිය ගිය බවයි වාර්තා වෙන්නේ.

මිය ගිය පුද්ගලයා තවමත් හඳුනාගෙන නො මැති අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මුල්ලේරියාව පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

******************************************

ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සභාපතිත්වය ගැන ජනපති සමග සාකච්ඡා කරනවා – ඇමති අලි සබ්‍රි

(01.11.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

‘එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සභාපතීත්වයට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ, ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු ඒ පිළිබදව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතීත්වයෙන් ‘එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පසුගිය දා පත් කෙරුණා.

ජනාධිපතිවරයා විසින් පසුගිය 26 වන දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම කාර්ය සාධක බලකාය පිහිට වූ අතර, ඊට සාමාජිකයින් 13 දෙනෙකු ඇතුළත්.

මෙම කාර්ය සාධක බලකායේ රැස්වීමක් ඊයේ (31) පැවැත්වූ බවයි වාර්තාවන්නේ ෴

******************************************

හානිකර පොහොර නැව කිසිදු වරායකට ඇතුළු වී නැතැ යි වරාය පාලක කාර්යාලය තහවුරු කරයි

(01.11.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

හානිකර බැක්ටීරියා සහිත චීන කාබනික පොහොර තොගය රැගත් නෞකාව කිසිදු වරායකට ඇතුළත් වී නොමැති බව වරාය පාලක හෙවත් ‘හාබර් මාස්ටර්’ කාර්යාලය පවසනවා.

අදාළ නෞකාව සම්බන්ධයෙන් මේ වන විට මතභේදයට තුඩු දී ඇත්තේ එහි අඩංගු පොහොර පිළිබදව මෙරට දී සිදු කරන ලද පරීක්ෂා කිරීම්වලින් දෙවරක් (2) ප්‍රතික්ෂේප වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කළේ, අදාළ නෞකාව මෙරටට ඇතුළු වී ඇති බවටයි.

මෙරට චීන තානාපතිවරයා පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හමු වූ අවස්ථාවේදී අදාළ කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කරන බවයි අගමැතිවරයා කියා සිටියේ.

කෙසේ වෙතත්, නාවික ගමනාගමන වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ, අදාළ පොහොර රැගත් නෞකාව මෙරට මුහුදු තීරයට ඇතුළු වී ඇති බවටයි.

නමුත් වරාය පාලක හෙවත් හාබර් මාස්ටර් කාර්යාලය සදහන් කළේ, මෙරට කිසිදු වරායකට අදාළ පොහොර රැගත් ‘හිපෝ ස්ප්‍රීට්’ නැමති නෞකාව ඇතුළු වී නොමැති බවටයි.

ඊයේ (31) දිනයේදීත් දිවයින පුරා පොහොර ඉල්ලා විරෝධතා පැවැත්වුණු අතර අම්පාර ගොවීන් චෝදනා කළේ, තමන්ට මේ දක්වා කාබනික පොහොර ලැබී නොමැති බවයි.

කෙසේ වෙතත්, මහවැලි-එච් කලාපයට අයත් ගොවීන් කාබනික පොහොර භාවිතයෙන් සිය ගොවිතැන් ආරම්භ කිරීමට එකඟතාව පළ කර තිබෙනවා.

මේ අතර, මෙවර යල කන්නයේ අස්වැන්න ශ්‍රී දළදා වහන්සේ වෙත පූජා කිරීම අද (01) සිදු කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් මෙය සිදු කෙරෙන බවයි වාරිමාර්ග අමාත්‍යාංශය සදහන් කළේ.

සාම්ප්‍රදායිකව පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය වාරිමාර්ග කළමනාකරණ අංශය සහ ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් සිදු කෙරෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *