ප්‍රමුඛත්වය ලබා දුන්නේ ගොවි ජනතාවට – ජනපති කියයි

ප්‍රමුඛත්වය ලබා දුන්නේ ගොවි ජනතාවට – ජනපති කියයි

*********************************************

ප්‍රමුඛත්වය ලබා දුන්නේ ගොවි ජනතාවට – ජනපති කියයි

(23.10.2021 – 19:00 +0530 – hirunews.lk/sinhala)

ඡන්දයට වඩා තමාට වැදගත් වන්නේ ජනතාව වෙනුවෙන් නිවැරදි තීරණ නොබියව ගැනීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

උඩුබද්දාව ප්‍රදේශයේ කාබනික වගාබිම් නිරීක්ෂණයකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගොවි ජනතාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් ඔවුන් කෙරෙහි තැබූ විශ්වාසය කඩ නොකරන බවයි.

රසායනික පොහොර ගෙන්වීම රජය තහනම් කිරීමත් සමඟ ගොවීන් කාබනික වගාවන් කෙරෙහි යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගත්තා.

සියයට සියයක් කාබනික පොහොර යොදා උඩුබද්දාව, බුන්නැහැපොළ ප්‍රදේශයේ එලෙස සාර්ථකව සිදුකෙරෙන වගාවක් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණේ අද (23) පෙරවරුවේ.

මෙම වගාබිම් සඳහා යොදන කාබනික පොහොර ගැඩවිල් පණු විශේෂයක් මඟින් නිපදවන අතර පොහොර නිෂ්පාදනය කෙරෙන මධ්‍යස්ථානයෙන් මාසිකව කාබනික පොහොර ටොන් 12 ක් පමණ නිෂ්පානද කෙරෙනවා.

ඉන් අක්කර 13 ක පමණ භූමියක වගාවන් රැසක් පවත්වාගෙන යනු ලබනවා.

ගස්ලබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරුද ගෝවා, බීට්රූට්, බටානා වැනි එළවළුද කහ සහ ආදර්ශ වී වගාවක්.

ඒ අනුව සාර්ථකව සිදුකර ඇත්තේ මෙලෙසින්.

කාබනික පොහොර නිපදවන්නේ, නරක් වූ එළවලු සහ පළතුරු මත මෙම ගැඩවිල් පණු විශේෂය වර්ධනය වීමට සැලැස්වීමෙන්.

සියයට සියයක් කාබනික පොහොර මඟින් සිදුකළ මෙම වගාව නිරීක්ෂණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගාවට යොදන කාබනික පොහොර නිෂ්පාදනය සහ ඊට අදාළ තාක්ෂණය පිළිබඳවද සොයා බැලුවා.

******************************************

ආණ්ඩුවේ පක්ෂ 11 ක නායකයන් රැස්වෙයි

(23.10.2021 – 21:38 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 ක නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් රොස්මිඩ් පෙදෙසේදී අද (23) පැවැත්වුණා.

කතාබහට ලක්ව ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සැපයුම් ගිවිසුම පිළිබඳව ඉදිරි තීරණ ගැනීමද සාකච්ඡාවේ අරමුණක් වී තිබෙනවා.

මෙම සාකච්ඡාව පැය 5 කට අධික කාලයක් පැවති බවයි වාර්තා වන්නේ.

******************************************

‘හිරු සී.අයි.ඒ.’ හෙළිකරගත් අපයෝජනය

(23.10.2021 – 22:11 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් ඇගේ මවගේ අනුදැනුම මත දීර්ඝ කාලයක සිට ලිංගික අපයෝජනයට ලක් කළ සිදුවීමක් පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු අනාවරණය කර ගත්තා.

අද (23) ‘හිරු සී.අයි.ඒ.’ හෙළිදරව්ව ඒ පිළිබඳවයි.

වයස අවුරුදු 15 ක දැරියක් වෙබ් අඩවි හරහා පුද්ගලයන් 30 කට ආසන්න පිරිසකට ලිංගික ක්‍රියාකාරකම් සඳහා අලවි කළ පුවතක් පසුගිය කාලයේ මෙරට මහත් ආන්දෝලනයක් ඇති කළා.

වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන් ආදී සමාජයේ ඉහළ තලවල පුද්ගලයන් රැසක් එම බාලවයස්කාර දැරිය මිලදී ගෙන තිබු බවත් වාර්තා වු අතර ඔවුන්ට විරුද්ධව මේ වනවිට අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මව හා නැගනිය සමග කොළඹ – රාජගිරිය ප්‍රදේශයේ ජීවත්වන වයස අවුරුදු 14 ක බාලවයස්කාර දැරියකද ලිංගික අපයෝජනයට ලක්වීමේ පුවතක් වාර්තා වන්නේ එවන් පසුබිමකයි.

ඒ තමන් දිගු කලක පටන් ලිංගික අපයෝජනයකට ලක්වන බව ඇය හිතවත් පුද්ගලයෙකුට හෙළි කිරීමත් සමගයි.

රාජගිරි‍යේ සමදරා නම් කාන්තාවක් ද දැරියව මුදලට අලෙවි කරන ජාවාරමට සම්බන්ධ බවට එහිදී කරුණු අනාවරණය වුණා.

******************************************

අපරාධ රැසකට සම්බන්ධ 3 ක් අත්අඩංගුවට

(24.10.2021 – 06:36 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල සහ ගල්කිස්ස ප්‍රදේශවල අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් අයෙක් පිළියන්දල නගරයේ රාත්‍රී කාලයේදී නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීම්වලට සම්බන්ධ අතර අනෙක් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේදී යතුරුපැදිවලින් ගොස් රන් මාල කොල්ලකෑමේ සිද්ධීන්වලට සම්බන්ධ බවටයි පොලිසිය සඳහන් කළේ.

පිළියන්දලදී අත්අඩංගුවට ගත් පුද්ගලයා මහරගම මෙන්ම පිළියන්දල ප්‍රදේශවල නිවෙස් බිඳීමේ සිදුවීම්වලට සම්බන්ධ අතර දෙහිවල පොලිසිය මගින් පවත්වාගෙන යනු ලබන නඩුවකට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අයෙක් ද වනවා.

අනෙක් පුද්ගලයා ගල්කිස්ස සහ මොරටුමුල්ල ප්‍රදේශවල මාර්ගවල ගමන් ගත් කාන්තාවන්ගේ රන් මාල කොල්ලකෑමේ සිදුවීම්වලට අදාළ අයෙක් වන අතර ඔහු ද දෙහිවල පොලිසිය මගින් පවත්වාගෙන යන නඩුවකට අදාළව විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අයෙක්.

සැකකරුවන් අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර මෝටර් රථයකින් පැමිණ රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු ද බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය විසින් අදාළ මෝටර් රථය ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (23) උදෑසන සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.

50 හැවිරිදි සැකකරු කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොරටුව සහ ගල්කිස්ස ප්‍රදේශවල රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපළ සොරකම් කිරීඋමේ සිදුවීම් 6 කට මෙම පුද්ගලයා සම්බන්ධ බවට හෙළිකරගෙන තිබෙනවා.

සැකකරු සොරකම් කළ රන් භාණ්ඩ විදේශීය මත්පැන් බෝතල් සහ මුදල් ඇතුලු දේපළ වෙනත් පුද්ගලයෙකු වෙත ලබාදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

ප්‍රවීණ රංගන ශිල්පිණී විශාඛා සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

(24.10.2021 – 07:18 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන සිනමා නිළි විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය, 65 වන වියේ පසුවුණා.

සිංහල සිනමාවේ උසම නිළිය ලෙස විරුදාවලිය ලත් විශාකා සිරිවර්ධන 1981 වසරේ රිදී තිරයට පිවිසුණේ සාරංගා චිත්‍රපටයෙන්.

ඉන් අනතුරුව සනසන්න මා, අනුරාධා, යහළු යෙහෙළි, සසර චේතනා, සුරදූතියෝ, සත්‍යග්‍රහණය, යසෝමා, සත්‍යදේවි, ඇහැලේපොල කුමාරිහාමි, සේයා ඇතුලු චිත්‍රපට රැසක රඟපෑ ඇය, 1985 වසරේ නැගී එන නිළිය ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවා.

1986 වසරේ විශාකා සිරිවර්ධනට හොඳම රඟපෑම වෙනුවෙන් ඕ.සී.අයි.සී. සිනමා සම්මානය හිමිවූයේ සුරදූතියෝ චිත්‍රපටයේ රංගනයෙන් දැක්වූ දස්කම් හේතුවෙන් ෴

******************************************

තවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර ලක්ෂ 15 ක් මේ සතියේ දිවයිනට

(24.10.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට තවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර ලක්ෂ 15 ක තොගයක් මෙම සතියේදී මෙරටට ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අජන්ත ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඉදිරි සති 2 තුල ලැබෙන පොහොර තොග සමග මෙරට වී වගාවවට පළමු නැනෝ නයිට්‍රජන් මාත්‍රාව ලබාදීමට අවශ්‍ය පොහොර ප්‍රමාණය සම්පූර්ණ වන බවයි.

ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ පළමු නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගොවීන්ට බෙදා දීමේ කටයුතු තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ඒ අනුව අම්පාර, පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ගොවීන් සඳහා එම දියර පොහොර බෝතල් ලබාදීම අදත් සිදු කෙරෙනු ඇති.

ප්‍රදේශයේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන මගින් එම බෙදාදීමේ කටයුතු සිදු කෙරෙන බවයි ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ආගමික සිද්ධස්ථානවලට නව මාර්ගෝපදේශ මාලාවක්

(23.10.2021 – 18:23 +0530 – hirunews.lk/sinhala)

විහාරස්ථානවල පෙහෝදින ආගමික කටයුතු මෙන්ම, කතෝලික, හින්දු සහ මුස්ලිම් සිද්ධස්ථානවල පූජා මෙහෙයන් බැතිමතුන් 50 කගේ උපරිමයට යටත්ව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුකළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව, බෞද්ධ බැතිමතුන්ට පොහොය දිනයන්වලදී සහ බෝධි පූජා සඳහාත් උපරිමය 50 කට යටත්ව ආගමික කටයුතුවලට සම්බන්ධ විය හැකියි.

කතෝලික, ඉස්ලාම් සහ හින්දු භක්තිකයින්ට ද විශේෂ ආගමික වැඩසටහන්වලදී උපරිමය 50 කට යටත්ව ආගමික කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව පවතිනවා.

ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව සහ පවතින මාර්ගෝපදේශ උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට අදාළ ආගමික ස්ථාන භාරකරුවන්ට වගකීම් පැවරෙනවා.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් උත්සව සංවිධානය කරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය වුවහොත් පොලීසිය දැනුවත් කිරීමට සිදුවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

විවාහ උත්සවයක් හැර වෙනත් සාද පැවැත්වීම සඳහා අවසර ලබාදී නොමැති බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

තවමත් කොවිඩ් රෝගයේ අවසන්වීමක් දක්නට නොමැති බව සියලු ජනතාව හොඳින් අවබෝධ කරගත යුතු බවද ඔහු පැවසුවා ෴

+++++++++++++++++

මෙරට වැසියන් එක්කෝටි තිස් ලක්ෂයක් (1,30,00,000) පූර්ණ එන්නත්කරණය ලබයි

(23.10.2021 – 19:03 +0530 – hirunews.lk/sinhala)

මෙරට එන්නත්කරණ වැඩසටහන අවසන් අදියරට ළඟා වී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මේ වනවිට මෙරට ජනගහනයෙන් 1,30,38,469 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති අතර, පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1,49,28,248 ක්.

අද (23) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 437 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, සුවය ලැබූ සංඛ්‍යාව 350 ක්.

එසේම, ඊයේ (22) සිදුවූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 19 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 13,593 ක්.

මේ අතර, ආගමික සිද්ධස්ථානවල පූජා කටයුතු සහ දේව මෙහෙයන් තෝරාගත් දිනවලදී පුද්ගලයින් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

මේ අතර, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් අවම කර ගැනීම සඳහා ජනතාවගේ වගකීම් සහගත හැසිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි ෴

තවත් කොරෝනා ආසාදිතයින් 116 ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව අද (23) දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 5,35,528 ක්. මෙරට මුළු ආසාදිතයින් ගණන 5,35,528 ක් වනවා ෴

++++++++++++++++++

අසනීප දරුවන් පාසල් එවන්න එපා – සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගෙන් ඉල්ලයි

(24.10.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

අන්තර් පළාත් සංචරණ සීමා හේතුවෙන් හෙට (25) සිට පාසල් වෙත පැමිණීමට නොහැකි සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ කාර්ය මණ්ඩලවලට පාසල් වෙත පැමිණීමට පහසුකම් සැපයීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ දුරස්ථ පාසල්වලට යාමට අකමැති සිසුන්ට තම ප්‍රදේශයේ පාසලක අධ්‍යාපන කටයුතු සිදු කිරීමටද අවස්ථාව ලබා දී ඇති බවයි.

මේ අතර පාසල් විවෘත කිරීම විධිමත් සැලසුමකින් තොරව සිදුකර ඇති බව ගුරු – විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

එය නියෝජනය කරන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ වැටුප් ගැටලුවට එරෙහිව හෙට (25) සිට පාසල් තුල අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

මේ අතර, දරුවන් යම් අසනීප තත්වයකින් පසු වන්නේ නම් ඔවුන් පාසල් වෙත එවීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

දිවයින පුරා සියලු පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා වන ප්‍රාථමික ශ්‍රේණි හෙට (25) සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

කොවිඩ් වසංගතය හමුවේ වසා දැමුණු මෙරට සියලු පාසැල්වල ප්‍රාථමික අංශ හෙට (25) සිට ආරම්භ කෙරෙන්නේ මාස 6 ක කාලයකට පසුවයි.

නමුත් කොවිඩ් වසංගත තත්ත්වය මෙතෙක් මුළුමනින්ම පහව ගොස් නොමැති නිසා එහි අවදානමක් තවමත් සම්පූර්ණයෙන් මැකී ගොස් නැහැ.

එම නිසා පාසැල් යන ඔබේ දරුවාගේ ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වීම ඔබේ වගකීමක්.

දරුවන් හෙට (25) පාසැලට යන්නේ මාස 6ක් වැනි දිගු කාලයක් නිවසේ ගත කිරීමෙන් අනතුරුවයි.

එම දරුවන් අතර පළමු ශ්‍රේණියට පළමු දිනයේ ඇතුළත්වන දරුවන්ද සිටිනවා.

ඒ නිසාම සියලුම දරුවන්ට හෙට (25) පාසලට යාම අලුත් අත්දැකීමක් වන්නට පුළුවන්.

ඔවුන්ට පැරණි මිතුරන් කලකට පසු මුණගැසේවි. අලුත් මිතුරන් හඳුනාගන්නටත් අවස්ථාව ලැබේවි. නමුත් කොවිඩ් අවදානම හමුවේ මේ සියලු අත්දැකීම් ලබාගන්නට දරුවන්ට සිදුව තිබෙන්නේ අතේ දුරින්.

එසේත් නැතිනම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්වයි. දරුවාගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම මව්පියන් සහ ගුරුවරුන් වන ඔබගේ වගකීමක්.

මේ අප ඔබට සිහිපත් කරන්නේ අද (24) දිනයේ ඊට සූදානම් වීමට මව්පියන්ටත් දරුවන්ටත් අවස්ථාව සැලසෙන පරිදියි.

දරුවා පාසලට යාමට පෙර මුව ආවරණල විශබීජනාශක දියර ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපකරණ දරුවා වෙත ලබා දීමට මතක තබාගන්න.

සති දෙක තුනක කාලයක් යනතෙක් හෝ නිවසේ පිසූ ආහාර දරුවාට ලබා දීමට උත්සහ කිරීම වැදගත්.

වෙළඳසැල්වලින් ආහාර මිලදීගෙන දරුවාට ලබා දීම සෞඛ්‍යාරක්ෂිත නොවන බව සිහි තබාගන්න.

දරුවා පාසලට යන්නේ පාසැල් වෑන්ල ත්‍රිරෝද රථ හෝ පොදු ප්‍රවාහන සේවාවක් ඔස්සේනම්ල හැකිතාක් දුරස්ථභාවය ආරක්ෂා කරගන්නා ලෙස දරුවාට උපදෙස් ලබා දෙන්න.

පාසැලට ඇතුළුවීමේදී උෂ්ණත්වය මැන බැලීමට සහ දෑත් සේදීමට පහසුකම් සැපයීම විදුහල්පති ඇතුළු කාර්යමණ්ඩලයේ වගකීමක්.

එමෙන්ම ඊට යොමුවීමේ වැදගත්කමත් දරුවාට පහදා දෙන්න. පාසල තුළදී අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළද සිටිය යුතු බවට දරුවා දැනුවත්
කරන්න.

පංති කාමරය තුළදීත් හැකි තාක් දරුවන් එකිනෙකා සමීප නොවන ලෙස හැසිරවීමට ගුරුවරුන් වග බලා ගතයුතුයි.

තම පෑන්, පැන්සල්, මකන, පොත් වැනි පෞද්ගලික උපකරණ තනිව භාවිත කිරීමටත් අන් අය සමඟ බෙදාහදා ගැනීමෙන් වළකින ලෙසත් දරුවන්ට උපදෙස් ලබා දීම වැදගත්.

විශේෂයෙන් දරුවාගේ පෞද්ගලික පරිභෝජනය සඳහා වතුර බෝතලයක් නිවසෙන්ම ලබා දීමට වග බලා ගතයුතු අතර එය අන් අය සමඟ හුවමාරු කර ගැනීම අතිශය අවදානම් බව දරුවාට කියා දෙන්න.

පාසැලට ගොස් දරුවා නිවසට පැමිණෙන්නේ ඇතැම් විට වයිරසයට නිරාවරණය වී වන්නට පුළුවන්. එම නිසා දරුවා නිවසට පැමිණි විගස දරුවාගේ ඇඳුම් අනිවාර්යයෙන්ම සෝදා පිරිසිදු කරන්න.

දරුවාද ස්නානය කරවා පිරිසිදු කිරීමට වග බලා ගන්න.

මීට අමතරව දරුවන්ගේ මානසික මට්ටමද නිවසේ සිට යළි පාසලට හුරුකරවීම ප්‍රවේසමෙන් හා සැලකිල්ලෙන් සිදුකළ යුත්තක්.

එබැවින් අද (24) දිනයේ පාසල් අධ්‍යාපනයේ වැදගත්කම හා සුන්දරත්වය ගැන ඔබේ දරුවාට පහදාදීමත් වැදගත්වනු ඇති.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *