රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් සිරිල් ගාමිණී පියනමට එරෙහිව පැමිණිල්ලක්

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් සිරිල් ගාමිණී පියනමට එරෙහිව පැමිණිල්ලක්

*********************************************

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් සිරිල් ගාමිණී පියනමට එරෙහිව පැමිණිල්ලක්

(25.10.2021 – 15:32 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේ සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණී පියනම සහ වෙනත් අය විසින් සිදුකර ඇති ද්වේශ සහගත චෝදනාවන් ගණනාවකට විරෝධය පළ කරමින්, රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් අද දින (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබෙනවා.

එම ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය ලබාදුන් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් වෙත, ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් මූල්‍යමය සහ වෙනත් අත්‍යවශ්‍ය සහය ලබාදුන් බව, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ මෙම වසරේ ඔක්තෝම්බර් 23 වැනි දින පැවති සංවාද මණ්ඩපයකට සහභාගි වෙමින්, සිරිල් ගාමිණී පියනම විසින් ප්‍රකාශයක් සිදු කෙරුණා.

ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ, සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් පෝෂණය කිරීමෙහිලා එකල බ්‍රිගේඩියර්වරයෙකු වූ, මේජර් ජනරාල් සලේ ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කරන ලද බවයි.

සිරිල් ගාමිණි පියනම සහ වෙනත් අය විසින් සිදුකර ඇති මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, මේජර් ජෙනරාල් සලේ මහතා අවධාරණය කර ඇත්තේ, තමා අපකීර්තියට පත් කිරීමේ අරමුණෙන් නගා ඇති එම සියලු චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

ඔහු තවදුරටත් ප්‍රකාශ කරන්නේ, මෙම සියලු චෝදනාවන්ගේ අරමුණ වන්නේ පොදු මහජනතාව නොමඟ යැවීම පමණක්ම නොව, හිතාමතාම ඔහුගේ කීර්තිනාමයට හානි කිරීමත්, ඔහුගේ ජීවිතය මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිත ද අනතුරට හෙලීමත් බවයි.

තව ද, එබඳු අසත්‍ය චෝදනා බුද්ධි අංශයන්ට මෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන බුද්ධි නිලධාරීන් හට ද නැවත පිළිසකර කළ නොහැකි හානියක් සිදු කරන බව ද හෙතෙම වැඩිදුරටත් පවසනවා.

ගොනු කළ පැමිණිල්ලෙහි ඔහු නැවත නැවතත් අවධාරණය කර සිටින්නේ, කිසිදු තත්ත්වයක් යටතේ ඔහු කිසිදිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයන් සමග කිසියම් වූ හෝ ආකාරයක සන්නිවේදනයක් සිදු කර නොමැති බවයි.

එබැවින් සිය පැමිණිල්ලෙන් මේජර් ජෙනරාල් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිට ඇත්තේ, සිරිල් ගාමිණී පියනමට හා එම සංවාද මණ්ඩපයට සහභාගී වූ අනෙකුත් අයට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

මේ සම්බන්ධයෙන් ඉදිරි නෛතික කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව දැන ගැනීමට ඇත ෴

******************************************

ඖෂධ සංස්ථා සභාපති නිසා ඇමති රඹුක්වැල්ලට ගෙදර යන්න වෙයි ද ?

(25.10.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ සංස්ථාවේ සභාපති ධූරයෙන් ඉවත්වීමට වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගත් තීන්දුව තවත් මසකින් කල් දමන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.

මෙහිදී ජනාධිපතිවරයා වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාට පවසා ඇත්තේ අදාළ තනතුර සඳහා සුදුසු පුද්ගලයකු සොයා ගන්නා තෙක් සිය තීරණය කල් දමන ලෙසයි.

ජාතික ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල සමඟ ඇතිකරගත් මත ගැටුම් හේතුවෙන් බව මීට පෙර වාර්තා පළ වී තිබුණා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගෙන් සිදුකළ මෙම ඉල්ලීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යවරයා දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මතුව ඇති තත්ත්වය ඇතැම් විට ආචාර්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය තනතුරින් ඉවත්ව යාමේ වාතාවරණයක් දක්වා වර්ධනය විය හැකි බවටයි.

මේ අතර ජාතික ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණයත් සමඟ නැවතත් හදිසි ඖෂධ මිලදී ගැනීම් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් උත්සාහ දරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සභාපතිවරයා වශයෙන් කිසිදු අවස්ථාවක හදිසි ඖෂධ මිලදී ගැනීම් සිදු නොකළ අතර මේ හරහා ඔහු රජයට රුපියල් බිලියන ගණනාවක් ඉතිරි කර දී තිබුණා.

එමෙන්ම මෙතෙක් කලක් වෙළඳ නාමයෙන් පමණක් ආනයනය කෙරුණු පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ ඖෂධීය නාමය හරහා ආනයනය කිරීම හේතුවෙන් ද වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සෞඛ්‍ය අමාත්‍යංශයට සහ රජයට ඉතිරි කර දුන් මුදල් ප්‍රමාණය මිලියන 2500 කට අධිකයි.

මේ අතර පසුගිය සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යවරයා හිරු වෙත අදහස් දක්වමින් කියා සිටියේ අද (25) දිනය තුල ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක තනතුර සඳහා පත්කිරීමක් සිදු කරන බවයි ෴

******************************************

නොවිසඳුණු ගුරු වැටුප් අර්බුදයට විසඳුම් ඉල්ලා අදත් (25) විරෝධතා

(25.10.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

ගුරු විදුහල්පති වැටුප් අර්බුදය හේතුවෙන් වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරනු ලබන විරෝධතාවක් හේතුවෙන් අද (25) පස්වරුවේ කොළඹ කොටුව අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා ෴

******************************************

දිගු කලක සිට නොවිසඳුණු වරාය සේවක වැටුප් විෂමතා විසඳේ

(25.10.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 9,500 කට ආසන්න සේවක පිරිසකට වසර ගණනාවක් තිස්සේ බලපෑ සේවක වැටුප් විෂමතාව නිරාකරණය කළ බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

අද (25) දහවල් වරාය සම්බුද්ධත්ව ජයන්ත චෛත්‍ය පරිශ්‍රයේ දී පැවැති උත්සවයකට සහභාගී වෙමිනුයි, අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මෙම විෂමතාව සමාලෝචනය කොට විසඳීම සඳහා අවශ්‍ය තාක්‍ෂණික පසුබිම සකස් කරන ලද්දේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මානව සම්පත් සංවර්ධන අංශය විසින්.

අදාළ වැටුප් අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා වරාය හා නාවික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, මුදල් අමාත්‍යාංශය, වෘත්තීය සමිතිහි නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් සමාලෝචනය කර, සිය දායකත්වය ලබා දුන්නා.

මෙම අවස්ථාවට එක් වූ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මාස 20 කට අධික කාලයක් ගෝලීය වසංගත තත්ත්වයක් තුළ රට වසා දමා තිබියදී වුවත්, මනා කළමනාකාරීත්වයකින් යුතුව අඛණ්ඩ වරාය සේවාවක් පවත්වාගෙන යාමට සියලුම වරාය සේවක මහත්ම මහත්මීන් ලබාදුන් කැප කිරීම තමන් අගය කරන බවයි.

එබැවින් කරන ලද මෙහෙයට පැවති වැටුප් විෂමතා තමන් විසින්ම නිරාකරණය කරදීමට හැකියාව ලැබීම ද සතුටට කරුණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සංවර්ධනය කරා යන ගමනේ දී, ඉදිරියේදී වරායේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ද වරාය සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වය පෙර සේම තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා ෴

******************************************

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති සිය ධුරයෙන් ඉල්ලා අස්වේ

(25.10.2021 – 17:11 +0530 – hirunews.lk/sinhala)

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

අද (25) පස්වරුවේ සභාපතිවරයා සිය ධුරයෙන් මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

(25.10.2021 – 18:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (25) නව වාර්තාවක් තැබුවා.

ඒ අද (25) දිනයේ ගනුදෙනු නිමවීමෙන් අනතුරුව සියලු කොටස් මිල දර්ශකය, ඒකක 10,000 ඉක්මවා වාර්තා කිරීමත් සමඟයි.

ඒ අනුව අද (25) දිනය නිම වනවිට ASPI දර්ශකය සටහන් වූයේ 10,046.80 ලෙස.

******************************************

දිවයිනට ආ ඉන්දියානු අධානී සමාගමේ නියෝජිතයෝ මන්නාරම සුලං විදුලි බලාගාර පරිශ්‍රයේ නිරීක්ෂණයක

(25.10.2021 – 19:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර පර්‍යන්තයේ සංවර්ධන කටයුතුවලට මැදිහත් ව සිටින ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අධානීගේ පුත්‍රයා සහ ප්‍රධාන විධායක නිලධාරියා අද (25) මන්නාරම සුලං විදුලි බලාගාර පරිශ්‍රයේ සංචාරයක නිරත වුණා.

අධානී සමූහ ව්‍යාපාරය කොළඹ වරායේ බටහිර පර්යන්ත සංවර්ධන කටයුතුවලට අමතරව මෙරට පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබෙනවා.

අද (25) ජනාධිපතිවරයා සමග සිදු කෙරුනු සාකච්චාවේදී අදාළ ඉන්දීය නියෝජිත පිරිස් මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කළ බව සැලයි.

මන්නාරම සුළං විදුලි බලාගාර සංකීර්ණය විදුලිබල මණ්ඩලය සතු විශාලතම සුළං විදුලි ජනන මධ්‍යස්ථානයයි.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ආයෝජන ප්‍රවර්ධන ගුවන්තොටුපල සංවර්ධන රාජ්‍ය අමාත්‍යය ඩී.වී. චානක මහතා සහ විදුලිබල මන්ඩලයේ උසස් නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ආසාදිතයින් 315 ක් පූර්ණ සුවයට

(25.10.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 315 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද (25) දින පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව වයිරසය ආසාදිතව මෙරට සුවය ලද මුළු පුද්ගලයින් සංඛ්‍යාව 5,03,703 ක් දක්වා ඉහළ යනු ඇති ෴

අද (25) දිනයේදීත් නව්‍ය කොරෝනා වෛරස ආසාදිතයින් 412 දෙනෙකු වාර්තා වී ඇති බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,36,496 ක් දක්වා ඉහළ යනු ඇති ෴

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (24) දිනයේදී තහවුරු කරන ලද නව්‍ය කොරෝනා ආසාදිත මරණ 29 ක් වාර්තා වනවා.

අවුරුදු 30 ට අඩු පිරිමි මරණයක් (1) ද, අවුරුදු 30-59 ත් අතර පිරිමි මරණ 02 ක් ද, කාන්තා මරණ 04 ක් ද වයස අවුරුදු 60 සහ ඊට වැඩි පිරිමි මරණ 09 ක් සහ කාන්තා මරණ 13 ක් ද, සිදු වූ මෙම මරණ 29 ට අයත්.

ඒ අනුව මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිත මුළු මරණ සංඛ්‍යාව 13,640 ක් දක්වා ඉහළ යන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ෴

+++++++++++++++++

මෙරටට සංචාරකයින් ගෙන්වා ගැනීම ඉහළ නැංවීමට විශේෂ සැලසුම්

(25.10.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා ප්‍රධාන රටවල් 05 ක් ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉන්දියාව, රුසියාව යන රටවල මෙම ප්‍රවර්ධන කටයුතු සිදු කෙරෙනු ඇති.

ඊට අමතරව කසකස්තාන‍ය, යුක්රේනය සහ මැදපෙරදිග කලාපයේ ද ප්‍රවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද අමාත්‍යවරයා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයට උපදෙස් ලබා දුන්නා.

සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ප්‍රධානීන් සමග අද (25) අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීයි, අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ.

ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනට අමතරව, මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලෙසට ද ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ එම රටවල සංචාරකයින් ඉලක්ක කර ගනිමින් කෙටි කාලීන හා දීර්ඝ කාලීන ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කෙරෙනු ඇති.

සංචාරක නියෝජිත හමු, මාධ්‍ය හා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙරට සංචාරක නියෝජිත ආයතන සහ අදාළ රටවල සංචාරක නියෝජිත ආයතන සමග මුහුණට මුහුණ සාකච්ඡා සංවිධානය කොට මෙරටට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා කටයුතු කරන ලෙස ඇමතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

මෙම ප්‍රවර්ධන කටයුතුවලදී ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත්කරණය සාර්ථකව සිදු කළ රටක් ලෙස පුළුල් ප්‍රචාරයක් ලබාදීමට ද, තීරණය කෙරුණා.

සංචාරක අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ, ඉදිරි මාස දෙක (2) තුළ මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සංචාරක සංවර්ධන අධිකාරියේ ඉලක්කය විය යුතු බවයි.

ආයතනයේ සියලු කටයුතු ඒ මත පදනම්ව ක්‍රියාත්මක කළ යුතු බව ද ඇමතිවරයා මෙහිදී අදාළ පාර්ශ්ව වෙත අවධාරණය කළා.

නිර්මාණශීලි අදහස් ඔස්සේ ඒ සඳහා නැවුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

පසුගිය ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් 24 වෙනිදා දක්වා මෙරටට සංචාරකයින් 54,768 පැමිණ ඇති අතර, පසුගිය සැප්තැම්බර් මාසයේදී සංචාරකයින් 13,547 ක් මෙරටට පැමිණ තිබෙනවා.

ඔක්තෝම්බර් මාසයේ 01 වෙනිදා සිට මේ දක්වා සංචාරකයින් 16,451 දෙනෙකු පැමිණ ඇතැයි මෙම සාකච්ඡාවේදී අනාවරණය කෙරුණා.

ඉන්දියාව, එක්සත් රාජධානිය, පාකිස්ථානය, රුසියානු සමුහාණ්ඩුව, ජර්මනිය, මාලදිවයින, කැනඩාව , ප්‍රංශය, ඇමරිකාව, ඉන්දුනීසියාව යන රටවල් 10 න් මෙම පිරිස පැමිණ ඇති බවයි සංචාරක අමාත්‍යාංශය පවසන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *