කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසකගෙන් කෘෂිකර්ම ලේකම්ට විශේෂ ලිපියක්

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසකගෙන් කෘෂිකර්ම ලේකම්ට විශේෂ ලිපියක්

*********************************************

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසකගෙන් කෘෂිකර්ම ලේකම්ට විශේෂ ලිපියක්

(27.10.2021 – 19:05 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියුතු විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන් සහ දෙපාර්තමේන්තු කිහිපයක ඉහළ තනතුරු දැරූ පිරිසක් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ මෙරට තුළ කාබනික වගාවන්ට ඇති සැබෑ විභවයන් සහ ඊට අදාළ නවතම තාක්ෂණයන් සංකලනය කරමින් කාර්යක්ෂම ක්‍රියාකාරී වැඩපිලිවෙලක් යෝජනා කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින්.

141 දෙනෙකුගේ අත්සනින් යුතුව යොමුකර ඇති එමඟින් ඔවුන් පෙන්වා දී ඇත්තේ රට මුහුණදෙන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අර්බුදය විසඳීම සඳහා සහ හරිත කෘෂිකාර්මික දැක්මට අනුගතව ක්‍රියාත්මක කළ හැකි වැඩපිලිවෙලක් රජයට යෝජනා කිරීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර පොහොර සහ කෘෂි රසායනික නොමැති වීම හේතුවෙන් වගාවන් සිදුකර ගැනීමට නොහැකිව තමන් අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගොවීන් අදත් විරෝධතාවයේ නිරත වුණා.

සිය වගාවන්ට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් පොළොන්නරුව – බකමූණ ප්‍රදේශයේ ගොවි සංවිධාන 41 ක නියෝජිතයන් එක්ව මීට දින 3 කට පෙර ආරම්භ කල උපවාසය ද තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර හිරු ප්‍රවෘත්තී කණ්ඩායම අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර භාවිතයෙන් වගාවන් සිදුකරන ගොවි බිම් වල නිරීක්ෂණයක නිරත වුණා.

******************************************

තහනම පනවා තිබියදීත්, මෙරටට ගෙන්වූ වාහන ගැන අවසන් තීන්දුව රේගුව රජයෙන් විමසයි

(27.10.2021 – 17:53 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත්, ආනයනය කරන ලද වාහන හාරසියයකට (400) ආසන්න ප්‍රමාණයක් පිළිබඳව ගත යුතු අවසන් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව රජයෙන් කරුණු විමසා තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා රේගුව විමසා ඇත්තේ, අදාළ වාහන රාජසන්තක කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය දැනුම්දෙන ලෙසයි.

මෙම වාහන 2020 වසරේ මාර්තු මාසයෙන් පසුව රජය විසින් ආනයන තහනම පැනවීමෙන් පසුව ආනයනය කර ඇති නිසා, මේවා දැනට ක්‍රියාත්මක නීතියට පටහැනිව ආනයනය කර ඇති බවයි, රේගු දෙපාර්තමේන්තුව එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ.

ඒ අනුව මේ වන විට වරාය භූමිය තුළ සුඛෝපභෝගී වාහන තුන්සියයකට (300) අධික ප්‍රමාණයක් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් සිල්වා ප්‍රකාශ කළා.

කොළඹ වරාය තුළ ඇති මෙම වාහනවලින් වැඩි ප්‍රමාණයක් බලපත්‍ර ක්‍රමය යටතේ ජපානයෙන් සහ බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ ඒවායි.

මීට පෙර රජය සඳහන් කළේ, තහනමට පටහැනිව ආනයනය කර ඇති වාහන සියල්ල රාජසන්තක කර ඒවා රාජ්‍ය ආයතනවලට ලබාදීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, මේ වන විට මෙම වාහන සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති වීම හේතුවෙන් අතිනවීන මෙම වාහන වරාය භූමිය තුළ විනාශ වෙමින් පවතින නිසා ඒවායේ වටිනාකම දිනෙන් දින අඩුව යන බව රේගුව පවසනවා.

මේ සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, මෙම වාහන සම්බන්ධ අවසන් තීරණය මුදල් අමාත්‍යාංශය විසින් ගත යුතුව ඇති බවයි ෴

******************************************

ඩොලර් ඉල්ලා සීනි ආනයනකරුවන් පාරිභෝගික අමාත්‍යාංශයට

(27.10.2021 – 19:14 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළේ පවතින සීනී අර්බුදය නිමා කිරිම සඳහා අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට පහසුකම් සලසන ලෙස ඉල්ලමින් සීනී ආනයනකරුවන් අද (27) පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හමුවුණා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමන් මහබැංකු අධිපතිවරයා ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි. සීනී ආනයනය කිරිමට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 18 ක මුදලක් ආනයනකරුවන් මීට පෙර රජයෙන් ඉල්ලා සිටියා.

ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙනුයි අද (27) දින සීනී ආනයනකරුවන් විෂයභාර අමාත්‍යවරයා හමුවුණේ.

අවම වශයෙන් මාසයක් සඳහා අවශ්‍ය කරන සීනී මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරිමට ඔවුන් මෙම මුදල ඉල්ලා තිබෙනවා.

දැනට වෙළඳ පොළේ උග්‍ර සීනී හිඟයක් පවතින අතර, මේ හේතුවෙන් සීනී කිලෝග්‍රැමයක් රුපියල් 170 දක්වා මිළකට අලෙවි වන්නේ රජය විසින් සුදු සීනි සඳහා රුපියල් 122 කත්, දුඹුරු සීනි සඳහා 125 කත් පාලන මිලක් ද පනවා තිබියදීයි.

ඒ අනුව, සුපිරි වෙළඳසැල් ඇතුළු බොහෝ වෙළඳසැල්වල සීනි කිලෝග්‍රෑමයක් පමණක් අලෙවි කරන බව අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණා ෴

******************************************

මහනුවර මහ නගර සභා සීමාවේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(27.10.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය ජල සැපයුම අත්හිටුවීම පිළිබඳ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මහනුවර මහ නගර සභාවේ ජල සම්පාදන ක්‍රමයේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම මස 29 සහ 30 යන දින ජල සැපයීම 29 වැනි දින රාත්‍රී 12 සිට 30 වැනි දින රාත්‍රී 12 තෙක් පැය 24 ක කාලයක් ජල කප්පාදු කිරීම සිදු කෙරෙනු ඇති.

මෙම තාවකාලික ජල කප්පාදුව බලපාන අම්පිටිය ජල සම්පාදන ක්‍රමයේ ප්‍රදේශ ලෙස, මීකණුව, පට්ටිය කැලේ, පහලතැන්නේ කුඹුර, දඹවෙල, අම්පිටිය, තලාතුඔය, කැටවල, ලෙව්ල, නැහිනිවෙල, ගොඩම්පිටිය, තැන්නෙකුඹුර යන ප්‍රදේශ අයත්.

හාරගම ජල සම්පාදන ක්‍රමය බල සීමාවේ මෙම දිනයේදී ජල කප්පාදුව සිදු කෙරෙන ප්‍රදේශ ලෙස, තල්වත්ත, මහනුවර නගර සභාවෙන් පිටත, තල්වත්ත, පිංතාලියවත්ත, අම්පිටිය පටුමග, අම්පිටිය ඇවනිව්, අම්පිටිය පාර, තේක්කවත්ත මාර්ගය, පහලතැන්නේ කුඹුර, ඉලුක්මෝදර, ගුඩ්හෝප්, පිච්චමල්වත්ත, දඹවෙල මාර්ගය, ගුරුදෙණිය, තල්වත්තේ සිට ගුරුදෙණිය පාලම දක්වා ප්‍රධාන මාර්ගය දෙපස හා සෙමනේරිය ගාර්ඩ්න් පෙදෙසට මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙන බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මෙම ජල කප්පාදුව හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳ ජලාපවාහන මණ්ඩලය සිය කනගාටුව පළකර සිටින අතර, සෑම දිනකම ජලය අරපිරිමැස්මෙන් යුතුව පරිභෝජනයට වගබලා ගන්නා ලෙසට ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

කෙසේ වෙතත්, යම්කිසි විමසීමක් හෝ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 1939 යන ක්ෂණික දුරකතන ඇමතුම් අංකය හා සම්බන්ධ වීමට ද ජනතාවට හැකියාව පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ ෴

******************************************

ලොව සුප්‍රකට ATV යතුරුපැදි ධාවනය නුදුරේදීම

(27.10.2021 – 22:10 +0530 – hirunews.lk/sinhala)

මේ සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරගත් නව ව්‍යාපෘතිවල අවශ්‍යතාව මෙරටට වඩාත් වැදගත්වන කාලයක්.

ඒ කොවිඩ් වසංගත තත්ත්වය නිසා කඩා වැටුණු මෙරට ආර්ථිකය යළි නඟා සිටුවීම සඳහායි.

ඒ වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සඳහා හෙට (28) කොළඹ වරාය නගර පරිශ්‍ර යේ විවෘත වන අපූරු ධාවන පථයක් ගැනයි මේ තොරතුරු

කොළඹ වරාය නගරයේ මහජනතාවට නැරඹීම සඳහා ඉදිකෙරෙන කොටස නුදුරේදීම විවෘත කිරීමට නියමිතයි.

මේ එම කොටස පසෙකින් කෘත්‍රීම වෙරළක ඉදිකර තිබෙන ධාවන පථ තුනක් (3).

මේවා ඉදිකර ඇත්තේ ලොව සුප්‍රකට ATV යතුරුපැදි ධාවනය සඳහායි.

******************************************

කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති

(28.10.2021 – 07:00 +0530 – hirunews.lk/sinhala)

කැලණි සරසවියේ කුලපති ආචාර්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි අපවත් වී තිබෙනවා.

1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව නම් ගම්මානයේ දී පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබූ සේක.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආලෝකවත් කළ පස්වැනි පරිවෙනාධිපති වූ සාහිත්‍ය චක්‍රවර්තී පණ්ඩිත පූජ්‍ය යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක හිමිට මෙම පින්වන්ත දරුවා දැකගන්නට ලැබුණු අතර ගති ලක්‍ෂණ අනුව අනාගත නායකත්ව ලක්‍ෂණ හා ගුණගරුක බව ඇති භාග්‍යසම්පන්න දරුවකු බව වටහා ගත් පූජ්‍ය යක්කඩුවේ නාහිමි, හුරුක්ගමුව රාජමහා විහාරාධිපතිව වැඩවිසූ පූජ්‍ය හුරුක්ගමුවේ ගුණරතන නායක හිමියන්ගේ ද අවසරය ලබාගෙන මහණ කිරීම සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට කැඳවා ගෙන එන ලදී.

නිර්මල සර්වඥ ධාතූන්වහන්සේලා වැඩ සිටින පෑලියගොඩ විද්‍යාලංකාරය පින්බිමේ පැවති අසිරිමත් ධර්ම සංගායනාව සියසින් දැක ගැනීමේ වරම් හිමි කරගත් මේ කුලකුමරු 1954 ජනවාරි මස 07 වන දින තවත් තරුණයන් 9 දෙනෙකු සමඟ එවකට පරිවෙනාධිපති වූ පූජ්‍ය කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි කරන ලදී.

එම කාලයේ දී තරුණ පූජ්‍ය කුසලධම්ම හිමියන්ට විද්‍යාලංකාර සම්ප්‍රදාය, භික්‍ෂු ආකල්ප හා ධර්ම ඥානය ලබා ගැනීමට පූජ්‍ය යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන්ගෙන් ලැබුනේ විශාල පිටිවහලකි. නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යත උපසම්පදාව ලබා ගත් පූජ්‍ය කුසලධම්ම හිමියෝ 60 වැනි දශකය මුල් භාගයේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් හිමි කර ගත්හ.

ඉන්පසු පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන මුල්කොට ගෙන ධර්මශාස්ත්‍ර සේවාව ආරම්භ කළ අප නාහිමියෝ එහි ප්‍රථම කෘත්‍යාධිකාරී දූරයට ද පත් වූහ. පසුව එහි පරිවෙණාධිපතීත්වයට පත් උන්වහන්සේ එම පිරිවෙනේ දියුණුවට කර ඇති මෙහෙය සුවිශාලය.

වර්ෂ 1983 පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්‍ෂ ධූරයට පත් වූ උන්වහන්සේ 1989 දී තත් විද්‍යාස්ථානයේ පරිවෙනාධිපති ලෙස නම් කෙරුණු ලැබූවත් අප්‍රමාණ ගුරු භක්තිය හේතුවෙන් ඒ වන විට රෝගාතුරව පසු වූ පූජ්‍ය නාත්තන්ඩියේ ප්‍රඥාකර නාහිමියන්ට එම ධුරය පිරිනැමීටම තරම් පූජ්‍ය කුසලධම්ම හිමියෝ අනතිමානී වූහ. නාත්තන්ඩියේ නාහිමියන් 1990 දී අපවත් වීමෙන් අනතුරුව පරිවේනාධිපතිත්වයට පත් අප නාහිමියන් එතැන් සිට අද දක්වා අපවත් වන තුරු ම සිදු කළ අසදෘෂ මහා සේවාව මෙරට ශාසන ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් සනිටුහන් කළේ ය.

විචිත්‍ර ධර්ම කථිකත්වයකින් හෙබි අපේ නායක හිමි දිවයිනේ සතර දිග්භාගයෙන් ලැබෙන ධර්ම දේශනා සඳහා ආරාධනා පිළිගෙන ඒවාට වැඩම කරන ලද්දේ ඉතා සංතෘප්තියෙනි. කවදත් කොතැනත් උන්වහන්සේගේ සිනහ මුසු මුහුණ වියතුන් සබා මැද බැබළුණි.

තමාට ලැබෙන සෑම දෙයක් ම අනුන්ට පරිත්‍යාග කරමින්, තමා හමුවට පැමිණෙන සෑම දෙනාටම ඉහළම ආකාරයෙන් ආගන්තුක සත්කාර සිදු කරමින් චාම් ජීවිතයක් ගත කළ නාහිමියන්ගේ හදවත අනුන්ගේ දුකේ දී උණුවන, කරුණා ගුණයෙන් පිරුණකි.

මල්වතු මහා විහාරයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නාහිමිපාණෝ, බුරුම රජයෙන් අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් ද පුද ලැබූහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ද සම්මානිත වූ නාහිමිපාණෝ තමාට කෙතරම් තනතුරු ලැබුන ද ඒ සියල්ලට වඩා බුදුරාජාණන් වහන්සේට තිබූ ශ්‍රද්ධාව මුල් කොට සිය දිවිය ගත කළහ. සෑම මසක ම අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ වන්දනා කිරීම වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දිවියේ සිරිතක් විය.

එවන් වූ අපරිමිත ගුණ සමුදායකින් හෙබිව ශ්‍රී ලංකා ශාසන භාර මහ තෙර නමක් ලෙසින් වැඩ සිටි අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණයෙන් නිවී සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු ෴

++++++

******************************************

ගාල්ල, වඳුරඹ පොලිසියේ අපරාධ අංශයේ ඕ.අයි.සී. අත් අඩංගුවට

(28.10.2021 – 07:24 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකු බියගන්වා රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වදුරඹ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු සමඟ ඇති කරගත් එකඟතාවයක් මත වාහනයක් මිල දී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10 ක අත්තිකාරම් මුදලක් ද රැගෙන වදුරඹ ප්‍රදේශයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මුදල් රැගෙන ගිය පුද්ගලයා බිය ගන්වා එම මුදල් පැහැරගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.

එහිදී අණාවරණය වී ඇත්තේ මුදල් පැහැර ගැනීමේ සිද්ධිය වංචාසහගත අරමුණෙන් සැළසුම් කර එකක් බවටයි.

එහි සැළසුම්කරු වදුරඹ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බවටද තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

******************************************

අඹන්පොළ ග්‍රාම නිලධාරී ඝාතනයේ සැකකරු අධිකරණයේදී පාපොච්චාරණයක

(28.10.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

අඹන්පොල දකුණ ග්‍රාම නිලධාරීවරයා ඝාතනය කිරීමට යොදාගත් ආයුධ ගල්ගමුවේ වෙල් යායක ඇළ මාර්ගයක් අසල සැඟ වූ බවට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පුහුණුවන දුම්රිය ස්ථානාධිපතිවරයා පාපොච්චාරණය කර තිබෙනවා.

ඒ බව පොලිසිය ඊයේ (27) අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව සැකකරු අදාළ ස්ථානයට රැගෙන ගොස් ආයුධ සොයා ගැනීමට මහව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

අඹන්පොල දකුණ ග්‍රාම නිලධාරී කපිල සපුකුමාර ඉඩම් ගැටලුවක් මුල් කරගෙන මෙලෙස ඝාතනයට ලක් වූ අතර, ඊට යොදාගත් ආයුධ යතුරුපැදියකින් ගොස් අදාළ ස්ථානයේ සැඟ වූ බවටයි සැකකරු ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, මුල්ලේරියාව – මීගහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 25 ක ත්‍යාග මුදලක් පිරිනැමීමට පොලීසිය තීරණය කර තිබෙනවා ෴

******************************************

සීනි කන්ටේනර් 200 ක් තවදුරටත් වරායේ

(28.10.2021 – 07:42 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළේ පවතින සීනි අර්බුදය නිමා කිරිම සඳහා අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට පහසුකම් අද (28) හෝ හෙට (29) සලසනු ඇතැයි සීනි ආනයනකරුවන් පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වනවිටත් කොළඹ වරාය තුළ මුදා නොගත් සීනි බහලුම් 200 ක් පමණ ඇති බවයි.

ඩොලර් නොමැතිවීම හේතුවෙන් ඒවා මුදා ගැනීම අසීරු වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

තමන්ට සහනයක් සලසන ලෙස ඉල්ලමින් සීනි ආනයනකරුවන් ඊයේ (27) පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නද හමුවුණා.

එහිදී මහබැංකු අධිපතිවරයා හමු වී ආනයනකරුවන්ගේ ගැටලුවට අද (28) හෝ හෙට (29) විසදුම් ලබාදීමට කටයුතු කරන බවට රාජ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ බවයි ආනයනකරුවන් ප්‍රකාශ කළේ.

සීනි ආනයනය කිරිමට අවශ්‍ය ඩොලර් මිලියන 18 ක මුදලක් ආනයනකරුවන් මීට පෙර රජයෙන් ඉල්ලා තිබුණා.

ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙනුයි සීනි ආනයනකරුවන් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (27) හමුවුණේ.

අවම වශයෙන් මාසයක් සඳහා අවශ්‍ය කරන සීනි මෙට්‍රික් ටොන් 30,000 ක් ආනයනය කිරිමට ඔවුන් මෙම මුදල ඉල්ලා තිබෙනවා.

රජය විසින් සුදු සීනි සඳහා රුපියල් 122 කත්, දුඹුරු සීනි සඳහා 125 කත් පාලන මිලක් ද පනවා තිබියදී ඇතැම් වෙළඳුන් එම මිල ඉක්මවමින් සීනි අලෙවි කරනු ලබනවා.

එමෙන්ම වෙළදපළේ මේ වන විට සීනි හිගයක් ද පවතිනවා.

මේ අතර, සීනි ආනයනකරුවන් සමඟ ඊයේ (27) පැවති සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ, තවදුරටත් පාලන මිලට සතොසෙන් සහ සමුපකාරය මඟින් සීනි ලබාගත හැකි බවයි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

විදෙස්ගතව සිට එන කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණයක්

(27.10.2021 – 19:09 +0530 – hirunews.lk/sinhala)

විදේශ ගතව මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්නම්, ඔවුන් නිවෙස් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

නව මාර්ගෝපදේශ යටතේ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 373 දෙනෙකු අද (27) සුවය ලබා පිටව ගියා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 5,38,186 ක් ලෙසයි.

ඊයේ (26) සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 20 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (27) තහවුරු කළ අතර, අද (27) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 425 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර, අලුත්ගම – දර්ගා නගරයේ ශ්‍රී ඥානේස්වර මහා විද්‍යාලයේ අවුරුදු 16 ට වැඩි සිසුන්ට කොරෝනා මර්දන එන්නත ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙසට සෞඛ්‍ය අංශ දැනුම්දීමත් සමඟ සියලුම දරුවන් එකම වේලාවක් තුලදී පාසලට පැමිණ ඇති අතර එන්නත් ලබාදීම පැය 2 ක කාලයක් ප්‍රමාද වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *