මත්පෙති අලෙවි කළ, පානදුර මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු STF අත්අඩංගුවට

මත්පෙති අලෙවි කළ, පානදුර මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු STF අත්අඩංගුවට

*********************************************

මත්පෙති අලෙවි කළ, පානදුර මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු STF අත්අඩංගුවට

(31.10.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

මතට ඇබ්බැහි වී සිටින තරුණයින් සඳහා මත්පෙති අලෙවි කරමින් සිටි වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක්.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද බුද්ධි තොරතුරක් මත ඊයේ (30) පස්වරුවේ පානදුර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකළේ පානදුර පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේද සහය ඇතිවයි.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟාවන විටත් අදාළ වෛද්‍යවරයා හෙරොයින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ තරුණයින්ට මෙම මත්පෙති අලෙවි කරමින් සිට තිබෙනවා.

පානදුර මහ රෝහලේ සේවය කරන මෙම වෛද්‍යවරයා මත් පෙති අලෙවිය සිදුකර ඇත්තේ පානදුර නගරයේ පිහිටි සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදීයි.

මෙහිදී මත්පෙති 20,030 ක් සමග මත්පෙති ලබාගැනීම සඳහා පැමිණ සිටි තරුණයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. අත්අඩංගුවට ගත් මත්පෙතිවල වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධික බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, මත්කුඩු සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මේවන විටත් මත් කුඩුවලට ඇබ්බැහි වූ බස්නාහිර පළාතේ සක්‍රීය සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 37 දෙනෙකුගේ නම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යොමුකර ඇති බවටයි වාර්තා වන්නේ.

ඉන් 28 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන නිලධාරීන් වන අතර, ඔවුන් සියලුදෙනා වෛද්‍ය පරීක්ෂණවලට යොමුකර විද්‍යාත්මක තහවුරුවක් ලබාගැනීමෙන් පසු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

වෛද්‍ය නීති රීති අමතක කළ වෛද්‍යවරයා – මානසික රෝගීනට දෙන පෙත්ත සාමාන්‍ය මිනිසුන්ට දීලා

(31.10.2021 – 11:53 +0530 – aruna.lk)

පානදුර (උතුර) පොලිස් වසමේ පානදුර පල්ලිය මුල්ල ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී වෛද්‍ය නීතිරීති පටහැනිව පුද්ගලයන් වෙත මත්පෙති නිකුත් කරමින් සිටී වෛද්‍යවරයෙකු මත් පෙති තොගයක් සමග (30) දින රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා විශේෂ මෙහෙයුම් ඒකකය පවසනවා.

පොලිස් විශේෂ කාර්යය බලකා විශේෂ මෙහෙයුම් නිලධාරීන්ට ලද තොරතුරක් මත විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ පානදුර පොලිස් ස්ථානයේ නිලධාරී කණ්ඩායමක් එක්ව මෙම වැටලීම සිදුකල තිබේ.

මෙම වෛද්‍යවරයා විසින් පරණ ගාලු පාර පානදුර පල්ලියමුල්ල , ප්‍රදේශයෙහි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් රජයේ වෛද්‍ය නීති රීති වලට පටහැනිව නිසි ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් නීති විරෝධීව මත් පෙති පුද්ගලයන් වෙත නිකුත් කරමින් සිටියදී අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පානදුර රජයේ රෝහලට අනියුක්තව රාජකාරි කටයුතු කරන ගොරකාපොළ ප්‍රදේශයේ පදිංචි වයස 50 අයකු බවටයි වාර්තා වන්නේ

මානසික අබාධිත පුද්ගලයන් හට ලබා දෙනු ලබන මත් පෙති වර්ගයක් ලෙස හඳුනාගෙන ඇති අතර එ අනුව මත් පෙති 20,030 ක් සහ එම මත් පෙති ලබාගැනීමට පැමිණි පුද්ගලයන් පහළොස් දෙනෙකු ද (15) එම අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ වෛද්‍යවරයා පානදුර (උතුර) පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කල බව පොලිස් විශේෂ කාර්යය බලකා විශේෂ මෙහෙයුම් ඒකකය කියයි ෴

******************************************

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 200 ක ගෙන් 44 ක් කොරෝනා එන්නත් නොලැබූ අය බව හෙළිවේ

(31.10.2021 – 10:00 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – උතුර ප්‍රදේශයේ කළ වැටලීමකදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අතරින් 44 දෙනෙකු කිසිදු කොරෝනා එන්නත් ලබාගෙන නොමැති බවටයි ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ.

ඒ අනුව ඔවුන්ට එන්නත් ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

එමෙන්ම බස්නාහිර පළාත තුළ එන්නත් ලබා නොගත් යාචකයන් පරීක්ෂා කිරීමේ වැඩසටහන් ඊයේ ක්‍රියාත්මක වුණා.

එමෙන්ම බස්නාහිර පළාත තුළ සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය නොකරමින් නගර, වීථි, ආලෝක සංඥා පුවරු අසළ සැරිසරන යාචකයන් පරීක්ෂා කර කොරෝනා මර්දන එන්නත ලබාදීම සඳහා යොමුකිරීමට විශේෂ මෙහෙයුමක් ඊයේ (30) ක්‍රියාත්මක වුණා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි උදෑසන 9 සිට පස්වරු හතර (4) දක්වා සිදුකළ මෙම මෙහෙයුමේදී යාචකයන් 541 ක් පරීක්ෂා කර ඇති අතර ඉන් එකදු එන්නතක් හෝ ලබා නොගත් යාචකයින් 77 දෙනෙකු හඳුනාගැනුනා.

ඒ අනුව ඔවුන්ගෙන් 22 කට ඊයේ (30) දිනයේදීම එන්නත ලබාදී ඇති අතර, අනෙක් 55 දෙනා ඉදිරියේදී ඒ සඳහා යොමු කිරීමට නියමිත බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ෴

******************************************

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් සොයා විශේෂ මෙහෙයුමක්

(31.10.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

මත්කුඩු සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පොලිස්පතිවරයා මේ වනවිටත් එලෙස මත්කුඩුවලට ඇබ්බැහිවූ බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 37 දෙනෙකුගේ නම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යොමුකර ඇති බවයි වාර්තාවන්නේ.

ඉන් 28 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන නිලධාරීන් බව සඳහන්. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ බුද්ධි අංශ මගින් මෙම නිලධාරීන්ගේ තොරතුරු එක්රැස් කිරීම මේ වනවිට සිදුවන බවයි.

එම තොරතුරු මගින් හෙළි කරගන්නා පොලිස් නිලධාරීන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර ඔවුන් මත්කුඩු භාවිත කිරීම පිළිබඳව විද්‍යාත්මක තහවුරුවක් ලබාගැනීමට නියමිතයි.

ඒ සඳහා ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකටද ලක් කෙරෙනවා. ඉන් පසුව ඔවුන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටත්, අවශ්‍ය නීතිමය පියවර ගැනීමටත් කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා ෴

******************************************

ගාල්ල බස් නැවතුම්පලේ සතොස වෙළඳසැලේ භාණ්ඩ සොරාගනී

(31.10.2021 – 11:21 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පලේ ඉහළ මාලයේ පිහිටි සතොස වෙළඳසැළට නාඳුණන පිරිසක් ඇතුලුවී එහි තිබුණු කිරිපිටි සොරකම් කර තිබෙනවා.

ඊයේ (30) රාත්‍රියේ මෙම සිද්ධිය වාර්තාවූ බවයි ගාල්ල පොලීසිය සඳහන් කළේ.

මෙම සතොස වෙළඳසැල ඉදිරිපිට තිබූ ගිනි නිවීමේ සිලින්ඩරයක් භාවිත කරමින් එහි ප්‍රධාන වීදුරුව කඩා මෙලෙස ඒ තුළට ඇතුලුවී ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සී.සී.ටී.වී. දර්ශන භාවිත කරමින් පොලීසිය මේ වනවිටත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

******************************************

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත වෙයි

(31.10.2021 – 12:28 +0530 – hirunews.lk/sinhala)

පවතින දැඩි වර්ෂාපතනය හමුවේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 8 ක් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් (2) විවෘත කර ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් සඳහන් කළේ.

මේ හේතුවෙන් කලා ඔය හා ලුණු ඔය අවට පහත් බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන්නැයි උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට අද (31) දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි.

මේ අතර පුත්තලම ප්‍රදේශයට ඇති වු වැසි තත්ත්වය හමුවේ අකුණු සැර වැදීමකින් ආනමඩුව තලහේන ප්‍රදේශයේ වයස අවුරුදු 06 දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ දරුවා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බවයි.

ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇද හැලුණු අතර ගෙවුණු දිනයේ වැඩිම වර්ෂාපතනයක් යාපනය – තෙලිප්පලෛයි ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ මිලිමීටර් 156 ක්.

මීට අමතරව මහඉලුප්පල්ලමෙන් මිලිමීටර් 110.5 ක වර්ෂාපතනයක් සහ අලිමංකඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 132 ක වර්ෂාපතනයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අධික වර්ෂාව හේතුවෙන් උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ පැති බැම්ම නාය යාමට ලක්ව තිබුණා.

මාතලේ කන්දේනුවර ප්‍රධාන මාර්ගයටද පස් කන්දක් කඩා වැටීමෙන් ගමනා ගමනයට බාධා එල්ල වු අතර ආපදාකලමනාකරන සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මාර්ගය යථා තත්ත්වයට පත්කළා.

දැඩි වර්ෂාව හේතුවෙන් ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දල්පිටිය ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටී තිබුණා. මේ හේතුවෙන් අසළ තිබු වෙළද සැලකට හා වෑන් රථයකට අලභහානි සිදු වුණා.

රජරට ඉහල ජල පෝෂක කලාපවලට අධික වර්ෂාව ඇද හැලීම නිසා කලාවැව වාන් දොර‍ටු දෙකක් (2) විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් කලාවැව අවුකන මාර්ගය ජලයෙන් යටවුණා.

නුවරඑළිය – රාගල ප්‍රදේශයට ඇදහැලුළු වර්ෂාව හේතුවෙන් රාගලවත්ත පළමු කොටසේ නිවාස 07 ක් ජලයෙන් යටවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අවතැන් වූ පුද්ගලයන් 22 දෙදෙනෙකු මේ වන විට එම වත්තේ පිහිටා ඇති ළමා සුරැකුම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක තාවකාලිකව රඳවා සිටින බවයි.

අධික වර්ෂාවත් සමග පොළොන්නරුව ප්‍රදේශයෙන් හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මැදිරිගිරිය දර්ශනපුර ප්‍රදේශයේ නිවසකට දැඩි හානි සිදු වුණා.

උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

කාළගුණ විද්‍යා දෙපාර්මේන්තුව නිවේදනය කළේ මුලතිව් සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශ සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවයි.

මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මහනුවර – කටුගස්තොට නගරයේ ප්‍රධාන පාසලක පැති බැම්මක් අසළ පිහිටි නිවසක් මතට කඩා වැටීමෙන් එහි සිටි 19 හැවිරිදි සිසුවෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

******************************************

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක මහජන සම්මන්ත්‍රණය ගැන විනය ක්‍රියාමාර්ගයක් ?

(31.10.2021 – 12:45 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාරයේ ආණ්ඩුව සතු කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් පැවැත්වූ මහජන සම්මන්ත්‍රණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ යුගදනවි බලාගාරයේ 40% ක කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහනයක් සැලසෙන බවයි.

******************************************

මුස්ලිම් විවාහ – දික්කසාද නීති සංශෝධන කෙටුම්පත සති දෙකකින් (2) අමාත්‍ය මණ්ඩලයට

(31.10.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

මුස්ලිම් විවාහ – දික්කසාද නීති සංශෝධනය, කාති ක්‍රමය සහ බහු විවාහ අහෝසි කිරීම සම්බන්ධයෙන් අවසන් නීති කෙටුම්පත තවත් සති දෙකකින් (2) අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ මුල් කෙටුම්පත් සම්බන්ධයෙන් ඉදිරිපත්වූ සංශෝධන සළකා බැලීමෙන් අනතුරුව අවසන් කෙටුම්පත මෙලෙස සකස් කරමින් පවතින බවයි.

විවාහ වන වයස අවුරුදු 18 විය යුතු වීම, විවාහ ලියාපදිංචිය අනිවාර්ය කිරීම සහ ඊට කාන්තාවගේ ද අත්සන ලබා ගැනීම, කාති ක්‍රමය අහෝසි කිරීම, බහු විවාහ අහෝසි කිරීම සහ කාතිවරුන් ලෙස කාන්තාවන්ට ද පත්වීමට අවස්ථාව සැලසීම යන යෝජනා මේ වන විට මුස්ලිම් විවාහ දික්කසාද නීති සංශෝධනයට අදාළව සළකා බැලෙනවා.

මුස්ලිම් විවාහ දික්කසාද නීති සංශෝධනයට අදාළව කාති ක්‍රමය සහ බහු විවාහය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව ඇති මෙම යෝජනා සම්බන්ධයෙන් පසුගියදා සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය විරෝධතාව පළ කර තිබුණා.

ඒ, යෝජිත සංශෝධන සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීයි.

විවාහ විය යුතු වයස අවුරුදු 18 ලෙස වන යෝජනාවට විවාහ අපේක්ෂිත තරුණියගේ කැමැත්ත සහ අධිකරණයේ අවසරය මත වයස අවුරුදු 16 ත්, 18ත් අතර ලෙස එය සංශෝධනය කරන ලෙස ජමෙයිතුල් උලමා සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම විවාහ ලියාපදිංචියේදී තරුණියට අත්සන් කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් එකගතාව පළ කර ඇතත් ඇයගේ භාරකරුගේ අත්සන අනිවාර්ය කිරීමට ද යෝජනා ඉදිරිපත්ව ඇති බව සඳහන් වුණා.

මෙරට විවාහ දික්කසාද නීතිය 1906 වසරේ සිට පැවත එන අතර 1969 වසරේ සිට බ්‍රිතාන්‍ය තුළ පවා එම නීතිය භාවිත කිරීමක් සිදුවන්නේ නැහැ.

ඉංග්‍රීසි විවාහ නීතිය වසර 100 ගණනක් පුරා මෙරට තුළ ක්‍රියාත්මක අතර ඒ හේතුවෙන් ජනතාවට විවිධ අපහසුතාවන්ට පත්වීමට සිදුවන අවස්ථා වාර්තා වනවා.

යෝජිත සංශෝධන යටතේ වෛවාහක නීතියට අදාළ වූ කරුණු සහ දික්කසාද ලබා ගැනීම සදහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු පදනම් වෙනස් කිරීමට නියමිතයි. ඒ අනුවයි මෙරට මුස්ලිම් විවාහ නීතිය ද සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත්තේ ෴

******************************************

පොහොර නිසා ගිලනුන් වූ ගොවීන්

(31.10.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ඉල්ලා ඇතැම් ප්‍රදේශවල ගොවි ජනතාව මහ මඟට පැමිණ උද්ඝෝෂණවල නිරතවන පසුබිමක එවැනිම පිරිසක් තමන් භාවිත කළ පොහොර නිසා අද ගිලනුන් බවට පත්ව සිටිනවා.

මේ විමසා බැලීම වකුගඩු රෝගයෙන් බැට කන රජරට ගොවීන් පිරිසක් පිළිබඳවයි.

ජීවන ගමන ගලායද්දී අහඹු වේදනාකාරී සිද්ධි නිසා ඒ ගමන වෙනස් කරන්න ඇතැමුන්ට සිදුවෙනවා. එලෙස ජීවිතයේ ගමන් මග වෙනස් කරන්න සිදුවූ මේ පිරිස අපිට හමුවුණේ අනුරාධපුරයෙන්.

ඔවුන් කලක් රට බතින් සරු කරන්න උදළු අතට ගත් රජරට ගොවීන්. දැන් කුඹුරු අස්වද්දන බාල පරපුරරේ නීරෝගිමත් අනාගතය අපේක්ෂාවෙන් ඒ දෙස බලා සිටින රජරට ගොවීන් තමන්ට අත්වූ ඉරණම වචනවලට පෙරලුවා.

වැඩිහිටි ඔවුන් කලක් ඔට්ටු වුණේ මේ කුඹුරු හේන් එක්ක වුණත් අද ගිලන්ව සිටින ඔවුන්ට ඔට්ටුවෙන්න සිදුවෙලා තියෙන්නේ බෙහෙත් එක්ක.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *