ප්‍රදේශ රැසකට තද වැසි – ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

ප්‍රදේශ රැසකට තද වැසි – ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

*********************************************

ප්‍රදේශ රැසකට තද වැසි – ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

(30.10.2021 – 19:47 +0530 – hirunews.lk/sinhala)

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින බැවින් උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද (30) රාත්‍රියේ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සෙසු පළාත්වලටත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි , එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

අධික වර්ෂාවත් සමඟ බදුලු‍ ඔය, පිටාර ගැලීම හේතුවෙන් බදුල්ල, සුමනතිස්සගම, උයන්වත්ත, යාම්පානම්වත්ත, දෙමෝදර, හල්පේ සහ උඩුවර යන ප්‍රදේශවල නිවාස 200 ක පමණ ජනතාව දැඩි පීඩාවට ලක්වුණා.

බදුල්ල සහ බණ්ඩාරවෙල ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටව තිබූ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (29) පස්වරුවේ ඇදහැලු‍ණු අධික වර්ෂාව හේතුවෙන් කෙසෙල්ගමු ඔය පිටාර ගැලූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3 ක් ඊයේ (29) පස්වරුවේ සිට විවෘත කළ අතර, ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු 3 ක් ද විවෘත කර තිබෙනවා. දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් (4) ද අද (30) පස්වරුවේ විවෘත කිරීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ගතවූ පැය විසි හතර (24) තුළ වැඩිම වර්ෂාපතනය නොරොච්චෝලේ ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර, එය මිලිමීටර 215.4 ක්.

******************************************

ඉන්දීය සහල් නැවක් කොළඹ වරායට ළඟාවේ – තවත් සහල් තොග පාකිස්ථානයෙන් සහ මියන්මාරයෙන්

(30.10.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපලේ සහල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට පිටකොටුවේ සහල් වෙළඳසැල්වල නාඩු කිලෝවක් රුපියල් 140 කට, සම්බා රුපියල් 150 කට සහ කීරී සම්බා රුපියල් 220 කට අලෙවි වන බවයි වාර්තා වුණේ.

මෙවන් පසුබිමක් තුළ ඊට විසඳුමක් ලෙස ඉන්දියාවට අමතරව පාකිස්ථානය මෙන්ම මියන්මාරය යන රට වලින්ද සහල් ආනයනය කරන බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළා.

පසුගිය මාස වල සහල් මිල ඉහළ යාම හේතුවෙන් සහල් සඳහා පාලන මිලක් පැනවූ අතර කෙසේ වෙතත් ඉන් පසු වෙළඳපොලේ නිර්මාණය වූ සහල් හිඟය හේතුවෙන් එම පාලන මිල ඉවත් කිරීමටයි රජය කටයුතු කළේ.

පසුව මහා පරිමාණ මෝල් හිමියන් නව මිලක් ප්‍රකාශ කළා. ඒ නාඩු සහල් කිලෝව රුපියල් 115 ක් සම්බා සහල් කිලෝව රුපියල් 140 ක් සහ කීරී සම්බා කිලෝව රුපියල් 165 ක් වශයෙන්.

කෙසේ වෙතත් එම මිලද අභිබවා මේ වන විට වෙළඳ පොලේ සහල් මිල තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.

සහල් මිල පාලනය කිරීමේ පියවරක් ලෙස රජය, ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් (1,00,000) කොටස් වශයෙන් ආනයනය කිරීමට කටයුතු කළ අතර මේ වන විට එම සහල් සතොස හරහා කිලෝව රුපියල් 98 කට අලෙවි වනවා.

කෙසේ වෙතත් එහිදී එක් පාරිභෝගිකයෙකුට වරකට ලබා දෙන්නේ සහල් කිලෝ 5 ක් පමණයි.

මේ අතර ඉන්දියාවෙන් ආනයනය කළ සහල් වලින් තවත් තොගයක් අද (30) කොළඹ වරායට ලඟා වූ බව වෙළඳ අමාත්‍යංශය සඳහන් කළා. හෙට (31) සහ අනිද්දා (01) ද ඉන්දියානු සහල් රැගෙන තවත් නෞකා දෙකක් (2) මෙරටට ළඟාවීමට නියමිතයි.

ඉන්දියවෙන් ආනයනය කරන නාඩු සහල් ලබන සතියේ සිට සමූපකාර මෙන්ම සුපිරි වෙළඳ සැල් හරහාද අලෙවි කිරීමටයි සැළසුම් කර ඇත්තේ. සහල් හිඟයට පිළියම් වශයෙන් තවත් රටවල් දෙකකින් (2) ඉදිරියේදී සහල් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස්දහසක් (1,50,000) සහ පාකිස්ථානයෙන් මෙට්‍රික් ටොන් පනස්දහසක් (50,000) වශයෙන්.

වෙළඳපොලේ සහල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක සීනී කිලෝ ග්‍රෑමයක මිලද රුපියල් 210 ඉක්මවා ගෙස් තිබෙනවා.

ඒ සුදු සීනී කිලෝවක් සඳහා රුපියල් 122 ක් හා දුඹුරු සීනී කිලෝවක් සඳහා රුපියල් 125 ක උපරිම මිලක් පනවා ඇති තත්වයකයි.

කෙසේ වෙතත් මේ වන විටත් කොළඹ වරාය තුළ නිදහස් කර නොගත් සීනි බහාලුම් 200 ක් පමණ පවතිනවා.

සීනි ආනයනකරුවන් පවසන්නේ වෙළඳපොලේ පවතින සීනි අර්බුදය නිමා කිරීම සඳහා අවශ්‍ය ඩොලර් මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ සඳහා මහ බැංකුවේ මැදිහත් වීම අපේක්ෂා කරන බවද ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට අවස්ථා කිහිපයකදී සඳහන් කළා.

මේ අතර දිවයිනේ බෙහෝ ප්‍රදේශ වල එළවළු මිල ගනන්ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පෑලියගොඩ මැනින් තොග වෙළදපොල් කැරට් සහ ලීක්ස් කිලෝවක මිල අද (30) රුපියල් 100 ත් 120 ත් අතර අගයක පැවති අතර බෝංචි කිලෝව රුපියල් 180 ත් 200 ත් අතර මිලකට ඉහළ ගොස් තිබෙනවා.

එසේම වෙළඳපොලේ ලොකු ලූණු මිලද ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනය පෙන්වා දෙන ආකාරයට පිටකොටුව තොග වෙළඳපොලේ ආනයනික ලොකු ලූණූ කිලෝව රුපියල් 150 ත් 180 ත් මිලකට පවතිනවා.

එම ආයතනයට අනුව දේශීය ලොකු ලූණූ කිලෝවක මිල දැක්වෙන්නේ රුපියල් 170 ත් 190 ත් අතර පරාසයකයි. සිල්ලර වෙළඳපොලේ ලොකු ලූණු රුපියල් 220 ඉක්මවා අලෙවි වන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

******************************************

ජනපති ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් වෙත ළඟා වෙයි

(30.10.2021 – 21:06 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට (COP:26) සහභාගීවීම සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් වෙත ළඟාවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

එරට වේලාවෙන් අද (30) ප.ව 12.40ට ග්ලාස්ගොව් අන්තර් ජාතික ගුවන්තොටුපොළට ළඟාවූ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය විසින්.

දේශගුණික විපර්යාස සහ ඊට මුහුණදෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වෙනවා.

නොවැම්බර් 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබෙනවා.

“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වතුන්, ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන 25,000ක පමණ පිරිසක් සහභාගී වනවා.

එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වනවා.

******************************************

හෙට (31) කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්

(30.10.2021 – 22:06 +0530 – hirunews.lk/sinhala)

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට (31) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී දේහය රැගත් රථ පෙරහැර ගමන් කරන මාර්ග පිළිබඳව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දෙනවා.

පොලීසිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම මාර්ගවල වාහන තදබදයක් ඇතිනොවන පරිදි අදාළ කාලයේදී විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන ලෙසය.

[ වැඩි විස්තර ]

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඉඳුරුව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කොරෝනා ආසාදිතව මිය යයි

(30.10.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කොරෝනා ආසාදිතව මියගොස් තිබෙනවා.

කොරෝනා ආසාදනය වීමත් සමඟ ඉකුත් 11 වන දා මුලින්ම බලපිටිය රෝහලට ඇතුළුත්කොට පසුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (29) රාත්‍රීයේ මියගොස් ඇති බවයි කරාපිටිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මියගිය වෛද්‍යවරයා අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙක්.

මේ අතර කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව පුද්ගලයන් 88,083 දෙනෙකුට සහ එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 882 ක්.

මීට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (29) දිනයේදී 3248 දෙනෙකුට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව 37612 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ ෴

+++++++++++++++

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් 316 දෙනෙකු සුවය ලබයි

(30.10.2021 – 15:29 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයින් 316 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5,12,481 දක්වා ඉහළ යනු ඇති. දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 13,229 ක් ෴

+++++++++++++++

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 19 න්

(30.10.2021 – 17:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 19 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (29) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 7 ක් සහ පිරිමින් 12 ක් වනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,725 ක් ලෙසටයි.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30 සහ 59 අතර මරණ 7 ක් වාර්තා කර ඇති අතර ඒ කාන්තාවන් 2 ක් සහ පිරිමින් 5 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 12 ක් වනවා. ඒ අතර පිරිමි 7 ක් සහ කාන්තාවන් 5 ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 5,39,416 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 13,229 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛයාව 5,12,481 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 428 ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 5,39,844 ක් වනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 136 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. අද (30) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 564 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,39,980 ලෙසයි පවතින්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *