මහාචාර්ය බුද්ධි මාරම්ඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලු තනතුරුවලින් නෙරපයි

මහාචාර්ය බුද්ධි මාරම්ඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලු තනතුරුවලින් නෙරපයි

*********************************************

මහාචාර්ය බුද්ධි මාරම්ඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියලු තනතුරුවලින් නෙරපයි

(26.10.2021 – 12:25 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියළු තනතුරුවලින් ඉවත් කිරීමට එම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඔහු මෙතෙක් ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘති කමිටුවේ සාමාජිකයෙකු ලෙස මෙන්ම කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරයේ කටයුතු කළා.

කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ රසායනික පොහොර ආනයනය කරන පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස මහාචාර්යවරයා වසර ගණනාවක් කටයුතු කර ඇති බවයි.

එසේම පසුගිය රජය ග්ලයිෆොසෙට් ආනයනය නතර කිරීමේදී ඊට එරෙහිව වැඩසටහන් ක්‍රියාත්මක කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබූ බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

එසේම රජය පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය දිරිමත් කිරීමට කටයුතු කිරීමේදී මහාචාර්ය බුද්ධි මාරඹේ ඊට එරෙහිව විශ්වවිද්‍යාල ප්‍රජාව, ප්‍රජා සංවිධාන හා ජනතාව පෙළ ගස්වන ආකාරයේ ප්‍රකාශ සිදුකරන බවට ද කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක විවිධ තනතුරු දරමින් රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුවූ බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේ වෙතත් තමන් දැරූ තනතුරුවලින් ඉවත්කිරීම පිළිබඳව මහාචාර්ය බුද්ධි මාරඹේ අද (26) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තමන් ද ඒ සම්බන්ධයෙන් දැනුවත් වූයේ මාධ්‍ය හරහා බවයි.

පසුගිය කාලය තුළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් දෙදෙනෙකු (2), වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපතිවරයා මෙන්ම ගොවිජන සේවා කොමසාරිස්වරයා සහ ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු ද ඉල්ලා අස්වුණා ෴

******************************************

අවිදිමත් සංවර්ධනක් නිසා නයිගල් ආර වැව විනාශ මුඛයට

(26.10.2021 – 10:37 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තෙලුල්ල ජනපදය ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති නයිගල් ආර වැව අවිදිමත් සංවර්ධන කටයුත්තක් නිසා විනාශ වෙමින් පවතින බව වාර්තා වෙනවා.

පසුගිය දෙදහස් දහසය (2016) වසරේ සැප්තැම්බර් මස මෙම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති අතර, එම ප්‍රතිසංස්කරණ කටයුතු නිසියාකාරව සිදු වී නොමැති නිසා මේ වන විට වැව සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වෙමින් පවතින බව සඳහන්.

වැව් බැම්ම නිසියාකාරව සකස් නොකීරීම නිසා මේ වන විට වැව් බැම්ම ඉරි තලා ගොස් විනාශ වී ඇති අතර, එම නිසා මෙවර මහ කන්නයේ ගොවිතැන් කටයුතු කර ගැනීම සදහා ගොවීන්ට වැවේ ජලය රදවා ගැනීමට ද නොහැකි වී තිබෙනවා.

වැව අහිමි වීම නිසා මෙවර මහ කන්නයේ වගා කිරීමට තිබූ කුඹුරු අක්කර සීයකට (100) ආසන්න ප්‍රමාණයක් මෙන්ම වෙනත් වගාවන් අක්කර සිය ගනනක් වගා කිරීමට ගොවින් ට නොහැකි වීම නිසා එම වගා ඉඩම් පුරන් වී ඇති බවට ගම්වාසින් පවසනවා.

අවස්ථා ගනනාවකදීම බලදාරින් දැනුවත් කළ ද මේ වන තෙක් කිසිදු විසදුමක් ලබා දී නොමැති බව ජනතාව පවසන අතර, කඩිනමින් මෙම වැව නිසියාකාරව සකස් කර දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලදාරින්ගෙන් ඉල්ලීමක් කර සිටියි.

******************************************

කලබලකාරී ලෙස හැසිරුණු ඉහළ පොලිස් නිලධාරියෙකු පිළිබඳ විමර්ශනයක්

(26.10.2021 – 10:49 +0530 – hirunews.lk/sinhala)

අද (26) උදෑසන රත්නපුර කිරිඇල්ල මාර්ගයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු, රිය අනතුරකට අදාළ සිදුවීමකට මැදිහත් වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, අදාළ සිද්ධිය පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට බරපතළ හානියක් ඇතිකරන බවයි.

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ අපකීර්තිමත් හැසිරීම කිසිසේත් අනුමත නොකරන බවත් ඔහු පවසා සිටියා.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ මෑතකදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූ ‘තුවක්කුවට කොඩියක් ගසාගත්’ පොලිස් නිලධාරියකු බවත් වාර්තා වනවා.

******************************************

හොරණ – මිල්ලෑවේ ඖෂධ කර්මාන්තශාලා 3 ක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

(26.10.2021 – 11:21 +0530 – hirunews.lk/sinhala)

හොරණ – මිල්ලෑව ප්‍රදේශයේ ඖෂධ කලාපයේ ඖෂධ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා 3 ක් කඩිනමින් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව විකලාංග හා ස්නායු ශල්‍ය උපකරණ, පිළිකා නාශක ඖෂධ සහ මුඛ මාර්ගයෙන් ලබාදෙන ඖෂධ නිපදවීම සඳහා කර්මාන්ත ශාලා 3 ක් ස්ථාපිත වනු ඇති.

මෙම ඖෂධ කලාපය සඳහා පසුගිය මාර්තු 08 වැනි දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුවද එම ඖෂධ කලාපය ‘එස්.පී.එන්.සී. ලෝටස් ඖෂධ ව්‍යාපෘතිය’ ලෙස නම් කිරීමට ද ඊයේ (25) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සඳහා යෝග්‍ය උපදේශක ආයතනයක් තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලන්සු ක්‍රමවේදය අනුගමනය කිරීමට නියමිතයි ෴

******************************************

යුරෝ මිලියනයක වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමඟ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(26.10.2021 – 11:23 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ ගුවන් පාළම අසල දී යුරෝ මිලියනයක වටිනාකමක් ඇති බවට සඳහන් ව්‍යාජ ලෙස සකස් කරන ලද මුදල් නෝට්ටුවක් සමඟ කාන්තාවක් සහ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) මොවුන් අදාළ ව්‍යාජ මුදල් නෝට්ටුව රුපියල්වලට හුවමාරු කිරීමට උත්සාහ කිරීමේදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් සහ ජාඇල – කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම ව්‍යාජ මුදල් නෝට්ටුව යුරෝපීය රටවල ජාලගතව මුදල් වංචාවේ යෙදෙන පුද්ගලයින් මාර්ගයෙන් ලබාගෙන ඇති බවට සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා ෴

******************************************

බඩු මිල ඉහළ යාම ගැන රජය කනගාටුවෙන්

(26.10.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය වල මිල ඉහළ යාම සම්බන්ධයෙන් රජයක් ලෙස කනගාටුවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.

පරිප්පු, සීනි, සහල් සහ කිරිපිටිවලට අමතරව මේ වනවිට එළවළු මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.

කැකිරි, පිපිඤ්ඤා හැර අනෙකුත් සෑම එළවළු කිලෝග්‍රෑමයක් රුපියල් 150 ඉක්මවා අලෙවි වන බවයි ආර්ථික මධ්‍යස්ථාන සඳහන් කළේ.

මේ අතර වෙළෙඳපොළේ දේශීය ලොකුලූනු මිල ද ඉහල ගොස් තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථාන සඳහන් කළේ ලොකුලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 120 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

******************************************

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් STF භාරයට

(26.10.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, ඊයේ දින (25) සිදු කළ විශේෂ සෝදිසි කිරීමකදී තීරුබදු රහිතව නීතිවිරෝධීව මෙරටට ආනයනය කර තිබූ, දුම්වැටි තොගයක් සොයා ගෙන තිබෙනවා.

ඒ කඳාන ප්‍රදේශයේදීයි.

විදෙස් රටවලින් මෙරටට ආනයනය කර තිබූ මෙම දුම්වැටි තොගය, රජයේ කිසිදු අවවාද සටහනකින් තොරව අලෙවියට සූදානම් කර තිබියදීයි, විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගනු ලැබුවේ.

එහිදී විදෙස් රටවල නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි අසූදහසකට (80,000) අධික ප්‍රමාණයක් සමග, ඒවා අලෙවි කිරීමට රැගෙන යමින් සිටි 36 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනුණා.

සැකකරු කෑගල්ල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගැනුණු මෙම දුම්වැටි තොගයෙහි තක්සේරු වටිනාකම රුපියල් පනස් හය ලක්ෂයකට (56,00,000) අධික බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට සැකකරු සමඟ දුම්වැටි තොගය කඳාන පොලීසිය වෙත භාර දී තිබෙනවා ෴

******************************************

බලශක්ති ක්ෂේත්‍රයේ දේශීය ආයෝජකයින්ට අවස්ථාවක්

(26.10.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට බලශක්ති ක්ෂත්‍රයේ ආයෝජන සඳහා දේශිය ආයෝජකයන්ටද අවස්ථාව පවතින බව රජය පවසනවා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ, දැනට පවතින ඩොලර් හිඟයට විසදුම් ලෙස විදේශීය ආයෝජකයන් කැඳවා ගැනීමද අවශ්‍ය බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධය හමුවේදී ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

මේ අතර, ලබන ජනවාරි පළමුවනදා (01) සිට මාස 08 ක කාලයක් තුළ පෙට්‍රල් සහ ඩිසල් ආනයනය කිරීම සදහා වන දිගු කාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ ‘එම්.එස්. විටෝල් එෂියා’ සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

මේ සදහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා තිබු අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ සමාගමට එම කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ෴

******************************************

වත්මන් දේශපාලන තත්ත්වයන් ගැන පක්ෂ විපක්ෂ අදහස්

(26.10.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම, පක්ෂ අර්බුද ඇතුළු වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදත් (26) පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා :

******************************************

කොළඹ නැව් තටාකාංගනයේ සභාපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

(26.10.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගත කාලසීමාවේදී මෙරටට විදේශ විනිමය උපයාදීමට රජය ලබාදුන් සහය අගය කරන බව කොළඹ නැව් තටාකාංගනයේ සභාපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙමින් සඳහන් කළා.

එහිදී සභාපතිවරයා පැවසුවේ ඉරාකය වෙනුවෙන් මෙරට දී නිෂ්පාදනය කළ නෞකා දෙක (2) ලබන 04 වැනි දා ඉරාකයට භාරදීමට නියමිත බවයි ෴

******************************************

බෙල්ලන්නෙ ඔය හරහා වැටී ඇති පාලම අබලන් වීමෙන් ජනතාව අපහසුතාවට

(26.10.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද ආකර්ෂණය දිනාගත් දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ, ඉනාමලුව කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ බෙල්ලන්නෙ ඔය හරහා වැටී ඇති පාලම අබලන් වී තිබෙනවා.

ඒ නිසා මේ හරහා යන ජනතාව මහත් අවධානමකට මුහුණ පා ඇති බව වාර්තා වෙනවා.

******************************************

යුද හමුදාපති රුසියාවේ සංචාරයක

(26.10.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රුසියාවේ සංචාරයක නිරත වී තිබෙනවා.

ඒ, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරල් ඔලෙග් සැලියුකෝච් පසුගිය වසරේ මෙරට සිදුකළ සංචාරයේදී කළ ආරාධනයකට අනුවයි.

ඊයේ (25) රුසියාව බලා ගිය යුද හමුදාපතිවරයා පිළිගනු ලැබුවේ, රුසියානු හමුදාවේ ඉහළම ගෞරවය ලබාදෙමින්.

එහිදී යුද හමුදාපතිවරයා වෙනුවෙන් සම්මාන ආචාර පෙළපාලියක් ද පවත්වා තිබෙනවා.

මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩොව්ස්කි උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත ගිය යුද හමුදාපතිවරයා, දිවි පිදූ රුසියානු හමුදාවේ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර ද පුද කළ බවයි යුද හමුදාව සදහන් කළේ.

දෙරට අතර ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සිදු කරන ලද පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, යුද අභ්‍යාස පැවැත්වීම සහ යාන්ත්‍රික හා ඉංජිනේරු දැනුම හුවමාරු කර ගැනීමේ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීම යුද හමුදාපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *