අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනි දා අලුයම හතරෙන් (4) පසු ඉවත් කෙරෙයි

අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනි දා අලුයම හතරෙන් (4) පසු ඉවත් කෙරෙයි

*********************************************

අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනි දා අලුයම හතරෙන් (4) පසු ඉවත් කෙරෙයි

(22.10.2021 – 12:29 +0530 – hirunews.lk/sinhala)

දැනට පනවා ඇති පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනි දා අලුයම හතරෙන් (4) පසු ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) රැස් වූ කොවිඩ් කමිටු රැස්වීමේදී තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එසේම සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයන් සඳහා කොරෝනා මර්දන වර්ධක එන්නතක් ලබාදීමටද එහිදී තීරණය කර තිබෙනවා.

මේ අතර ලබන 25 වැනි දා සිට බස්නාහිර පළාත තුළ දුම්රිය ගමනාගමනය ආරම්භ කෙරෙන අතර, එය වාරප්‍රවේශපත්‍ර හිමියන්ට පමණක් සීමා වනු ඇති.

එමෙන්ම නොවැම්බර් 01 වැනි දා සිට අන්තර් පළාත් දුම්රිය ධාවනයද ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

+++++++++++++++

වයස අවුරුදු 16 ත් 17 ත් අතර වයස් කාණ්ඩයේ පාසල් ළමයින්ට ෆයිසර්

(22.10.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ පුරා පාසල්වල එම එන්නත්කරණ කටයුතු සිදු කෙරුණු අතර, එය සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවයි සෞඛය අමාත්‍යංශය සඳහන් කළේ.

එන්නත් ලබා ගැනිම සඳහා දරුවන් වැඩි පිරිසක් පාසල වෙත පැමිණි බව ද හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

කොළඹ ප්‍රදේශයේ වයස අවුරුදු 16 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ පාසල් ළමයින්ට ෆයිසර් කොරෝනා එන්නත ලබාදීම අද (22) ඇරඹුනේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්.

ඊයේ (21) දිනයේදී මෙරට කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 75,763 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබා දී තිබෙනවා.

එහි දෙවන (2) මාත්‍රාව ලෙස ලබාදුන් සංඛ්‍යාව 786 ක්.

මීට අමතරව සයිනොෆාම් එන්නතේ පළමු (1) මාත්‍රාව ඊයේ (21) දිනයේදී 3,969 දෙනෙකුට ලබා දී ඇති අතර, දෙවන (2) මාත්‍රාව 59,428 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවන (2) මාත්‍රාවද ඊයේ (21) දිනයේ 5,834 දෙනෙකුට ලබා දී ඇති අතර, මොඩර්නා එන්නතේ දෙවන (2) මාත්‍රාව 6,180 දෙනෙකුට ලබා දී තිබෙනවා.

කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 276 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, අද (22) දින සුවය ලද පුද්ගලයින් 276 දෙනාත් සමග, මෙරට කොවිඩ් ආසාදිතව සුවය ලද මුළු පුද්ගලයින් සංඛ්‍යාව 5,02,740 ක් දක්වා ඉහළ යන බවයි ෴

++++++++++++++++++

කළු දිලීර රෝගයෙන් සිදු වූ මෙරට පළමු මරණය වාර්තා වෙයි ?

(22.10.2021 – 13:54 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් නිසා වැළඳෙන කළු දිලීර රෝගයෙන් මෙරට සිදු වූ පළමු මරණය වාර්තා වෙනවා.

ගාල්ල කරාපිටිය රෝහලෙනුයි මෙම මරණය වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා මීට සතියකට පෙර මියගිය අයෙක් වන අතර, ඔහුගේ මෘත ශරීරය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සමාධි දන්දෙණියාරච්චි විසින් සිදු කෙරුණා.

එහිදී එම පුද්ගලයාගේ පෙනහලුවල අසාමාන්‍ය රෝගී තත්ත්වයක් පැවති හෙයින්, වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සඳහා මෘත ශරීරය ඉන් අනතුරුව යොමු කෙරුණේ, රජයේ වෛද්‍ය පර්යේෂණාගාරයටයි.

එම පරීක්ෂණ වාර්තා අද (22) දිනයේදී ලැබී ඇති අතර, එහිදී තහවුරු වී ඇත්තේ, මෙම පුද්ගලයාට කළු දිලීර රෝගය ද ආසාදනය වී ඇති අතර, ඉන් මරණය සිදු වී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

අයි.ඕ.සී. තෙල් මිල ඉහළ යාමත් සමඟ සිපෙට්කෝ පිරවුම්හල් අසල දිගු පෝලිම්

(22.10.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

ලංකා අයි.ඕ.සී. සමාගම ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නැංවීමත් සමඟ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල අද (22) දිනයේ දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

ඇතැම් පිරවුම්හල්වල පෙට්‍රල් නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05 කින් ද ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 05 කින් ද ලංකා අයි.ඕ.සී සමාගම ඊයේ (21) ඉහළ දමනු ලැබුවා.

කෙසේ වෙතත්, ලංකා සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සංශෝධනය කර නොමැති බවයි ලංකා අයි.ඕ.සී. සමාගම දැනුම් දුන්නේ.

ඒ අනුව ලංකා අයි.ඕ.සී. සමාගම අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 162 ක් වන අතර, රුපියල් 111 ක්ව පැවති ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 116 ක්.

මේ අතර බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවයි.

මේ අතර ආනයනය කරන ලද කීරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් ලබන සතියේ සිට රුපියල් 125 ක මිලකට වෙළඳපොළට නිකුත් කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ, ‘සතොස කිව් ෂොප්’ අලෙවිසැල් ජාලයේ නව ශාඛාවක් පාදුක්ක ප්‍රදේශයේදී විවෘත කිරීමේ අවස්ථාවට අද (22) පෙරවරුවේ එක්වෙමින්.

මේ අතර සීනි ආනයනකරුවන්ගේ සංගමය සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අතර ඊයේ (21) සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

වෙළඳපොළේ පවතින සීනි හිඟය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවයි සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ.

******************************************

දිස්ත්‍රික් 13 ක ගොවි ජන සේවා මධ්‍යස්ථාන වෙත පොහොර බෙදා හැරේ

(22.10.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ගෙන් වූ ‘නැනෝ නයිට්‍රජන්’ පොහොර මේ වනවිට දිස්ත්‍රික් 13 ක ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම්වල මැදිහත් වීමෙන් අදාළ කටයුතු සිදුකර තිබෙනවා.

සාම්පල පරික්ෂණයේ ප්‍රතිපල ලැබුණු පසු අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා එම පොහොර ගොවීන් වෙත ලබාදීමට පියවර ගනු ඇති බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම පොහොර ‘නයිට්‍රෝ රාජා’ යන නාමය යටතේ ගොවිජනතාව වෙත බෙදා හැරෙනු ඇති.

‘නැනෝ නයිට්‍රජන්’ පොහොර ලීටර් ලක්ෂ 31 ක් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන අතර, එහි පළමු (1) තොගය පසුගියදා දිවයිනට රැගෙන එනු ලැබුවා.

අදාළ පොහොර තොග සියල්ල ලබන මස අවසානය වනවිට මෙරටට ලැබීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, ‘නැනෝ නයිට්‍රජන්’ දියර පොහොර වගාවන්ට යෙදීමේදි ප්‍රායෝගික ගැටලු මතුවිය හැකි බව කෘෂි විද්‍යා විශේෂඥයින් පෙන්වා දෙනවා.

‘නැනෝ නයිට්‍රජන්’ පොහොර භාවිතය පිළිබඳව ගොවිජනතාව දැනුවත් කිරිමට අදාළ උපදෙස් නිකුත් කිරිම ඇතුළු කරුණු සම්බන්ධයෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරින් අද (22) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවකද නිරත වුණා.

මේ අතර, මීට පෙර ලිතුවේනියාවෙන් ආනයනය කළ පොටෑසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික් ටොන් 30 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රාවස්තිපුර ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත ඊයේ (21) දිනයේ ලැබී තිබෙනවා.

ශ්‍රාවස්තිපුර ගොවිජන සංවර්ධන නිලධාරි වසන්ත කුමාර මහතා පැවසුවේ, තවත් පොහොර මෙට්‍රික් ටොන් 112 ක් පමණ ඇණවුම් කර ඇති අතර එම පොහොර තොග ඉදිරියේදී ලැබීමට නියමිත බවයි.

මේ අතර, පොහොර ඉල්ලා ප්‍රදේශ කිහිපයක ගොවිජනතාව අදත් (22) විරෝධතාවල නිරත වුණා.

******************************************

ඇමරිකාව ශ්‍රී ලංකාව සමඟ සබඳතා පුළුල් කිරීමේ අපේක්ෂාවෙන්

(22.10.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සමඟ ඵලදායී සහයෝගීතාවක් ගොඩනැංවීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කළ යුතු බව මෙරට නව තානාපතිනිය ලෙස නම් කර සිටින ජූලි චුන්ග් ප්‍රකාශ කළා.

බයිඩ්න් පරිපාලනය මගින් මෙරට තානාපතිනිය ලෙස නම් කෙරුණු ඇය, මේ බව කියා සිටියේ එරට සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ඉදිරියේ කරුණු දක්වමින්.

ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි ශ්‍රී ලංකාවේ ක්‍රමෝපාය පිහිටීම විශේෂ වැදගත්කමකින් යුක්ත වන අතර, මෙරට වරායන් වෙත ප්‍රවේශවීම, ඉන්දු පැසිෆික් කලාපය වෙත ගෝලීය නාවික ගමන් මාර්ග නිදහසේ ක්‍රියාත්මක වීමට වැදගත් වන බව ද ඇය පෙන්වා දුන්නා.

කොරියානු සම්භවයක් සහිත හිටපු ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියක වන ජූලි චුන්ග්, සෙනෙට් කමිටුව ඉදිරියේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ ලක් රජය මෙන්ම මෙරට සිවිල් සමාජය, පුද්ගලික අංශය සහ ශ්‍රී ලාංකික ජන ප්‍රජාව සමඟ ඵලදායී සහයෝගීතාවක් ගොඩනැගීමට ඇමරිකාව කටයුතු කළ යුතු බවයි ෴

******************************************

අදත් (22) පාසල්වලට ළමයින් පැමිණීමේ අඩුවක්

(22.10.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා, ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශවලට පිළිතුරු ලබාදීමට ලබන සඳුදා (25) ආණ්ඩුකාර කාර්යාලය වටලන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ, ඊයේ (21) දිනයටත් වඩා වැඩි ගුරුවරුන් පිරිසක් අද (22) දිනයේදී පාසල් වෙත වාර්තාකර නොතිබූ බවයි.

අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ, සිසුන් සහ ගුරුවරුන් පාසල් පැමිණීම ඉදිරි සතිය තුළදී තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

******************************************

උද්ඝෝෂණයකට ආ බුද්ධි අංශ නිලධාරියෙක් පළා යයි

(22.10.2021 – 13:24 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර විසින් පොහොර ගැටලුව නිරාකරණය කරන ලෙස ඉල්ලා සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් රහසේ රූගත කිරීම්ට පැමිණි බුද්ධි අංශ නිළධාරියෙකු ඒ බව හෙළිදරව් වීමෙන් අනතුරුව ස්ථානයෙන් පළාගොස් තිබෙනවා.

මෙම සිදුවීම අද (22) ගාල්ල හිනිදුම ප්‍රදේශයේ සංවිධානය කෙරුණු ගොවි විරෝධතාවකදී සිදු වූ බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ අදහස් දැක් වූ අතර, එහිදී අදාළ බුද්ධි අංශ නිලධාරියාව පෙන්වමින් ඔහු කියා සිටියේ එම පුද්ගලයා මෙම විරෝධතාව රූගත කිරීම් සඳහා පැමිණ සිටින පොලිස් බුද්ධි අංශ නිලධාරීයෙකු බවයි ෴

******************************************

ආණ්ඩුවට ජනතාව අමතකයි, සජිත්ගෙන් චෝදනාවක්

(22.10.2021 – 14:19 +0530 – hirunews.lk/sinhala)

ජනතා ආශිර්වාදයෙන් පත්ව ආ ආණ්ඩුව අද වන විට ජනතාව අමතක කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ අදහස් පළ ක‍ළේ, අද (22) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත කුරුළු උයන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

******************************************

සංචාරක නිවාඩු නිකේතනයකට බිලිවෙන සාමකුලිය රක්ෂිතය

(22.10.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම සාමකුලිය රක්ෂිතයේ සංචාරක නිවාඩු නිකේතනයක් ඉදි කරමින් සිදු කරන වන විනාශයක් පිළිබඳව වාර්තා වනවා.

ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සඳහා ජලය සපය ගන්නා වැවට ජලය සැපයෙන ඇළ හරස් කරමින් තවත් කුඩා වැවක් ද ඉදිකර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *