බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය හෙට (25) සිට – දුම්රිය සීසන් බලන්න පොලිසිය

බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය හෙට (25) සිට – දුම්රිය සීසන් බලන්න පොලිසිය

*********************************************

බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය හෙට (25) සිට – දුම්රිය සීසන් බලන්න පොලිසිය

(24.10.2021 – 08:35 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ධාවනය බස්නාහිර පළාත තුළ පමණක් හෙට (25) සිට ආරම්භ වනවා.

ඒ අනුව ගමන්වාර 133 ක් හෙට (25) සිට ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන අතර දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි පුද්ගලයින්ට පමණක් හෙට (25) සිට දුම්රිය භාවිත කළ හැකියි.

එසේම, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීම සඳහා දුම්රිය ස්ථානවලට පොලිස් නිලධාරීන්ද යෙදවීමට කටයුතු කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ.

දුම්රිය ධාවන කාලසටහන :

+++++++++++++++

යළි කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම වළක්වාගැනීමට පියවර ගන්නැයි ඉල්ලීම්

(24.10.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

යළි කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම වළක්වා ගැනීම සඳහා පුද්ගල ඒකරාශී වීම් සහ උද්ඝෝෂණ සීමා කිරීමට පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඊයේ (23) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 554 ක් වාර්තා වූ අතර ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,35,529 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,593 ක් දක්වා ඉහල නංවමින් ඊයේ (23) වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 19 ක්.

මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා ආසාදිත දරුවන් සංඛ්‍යාව අඩු වීම හේතුවෙන් එහි කොරෝනා සඳහා යොදා ගැණුනු වාට්ටු නැවතත් සාමාන්‍ය රෝගීන් සඳහා වෙන් කර තිබෙනවා.

මේ අතර, යළි කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම වළක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන පුද්ගල ඒකරාශී වීම් සහ උද්ඝෝෂණ සීමා කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ කොරෝනා අහඹු පරීක්ෂණ සිදු කිරීමටද අවධානව යොමු කළ යුතු බවයි.

මේ අතර කඨින පිංකම්වලට අමතරව ඉස්ලාම්, හින්දු සහ කතෝලික දේව මෙහෙයන් සඳහාද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් 50 දෙනෙකුට සහභාගීවීමට අවසර ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

මේ අතර වයස 16 ත් 19 ත් අතර පාසල් සිසුන් එන්නත්කරණය කිරීමේදී මව්පියන්ගේ අනුමැතිය අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

කොවිඩ් 19 වයිරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 16 ත් 19 ත් අතර පාසල් සිසුන්ට එන්නත්කරණය මේව නවිට ආරම්භ කර ඇති අතර, අදාළ වැඩසටහන යටතේ සෑම සෙනසුරාදා දිනකම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තුළ එම එන්නත් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

වයස අවුරුදු 16 ත් 19 ත් කාණ්ඩයට අයත් පාසල් ළමුන් 75,000 කට ඔක්තෝබර් මස 21 වන විට එන්නත් ලබා දුන් අතර වයස අවුරුදු 12 – 19 ත් අතර විශේෂ ආබාධ සහිත දරුවන් 16,295 කට මේ වන විට එන්නත් ලබා දී අවසන්.

මෙම කාණ්ඩ දෙකටම (2) සති දෙකක් (2) තුළ එන්නත් ලබා දීම සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

මේ අතර සිසුන් සියයට (100) අඩු උපකාරක පන්ති නොවැම්බර් පළමුවනදා (01) සිට යළි ආරම්භ කිරීමටත් අදාළ මාර්ගෝපදේශ කඩිනමින් නිකුත් කිරීමට කොවිඩ් මර්දන කමිටුවේදී තීරණය වී තිබෙනවා.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලද විගස උපකාරක පන්ති ආරම්භ කරන බවයි.

එමෙන්ම සියලු දහම් පාසල් වල 8 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණි දක්වා නොවැම්බර් 07 වනදා සිට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතිය ඉල්ලා සිටි බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ විශ්වවිදයාල යළි ආරම්භ කිරීම පිළිබඳවද ලබන සතියේ ප්‍රකාශයක් නිකුත් කරන බවයි ෴

++++++++++++++++

ඊයේ (23) දිනයේදී 1,26,487 දෙනෙකුට කොරෝනා එන්නත්

(24.10.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (23) දිනයේදී මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 33,295 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 608 ක්. මීට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (23) දිනයේදී 6,542 දෙනෙකුට ලබාදී ඇති අතර, දෙවන (2) මාත්‍රාව 82,688 දෙනෙකුට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාවද ඊයේ (23) දිනයේ 3,054 දෙනෙකුට ලබාදී ඇති අතර, මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව 240 දෙනෙකුට ලබාදී තිබෙනවා.

ඊට අමතරව රුසියානු ස්පුට්නික් කොරෝනා එන්නතේ දෙවන (2) මාත්‍රාවද ඊයේ (23) පුද්ගලයන් 60 දෙනෙකුට ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

Progress Report of COVID-19 Immunization – 2021-10-23 (pdf)

++++++++++++++++

මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්ට කොරෝනා

(24.10.2021 – 10:49 +0530 – hirunews.lk/sinhala)

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත ඔහු සඳහන් කළේ තමාට පසුගිය දින දෙක (2) තුල උණ තත්ත්වයක් පැවති හෙයින් කොරෝනා පරීක්ෂාවකට ලක් වූ බවයි.

එහිදී තමා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනු බව ද ඔහු සඳහන් කළා.

සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා පසුගිය සිකුරාදා දිනයේදී ද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වුණා ෴

******************************************

පාසල් හෙට (25) ඇරඹෙයි – දෙමව්පියන් පාසල් පිරිසිදු කිරීමේ කටයුතුවල

(24.10.2021 – 11:57 +0530 – hirunews.lk/sinhala)

අන්තර් පළාත් සංචරණ සීමා යටතේ වුවද අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා පළාත් අතර සංචරණයට අවස්ථාව හිමි බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.

දිවයින පුරා සියලු පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා වූ ප්‍රාථමික ශ්‍රේණි හෙට (25) සිට යළි ආරම්භ වනවා.

මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක පාසල් පිරිසිදු කිරීමේ කටයුතු සිදුවන ආකාරය දක්නට ලැබුණා.

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ හෙට (25) දිනයේ යළි ආරම්භ කිරීම සඳහා අද (24) එම පාසල් සූදානම් කිරීමේ කටයුතු සිදුවන බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

විශේෂයෙන් මාස කිහිපයකට පසු දරුවන් පාසලට යොමු කිරීමට ලැබෙන අවස්ථාව වෙනුවෙන් දෙමව්පියන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව පාසල් පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකරන බව සඳහන්.

බොහෝ පාසල් පවිත්‍ර කිරීම දුෂ්කර කාර්යයක් වී ඇත්තේ මාස ගණනාවක් එම පාසල් වසා දැමීම හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍ර වී ඇති තත්ත්වය හේතුවෙන්.

කෙසේ වෙතත්, අද (24) පස්වරුව වනවිට හෙට (25) දිනයේ පාසල් ආරම්භ කළ හැකි වන පරිදි පාසල් සකස් වනු ඇති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

මේ අතර සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ පාසල් ඇරඹීමට රජය ක්ෂණික තීන්දුවක් ගැනීම නිසා තමන් ගැටලුවකට මුහුණ පා ඇති බවයි.

පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී රියදුරන් හා සහයකයන් අනිවාර්යයෙන් එන්නත්කරණයට ලක්වූවන් විය යුතු බව පොලිසිය පවසනවා.

සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ කොවිඩ් රෝග ලක්ෂණ සහිත හෝ ආසාදිතයින්ගේ ආශ්‍රීතයින් ලෙස හඳුනා ගැණුනු දරුවන් පාසල් එවීමෙන් වළකින ලෙසයි.

මේ අතර දැනට වර්ජන ක්‍රියාමාර්ගයක නිරතව සිටින ගුරු විදුහල්පති වෘත්තිය සමිති හෙට (25) සිට අධ්‍යයන කටයුතු සඳහා දායකත්වය ලබාදීමට මීට පෙර තීරණය කර තිබුණා.

මේ අතර පාසල් විවෘත කිරීම විධිමත් සැලසුමකින් තොරව සිදුකර ඇති බව ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එය නියෝජනය කරන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ වැටුප් ගැටලුවට එරෙහිව හෙට (25) සිට පාසල් තුල අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

මේ අතර, දරුවන් යම් අසනීප තත්වයකින් පසු වන්නේ නම් ඔවුන් පාසල් වෙත එවීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔවුන්ට පැරණි මිතුරන් කලකට පසු මුණගැසේවි. අලුත් මිතුරන් හඳුනාගන්නටත් අවස්ථාව ලැබේවි. නමුත් කොවිඩ් අවදානම හමුවේ මේ සියලු අත්දැකීම් ලබාගන්නට දරුවන්ට සිදුව තිබෙන්නේ අතේ දුරින්.

එසේත් නැතිනම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්වයි. දරුවාගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම මව්පියන් සහ ගුරුවරුන් වන ඔබගේ වගකීමක්.

දරුවා පාසලට යාමට පෙර මුව ආවරණල විශබීජනාශක දියර ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපකරණ දරුවා වෙත ලබා දීමට මතක තබාගන්න.

සති දෙක තුනක කාලයක් යනතෙක් හෝ නිවසේ පිසූ ආහාර දරුවාට ලබා දීමට උත්සහ කිරීම වැදගත්.

වෙළඳසැල්වලින් ආහාර මිලදීගෙන දරුවාට ලබා දීම සෞඛ්‍යාරක්ෂිත නොවන බව සිහි තබාගන්න.

දරුවා පාසලට යන්නේ පාසැල් වෑන්, ත්‍රිරෝද රථ හෝ පොදු ප්‍රවාහන සේවාවක් ඔස්සේ නම් හැකිතාක් දුරස්ථභාවය ආරක්ෂා කරගන්නා ලෙස දරුවාට උපදෙස් ලබා දෙන්න.

පාසැලට ඇතුළුවීමේදී උෂ්ණත්වය මැන බැලීමට සහ දෑත් සේදීමට පහසුකම් සැපයීම විදුහල්පති ඇතුළු කාර්යමණ්ඩලයේ වගකීමක්.

එමෙන්ම ඊට යොමුවීමේ වැදගත්කමත් දරුවාට පහදා දෙන්න. පාසල තුළදී අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළද සිටිය යුතු බවට දරුවා දැනුවත් කරන්න.

පංති කාමරය තුළදීත් හැකි තාක් දරුවන් එකිනෙකා සමීප නොවන ලෙස හැසිරවීමට ගුරුවරුන් වග බලා ගතයුතුයි.

තම පෑන්ල පැන්සල්, මකන, පොත් වැනි පෞද්ගලික උපකරණ තනිව භාවිත කිරීමටත් අන් අය සමඟ බෙදාහදා ගැනීමෙන් වළකින ලෙසත් දරුවන්ට උපදෙස් ලබා දීම වැදගත්.

විශේෂයෙන් දරුවාගේ පෞද්ගලික පරිභෝජනය සඳහා වතුර බෝතලයක් නිවසෙන්ම ලබා දීමට වග බලා ගතයුතු අතර එය අන් අය සමඟ හුවමාරු කර ගැනීම අතිශය අවදානම් බව දරුවාට කියා දෙන්න.

පාසැලට ගොස් දරුවා නිවසට පැමිණෙන්නේ ඇතැම් විට වෛරසයට නිරාවරණය වී වන්නට පුළුවන්. එම නිසා දරුවා නිවසට පැමිණි විගස දරුවාගේ ඇඳුම් අනිවාර්යයෙන්ම සෝදා පිරිසිදු කරන්න.

දරුවාද ස්නානය කරවා පිරිසිදු කිරීමට වග බලා ගන්න.

මීට අමතරව දරුවන්ගේ මානසික මට්ටමද නිවසේ සිට යළි පාසලට හුරුකරවීම ප්‍රවේසමෙන් හා සැලකිල්ලෙන් සිදුකළ යුත්තක්.

එබැවින් හෙට (25) දිනයේ පාසල් අධ්‍යාපනයේ වැදගත්කම හා සුන්දරත්වය ගැන ඔබේ දරුවාට පහදාදීමත් වැදගත්වනු ඇති.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

යුද නෞකා පෙළක් කොළඹ වරායට

(24.10.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් කෙන්ට් යුද නෞකාව දැන් කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

මීටර 133 ක් දිගැති, මීටර 16 ක් පළල බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ අග්නිදිග ආසියානු බලකායට අයත් මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණියේ බංග්ලාදේශයේ චිතගොන් වරායේ සිටයි.

කෙන්ට් යුද නෞකාව ගුවන් යානා සහ නෞකා නාශක මිසයිල මෙන්ම සබ්මැරීන නාශක ටෝපිඩෝවලින් සන්නද්ධයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ එච්.එම්.එස්. කෙන්ට් නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුදුර නෞකාව සමග මේ වනවිට අභ්‍යාසයක නිරත වී සිටින බවයි.

ඊයේ (23) කොළඹ වරායට පැමිණි එම නෞකාව එම අභ්‍යාසය නිමවූ පසු දිවයිනෙන් නික්ම යනු ඇති.

මීට අමතරව, ඉන්දීය නාවික හමුදාවට අයත් තවත් යුද නෞකා දෙකක් (2) අද (24) කොළඹ වරායට පැමිණියා.

ෂාදුල් සහ මාගර් නමැති එම යුද නෞකා කොළඹ වරායේ දින කිහිපයක් රැදී සිටින අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පුහුණු අභ්‍යාස සඳහා එක්වීමට නියමිත බවයි නාවික හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 948 ක් අත්අඩංගුවට

(24.10.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 948 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ප්‍රකාශ කළා.

ඊයේ (23) පෙරවරු හතේ (7) සිට පස්වරු පහ (5) දක්වා කාලය තුළ බස්නාහිර පළාත ආවරණය වන පරිදි අදාළ මෙහෙයුම සිදුකර තිබෙනවා.

එහිදී අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 398 දෙනෙකු, විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 60 දෙනෙකු සහ දූෂණ වැරදි සම්බන්ධයෙන් 405 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවම සුදුසුකම් ගැසට් මගින් ප්‍රසිද්ධ කරයි

(24.10.2021 – 11:12 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවම සුදුසුකම් ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උද්ගාමී ඛනිජ තෙල් කර්මාන්තයට සම්බන්ධ සියලු නියාම කර්තව්‍යයන් ඉටු කිරීම සඳහායි ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවා ඇත්තේ.

ඒ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පසුගිය 06 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ 2021 අංක 21 දරණ ඛනිජ තෙල් සම්පත් පනත යටතේයි.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නිල බලයෙන් පත් වන සාමාජිකයන් හැර තවත් සිව් (4) දෙනෙකු බලශක්ති අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අතර ඔවුන් නීති, මුදල්, භූ විද්‍යා, ඛනිජ තෙල් කර්මාන්තය, කළමනාකරණය හෝ ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍ර වල ප්‍රවීණයන් විය යුතු වනවා.

ඔවුන්‍ට තිබිය යුතු අවම සුදුසුකම් ඇමතිවරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කල යුතුයි.

අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් අදාළ අවම සුදුසුකම් සපුරා ඇති බවට තනවුරු කරගෙන අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබිය යුතු බවට විධිවිධාන ඛනිජ තෙල් සම්පත් පනතට එක් කර තිබෙනවා.

එවැනි විධිවිධානයක් ශ්‍රී ලංකාවේ පනතකට එක් කළ පළමු අවස්ථාව ද මෙය බවයි බලශක්ති අමාත්‍යංශය නිවේදනය කළේ.

අතිවිශේෂ ගැසට් පත්‍රය : පිටුව 1පිටුව 2

******************************************

සාවද්‍ය ප්‍රචාරයන්ට දැඩි පියවර – ජනපති ලේකම්ගෙන් ප්‍රකාශයක්

(24.10.2021 – 12:07 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් පොහොර ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින්, ඇතැම් මාධ්‍ය තමාව ඉලක්ක කර නිර්මාණය කරන ලද සාවද්‍ය ප්‍රවෘත්ති ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර තරයේ ප්‍රතික්ෂේප කරනවා.

එම ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ද්වේශසහගතව නිර්මාණය කරන ලද ඒවා බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

රාජ්‍ය බැංකුවක ගිණුමක් විවෘත කිරීම අදාළ බැංකුව සහ ගිණුමේ හිමිකරු අතර කාර්යභාරයක් වන අතර, එහිදී නියමිත ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීම බැංකුවට අදාළ වගකීමක් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් හුවා දක්වමින්, තමා ඉලක්කකොට සැලසුම්සහගතව ගෙන යන සාවද්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් දැනටමත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ප්‍රකාශ කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *