මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයකට අද (26) සිට සීමා ලිහිල් වේ

මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයකට අද (26) සිට සීමා ලිහිල් වේ

*********************************************

මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයකට අද (26) සිට සීමා ලිහිල් වේ

(26.10.2021 – 07:33 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සදහා පනවා තිබූ සීමා අද (26) සිට තවදුරටත් ලිහිල් කෙරෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත්තේ, එළිමහන් ක්‍රියාකාරකම් දිරිගැන්වීමට පියවර ගනිමින්.

ඒ අනුව විවාහ මංගල උත්සව ශාලා තුළ අමුත්තන් 100 දෙනෙකුට සහභාගි වීමට අවසර හිමි වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

එළිමහන් මංගල උත්සව අමුත්තන් 150 ක උපරිමයකට යටත්ව පැවැත්වීමට අවසර ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, විවාහ මංගල උත්සවවල දී මත්පැන් භාවිත කිරීමට තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ.

එසේම ආපනශාලා තුළ එකවර උපරිම වශයෙන් පුද්ගලයින් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර ලබා දී තිබෙනවා.

එළිමහන් උත්සව සදහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව ද පුද්ගලයින් 100 ක් දක්වා ඉහළ නැංවිය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

නිළ රැස්වීම් සහ උත්සව සදහා අවසර හිමිවන්නේ අදාළ ශාලාවේ ධාරිතාවයෙන් තුනෙන් එකක (1/3) ප්‍රමාණයකට වන අතර, එය උපරිමය පුද්ගලයින් 150 කට සීමා කර තිබෙනවා.

මීට අමතරව රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පනවා තිබූ සංචරණ සීමා ද අද (26) සිට ඉවත් කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ.

ඊයේ (25) තවත් ආසාදිතයින් 561 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,06,645 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (25) අලුතින් වාර්තා වූ මරණ 29 ත් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,640 ක් ලෙසටයි.

මේ අතර, මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් අතරින් 90% කට දෙවන (2) මාත්‍රාව ලබා දී අවසන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා.

එම මාධ්‍ය හමුවට, ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා ද එක්ව සිටි අතර ඔහු සදහන් කළේ, මේ වනවිට එම රෝහලට රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ෴

++++++++++++++++++

පාසල් පිරිසිදු කිරීමට දේශපාලඥයින් යොදවන්නැ යි විදුහල්පතිවරයෙකුගෙන් ඉල්ලීමක්

(26.10.2021 – 07:04 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – ඇහැළියගොඩ විද්‍යාලයක විදුහල්පතිවරයෙකු, දෙහිඕවිට කලාප අධ්‍යක්ෂවරයාට ලිපි‍යක් යොමු කොට තිබෙනවා.

ඒ හය (6) ශ්‍රේණියේ සිට දහතුන (13) ශ්‍රේණිය දක්වා පාසල් විවෘත කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙසට දන්වමින්.

පාසල විවෘත කිරීම සඳහා කැලෑ එළිපෙහෙළි කර, පිරිසිදු කර දෙන ලෙසයි එම ලිපියෙන් විදුහල්පතිවරයා ඉල්ලා සිටින්නේ.

ඒ සඳහා, පසුගිය කාල වකවානුවේ පාසල් විවෘත කිරීම ගැන මහත් උනන්දුවකින් කතා කළ දේශපාලඥයින්, පොලිස් නිලධාරින්, ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලවල පිරිස් යොදවන ලෙසට විදුහල්පතිවරයා දන්වනවා.

ඉගැන්වීමේ කටයුතුවල හැර වෙනත් කිසිඳු බාහිර කාර්‍යයක නිරත නො වීමට ගුරුවරු තීරණය කර ඇති බැවින්, මෙම තීරණය ගත් බවයි එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

+++++++++++++++++

විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අනුමැතිය

(26.10.2021 – 09:09 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.

මේ අතර, කොරෝනා මර්දන එන්නතේ තුන්වැනි (3) මාත්‍රාව ලබාදීම මෙරට සිටින චීන වැසියන්ගෙන් ආරම්භ කෙරුණා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, සියලු උපකුලපතිවරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ පසුගිය සිකුරාදා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී තීරණය කර ඇත්තේ, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමටයි.

ඒ අනුව අද (26) සිට විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට උප කුලපතිවරුන්ට බලය ලබා දී ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ.

අද (26) දෙවන (2) දිනටත් දිවයිනේ පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු සිදු කෙරෙනවා.

ගුරු විදුහල්පතිවරුන් අදත් (26) අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන අතර කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, උද්ඝෝෂණ සිදු කිරීම සඳහා ඒකරාශී වීම කොරෝනා වෛරසය පැතිර යාමට හේතු විය හැකි බවයි.

එසේම වාර ප්‍රවේශ පත්‍ර ලබා ගත් අයට පමණක් දුම්රියෙන් ගමන් කිරීමට අද (26) දිනයේත් අවස්ථාව ලබා දී ඇති අතර, ඇතැම් මඟීන් ප්‍රකාශ කළේ, දුම්රිය තුළ තදබදයක් පවතින බවයි.

මේ අතර කොරෝනා එන්නතේ තුන්වැනි (3) මාත්‍රාව ලබාදීම මෙරට වෙසෙන චීන ජාතිකයින්ගෙන් ආරම්භ වී ඇති අතර, පසුගිය 22 වැනි දා සිට ඊයේ (25) දිනය දක්වා චීන ජාතිකයින් 3300 කට සයිනොෆාම් එන්නතේ තුන්වැනි (3) මාත්‍රාව ලබාදුන් බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සදහන් කළා.

දෙවන (2) මාත්‍රාව ලබාදී මාස 6 කට පසුවයි මෙලෙස තුන්වන (3) මාත්‍රාව ලබා දී ඇත්තේ.

කොළඹ, මහනුවර, හම්බන්තොට, පුත්තලම සහ දඹුල්ල යන ප්‍රදේශවල දී එය ක්‍රියාත්මක වුණා.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

සිමෙන්ති වැඩි මිලට අලෙවි කරන අයට නීතිය දැඩි වෙයි

(26.10.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

වෙළදපොළෙහි සිමෙන්ති හිඟයක් මතු වීම හේතුවෙන් මේ වනවිට ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ අර්බුද රැසක් නිර්මාණය වී තිබෙනවා.

ඇතැම් අලෙවිසල්වල සිමෙන්ති සීමා කර පාරිභෝගිකයා වෙත ලබාදීමට කටයුතු කරමින් සිටින බවටයි වාර්තා වන්නේ.

මේ වනවිට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1200 ඉක්මවා අලෙවි වන බවට ද තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත්, පාරිභෝගික සේවා අධිකාරිය මේ වන විට වැටලීම් ආරම්භ කර ඇත්තේ, වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහායි ෴

******************************************

සීනි හිඟයට විසඳුම් සොයන්න අද (26) විශේෂ සාකච්ඡා

(26.10.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

මෙරටට අවශ්‍ය සීනි ප්‍රමාණය ගෙන්වා ගැනීමට අදාළව අද (26) සහ හෙට (27) දිනවල ආනයනකරුවන් සමඟ සාකච්ඡා පවත්වන බව ද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

ආනයනය සඳහා අවසර පැවතුණ ද රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් සීනි ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි සීනි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

එවන් පසුබිමක් තුළ වෙළපොළේ දින කිහිපයක සිට සීනි හිඟයක් නිර්මාණය වී ඇති අතර, ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 170 කට ආසන්න මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ ෴

******************************************

ඉන්ධන ගැටලු ගැන දැනුම් දෙන්නත් දුරකතන අංකයක්

(26.10.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින කිහිපය තුළ රටෙහි ඉන්ධන හිඟයක් ද නිර්මාණය වූයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඉන්ධන සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇති වුව හොත් ඒ සඳහා තොරතුරු දැන ගැනීමට සහ කිසියම් තොරතුරක් දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව 011 545 5130 යන දුරකතන අංකය ඇමතීමෙන් එම තොරතුරු දැනුම් දීමේ හැකියාව පවතිනවා.

කිසියම් ඉන්ධන පිරවුම්හලක ඉන්ධන නොමැති නම් නැතහොත් සඟවා තබා ඇත්නම් ඒ පිළිබදව ද තොරතුරු දැනුම් දීමේ හැකියාව පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර, විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, නුදුරු දිනෙක සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි ෴

******************************************

ගුරු විදුහල්පතිවරුන් උද්ඝෝෂණ ව්‍යාපාරයත් නතර කර දමයි

(26.10.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ඊයේ (25) දිනයේ උද්ඝෝෂණ සිදු කළ ද අද (26) කිසිදු උද්ඝෝෂණයක් සිදු නොකරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පමණක් අද (26) දිනයේ ක්‍රියාත්මක වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් ප්‍රකාශ කළේ.

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ අද (26) අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ වන්නේ දෙවන (2) දිනටයි.

ඊයේ (25) දිනයේ සැලකිය යුතු ලෙස ගුරුවරුන් මෙන්ම සිසුන් ද පාසල් වෙත පැමිණි අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාර පිළිපදින ආකාරයක් ද දක්නට ලැබුණා.

එසේම ඊයේ (25) දිනයේදී ප්‍රාථමික අංශ විවෘත කිරීමත් සමඟ විදුහල්පතිවරුන් 94% ක් පාසල් වෙත පැමිණ ඇති අතර ගුරුවරුන් 90%ක් පමණ පැමිණ ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

සිසුන් 46% ක් පැමිණ ඇති අතර, වැඩිම සිසුන් සහ ගුරුවරුන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ සබරගමුව පළාතෙන්.

සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සබරගමුව පළාතේ 86% ක් වන අතර, ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රතිශතයක් ලෙස 99.8% ක් ලෙස සටහන් වී තිබූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එසේම දිවයිනේ ආරම්භ විය යුතු පාසල් 100% ක් ම ඊයේ (25) දිනයේදී විවෘත වී තිබූ අතර එම සංඛ්‍යාව 9190 ක් වනවා.

මේ අතර, ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් සිදු කරන විරෝධතා පා ගමන් ඇතුළු ක්‍රියා සම්බන්ධයෙන් ඊයේ (25) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී සංවාදයට බඳුන් වී තිබෙනවා.

එහිදී අවධානය යොමුව ඇත්තේ ගුරු විදුහල්පතිවරුන් සිදු කරන විරෝධතාවලට සෞඛ්‍ය මාර්ගෝපදේශ අදාළ වන්නේ නැද්ද යන්න පිළිබදවයි.

කෙසේ නමුත්, ගුරු විරෝධතා මර්දනය කිරීමේ ක්‍රියාවලියක් අනුගමනය නොකරන ලෙසට ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී ඇති බව සදහන් ෴

******************************************

පාසල්වල අධ්‍යයන වර්ෂ අවසන් කිරීමේ වෙනසක් නැහැ

(26.10.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාද වී පාසල් ආරම්භ කළ ද අධ්‍යයන වර්ෂ නිසි පරිදි අවසන් කරමින් විෂය කරුණු ආවරණය කිරීම සඳහා විකල්ප ක්‍රමවේද භාවිතා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය පරිදි දෙසැම්බර් මස අවසන් වීමෙන් පසු සෑම සිසුවෙකුම තමාට හිමි ඊළඟ ශ්‍රේණියට උසස් කෙරෙන අතර අතපසු වූ විෂය කරුණු යම් යම් ක්‍රමවේද ඔස්සේ ආවරණය කෙරෙනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය සමග ද සාකච්ඡා කර තිබෙනවා.

එහිදී විකල්ප ක්‍රමවේද ලෙස සෙනසුරාදා දිනයන් හි පාසල් පැවැත්වීම, අමතර පැය ගණනක් එක් කරමින් විෂය කරුණු ආවරණය කිරීම පිළිබදව අවධානය යොමුව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ ෴

******************************************

විදෙස්ගත වන සිසුන් තුන් (3) ගුණයකින් ඉහළට

(26.10.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

උසස් අධ්‍යාපනයට විදේශගතවීම සඳහා ඉල්ලුම් කරන සිසුන්ගේ ප්‍රමාණය තුන් (3) ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළා.

මීට පෙර දෛනිකව ඉල්ලුම් කර ඇත්තේ, සිසුන් 350 ක් වැනි ප්‍රමාණයක් වන අතර මේ වන විට එය දහසේ (1000) සීමාව ඉක්මවා යමින් පවතින බවයි වාර්තා වන්නේ ෴

******************************************

මෙරටට පැමිණි ඉන්දීය යාත්‍රා 6 න් 4 ක් ත්‍රිකුණාමල වරායට

(26.10.2021 – 07:57 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය නාවික හමුදා යාත්‍රා 6 ක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඉන් 4 ක් ත්‍රිකුණාමල වරායට පැමිණ ඇති අතර, මාගාර් සහ ශර්දුල් යන විශාල යුද නෞකා දෙක (2) මේ වන විට කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙනවා.

ඉන්දීය නාවික හමුදාවේ සුදර්ශනී සහ තරංගනී රුවල් නෞකා ත්‍රිකුණාමල වරායට පැමිණියේ මුර සංචාර යාත්‍රාවක් වන සුජාතා සහ වික්‍රම් වෙරළාරක්ෂක යාත්‍රාව සමඟයි.

මෙම යාත්‍රා ලබන 28 වැනි දා දක්වා දිවයිනේ රැදී සිටින බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ, මෙය ශ්‍රී ලංකාවට එකවර පැමිණි විශාලතම ඉන්දීය නාවික හමුදා යාත්‍රා පෙළ බවයි.

එය දෙරට අතර ද්වි පාර්ශවික සහයෝගීතාවයේ කඩඉමක් ලෙස එමඟින් හදුන්වනු ලැබුවා.

ඉන්දීය නාවික හමුදා යාත්‍රා මෙරට රැදී සිටින කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග වෘත්තීමය, පුහුණු සංස්කෘතික සහ ක්‍රීඩා අංශයේ ක්‍රියාකාරකම් රැසක නිරත වනු ඇති.

ඉන්දීය නාවික හමුදා යාත්‍රා සමග පැමිණි භට පිරිසට නිලධාරීන් 75 දෙනෙකු, කැඩෙට් නිලධාරීන් 153 දෙනෙකු, පුහුණු කැඩෙට් නිලධාරීන් දස දෙනෙකු (10) සහ නාවිකයන් 530 දෙනෙකු ඇතුළත් ෴

******************************************

බකමූණ ගොවි උපවාසයට අදට (26) දින 3 යි

(26.10.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ගොවීන් ආරම්භ කළ උපවාසය අද (26) අඛණ්ඩව තුන් වැනි (3) දිනටත් ක්‍රියාත්මකයි.

මෙවර මහා කන්නයට රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක ලබාදෙන ලෙස රජයට බල කරමින් මොරගහකන්ද ඇළහැර ව්‍යාපාරයේ ගොවි සංවිධාන 41 ක නියෝජිතයින් විසින් මෙම අඛණ්ඩ උපවාසය ආරම්භ කළේ පෙරේදා (24) දිනයේදීයි.

මේ අතර, ඉන්දියාවෙන් නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේදී සිදු වූ බව කියන ගනුදෙනුවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ෴

******************************************

‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

(26.10.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

අංගොඩ – මීගහවත්ත ප්‍රදේශයේ අද (26) අලුයම සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයා පාතාල කල්ලි සාමාජික ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ, මීගහවත්ත ප්‍රදේශයේම පදිංචි නුවන් මිලින්ද නැමති 42 හැවිරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

වෙඩි තැබීමෙන් තවත් අයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඔහු මිය ගිය පුද්ගලයාගේ මස්සිනා බවට හෙළි වී තිබෙනවා.

මිය ගිය පුද්ගලයා පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙකු මෙන්ම විදෙස්ගතව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු ද වන ‘ඉතාලි චමින්ද’ නැමැත්තාගේ සමීපතමයෙකු බවට ද අනාවරණ වී තිබෙනවා.

පුද්ගලයින් දෙදෙනෙකු (2) යතුරුපැදියකින් පැමිණ එය මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල නවතා මිය ගිය පුද්ගලයාගේ නිවස අසලට පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව ඔවුන් නිවැසියන් අවදි කොට වෙඩි තැබීම සිදු කර අදාළ යතුරුපැදියෙන්ම පළා ගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් හෙළි වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් සහ වෙඩි තැබීමට හේතුව සොයා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාස විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියා සිටියා.

මේ අතර, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද අද (26) උදෑසන වෙඩි තැබීම සිදු වූ ස්ථානය නිරීක්ෂණයට ලක් කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *