පොහොර ගැටළුවෙන් එළවළු මිලටත් බලපෑම් – කොත්මලේ ගොවීන් පොල් ගසයි

පොහොර ගැටළුවෙන් එළවළු මිලටත් බලපෑම් – කොත්මලේ ගොවීන් පොල් ගසයි

*********************************************

පොහොර ගැටළුවෙන් එළවළු මිලටත් බලපෑම් – කොත්මලේ ගොවීන් පොල් ගසයි

(24.10.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

පොහොර නොමැතිවීම හේතුවෙන් එළවළු වගාවට එල්ල වී ඇති බලපෑමත් සමඟ එළවළු මිල ගණන් ද සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇති බවට ආර්ථික මධ්‍යස්ථාන පවසනවා.

මේ අතර, කොත්මලේ ගොවීන් පිරිසක් අද (24) දේව කන්නලව්වක නිරත වූයේ වගා කටයුතු සිදුකරගෙන යාම සඳහා අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින්. එමෙන්ම, පොහොර ගැටළුව මුල් කර ගනිමින් අදත් (24) දිවයිනේ ප්‍රදේශ රැසකම ගොවීන් විරෝධතාවල නිරත වුණා.

පොළොන්නරුව – බකමූණ ප්‍රදේශයේ ගොවි සංවිධාන 41 ක නියෝජිතයන් අද (24) බකමූණ නගරයේදී උපවාසයක් ආරම්භ කළ අතර ඔවුන් කියා සිටියේ පොහොර ලබාදෙන තුරු සිය උපවාසය අත්නොහරින බවයි.

එමෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (24) උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදීයි.

මහවැලි ගොවි සංවිධානවල ගොවි නියෝජිතයන් ද පොහොර ඉල්ලා අද (24) දඹුල්ල නගරයේදී විරෝධතාවල නිරත වුණා.

මේ අතර, කැබිතිගොල්ලෑව ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ගොවීන්ට නැනෝ නයිට්‍රජන් පොහොර ලබාදීමේ අවස්ථාවට අද (24) එක්වෙමින් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සදහන් කළේ කාබනික පොහොර යොදා ගනිමින් වගා කෙරෙන වී කිලෝවක් සඳහා රුපියල් 80 ක මිලක් ගොවීන්ට ලබාදීමට කටයුතු කරන බවයි.

******************************************

ළිඳක් ඉසීමට ගිය දෙදෙනෙකු (2) විෂ වායුවක් ආඝ්‍රාණය වී මරුට

(24.10.2021 – 16:14 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය – පන්නල – කහටගහවත්ත ප්‍රදේශයේ ළිඳක් ඉසීමට ගිය දෙදෙනෙකු (2) විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු සහ 38 හැවිරිදි අයෙක්.

29 හැවිරිදි පුද්ගලයා ළිඳ ඉසීම සඳහා ඊට බැස ඇති අතර, එම අවස්ථාවේ ඇති වූ ක්ලාන්ත ගතියත් සමග ඔහු පය ලිස්සා ළිඳ තුළට ඇද වැටී තිබෙනවා.

පසුව ඒ පිළිබදව ඔහුගේ පුත්‍රයා එම ආසන්නයේ සිටි අසල්වැසි අනෙක් පුද්ගලයාට දැනුම් දී ඇති අතර, ඉන් අනතුරුවයි ඔහු ළිඳට බැස ඇත්තේ.

එහිදී ඔහු ද ක්ලාන්තගතියෙන් ළිඳට ඇද වැටී තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනා (2) දංකොටුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාව වන විටත් මියගොස් තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

******************************************

කොල්ලයක් ගැන ව්‍යාජ පැමිණිල්ලක් කළ කාන්තාවක් අත්අඩංගුවට

(24.10.2021 – 17:00 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 17 කට ආසන්න රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට ව්‍යාජ පැමිණිල්ලක් සිදු කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව පසුගිය දිනෙක මෙම මුදල් හා රන් භාණ්ඩ කොල්ලය සම්බන්ධයෙන් කළ පැමිණිල්ල අනුව පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනයක් අනුවයි, ඊයේ (23) සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කොරෝනා මර්දන නිල ඇදුමින් සැරසුණු සය (6) දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ නිවසේ තිබු රන් භාණ්ඩ හා මුදල් කොල්ලකා පලා ගිය බවට එම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව මීගොඩ – මිනුවන්දෙනිය – බෙරුකැටිය ප්‍රදේශයේ කොල්ලකෑම සිදු වූ බව කියන නිවසට ගිය පොලිසිය සිදු කළ විමර්ශනවලදී ඇති වූ සැකයක් මත පැමිණිලිකාර කාන්තාවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ එම කාන්තාවම රන් භාණ්ඩ සොරකම් කර ඇති බවයි.

සැකකාරිය සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 17 කට ආසන්න රන් භාණ්ඩ නිවස පිටුපස වළ දමා තිබියදී සොයාගෙන තිබෙනවා ෴

******************************************

පාප් වහන්සේගෙන් කාදිනල් හිමියන්ට ලිපියක්

(24.10.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකෙරෙන සියළු කාර්යයන් වෙනුවෙන් අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබාදෙන බවට අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළේ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (23) පැවැත්වුණා.

මේ අතර, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා ඉතාලියේ වෙරෝනා හිදී එරට සිටින ශ්‍රී ලාංකිකයන් ඊයේ (23) විරෝධතාවයේ නිරත වුණා.

******************************************

අන්ධානුකරණයෙන් ආණ්ඩුව තුළ වැඩ කිරීමට ශ්‍රී.ල.නි.ප. ය සූදානම් නැහැ – මහලේකම් දයාසිරි

(24.10.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

අන්ධානුකරණයෙන් ආණ්ඩුව තුළ වැඩ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ අද (24) පැවති වැඩසටහනකින් අනතුරුව අදහස් දක්වමින්.

මේ අතර, ජාතික වැඩපිළිවෙලක් ඇති කිරීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ වලට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද තමන් ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ආනමඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක අද (24) පැවති වැඩසටහනට එක්වෙමින් ෴

******************************************

25-10-2021

******************************************

කුසිනාරා නුවර යන්න ඉදපු සාමනේර හිමිවරුන්ගේ නම් කැපුවේ කවුද? මේක පාපයක් නෙවේ මහත්තයෝ සාපයක් (23.10.2021)

******************************************

පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ගනුදෙනු පහසු කෙරෙන නව ක්‍රමයක් : Lanka QR

(25.10.2021 – 12:25 +0530 – sinhala.adaderana.lk)

‘ලංකා QR’ (Lanka QR) කේත ක්‍රමය හඳුන්වා දීම අද (25) ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී සිදුකෙරුණි.

පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට පහසුවෙන් ගනුදෙනු කළ හැකි ක්‍රමවේදයක් ලෙස ජනතාව අතරට එම තාක්ෂණික භාවිතය හඳුන්වාදීම මෙහි අරමුණය.

රජයේ ආයතන සඳහා ගාස්තුවකින් තොරව ක්‍රියාත්මක කිරීමටත් වෙනත් ගණුදෙනුවලදී සියයට දශම 5 ක (0.5%) පමණක් අය කිරීමක් මඟින් QR කේත ක්‍රමය හරහා සේවය සලසා ගත හැකිය.

විදේශ මුදල් මෙරටට ගෙන්වා ගැනීමේදී ද එම භාවිත කිරීමට සැලසුම් කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු මහ බැංකු අධිපතිවරයා,

“අපි දන්නවා දැනට අමෙරිකානු ඩොලර් බිලියන 7 ක පමණ මුදල් ශ්‍රී ලංකාව ට මැදපෙරදිග හා වෙනත් රටවල් හරහා ප්‍රේෂණය වෙනවා. අපේ විදේශ විනිමය හා විදේශ ගිණුමට ඉතා හොඳ රුකුලක් වෙලා තියෙනවා. ඒ වුණත් අපි දන්නවා වෙනත් මාර්ග හරහා මුදල් මේ රටට ප්‍රේෂණය වෙනවා. අපිට සමහරවිට ලැබෙන්න තියෙන මුදලට වඩා අඩු මුදලක් තමයි අපිට නිල වශයෙන් රටට එනවා කියලා ගණනය කරන්න වෙලා තියෙන්නේ. අපි දැනටමත් ‘එස්එල් රෙමිට්ස්’ යන නම හරහා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාමත් ඉක්මනින් අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ඉතා වැදගත්. එතකොට තමයි රටට ගලාඑන්න ට තියෙන මුදල් අපේ රටට සාර්ථකව ගලාඑන්න පුළුවන් විදියට සැකසෙන්නේ. මම හිතන්නේ එය සාර්ථකව අපිට කර ගන්න පුළුවන් වුණොත් තවත් අමෙරිකානු ඩොලර් බිලියන 2 ක පමණ මුදලක් අපේ රටට ප්‍රේෂණය වෙන්න මඟ පාදන්න පුළුවන්.”

මේ අතර ලබන වසරේ මුල් කාර්තුව තුළ දී ඉහළම තාක්ෂණයෙන් යුතු ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් මෙරට ජනතාවට ලබාදීමට කටයුතු කරන බව එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Lanka QR Nationwide Rollout Campaign (25.10.2021)

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගනුදෙනු ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින්, මහ බැංකුව අද (25.10.2021) ‘LANKAQR’ ජාතික ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.

******************************************

‘සති අග අරුණ’ කර්තෘ පැය හතරහමාරක් (4½) CID යේ

(25.10.2021 – 02:00 +0530 – mawbima.lk)

‘ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29 ක් පෞද්ගලික ගිණුමකට’ යන මැයෙන් ඊයේ (24 දා) සති අග ‘අරුණ’ පුවත්පතේ පළවූ ප්‍රධාන පුවත පිළිබඳව ඊයේ (24) දිනයේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවූ එහි කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා ගෙන් පැය හතර හමාරක් (4½) මුළුල්ලේ ප්‍රශ්න කර තිබේ.

මේ ආකාරයෙන් ඉලේපෙරුම මහතාගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කර ඇත්තේ එම පුවත පිළිබඳව සියලු පාර්ශ්ව කැඳවා විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවය.

මෙහිදී එම පුවතට අදාළ මූලාශ්‍ර සපයාගත් ආකාරය පිළිබඳවත් මහජන බැංකුවේ සභාපතිවරයා ඒ පිළිබඳව කර තිබූ ප්‍රකාශය පිළිබඳවත් ‘අරුණ’ කතුවරයාගෙන් සී.අයි.ඩී.ය දිගින් දිගටම ප්‍රශ්න කර ඇතැයිද වාර්තා වේ.

ඊට අමතරව එම පුවත ලියූ මාධ්‍යවේදී උදයජීව ඒකනායක මහතා ගෙන්ද පැය දෙකක (2) පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ.

ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් මූලාශ්‍ර කොටගෙන අදාළ පුවත සැකසූ බවත් ඒ පිළිබඳ සියලු වගකීම් තමන් භාරගන්නා බවත් ‘අරුණ’ කතුවරයා සී.අයි.ඩී.ය හමුවේ පවසා ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

නැනෝ නයිට්‍රජන් ගෙන්වීමේදී කළ ගැහිල්ලක් ගැන විජිත හේරත්ගෙන් හෙළිදරව්වක්

(23.10.2021 – 10:45 +0530 – mawbima.lk)

ඉන්දියාවෙන් ආනයනය කළ නැනෝ නයිට්‍රජන් පොහොර සඳහා ගෙවීමක් වශයෙන් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන1.275 ක් පෞද්ගලික සමාගමක ගිණුමක තැන්පත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවට හෙළිදරව් කළේ ය.

‘පොහොර ආනයනය සඳහා ඉන්දියානු ගොවි පොහොර සමුපකාර සමාගමට (IFFCO) ගෙවීම් සිදු කළේ කෙසේ ද’ යන්න පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බව ද ඔහු පැවසී ය.

‘ඔක්තෝබර් 18 මේවා ආනයනය සඳහා ඩොලර් මිලියන 1.275ක් ගෙවන ලෙස මහා භාණ්ඩාගාරය මහජන බැංකුවෙන් ඉල්ලීමක් කළ බවත් නියමිත ක්‍රියාවලිය වනුයේ ලංකා පොහොර සමාගම විසින් පවත්වාගෙන යන ගිණුම්වලින් ගෙවීම් සිදුකිරීම’ යනුවෙන් බවත් ඔහු පැවසී ය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මැදිහත් වී මහජන බැංකුවේ වෙනම ගිණුමක් විවෘත කරන ලෙස නියෝග කළ බවට මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මැදිහත් වී මහජන බැංකුවට එහි ටවුන්හෝල් ශාඛාවේ ‘එක්සත් ගොවිජන භාර සීමාසහිත අරමුදල’ නමින් වෙන ම පෞද්ගලික ගිණුමක් විවෘත කරන ලෙස නියෝග කර ඇති බව මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.

මහජන බැංකුවට අයත් අරමුදල් පෞද්ගලික සමාගම් ගිණුමකට මාරු කර ඇති අතර මෙය සුළු මුදලක් නොව ඩොලර් මිලියන 1.275 ක් බවත් ඒ අනුව රුපියල්වලින් කෝටි 29 ක් බවත් ඔහු පැවැසී ය.

මෙම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස මොහාන් පෙරේරා, ජී.එම්. වීරසිංහ යන අය නම් කර ඇති බවත් ඔවුන් රජයේ සේවකයන් ද? යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ ය.

‘එක්සත් ගොවි ට්‍රස්ට් ලිමිටඩ්’ විසින් ඉන්පසුව ඩොලර් 300,000 ක් එම සමාගමට ගෙවා ඇති අතර තවත් ඩොලර් 50,000 ක භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ලෙසත් ඩොලර් 37,000 ගෙවීම් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව, ඉතිරි මුදල්වලට සිදුවූයේ කුමක්දැයි ප්‍රශ්න කළ ඒ මහතා පෙන්වා දුන්නේ, ඉතිරි මුදල් රුපියල් බවට පරිවර්තනය කරන ලෙස ‘එක්සත් ගොවිජන භාර සමාගමේ’ අධ්‍යක්ෂවරයා මහජන බැංකුවෙන් දිගින් දිගටම ඉල්ලීම් කර තිබෙන බව ද මේ පිළිබඳව වහා ම සොයා බලන ලෙස මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේ ය.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිතුරු දෙමින් කියා සිටියේ, පොහොර ආනයනය සඳහා පහසුකම් සැපයුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය බවත් IFFCO විසින් ශ්‍රී ලංකාවේ එහි නියෝජිතයා ලෙස ‘එක්සත් ගොවි ට්‍රස්ට් ලිමිටඩ්’ පත් කළ බවත් ය.

එම නිසා රජය විසින් නම් කරන ලද නියෝජිතයාට මුදල් ගෙවා පොහොර ආනයනය සඳහා විවෘත කළ බව ද ඔහු සඳහන් කළේ ය ෴

නැනෝ නයිට්‍රජන් පොහොර ගේද්දි රුපියල් කෝටි ගානක් වංචා කරලා – CID යට ආපු සමගියෙන් සැර කතා (25.10.2021)

++++++++

ඉන්දියාවෙන් පොහොර ගේද්දි කොමිස් කුට්ටි කාගේ සාක්කුවටද? සෞභාග්‍ය දැක්ම අභාග්‍යයේ දැක්මක් – මුජිබර් කියයි (23.10.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *