අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට සාමාන්‍ය පරිදි

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට සාමාන්‍ය පරිදි

*********************************************

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට සාමාන්‍ය පරිදි

(31.10.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

සංචරණ සීමා හේතුවෙන් අත්හිටුවා තිබු අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අවසර ලැබී ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අද (31) අලුයම 4ට පළාත් අතර සංචරණ සීමා ඉවත් කීරීමත් සමඟ අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා කිහිපයක් ද ක්‍රියාත්මක වුණා.

පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීමේ දි ආසන සංඛ්‍යාවට පමණක් මඟීන් රැගෙන යා යුතු වනවා.

එම නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට හෙට (01) දිනයේදී පොලීසියට ලිඛිතව දැනුම් දෙන බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කළේ.

හෙට (01) දිනයේදි අන්තර් පළාත් බස්රථ ධාවනය කළ හැක්කේ 50% ක් පමණක් බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සහ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ.

++++++++++++++++

තවත් කොවිඩ් ආසාදිතයින් 317 ක් සුව අතට

(31.10.2021 – 15:07 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් රෝගින් 317 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොවිඩ් රෝගින් ගණන 5,12,798 දක්වා ඉහළ යනු ඇති. වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, තවත් 14,008 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි ෴

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) සිදුවූ බවට තහවුරු කළ මරණ 18 ක් අද (31) දිනයේ වාර්තා කර තිබුණා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 13,743 ක් ලෙසයි. මිය ගිය අයගෙන් 10 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවන් 08 දෙනෙකු ද ඊට ඇතුළත් ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 388 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා රෝගින් ගණන 5,40,919 දක්වා ඉහළ යනු ඇති. රෝහල්ගත ව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගින් ගණන 14,008 ක් ෴

මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 154 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 5,41,073 දක්වා ඉහළ යනු ඇති ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

අඟුරුවාතොට දී මනුෂ්‍ය ඝාතනයක්

(31.10.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

අඟුරුවාතොට පොලිස් වසමේ 5 කණුව අසල රෙමුණ ප්‍රදේශයේ නිවසක දී මනුෂ්‍ය ඝාතනයක් සිදු වී තිබෙනවා.

එහි දී කාන්තාවකට හා ඇයගේ ස්වාමි පුරුෂයාට, බෑනා විසින් පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි වාර්තා වෙන්නේ.

එම අවස්ථාවේ දී අදාළ කාන්තාව එම ස්ථානයේ දී ම මිය ගොස් ඇති අතර, ඇයගේ ස්වාමියා ද තුවාල ලබා හොරණ රජයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 58 ක රෙමුණ – අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු වයස අවුරුදු 36 ක් වූ කපුහේන, ගල්පාත ප්‍රදේශයේ පදිංචි අයෙකු වෙන අතර, ඔහු තෙබුවන පොලිස් වසමේ ගල්පාත ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පාළු දෙමහල් නිවසක සැඟ වී සිටියදියි ඔහු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු හා ඔහුගේ බිරිඳ අතර නිතර පවුල් ආරවුල් ඇති වී තිබෙන අතර, ඒ පිළිබඳ මරණකාරිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ සම්බන්ධ ඇති වූ ගැටලුවක් මුල් කොටගෙන යි මෙම ඝාතනය සිදු කර ඇත්තේ.

මෙම ඝාතනය සිදු කිරීමට භාවිත කළ පිහිය සහ සැකකරු පැමිණි යතුරුපැදිය ද මේ වෙනවිට පොලිසිය විසින් සොයා ගත් බව යි වාර්තා වෙන්නේ.

මෘත ශරීරය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇති අතර, සැකකරු හෙට (01) දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉඳිරිපත් කිරීමට නියමිත යි.

සිදුවීම සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ අඟුරුවාතොට පොලිසිය විසින් සිදු කෙරෙනු ඇති.

******************************************

පාස්කු ප්‍රහාරය ගැන යුක්තිය බලාපොරොත්තු වන්නේ අයිතිවාසිකමක් ලෙසයි – කාදිනල් හිමිපාණන්

(31.10.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය බලාපොරොත්තු වන්නේ ත්‍යාගයක් ලෙසින් නොව ජනතාව සතු අයිතිවාසිකමක් ලෙසින් බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ නව මීසම් ගෘහය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (30) එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.

******************************************

ඉහළ ගිය කහ මිල පහතට

(31.10.2021 – 19:22 +0530 – hirunews.lk/sinhala)

දේශීය අස්වනු වෙළදපළට ලැබීමත් සමඟ ඉහළ ගොස් තිබූ කහ කුඩු කිලෝග්‍රෑමයක මිල රුපියල් 7000 සිට 4500 දක්වා පහත බැස තිබෙනවා.

එමෙන්ම, බීජ කහ කිලෝග්‍රෑමයක මිල ද රුපියල් දහසේ (1000) සිට රුපියල් 500 දක්වා පහත බැස ඇති බවයි වාර්තා වන්නේ.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ වන විට වෙනත් භෝග වගා කළ ගොවීන් වැඩි වශයෙන් කහ වගාව සඳහා යොමු වී ඇති බවයි ෴

******************************************

ප්‍රදේශ කිහිපයක ගොවීන් මහ කන්නයේ ගොවිතැන් අරඹයි

(31.10.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණ සිදුකරන පසුබිමක ඇතැම් ගොවීන් කාබනික පොහොර යොදාගනිමින් මහකන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, පොළොන්නරුව – බකමුණ ප්‍රදේශයේ ගොවි සංවිධාන 41 ක නියෝජිතයින් අද (31) 8 වන දිනටත් උපවාසයේ නිරත වන්නේ සිය වගාවන් සදහා පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින්.

මේ අතර, රසායනික පොහොර ඉල්ලා ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව මහමගට පැමිණ උද්ඝෝෂණවල නිරතවන පසුබිමක එවැනිම පිරිසක් තමන් භාවිත කළ පොහොර නිසා අද ගිලනුන් බවට පත්ව සිටිනවා.

වකුගඩු රෝගයෙන් පීඩා විදින ඔවුන් අපට හමුවුයේ අනුරාධපුරයෙන්.

මේ අතර, බකමූණ – දමනයාය ප්‍රදේශයේ සහ පොළොන්නරුව මහවැලි බී කලාපයේ දිඹුලාගල ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කිරීම සදහා ඇලවෙලි සකස් කිරීම ආරම්භ කර තිබෙනවා.

මහවැලි එච් කලාපයේ ගොවීන් කාබනික පොහොර භාවිතයෙන් වගාකටයුතු ආරම්භ කිරීමට සුදානම් අතර ඔවුන් මහවැලි එච් කලාපයේ ව්‍යාපාර කළමනාකාරවරයා හමුවී ජලය නිකුත් කිරීමට අදාල නැකත් පත්‍රය භාරදෙනු ලැබුවා.

******************************************

හෙට (01) ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

(31.10.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

හෙට (01) පෙරවරු 10 සිට පැය 12 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

කැලණිය – මුදුන්ගොඩ (නව පාරේ) සිදු කරන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුවන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරන්නේ.

ඒ අනුව හෙට (01) දින සියඹලාපෙවත්ත, බියගම, දෙල්ගොඩ, උඩුපිල, අකුරුමුල්ල, කඳුබොඩ, දෙමළගම, පැලහැල, දෙකටන, ඉන්දොලමුල්ල, දොම්පේ, නාරංවල, වැලිවේරිය සහ රතුපස්වල යන ප්‍රදේශවලට මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙනු ඇති ෴

******************************************

හපුතලේ – කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි මීදුම් තත්ත්වයක්

(31.10.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හපුතලේ – කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙරගල සිට හපුතලේ දක්වා කොටසේ දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව වාර්තාවනවා.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, වැසි තත්ත්වයත් සමඟ මෙලෙස අධික මීදුමක් පැවතීම එම ප්‍රදේශයට සාමාන්‍ය තත්ත්වයක් බවයි.

එසේම මෙලෙස පවතින දැඩි මීදුම් තත්ත්වය ක්‍ෂණිකව පහව ගොස් යළි ඇතිවන බව ද ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි, පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ෴

******************************************

ඇලහැර ගොවීන් දේව කන්නලව්වක

(31.10.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

පොහොර ගැටලුවට විසදුම් ඉල්ලා තවදුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් විරෝධතාවල නිරත වනවා.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (31) දිනයේත් ප්‍රකාශ කළේ, අදාළ විරෝධතා සිදු කරනු ලබන්නේ දේශපාලන පක්ෂ විසින් බවයි.

රසායනික පොහොර ඉල්ලා බකමූණ නගරයේ දී ගොවීන් ආරම්භ කළ උපවාසයට අද (31) ට දින 8 ක් ගත වනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අද (31) එම ස්ථානයට පැමිණි අතර, ගොවීන් මුහුණ පා ඇති අර්බුදය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ගොවීන් සමග සාකච්ඡාවක ද නිරත වුණා.

මේ අතර, රසායනික පොහොර නොමැතිවීමත් සමඟ කාබනික පොහොර හෝ යොදා ගනිමින් වගා කටයුතු සිදු කිරීමට සූදානම් වූ ගොවීන් කිහිප දෙනෙකු අදහස් පළ කරමින් ඉල්ලා සිටියේ අනෙකුත් ගොවි ජනතාවට ද තමන් මෙන් කාබනික වගාව ආරම්භ කරන ලෙසයි.

එමෙන්ම, ගොවීන් පිරිසක් පොහොර ගැටලුව පිළිබද බලධාරින්ගේ අවධානය යොමුවන්නැයි ප්‍රාර්ථනා කරමින් පොළොන්නරුව – කුඩා මින්නේරිය දේවාලයේදී අද (31) පෙරවරුවේ දේව කන්නලව්වක නිරත වෙමින් පොල් ගැසූ බවයි එහි සිටි හිරු වාර්තාකරු සදහන් කළේ.

එසේම අද (31) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසක ගොවි විරෝධතා පැවතුණා.

මේ අතර, මහනුවර අද (31) පැවති උත්සවයකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ, පොහොර ගැටලුවට විසදුම් ඉල්ලා විරෝධතා සිදු කරනු ලබන්නේ දේශපාලන පක්ෂ විසින් බවයි.

******************************************

ජලාශ කිහිපයක වාන් දොරටු ඇරෙයි

(31.10.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් ඉදිරි පැය 36 තුළ දී උතුරුමැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

අද (31) දිනයේ වැඩිම වර්ෂාපතනය යාපනය – තෙලිප්පලෙයි ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එය මිලිමීටර් 156 ක්.

ඊට අමතරව අලිමංකඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 132 ක සහ මහඉලු‍ප්පල්ලමෙන් මිලිමීටර් 110.5 ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

මේ අතර පුත්තලම ප්‍රදේශයට අද (31) ඇති වූ වැසි තත්ත්වය හමුවේ අකුණු සැර වැදීමකින් ආනමඩුව තලහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 06 ක් වයසැති දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යනවිට මෙම දරුවා සිය මව සමඟ පැලක සිට තිබෙනවා.

එසේම මහනුවර – කටුගස්තොට නගරයේ ප්‍රධාන පාසලක පැති බැම්මක් අසල පිහිටි නිවසක් මතට කඩා වැටීමෙන් එහි සිටි 19 හැවිරිදි සිසුවෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පැවති වැසි සහිත තත්ත්වය හේතුවෙන් මාතලේ – කන්දෙනුවර ප්‍රධාන මාර්ගයටද පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබූ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබුණා.

දැඩි වර්ෂාව හේතුවෙන් ගම්පොළ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දල්පිටිය ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටී තිබුණා.

මේ හේතුවෙන් අසල තිබු වෙළදසලකට හා වෑන් රථයකට අලාභ හානි සිදු වුණා.

මේ අතර, පවතින වැසි තත්ත්වය හේතුවෙන් කලාවැවේ වාන් දොර‍ටු දෙකක් (2) විවෘත කර තිබූ අතර, මේ නිසා කලාවැව අවුකන මාර්ගය ජලයෙන් යටවුණා.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 8 ක් ද අද දහවල් විවෘත කළ අතර, අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් (2) විවෘත කර ඇති බවයි ජලාශය භාර සහකාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් කලා ඔය සහ ලුණු ඔය අවට පහත්බිම්වල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවටයි ඔහු කියා සිටියේ.

එසේම නුවරඑළිය – රාගලවත්ත පළමු කොටසේ නිවාස 60 ක් ජලයෙන් යට වී තිබෙනවා.

එමෙන්ම අධික වර්ෂාවත් සමග පොළොන්නරුව ප්‍රදේශයෙන් හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මැදිරිගිරිය – දර්ශනපුර ප්‍රදේශයේ නිවසකට දැඩි හානි සිදුව තිබුණා.

******************************************

වෑන් රථයකින් පැමිණ මාල කඩලා

(31.10.2021 – 11:43 +0530 – lankadeepa.lk)

විද්‍යුත් මාධ්‍ය ආයතනයක කොන්ත්‍රාත්කරුවන් බව කියන දෙදෙනකු (2) වෑන් රථයකින් පැමිණ වේයන්ගොඩ දඩගමුවේදී කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රන් මාලයක් කඩා ගැනීමට උත්සාහ කළ බව කියන කොල්ලකරුවන් දෙදෙනකු (2) ගම්වාසීන් අල්ලා පොලිසිය බාර දී ඇත.

කොල්ලකරුවන් දෙදෙනා (2) වේයන්ගොඩ කළගෙඩිහේන මාර්ගයේ වේයන්ගොඩ දෙස සිට කළගෙඩිහේන දෙසට වෑන් රථයෙන් පැමිණි දඩගමුව මංසන්දියේ දී එක් කොල්ලකරුවකු වෑන් රථයෙන් බැසීමෙන් අනතුරුව අනෙක් කොල්ලකරු වෑන් රථය මීටර් කිහිපයක් පදවා ගෙන ගොස් නවතා ගෙන සිටියදී බැස ගිය කොල්ලකරු පා ගමනින් ගිය කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රන් මාලයක් කඩා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ ඇය කෑ ගසා ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මේ අවස්ථාවේ ගම්වාසීන් වහා ක්‍රියාත්මක වී එම කොල්ලකරු අල්ලා ගැනීමෙන් අනතුරුව වෑන් රථයේ සිටි කොල්ල කරුද අල්ලා ගෙන ගස් බැඳ පොලිසිය බාරදී ඇත.

කොල්ල කරුවන් දෙදෙනා (2) වරකාපොල ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් මොවුන් පැමිණි වෑන් රථය විද්‍යුත් මාධ්‍යය ආයතනයක ප්‍රවාහන කොන්ත්‍රාත් වෑන් රථයක් බවත් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

කොල්ලකරුවන් දෙදෙනාම (2) දැඩි ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටින පුද්ගලයන් බවත් කොළඹ බලා යන අතරතුර හෙරොයින් මිලදී ගැනීම සඳහා මාලය කඩා ගැනීමට උත්සාහ කොට ඇති බවද වැඩිදුරටත් කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *