මේ කන්නය වගා කරන්න ඉතිරි රසායනික පොහොර ටික නිදහස් කළාට ස්තුතියි – ඇමති දුමින්දගෙන් ප්‍රකාශයක්

මේ කන්නය වගා කරන්න ඉතිරි රසායනික පොහොර ටික නිදහස් කළාට ස්තුතියි – ඇමති දුමින්දගෙන් ප්‍රකාශයක්

*********************************************

මේ කන්නය වගා කරන්න ඉතිරි රසායනික පොහොර ටික නිදහස් කළාට ස්තුතියි – ඇමති දුමින්දගෙන් ප්‍රකාශයක්

(28.10.2021 – 17:55 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට රසායනික පොහොර ආනයනය තහනම් කර තිබුණ ද, එම තහනම පැනවීමට පෙර මෙරටට ආනයනය කර, ඉතිරි වී තිබූ යූරියා මෙට්‍රික් ටොන් 5000 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ගොවීන් හට ලබාදීමට අවශ්‍ය පියවර ගත් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාර්යාල පරිශ්‍රයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එම කටයුත්ත ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සිදු වූ බවයි.

රට තුළ රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන්, පොහොර නොමැතිව දිවයිනේ බොහෝ ගොවීන් අසීරුතාවට පත්ව සිටියා.

එවන් තත්ත්වයක් තුළ රසායනික පොහොර තහනම් කර තිබුණ ද, තහනමට පෙර මෙරටට ගෙන්වන ලද රසායනික පොහොර නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර සමග, එම ඉතිරිව තිබූ පොහොර තොගයක් මෙලෙස තම දිස්ත්‍රික්කයේ බොහෝ අසීරුතාවට ලක්ව සිටි බඩඉරිඟු ගොවීන්ට ද ලබාදීමට පියවර ගැනීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

මෙම කන්නයට පමණක් ඉති‍රිව තිබූ රසායනික පොහොර තොගයෙන් බඩඉරිඟු ගොවීන්ට මෙවර කන්නය සාර්ථක කර ගැනීමට හැකි බවත්, ඉදිරියේදී කාබනික පොහොර ඒ සඳහා ලබා ගැනීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

******************************************

වගාකරුවන්ට ලබන වසරේ සිට තේ පැළ නොමිළේ

(28.10.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

තේ වගා කිරීමට කැමති ඕනෑම වගාකරුවෙකුට ලබන වසරේ (2022) සිට තේ පැළ නොමිළේ ලබාදීමට කටයුතු කරන බව වැවිළි අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

නව ක්‍රමවේදයකට අනුව තේ වගා කිරීම සඳහා තේ වගාකරුවන් ඉදිරිපත්වීම තුළින් ඉදිරි වසර 3 ඇතුළත මෙරට තේ කර්මාන්තයේ වෙනසක් සිදු කිරීමට හැකි වනු ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

පවතින ක්‍රමවේදයට අනුව තේ අස්වැන්න ලබා ගැනීමට වසර තුන හමාරක් (3½) හෝ හතරක් (4) ගත වන බැවින් වගාකරුවන් අධෛර්යට පත්වීම නිසා නව ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා.

එසේම බිම් සකස් කිරීම සඳහා මූල්‍ය සහනාධාර ලබාදීමට ද කටයුතු කරන බවයි වැවිලි අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ ෴

******************************************

නව තනතුරේ වැඩ ඇරඹූ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ගේ බලාපොරොත්තුව

(28.10.2021 – 17:29 +0530 – sinhala.adaderana.lk)

නවීන තාක්ෂණය එකතු කරගනිමින් ජාතික සත්වෝද්‍යාන තුළින් ජනතාවට නව අත්දැකීමක් ලබාදීම සිය අරමුණ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසන්නීය.

නව තනතුරේ වැඩ භාරගැනීමේ අවස්ථාවට අද (28) එක්වෙමින් ඇය ඒ බව සඳහන් කළාය.

“දෙහිවල ජාතික සත්වෝද්‍යාන මෙතනින් ගෙනියන්න අදහසක් තිබ්බත් ඉතා ඉක්මණින් ඒක වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. එය විශාල ව්‍යාපෘතියක්. බොහොම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. ගොඩක් අයගේ තියෙන චෝදනාවක් තමයි සත්වෝද්‍යාන එදා දැක්ක විදිහටමයි තාමත් තියෙන්නේ කියලා. ඉතින් මම ප්‍රධාන අරමුණක් තමයි නවීන තාක්ෂණයත් සමග අලුත් අත්දැකීමක් නරඹන්නන්ට ලබාදෙන්න.”

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ෂර්මිලා රාජපක්ෂ මහත්මිය ඉකුත් දා පත්වූවාය.

වෘත්තියෙන් ගණකාධිකාරිවරියක් වන ෂර්මිලා රාජපක්ෂ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගණකාධිකරණය සහ මුල්‍ය කළමණාකරණය පිළිබඳ ප්‍රථම ගෞරව උපාධියක් ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති බව සඳහන්ය.

ඇය ජනාධිපති ලේකම් කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානී ලෙස ද මීට පෙර කටයුතු කර ඇත.

******************************************

මෙරට ප්‍රථම වැලිකඳු ධාවන පථය විවෘත වෙයි

(28.10.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

‘කලම්බු ඩියුන්ස්’ ලෙස නම් කර ඇති මෙරට ප්‍රථම වැලි කඳු වාහන ධාවන පථය කොළඹ වරාය නගරයේදී අද (28) විවෘත කෙරුණා.

කිලෝමීටර දෙකක (2) පමණ ධාවන පථ 3 කින් සමන්විත මෙය, වරාය නගරයේ අක්කර පහක (5) පමණ භූමි ප්‍රදේශයකයි නිර්මාණය කර ඇත්තේ.

කලම්බු ඩියුන්ස් ධාවන පථය විවෘත කිරීම අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ මහතා සහ ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූයේ ඔවුන් එම ධාවන පථයේ රිය ධාවනය කරමින්.

******************************************

බස් රථ හිමියන්ට සහන දෙන්නැයි උපදෙස්

(28.10.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් අකර්මන්‍ය වූ පෞද්ගලික බස් රථ සේවා ආරම්භ කිරීමට බස් රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ජාතික ගමනාගමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, ප්‍රවාහන අමාත්‍යාංශයේදී පෞද්ගලික බස් රථ හිමියන් සමඟ අද (28) පැවති සාකච්ඡාවකින් පසුවයි.

අදාළ සාකච්ඡාවේදී පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් ඉල්ලා ඇත්තේ මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවීමට සහ ලීසිං ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට මැදිහත්වන ලෙසයි.

මාර්ග බලපත්‍ර නොමැතිව කාර්යාල සේවා නමින් ධාවනය වන බස් රථ සඳහා නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ප්‍රවාහන අමාත්‍යවරිය එහිදී බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ෴

******************************************

පුරාවස්තු සොයා කැණීම් කළ පුද්ගලයින් දෙදෙනකු STF අත්අඩංගුවට

(28.10.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය කන්තලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කඳවුරු අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එම්. එස්. ඊබ්‍රහිම් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් 2021.10.27 වන දින සේරුනුවර පොලිස් වසමේ මහවැලි රක්ෂිත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී අනවසරයෙන් රක්ෂිතයට ඇතුළු වී, පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු (2) ස්කැනර් යන්ත්‍ර 01 ක්, ජංගම දුරකතන 01 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි, සේරුනුවර පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් 41, 42 වයස් කාණ්ඩවල පසුවන්නන් වන අතර, කන්තලේ හා කොටියාකුඹුර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

******************************************

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරයෙක්

(28.10.2021 – 15:15 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට (2) සහ පොලිස් ස්ථානාධිපතිවරුන් හයදෙනෙකුට (6) ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

මේ අතර මාතර හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ද පත්කර ඇති බවයි, පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ එම තනතුරේ සිටම පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුකර තිබෙනවා.

එමෙන්ම ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි නුවන් වෙදසිංහ එම තනතුරට අමතරව මාතර හා හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ද පත්කර ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ ෴

******************************************

දහ අටට (18) අඩු අයට මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමට පනත් කෙටුම්පතක්

(28.10.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පතට සහ තරුණ වරදකරුවන් සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබෙනවා.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පතට අනුව යම් වරදක් සිදු කරනු ලබන අවස්ථාවේ වයස අවුරුදු 18 ට අඩු යම් තැනැත්තෙකුට එරෙහිව මරණ දණ්ඩනය ප්‍රකාශයට පත් කිරීම හෝ වාර්තා කිරීම නොකර, ඔහු රඳවා තැබීමේ ආයතනයක රඳවා තැබීමට විධිවිධාන සැලසෙනවා.

තරුණ වරදකරුවන් සංශෝධන පනත් කෙටුම්පත මගින් ‘තරුණ තැනැත්තා’ යන යෙදුම වයස අවුරුදු දහ අට (18) සම්පූර්ණ වූ එහෙත්, වයස අවුරුදු 22 සම්පූර්ණ නොවූ තැනැත්තෙකු වශයෙන් නැවත අර්ථ නිරූපණය කිරීමයි සිදුවන්නේ ෴

******************************************

ක්ෂේත්‍ර රාජකාරී සඳහා අත්‍යවශ්‍ය වාහන 164 ක් ජනපති සුරතින් රාජ්‍ය ආයතනවලට

(28.10.2021 – 15:41 +0530 – hirunews.lk/sinhala)

ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රමය යටතේ පොලිස් දෙපාර්තමේන්තුවට යතුරුපැදි 150 ක් ක්ෂේත්‍ර රාජකාරී සඳහා අත්‍යවශ්‍ය ගිලන් රථ 50 ක් , ජල බවුසර් 52 ක්, ඩබල් කැබ් රථ 62 ක් ඇතුළු වාහන 164 ක් සංකේතාත්මකව අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන වෙත භාරදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් අද (28) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී ගිලන්රථ 50 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ සුවසැරිය ගිලන් රථ සේවයට ලබාදීම සිදු වූ අතර, ජල බවුසර් සහ ඩබල් කැබ් රථ වනජීවි දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන වෙත ප්‍රදානය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.

මේ අතර ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ක්‍රමය (JICS) යටතේ පිරිනැමුණු යතුරු පැදි 150 ක් නිල වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුව වෙත භාරදීම ද ජනාධිපතිවරයා විසින් මෙහිදී සිදු කෙරුණා.

පරිත්‍යාග කරන ලද මෙම යතුරු පැදි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන රාජකාරී සඳහා යෙදවීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් මෙම යතුරු පැදි සංකේතාත්මකව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත භාර දෙනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

******************************************

හීරැස්සගල මංසන්ධියේ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වා මාර්ගය පුළුල් වෙයි

(28.10.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – හීරැස්සගල මංසන්ධියේ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වා මාර්ගය මංතීරු හතරක් (4) දක්වා පුළුල් කිරීමේ ව්‍යාපෘතිය අද (28) මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 1290.5 ක්.

මෙම මාර්ගය කිලෝමීටර 2.1 කින් සමන්විතයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය මත ව්‍යාපෘතිය සිදු කෙරෙනවා ෴

******************************************

වනාතවිල්ලුව පොලිස් ඕ.අයි.සී. අත් අඩංගුවට

(28.10.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala)

වනාතවිල්ලුව පොලිස් ස්ථානාධිපතිවරයාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි ෴

******************************************

නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන්න – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

(28.10.2021 – 17:31 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය , කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදේ සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව , අද (28) පස්වරුවේ සිට නැවත දැනුම්දෙන තුරු එම ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසටයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ෴

******************************************

මගී බස් රථයක් වෙළකට පෙරළී 13 ක් රෝහලේ

(28.10.2021 – 18:11 +0530 – hirunews.lk/sinhala)

මාතලේ සිට සැලගම දක්වා මගීන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙළකට පෙරළී යාමෙන් එහි ගමන් කළ පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන් ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ආසාදිතයින් 7487 ක් සුව අතට

(28.10.2021 – 15:19 +0530 – hirunews.lk/sinhala)

නව්‍ය කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි, තවත් ආසාදිතයින් 7487 දෙනෙකු අද (28) දිනයේදී සුවය ලබා තිබෙනවා. ඒ සමග මෙරට කොරෝනා ආසාදිතව සුවය ලද මුළු සංඛ්‍යාව 5,11,863 ක් දක්වා ඉහළ යනු ඇති ෴

නව්‍ය කොරෝනා ආසාදිතව ඊයේ (27) දිනයේදී සිදු වූ තවත් මරණ 22 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිත මුළු මරණ සංඛ්‍යාව 13,696 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත තවත් ආසාදිතයින් 398 දෙනෙකු අද (28) දිනයේදී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 5,38,718 ක් දක්වා ඉහළ යනු ඇති ෴

තවත් කොරෝනා ආසාදිතයින් 142 ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව අද (28) දිනයේ හමු වූ ආසාදිතයින් ගණන 540 ක් වන අතර මෙරට මුළු ආසාදිතයින් ගණන 5,38,860 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *