උපකාරක පන්ති යළි ඇරඹෙන ලකුණු

උපකාරක පන්ති යළි ඇරඹෙන ලකුණු

*********************************************

උපකාරක පන්ති යළි ඇරඹෙන ලකුණු

(23.10.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය කොළඹදී ඊයේ (22) මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර ඊට එක්වූ එහි සභාපති අමිත් පුස්සැල්ල මහතා ප්‍රකාශ කළේ, සෞඛ්‍ය මාර්ගෝපදේෂ ලද විගස නොවැම්බර් පළමු වැනි දා (01) සිට උපකාරක පන්ති ආරම්භ කරන බවයි.

එමෙන්ම සියලු දහම් පාසල් වල 8 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණි දක්වා නොවැම්බර් 07 වැනි දා සිට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතිය ඉල්ලා සිටි බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළා.

මේ අතර විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීම පිළිබඳව ලබන සතියේ ප්‍රකාශයක් නිකුත් කරන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හිරු ප්‍රවෘත්තී අංශය කළ විමසීමකදී කියා සිටියේ.

එමෙන්ම දිවයිනේ සියලුම පාසල් වල ප්‍රාථමික අංශ ද ලබන සඳුදා (25) සිට ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර, සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම (2) ලැබූ මෙරට පුද්ගලයින්ට ෆයිසර් බයෝ එන්ටෙක් වර්ධක එන්නත් මාත්‍රාවක් ලබාදීම ලබන 01 වැනි දා සිට ආරම්භ කිරීමටයි ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

එහි දී මුළින්ම සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපොළ හා සංචාරක ක්‍ෂේත්‍රයන්හි ඉදිරි පෙළ පුද්ගලයින්ට ප්‍රමුඛතාව හිමිවනු ඇති.

මේ අතර වයස 16 ත් 18 ත් අතර පාසල් සිසුන් එන්නත්කරණයට ලක් කිරීමේදී දෙමව්පියන්ගේ අනුමැතිය අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එසේම ළමුන් සියයට (100) අඩු උපකාරක පන්ති නොවැම්බර් පළමු වැනි දා (01) සිට යළි ආරම්භ කිරීමට අදාළ මාර්ගෝපදේෂ කඩිනමින් නිකුත් කිරීමට ඊයේ (22) පැවති කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය වී ඇති බව සඳහන් ෴

++++++++++++++

ඊයේ (22) දිනයේදී 1,63,588 දෙනෙකුට කොරෝනා එන්නත්

(23.10.2021 – 10:49 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (22) දිනයේදී මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 53,632 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබා දී තිබෙනවා.

එහි දෙවන (2) මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 559 ක්.

මීට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (22) දිනයේදී 5,613 දෙනෙකුට ලබා දී ඇති අතර, දෙවන (2) මාත්‍රාව 96,227 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාවද ඊයේ (22) දිනයේ 6672 දෙනෙකුට ලබා දී ඇති අතර, මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව 885 දෙනෙකුට ලබා දී තිබෙනවා ෴

+++++++++++++++++

මෙරට ජනගහනයෙන් එක්කෝටි තිස් ලක්ෂයක් පූර්ණ එන්නත්කරණයට

(23.10.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට මෙරට එක් කෝටි තිස් ලක්ෂයක් (1,30,00,000) ජනතාව පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

අද (23) අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එක්කෝටි පනස් ලක්ෂයකට (1,50,00,000) කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු (1) මාත්‍රාව ලබා දී ඇති බවයි ෴

++++++++++++++++++

පාසල් ප්‍රාථමික අංශ ඇරඹීමට සියල්ල සූදානම් – ගුරු සංගම් අකුරට වැඩ

(23.10.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (25) සිට දිවයිනේ සියලුම ප්‍රාථමික පාසල් ආරම්භ කිරීම සඳහා මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.

සිසුන් 200 ට අඩු ප්‍රාථමික පාසල් පසුගිය 21 වනදා විවෘත කෙරුණා.

එහි දෙවන (2) අදියර ලෙසයි දිවයින පුරා සියලුම ප්‍රාථමික පාසල් සඳුදා (25) මෙලෙස විවෘත කෙරෙන්නේ.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියේ අද (23) සහ හෙට (24) දිනවල පාසල් වෙත ගොස් පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සහය දක්වන ලෙසටයි.

කෙසේ වෙතත් ‘ලංකා ගුරු සංගමයේ’ ලේකම් ජෝෂප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සිය ගුරුවරුන් පාසල් පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොමු නොකරන බවයි.

කෙසේ නමුත් ගුරුවරුන් සඳුදා (25) සිට ඉගැන්වීම් කටයුතුවල පමණක් නිරත වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

+++++++++++++++++++

12 ට අඩු ළමයින් එන්නත්කරණය ගැනත් බලාපොරොත්තුවක්

(23.10.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 12ට අඩු ළමයින් එන්නත්කරණයට අවශ්‍ය දත්ත ලබා ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවළ යටතේ අවුරුදු 16 ත් 19 ත් අතර පාසල් සිසුන් එන්නත්කරණය කිරීමේ කටයුතු මේ වනවිට බස්නාහිර පළාතේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තුළ සිදු කෙරෙනවා.

එම වැඩසටහන අද (23) නිල වශයෙන් ආරම්භ කෙරුණේ, බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්.

ඒ අනුව අද (23) සිට සෑම සෙනසුරාදා දිනකම එම කටයුතු සිදු කෙරෙනු ඇති.

සිසුන් එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට පාසල් සිසුන් 1,39,000 කට පමණ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ, එන්නත්කරණය හේතුවෙන් කිසිදු සිසුවෙකු සංකූලතාවයට ලක් වීමක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

කොවිඩ් ආසාදිත තවත් 350 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොවිඩ් රෝගින් ගණන 5,03,090 දක්වා ඉහළ යනු ඇති. මේ වනවිට කොරෝනා ආසාදිතයින් 18,311 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා ෴

තවත් කොවිඩ් ආසාදිතයින් 437 දෙනෙකු අද (23) දිනයේ මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,35,412 ක්. මේ අතර කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 350 දෙනෙකු අද (23) දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා ෴

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (23) තහවුරු කරන ලද ඊයේ (22) සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 19 ක් වාර්තා වනවා. මෙම මරණ 19 ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,593 ක් දක්වා ඉහළ ගියා.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

පහර කෑ තරුණයාට වන්දි ගෙවන්නැ යි පොලිසියේ දෙදෙනෙකුට (2) නියෝග

(23.10.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

පොලිස් භාරයේ සිටියදී අමානුෂික ලෙස පහර කෑමකට ලක් වූ තරුණයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් ලක්ෂ 10 ක වන්දි මුදලක් පෞද්ගලික වියදමින් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට (2) නියෝග කර තිබෙනවා.

අනුරාධපුර පොලිසියේ සැරයන්වරයෙකුට හා කොස්තාපල්වරයෙකුට මෙලෙස නියෝග කර ඇති අතර, ඊට අමතරව නඩු ගාස්තු ලෙස රුපියල් 25,000 බැගින් රුපියල් 50,000 ක් ද ගෙවන ලෙසටයි අදාළ පොලිස් නිලධාරින්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ.

2017 දී අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අදාළ තරුණයා නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස එල්ලා පහරදීම හේතුවෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවා.

විජිත් මලල්ගොඩ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරුවරුන්ගේ එකඟතාව මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා විසින් අදාළ තීන්දුව නිකුත්කර තිබෙනවා.

මේ අතර එරාවුර් පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු විසින් තරුණයන් දෙදෙනෙකුට (2) අමානුෂික ලෙස පහර දෙන වීඩියෝ ඇමුණුමක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ඒ සම්බන්ධ පොලිස් විමර්ශනද මේ වනවිට ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

******************************************

සමාජ සේවා විෂයට අදාළ ආයතන සියල්ල එක් අමාත්‍යාංශයකට ?

(23.10.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

සමාජසේවා විෂයට අදාළ පොදු විෂයන් හා කාර්යයන් සහිත ආයතන සියල්ල එක් අමාත්‍යාංශයක් යටතට පැවරීමේ අවශ්‍යතාව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පෙන්වා දෙනවා.

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා ඊයේ (22) රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමක් පැවැත්වුණා.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර ඇත්තේ, ආබාධිත දරුවන් පිළිබඳ සේවය කිරීමට දිස්ත්‍රික් මට්ටමින් ආයතන පිහිටුවිය යුතු බවයි.

එමෙන්ම යාචකයින් වැඩිවීම ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් එම ගැටලුව විසඳීම වෙනුවෙන් නිසි වැඩපිළිවළක් පැවතිය යුතු බවත් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ මතය වී තිබෙනවා ෴

******************************************

නීතිවිරෝධී වැලි ගොඩදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන

(23.10.2021 – 09:28 +0530 – hirunews.lk/sinhala)

අරලගංවිල – කුඩා ඔය අමුණේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, වැලි පටවා තිබූ ට්‍රැක්ටර් රථ 3 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒවායේ රියදුරන් සහ තවත් ට්‍රැක්ටර් 2 ක් පළ ගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යපාරිකයෙකු විසින් බැකෝ යන්ත්‍ර ද යොදා ගනිමින් ඊයේ (22) එම ස්ථානයේ වැලි ගොඩ දමමින් සිටි අවස්ථාවේදී උණුසුම් තත්වයක් ඇති වුණේ ප්‍රදේශවාසීන්, ගොවි සංවිධාන සහ මහා සංඝරත්නය එම ස්ථානයට පැමිණ විරෝධය පළ කිරීමත් සමඟයි ෴

******************************************

සුදුලූනු වංචාවට අදාළ ව්‍යාපාරිකයාගේ පුත්‍රයා අත්අඩංගුවට

(23.10.2021 – 10:20 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා සතොස’ ආයතනයේ සිදු වූ සුදුලූනු වංචාවට අදාළව තවත් සැකකරුවෙකු බම්බලපිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, 25 හැවිරිදි අදාළ පුද්ගලයා එම සුදුලුනු මිල දී ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා බවයි.

ඔහු, එම සමාගමට (?) රුපියල් 11,79,520 ක් වංචා කිරීම සම්බන්ධයෙන් කූට ලේඛන සකස් කිරීම හා සොරබඩු ළඟ තබාගැනීම යන වැරදි සිදු කරමින් එම වරදට ආධාර අනුබලදීම යටතේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

සැකකරු අද (23) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සුදුලුනු මිල දී ගත් ව්‍යාපාරිකයා ඇතුළු 5 දෙනා පසුගිය දා ඇප මුදා හැරුණා.

මේ අතර ගෑස් මිල ඉහළ නැංවුවද තමන්ට හිමිවන ලාභාංශවල ගැටලු පවතින බව ගෑස් අලෙවිකරුවන් චෝදනා කරනවා ෴

සුදු ලූණු වංචාවට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා රිමාන්ඩ්

(23.10.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

ලංකා සතොස ආයතනයේ සිදුවූ සුදුලූණු වංචාවට අදාළව බම්බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 25 හැවිරිදි තරුණයා මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට අද (23) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ අදාළ සුදුලූණු මිලදී ගත් බව කියන ව්‍යාපාරිකයාගේ පුත්‍රයායි.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සුදුලූණු මිලදී ගත් ව්‍යාපාරිකයා ඇතුළු 05 දෙනා පසුගියදා ඇප මුදා හැරුණා ෴

******************************************

මඩකලපුවේ දී තරුණයින් දෙදෙනෙකුට (2) පහරදුන් පොලිස් නිලධාරියාට වැඩ වරදියි

(23.10.2021 – 11:17 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනෙකුට (2) අමානුෂික ලෙස පහරදුන් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ එරාවුර් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙක් බවයි වාර්තා වුණේ.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක්ද ක්‍රියාත්මක බවයි.

අදාල පොලිස් නිලධාරියා විසින් තරුණයින් දෙදෙනාට (2) පහරදෙන ආකාරය කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝකර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වුණා.

තරුණයින්ට පහර දුන් පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරෙයි

(23.10.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුවේ දී තරුණයින් දෙදෙනෙකුට (2) පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු පොලිසියේ නිලධාරියා ඇප මත මුදා හැර තිබෙනවා.

සැකකාර පොලිස් නිලධාරියා අද (23) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔහු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එසේම, එම පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කළා.

එරාවුර් පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු විසින් තරුණයන් දෙදෙනෙකුට (2) අමානුෂික ලෙස පහරදෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයකට අදාළවයි එරාවුර් පොලීසියේ රථවාහන අංශයේ සේවයේ නියුතුව සිටි මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනුණේ ෴

******************************************

කාබනික පොහොර මඟින් සිදුකරන වගාබිමක් නිරීක්ෂණයට ජනපති එක්වෙයි

(23.10.2021 – 12:29 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (23) පෙරවරුවේ කුලියාපිටිය – උඩුබද්දාව ප්‍රදේශයේ කාබනික පොහොර මඟින් සිදුකරන වගාබිමක් නිරීක්ෂණයට එක්වුණා.

රසායනික පොහොර ගෙන්වීම රජය තහනම් කිරීමත් සමඟ ගොවීන් කාබනික වගාවන් කෙරෙහි යොමු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගත්තා.

ඒ අනුව කාබනික පොහොර යොදා උඩුබද්දාව ප්‍රදේශයේ ගොවීන් සිදුකළ වගාවන් අද (23) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිරීක්ෂණය කෙරුණා.

එළවළු, පළතුරු වර්ග රැසක් මෙන්ම තවත් බෝග රැසක් කාබනික පොහොර යොදා වගාකර සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමටයි එම ප්‍රදේශයේ ගොවීන්ට හැකිවී තිබෙන්නේ.

මෙම වගාවන් නිරීක්ෂණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොවීන් සමඟ කාබනික වගාවේ සාර්ථකත්වය පිළිබඳව ද අදහස් හුවමාරු කරගත්තා.

******************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ ගින්නේ පරිසර හානිය ගැන වාර්තාවක්

(23.10.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගින්නෙන් පරිසරයට සිදු වූ හානිය ගණනය කිරීමේ මූලික වාර්තාව නොවැම්බර් 30 වැනි දා වනවිට ලබාදීමට කටයුතු කරන බව සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසනවා.

නැව ගිනි ගැනීමේදී සිදු වූ පරිසර හානිය ගණය කිරීමේදී එම හානිය නැවත ප්‍රතිස්ථාපනය සඳහා යන වියදම් ද ඇතුළත් කර වාර්තාවක් සකස් කරන ලෙසටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට දැනුම් දී තිබුණේ.

ඒ අනුව, ප්‍රවීන මහාචාර්යවරුන් දෙදෙනෙකුගේ (2) සභාපතීත්වය යටතේ අනුකමිටු 11 ක සාමජිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් යටතේ අදාළ ගණනය කිරීම් සිදු කෙරෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *