‘නැනෝ නයිට්‍රජන්’ පොහොර භාවිතයෙන් බෝග වගාවන් 95% ක ඵලදායිතාවක්

‘නැනෝ නයිට්‍රජන්’ පොහොර භාවිතයෙන් බෝග වගාවන් 95% ක ඵලදායිතාවක්

*********************************************

‘නැනෝ නයිට්‍රජන්’ පොහොර භාවිතයෙන් බෝග වගාවන් 95% ක ඵලදායිතාවක්

(22.10.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

නැනෝ නයිට්‍රජන් පොහොර භාවිතයෙන් 95% ක ඵලදායිතාවක් බෝග වගාවන් වෙත ලැබෙන බව කෘෂි විශේෂඥයින් පෙන්වා දෙනවා.

මෙම නැනෝ තාක්ෂණය මුල්වරට සොයාගත් මෙරට මහාචාර්යවරියක වන නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය පැවසුවේ මෙය තවදුරටත් ප්‍රචලිත කළ යුතු බවයි.

මහ කන්නය සඳහා වී ඇතුළු අනෙකුත් භෝගවලට යෙදීමට නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර් ලක්ෂයක තොගයක් පසුගියදා ඉන්දියාවෙන් ආනයනය කළා.

මෙම නැනෝ නයිට්‍රජන් පොහොර ලීටර් ලක්ෂ 31 ක ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇනවුම් කර ඇති අතර තවත් ඉන් ලීටර් ලක්ෂ 4 ක ප්‍රමාණයක් මෙම සතිය තුළදී ආනයනය කිරීමට නියමිතයි.

ඉන්දියාවෙන් ආනයනය කළ මෙම නැනෝ දියර පොහොර ගොවි ජනතාවට බෙදා හැරෙන්නේ ‘නයිට්‍රෝ රාජා’ යන නමින්.

එම නයිට්‍රෝ රාජා දියර පොහොර ලේබලයේ සඳහන් වන්නේ යූරියා කැට කිලෝ ග්‍රෑම් 45 ක උරයක බලය මෙම නැනෝ පොහොර මිලි ලීටර් 500 ක බෝතලයක පවතින බවයි.

විශේෂඥයින් පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික යූරියා කැට පසට එක් කිරීමේදී ශාකයට අවශෝෂණය කර ගැනෙන්නේ 30% ක ප්‍රමාණයක් පමණක් වන අතර 70% ක ප්‍රමාණයක් පසට එක්වන බවයි.

නමුත් මෙම නැනෝ දියර පොහොර පත්‍ර මතට ඉසීම තුළින් ශාක පත්‍රවල ඇති පූටිකා මගින් පොහොර 95% ක්ම ශාකයට අවශෝෂණය කරගන්නා බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

ඒ හරහා ඵලදායිතාවය ඉහළ නංවා ගත හැකි බවද කෘෂි විශේෂඥයින් පෙන්වාදෙනවා.

මෙම නැනෝ තාක්ෂණය මුලින්ම සොයාගෙන ඇත්තේ මෙරටදී වීමත් විශේෂත්වයක්.

ඇතැම් කෘෂි විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම නැනෝ පොහොර මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි බවයි.

කෙසේ වෙතත් නැනෝ තාක්ෂණය භාවිත කිරීම මෙරට කෘෂිකර්මානත්යේ ඉදිරි පිම්මක් බවටත් මත පලවනවා.

මේ අතර මීට පෙර ලිතුවේනියාවෙන් ආනයනය කරන ලද පොටැසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික් ටොන් 30 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රාවස්තිපුර ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත ඊයේ (21) රැගෙන ආවා.

වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නිකුත් කිරීම ආරම්භ කර ඇතත් ඇතැම් ප්‍රදේශවල ගොවීන් පොහොර ඉල්ලා අදත් විරෝධතාවල නිරත වුණා.

මේ අතර සිය වගාවට අවශ්‍ය පොහොර ඉල්ලා මහවැලි හුරුලු කලාපයේ ගල්කිරියාගම මහවැලි කොට්ඨාසයේ ඒකාබද්ධ ගොවි සංවිධාන උද්ඝෝෂණයක නිරත වුණා.

පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලා රිදීමාලියද්ද කලාපයේ ගොවි සංවිධාන 28 ක ගොවි නියෝජිතයින් ද මහියංගනය – පදියතලාව මාර්ගයේ 50 කණුව මංසන්ධියෙන් ඔරුබැඳිවැව හන්දිය දක්වා පා ගමනින් පැමිණ විරෝධතාවක් පවත්වනු ලැබුවා.

මේ අතර තේ වගාව ඇතුලු සියලු වගාවන් සඳහා යෝග්‍ය කාබනික නයිට්‍රජන් දියර පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් අද (22) පොල්ගස්ඕවිට දී විවෘත කෙරුණා.

මේ අතර මෙරට එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් (70%) පමණ බෙදා හැරෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල 100% කින් ඉහළ ගොස් තිබෙනවා.

ගොවීන් පවසන්නේ කෘමිනාශක හා පොහොර හිඟය හේතුවෙන් තම වගාවන් සිදුකරගෙන යෑම අසීරු වී ඇති බවයි.

මේ අතර අද (22) පැවැති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදී ද පොහොර ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමුවුණා.

******************************************

සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න ගිය පොලිසියට එල්ල වූ විරෝධය

(22.10.2021 – 22:58 +0530 – hirunews.lk/sinhala)

කඩවත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් අනතුරුව පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පොලිස් නිලධාරීන් බීමත්ව සිවිල් ඇඳුමින් පැමිණි බවටයි.

කඩවත – කුප්පියාවත්ත – දේවානන්ද මාවත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව ඊට සම්බන්ධ වූ එක් පාර්ශ්වයක පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් සිව් (4) දෙනෙකු ඊයේ (21) රාත්‍රියේ එම ප්‍රදේශයට ගොස් තිබුණා.

එහිදී ප්‍රදේශවාසීන් පොලිසියට විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් අතර එහිදී පොලිසිය විසින් අහසට වෙඩි තැබීමක්ද සිදුකර තිබෙනවා.

පසුව අදාළ පුද්ගලයාද සමගින් මෙම සිද්ධිය ජංගම දුරකතනයකින් වීඩියෝගත කළ බව කියන පුද්ගලයෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන කඩවත පොලිසිය වෙත රැගෙන ගොස් තිබුණා.

ප්‍රදේශවාසීන් චෝදනා කළේ පැමිණිල්ලක්ද නොමැතිව පොලිසිය අනෙක් පාර්ශ්වයේ බලපෑම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවටයි.

කෙසේ වෙතත් අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගත් පාර්ශ්වයට අනෙක් පාර්ශ්වයෙන් රුපියල් 25,000 ක මුදලක් ලබාදීමේ පොරොන්දුව මත අද (22) පෙරවරුවේ සිද්ධිය සමථයකට පත්ව තිබෙනවා.

මේ අතර පසුගිය අගෝස්තු මාසයේදී කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදීම මියයාම සම්බන්ධයෙන් සාධාරණය ඉටු නොවූ බව පවසමින් මියගිය තරුණයාගේ ඥාතීන් පිරිසක් අද කඩුවෙල පොලිස් ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

******************************************

තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති අගරදගුරු හිමිපාණන් හමුවෙයි

(22.10.2021 – 23:10 +0530 – hirunews.lk/sinhala)

ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද (22) පස්වරුවේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී සාකච්ඡාවක නිරතවුණා.

******************************************

නිවසේ බිත්තියක් කඩා වැටී කුඩා දරුවෙකු මරුට

(23.10.2021 – 06:53 +0530 – hirunews.lk/sinhala)

පල්ලම පොලිස් වසමේ කටුපොත ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු මිය යාමේ සිදුවීමක් වාර්තා වෙනවා.

අනතුරට ලක් වූ දරුවා බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ව මිය ගිය බවට යි වාර්තා වෙන්නේ.

මරණකරු වයස අවුරුදු 12 ක පල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය හලාවත රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පල්ලම පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

******************************************

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අල්ලයි

(23.10.2021 – 07:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු මුලතිව් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුලතිව්, උඩප්පුකුලම ප්‍රදේශයේ දී ඊයේ (22) මෙම සැකකරු අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

විශ්වමඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු 30 හැවිරිදි වියේ පසුවන අයෙක්.

සැකකරු අද (23) දිනයේ දී මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ හමුව ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

මැතිවරණ කොමිසමෙන් ආණ්ඩුකාරවරුන්ට දැනුම්දීමක්

(23.10.2021 – 07:15 +0530 – hirunews.lk/sinhala)

විෂමාචාර සිදුකරන පළාත් පාලන ආයතන නියෝජිතයන්ට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුකාරවරුන් විසින් සිදුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අදාළ විෂමාචාර සහ හැසිරීම් තුලින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහ පළාත් පාලන ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටෙමින් පවතින බව මැතිවරණ කොමිසමේ අදහසයි.

ඒ අනුව, අදාළ සිදුවීම් විමර්ශනය කර වැරදිකරුවන් වන පුද්ගලයන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව අදාළ පක්ෂවල ලේකම්වරුන්ගේ අවධානයට යොමුකිරීමට ද මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

එසේම, ආණ්ඩුකාරවරුන්ගේ බලතල ප්‍රකාරව සුදුසු පියවර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන්ට දන්වා යැවීමට ද ඊයේ (22) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළා ෴

******************************************

ඩෙංගු යළි හිස ඔසවයි

(23.10.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමග ඩෙංගු රෝගයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 21,154 ක් වාර්තා වී ඇති බවයි.

ඩෙංගු රෝගයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 10 ක්.

බස්නාහිර පළාතට අමතරව, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වනවා.

මේ වනවිටත් මදුරු මර්ධන වැඩසටහන් බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කෙරෙන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළේ.

නැවත පාසල් ආරම්භ කිරීම සිදුවන අවස්ථාවේ පාසල් පරිශ්‍ර තුල මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම ද අතිශය වැදගත් වන බවද ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කළා ෴

******************************************

උද්ධමනය ඉහළට

(23.10.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේදී 5.5% කින් ඉහළ ගොස් තිබෙනවා.

ආහාර ද්‍රව්‍යවල මිල 10% කින් පමණ ඉහළ යෑම ඊට ප්‍රධාන හේතුවයි.

පසුගිය වසර දෙකක (2) කාලය සැලකූවිට එම මිල ඉහළ යාම25% කට ආසන්නයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකයද සැප්තැම්බර් මාසයේ 147.5 දක්වා ඉහළ ගියා ෴

******************************************

අපයෝජනයට සහ අනාරක්ෂිතභාවයට ලක්වන ළමයින් පිළිබඳ දත්ත පද්ධතියක්

(23.10.2021 – 07:26 +0530 – hirunews.lk/sinhala)

ප්‍රථම වරට මෙරට අපයෝජනයට සහ අනාරක්ෂිතභාවයට ලක්වන සියලු ළමුන්ගේ දත්ත ඇතුලත් කරමින් ජාතික දත්ත පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ ජාතික ළමා රක්ෂක අධිකාරියේ මූලිකත්වයෙන්.

ඒ අනුව පොලීසිය, ග්‍රාමනිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විදුහල්පතිවරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසකට ඍජුවම එම දත්ත පද්ධතියට තොරතුරු උඩුගත කළ හැකියි.

ඒ අනුව ඊට අදාළ පියවර ගැනීම ඍජුවම සිදුවනු ඇති.

සාමාන්‍යයෙන් දිනකට ළමා අපයෝජනය, කෘරත්වය සහ අනාරක්ෂිත අවදානම් තත්වයන් සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි 35 ක් පමණ ලැබෙන අතර වසරේ පළමු මාස 09 කාලය තුල ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 7,221 ක්.

ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඊට අමතරව කළුතර, ගම්පහ, කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලින් ද ජාතික ළමා රක්ෂක අධිකාරියට පැමිණිලි වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා.

එලෙස ළමුන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා සහ ගැටලුකාරී තත්වයන් ජාතික ළමා රක්ෂක අධිකාරියේ පැය 24 පුරා ක්‍රියාත්මක 1929 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ දැනුම් දිය හැකියි ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

එන්නත් මිශ්‍රණයෙන් වැඩි ප්‍රතිඵල – නව අධ්‍යයනයකින් හෙළිවේ

(23.10.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

එන්නත් වර්ග මිශ්‍රවීමෙන් ෆයිසර් හෝ මොඩර්නා වැනි එම්.ආර්.එන්.ඒ. එන්නත්වලටත් වඩා ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනගන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

නව කොරෝනා ප්‍රභේදයන්ට එරෙහිව ද එන්නත් මිශ්‍ර කිරීමෙන් ඉහළ ප්‍රතිශක්තියක් සැළසෙන බවයි ජර්මනියේ සාලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ වෛරස් විද්‍යාඥවරියක වන මාටිනා සෙස්ටර් ප්‍රකාශ කළේ.

නව දත්තවලට අනුව සම්මත කොරෝනා එන්නත්කරණය හෝ ඒවා මිශ්‍ර කිරීම තුළින් ඉහළ ශඛ්‍යතාවක් ඇතිවන බව බ්‍රිතාන්‍ය ඔක්ස්ෆඩ් සරසවියේ වෛරස් විද්‍යාඥ මැතිව් ස්නේප් ද සඳහන් කළා.

ඔක්ස්ෆඩ් සරසවිය මෙන්ම ජර්මානු විශ්වවිද්‍යාලය ද මෙලෙස එන්නත් මිශ්‍රකරණය සම්බන්ධයෙන් අධ්‍යයනයන් සිදුකර තිබෙනවා.

ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ගොඩනැගෙන ප්‍රතිශක්තිය පිළිබඳවයි එහිදී විශේෂයෙන් අවධානය යොමුව ඇත්තේ.

මෙම නව අධ්‍යයනය පිළිබඳව සටහනක් තබන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ මෙලෙස එන්නත් මිශ්‍ර කිරීමෙන් එම්.ආර්.එන්.ඒ. එන්නත් අභිබවා කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තියක් ගොඩනැගෙන බව මෙලෙස වාර්තාවන්නේ ප්‍රථම වතාවට බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *