2020 උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ ඉසෙඩ් ස්කෝර් අගයන් මෙම සතියේ

2020 උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ ඉසෙඩ් ස්කෝර් අගයන් මෙම සතියේ

*********************************************

2020 උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ ඉසෙඩ් ස්කෝර් අගයන් මෙම සතියේ

(25.10.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala)

2020 උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ ‘ඉසෙඩ් ස්කෝර්’ අගයන් මෙම සතියේ ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළා.

2020/2021 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රධාන විෂය ධාරා යටතේ දිස්ත්‍රික් මට්ටමින් අධ්‍යයන පාඨමාලාවලට තෝරා ගන්නා ප්‍රතිශත පසුගිය දා නිකුත් කිරීමටයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පියවර ගනු ලැබුවේ.

මේ අතර පාසල්වල ප්‍රාථමික අංශ විවෘත කිරීමට සමගාමීව විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුද කඩිනමින් ආරම්භ කරන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, කොරෝනා වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය වසර 2 කට ආසන්න කාලයක් තිස්සේ වසා දමා ඇති බවයි.

ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදු කළද එය, ඇතැම් අවස්ථාවල ප්‍රායෝගික නොවන බවද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළා ෴

******************************************

ඉන්ධන මිල වැඩි වෙනවාද ? ඇමති ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්

(25.10.2021 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ (24) පැවති සකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඊයේ (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම විශේෂ රැස්වීම පැවති අතර මෙහිදී ඉදිරි අයවැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබෙනවා ෴

******************************************

පොහොර ඉල්ලා තවදුරටත් විරෝධතා

(25.10.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ගොවීන් ආරම්භ කළ අඛණ්ඩ උපවාසය අද (25) දෙවන (2) දිනටත් ක්‍රියාත්මකයි.

මෙවර මහා කන්නයට රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක ලබාදෙන ලෙස රජයට බල කරමින් මොරගහකන්ද ඇලහැර ව්‍යාපාරයේ ගොවි සංවිධාන 41 ක නියෝජිතයින් අඛණ්ඩ උපවාසය ආරම්භ කළේ ඊයේ (24) දිනයේදීයි.

ඊයේ (24) රාත්‍රියේ ඇලහැර ප්‍රාදේශීය ලේකම්වරිය උපවාසය පවතින ස්ථානයට පැමිණ එය අත්හරින ලෙසට ගොවීන්ගෙන් ඉල්ලීම් කළද ඔවුන් ඊට එකඟත්වය පළ කළේ නැහැ.

මේ අතර, පොහොර ගැටලුව මුල් කරගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සංවිධානය කළ උද්ඝෝෂණයක් පොළොන්නරුව නගරයේදී පැවැත්වුණා.

එමෙන්ම, පොළොන්නරුව වැලිකන්ද – රිදිපොකුණ මංසන්ධියේදී අවශ්‍ය පොහොර ඉල්ලා ගොවීන් පොල් ගසා දේවකන්නලව්වක නිරත වුණා.

පොහොර ගැටලුව මුල්කරගනිමින් කොත්මලේ ප්‍රදේශයේ ගොවීන් උද්ඝෝෂණයක නිරත වූ අතර මැදිරිගිරිය ප්‍රදේශයේ මුකුණුවැන්න වගාවේ නිරත ගොවීන්ද පොහොර නොමැතිකමින් වගා කටයුතු අත්හැර ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර අක්කර 2 කට ආසන්න ප්‍රමාණයක බඩඉරිගු වගා කළ බකමුණ සිරිකඳුයාය ගොවීන් මේ වනවිට වගාවන්ට අවශ්‍ය පොහොර නොමැති වීමෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් පවසන්නේ බකමුණ ගඟේ යාය සහ සිරිකඳුයාය මහවැලි නේවාසික ව්‍යාපෘතිය යටතේ සිදු කළ කාබනික පොහොර නිෂ්පාදනය අසාර්ථක බවයි.

කෙසේ වෙතත්, මැදවච්චිය ප්‍රදේශයේ ගොවීන් මේ වන විට වගා කටයුතු සිදු කිරීමට ආරම්භ කර ඇති අතර, ඔවුන් පවසන්නේ රජය ලබාදෙන ඕනෑම පොහොරක් භාවිතා කිරීමට සුදානම් බවයි.

******************************************

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස්

(25.10.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා :

******************************************

බලධාරි නො සැලකිල්ල නිසා විනාශ මුඛයට යන වැවක්

(25.10.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

අතීතයේ සිට බොහෝ ගම් දනව් සුපෝෂණය වුණේ වැව් අමුණු පදනම් කරගනිමින්.

එහෙත් අද වනවිට ඇතැම් වැව් මෙන්ම වැව් ආශ්‍රිත පරිසර පද්ධතිද විනාශ වෙමින් පවතින්නේ, බලධාරීන් මෙන්ම නිලධාරීන්ගේද නොසැලකිල්ල නිසා.

මේ එවැන් ඉරණමකට ලක් වු බණ්ඩාරවෙල පිහිටි වැවක් පිළිබඳව අනාවරණයක්.

******************************************

බණ්ඩාරවෙල පුරප්පාඩු වූ ස්ථානාධිපති ධුරයට, ප්‍රාදේශීය සභාපති හිමිගෙන් මුදල් ඇමතිට යෝජනාවක්

(25.10.2021 – 13:43 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල පොලිස් ස්ථානයේ පුරප්පාඩුව පවතින මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරට පත් කිරීම සඳහා ඉල්ලීමක් සිදු කරමින්, බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල ආසන කැඳවුම්කරු පූජ්‍ය කරගහවෙල නන්දවිමල හිමි ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂටයි.

බණ්ඩාරවෙල පොලිස් මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා පසුගිය සතියේ උසස් වීමක් ලැබ, ස්ථාන මාරුවීම් ගොස් ඇති බැවින්, දැනට එම තනතුර පුරප්පාඩුව පවතින බවයි සභාපතිවරයා අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

මේ වනවිට සීඝ්‍ර නාගරීකරණයත් සමග බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දිනෙන් දින සමාජ ව්‍යසනකාරී තත්ත්වයන් ඉහළ යමින් පවතින වකවානුවක එම ගැටුම්කාරී තත්ත්වයන් සමනය කර ගනිමින්, සාමකාමී නිදහස් පාරිසරික වටපිටාවක් ජනතාව වෙත නිරන්තරයෙන් උරුම කිරීම දේශපාලන නියෝජිතවරුන් වන අපගේ ඒකායන අරමුණ වන බව ද පූජ්‍ය කරගහවෙල නන්දවිමල හිමියන් පවසනවා.

මේ වනවිටත් ඉහත තනතුර සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපු‍රා ඇති හපුතලේ පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කරනු ලබන ඕ. සාගර රොහාන් දයාරත්න පත් කිරීම සුදුසු බවට තමන් යෝජනා කරන බවයි මෙම ලිපිය මගින් සභාපතිවරයා මුදල් අමාත්‍යවරයා වෙත දන්වා සිටින්නේ.

විසි හය වසරක පොලිස් සේවා කාලයක් සහිත මෙම නිලධාරියා මේ වනවිට වසර 08 ක කාලයක් පොලිස් ස්ථානාධිපති තනතුරෙහි සේවය කර ඇති බවත්, හෙතෙම ඉතා දක්ෂ, පළපුරුදු සහ අවංක නිලධාරියෙකු බවත්, උන්වහන්සේ එම ලිපියෙහි සඳහන් කර තිබෙනවා.

එබැවින්, බණ්ඩාරවෙල ප්‍රාදේශීය කොට්ඨාසයේ සාමය හා ආරක්ෂාව වැඩිදුරටත් තහවුරු කරලීම පිණිස තමන් විසින් සිදු කරන ලද මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කාරුණික අවධානය යොමු කොට, ඊට අදාළ පත් කිරීම සිදු කිරීමට පියවර ගන්නා ලෙසට ද සභාපති පූජ්‍ය කරගහවෙල නන්දවිමල හිමි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් අදාළ ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තෙවැනි (3) මාත්‍රාව ලබා දීම නොවැම්බර් සිට

(25.10.2021 – 12:57 +0530 – hirunews.lk/sinhala)

කොව්ඩ් මර්දන එන්නත්කරණය යටතේ තුන් වැනි (3) මාත්‍රාව ලබාදීම නොවැම්බර් පළමු වැනි දා (01) සිට ආරම්භවන අතර මුල් එන්නත් මඟ හැරුණු පිරිසට එය ලබාදීමේ ක්‍රමවේදයක් සකසන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මෙරට එන්නත්කරණ වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව මිල දී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා තවත් තොගයක් අද (25) අලුයම දිවයිනට රැගෙන ආවා.

++++++++++++++++++

එන්නත් නොගත් පුද්ගලයින්ට තවදුරටත් අවස්ථාව

(25.10.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

තුන්වැනි (3) මාත්‍රාව ලබාදීම නොවැම්බර් පළමු වැනිදා (01) සිට ආරම්භ කෙරුණ ද, මෙතෙක් එන්නත් ලබා නොගත් ඕනෑම අයෙකුට පළමු (1) සහ දෙවන (2) මාත්‍රාව ලබාගැනීමේ හැකියාව තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අද (25) අලුයම මෙරටට රැගෙන ආ ෆයිසර් එන්නත් මාත්‍රා 3,05,370 ක තොගය මේ වන විට කොළඹ මධ්‍යම එන්නත් ගබඩාව වෙත ගෙන ගොස් තිබෙනවා.

අද (25) අලුයම එම එන්නත් තොගය රැගෙන එනු ලැබුවේ කටාර් ගුවන් සේවයට අයත් යානයකින්.

මේ අතර අද (25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ තුන්වන (3) මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරුණද දෙවන (2) සහ පළමු (1) මාත්‍රා තවදුරටත් හැකියාව පවතින බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ හැකි පළමු අවස්ථාවේදීම සුදුසුකම් සපුරා ඇත්නම් එන්නත් ලබාගැනීමට යොමුවන ලෙසයි.

++++++++++++++++++++

දුම්රිය වාර 133 ක් ධාවනයේ

(25.10.2021 – 13:53 +0530 – hirunews.lk/sinhala)

මාස 3 කට ආසන්න කාලයකට පසු පළාත් තුළ දුම්රිය ධාවනය අද (25) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර, දිනකට දුම්රිය ගමන් වාර 133 ක් පමණ යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඒවායේ ගමන් කළ හැකිවන්නේ වාර ප්‍රවේශ පත්‍ර හිමි මඟීන්ට පමණයි.

දුම්රිය ධාවනය ඇරඹි අද (25) පෙරවරුවේ පාදුක්ක දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ බලා පැමිණි දුම්රියක් කාර්මික දෝෂයට ලක් වීමේ පුවතක් ද වාර්තා වුණා.

දුම්රිය කාලසටහන සම්බන්ධයෙන් මඟීන් දැනුවත් කරන අතරතුර, වාර ප්‍රවේශපත්‍ර හිමි මඟීන්ට පමණක් දුම්රියේ ගමන් කළ හැකි බවටද දුම්රිය ස්ථානවලදී මඟීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

මේ අතර ධාවනය යළි ආරම්භ කළද නිසි සැළසුමකට අනුව එය සිදු නොවන බවට දුම්රිය වෘත්තිය සමිති චෝදනා කරනවා.

ඉදිරියටත් මෙම තත්ත්වය ක්‍රියාත්මක වුවහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදු වනු ඇති බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියා.

දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, වාර ප්‍රවේශ පත්‍ර නොමැති අත්‍යාවශ්‍ය සේවා මඟීන්ට ද ගමන් කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවයි.

කෙසේ වෙතත් දුම්රිය සාමන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ, දැනට ක්‍රියාත්මක කාළසටහන් ඉදිරියේදී සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවයි.

වාර ප්‍රවේශ පත්‍ර හිමි පාසල් සිසුන්ට දුම්රිය භාවිත කළ හැකි බව ඔහු පෙන්වා දුන්නා.

මේ අතර අන්තර් පළාත් බස්රථ ධාවන බලපත්‍රවල වලංගු කාලය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා කියා සිටියේ, පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණයට එළඹි බවයි.

මේ අතර නොවැම්බර් 01 වනදා සිට පළාත් අතර දුම්රිය සහ බස් ධාවනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

එසේම පාසල් ආරම්භ කිරීමත් සමඟ සිසු ප්‍රවාහන කටයුතු වෙනුවෙන් අද (25) දිනයේ සිසු සැරිය බස්රථ ද යොදවා තිබෙන ආකාරයක් දක්නට ලැබුණා.

ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ පැමිණීම සැළකිය යුතු මට්ටමක

(25.10.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ප්‍රාථමික අංශවල අධ්‍යාපන කටයුතු අද (25) යළි ආරම්භ කළ සියලු පාසල්වල සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ථ මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ වනවිට ලැබී ඇති වාර්තාවලට අනුව බොහෝ පාසල්වල ප්‍රාථමික අංශයේ සමස්ත සිසුන්ගෙන් සියයට 60 හෝ ඊට ඉක්ම වූ ප්‍රතිශතයක් පාසල් වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ද සඳහන් කළේ සිසුන් සහ ළමයින් ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පාසල් වෙත පැමිණි අයුරු නිරීක්ෂණය කළ බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම අල් හික්මා විද්‍යාලයේ ළමුන් පාසල් පැමිණිය ද එහි ගුරුවරුන් විසින් ඔවුන් යළි නිවෙස් වෙත හරවා යවා තිබෙනවා.

පාසල් ආරම්භ කිරීමට සුදුසු පරිදි පවිත්‍රා කටයුතු සිදු නොකර තිබීම ඊට හේතුවයි.

කෙසේ වෙතත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෙසු පාසල්වල සිසුන්ගේ පැමිණීම සාධනීය මට්ටමක පැවති බව හිරු අනුරාධපුර වාර්තාකරු තම්සීර් හමීඩ් කියා සිටියා.

මේ අතර උතුරේ පාසල්වල ප්‍රාථමික අංශ ද අද (25) නියමිත පරිදි ආරම්භ වුණා.

අප වාර්තාකරු මාධව කුලසූරිය මහතා කියා සිටියේ ඇතැම් පාසල් දරුවන් සැහැල්ලු ඇදුම්වලින් සැරසී පැමිණෙන අයුරු නිරීක්ෂණය කළ බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ (24) ප්‍රකාශ කළේ නිල ඇඳුම නොමැති නම් වෙනත් සුදුසු ඇඳුමකින් පාසලට පැමිණිය හැකි බවයි.

කොළඹ පාසල්වල ප්‍රාථමික අංශ ද අද (25) සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම අද (25) ඉහල මට්ටමක පැවති බවයි.

කෙසේ වෙතත් ගුරු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ නියමිත වේලාවෙන් බැහැරව ස්වෙච්ඡාවෙන් සිදු කරන කිසිදු කටයුත්තකට ගුරුවරුන් සහය ලබා නොදෙන බවයි.

එමෙන්ම අද (25) පස්වරුවේ පාසල් අසල විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද කොළඹ අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළා.

අද (25) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ පාසල් කටයුතු පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය නිර්දේශවලට අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි ෴

++++++++++++++++

‘ඩෙල්ටා ප්ලස්’ ශීඝ්‍රයෙන් පැතිර යා හැකි බවට අනාවරණයක්

(25.10.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

දැනට පවතින කොරෝනා වෛරස ප්‍රභේදයට වඩා ‘ඩෙල්ටා ප්ලස්’ කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යාමේ හැකියාවක් පවතින බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරු සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එසේම මේ වනවිට බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට හයක් (6%) ඩෙල්ටා ප්ලස් ආසාදිතයන් බවයි හඳුනාගෙන ඇත්තේ.

මේ අතර චීනය තුළ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සතිය තුළ එරට ප්‍රාන්ත 11 කින් ආසාදිතයන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

විදේශ සංචාරකයින් පැමිණීම මෙලෙස කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමට හේතුවී ඇති බව එම වාර්තාවල සඳහන්.

පවතින තත්ත්වය සළකා ලබන 31 වනදා පැවැත්වීමට නියමිතව තිබූ බීජිං මැරතන් තරගාවලියද කල් දමා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *