අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව යළි ඇරඹේ

අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව යළි ඇරඹේ

*********************************************

අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව යළි ඇරඹේ

(21.10.2021 – 16:57 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නා ඉල්ලුම්කරුවන් සඳහා මෙම මස 25 වැනි දින සිට යළිත් ආරම්භ කිරීමට නියමිතයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ එකවර විශාල සේවාලාභීන් පිරිසක් ඒකරාශී වීමේ අවදානම වැළැක්වීමට, සීමිත සේවාලාභීන් පිරිසකට බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ ගාල්ල දකුණු පළාත් කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ අනුව එක්දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන සේවාලාභීන් තම ඉල්ලුම්පත ග්‍රාම නිලධාරී මගින් සහතික කර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් ශාඛා කාර්යාල වෙත යොමු කළ යුතු වනවා.

එහිදී තමන්ට පැමිණිය හැකි පහසු දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම සිදු කර ගත යුතු බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

නියමිත දිනයට සහ වේලාවට දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු අතර, එසේ පැමිණීමට නොහැකි වුවහොත් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් වෙනත් දිනයක් ලබා ගත යුතු වනවා.

මේ අතර, සාමාන්‍ය සේවය යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා අංක වෙන්කර ගත් ඉල්ලුම්කරුවන් හට ද නියමිත දිනයේදී දෙපාර්තමේන්තුව වෙත පැමිණ තම ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පහසුකම් සලසා තිබෙනවා.

එමෙන්ම සාමාන්‍ය සේවය යටතේ යොමු කරන ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරී මගින් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ හැකි අතර, ඊට අදාළ ජාතික හැඳුනුම්පත් අවම කාලයක් තුළ කඩිනමින් නිකුත් කිරීමට ද මෙතුළින් අපේක්ෂිතයි.

පැමිණෙන සියලුම සේවාලාභීන් සෞඛ්‍යාරක්ෂිත නීතිරීති පිළිපඳිමින් පැමිණීමට වගබලා ගන්නා ලෙසට ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා ෴

+++++++++++++++

තවත් ආසාදිත මරණ 19 ක්

(21.10.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) දිනයේදී සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 19 ක් තහවුරු කර තිබෙනවා. එම මරණ 19 ත් සමග මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,562 ක් දක්වා ඉහළ යනු ඇති ෴

අද (21) දිනයේදීත් මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 453 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,33,758 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ ෴

තවත් කොරෝනා ආසාදිතයින් 101 ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව අද (21) දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 554 ක් වන අතර මෙරට මුළු ආසාදිතයින් ගණන 5,33,859 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

අත්තනගල්ලේ කර්මාන්ත ශාලා ගබඩාවක විශාල ගින්නක්

(21.10.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

අත්තනගල්ල ඌරාපොල ප්‍රදේශයේ පිහිටා ඇති ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලා ගබඩාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න ඇති වීමට හේතු මෙතෙක් අනාවරණය වී නොමැති අතර අක්කර දෙකක (2) පමණ ප්‍රදේශයක් පුරා පිහිටා ඇති අදාල ගබඩාවේ ගබඩා කර ඇත්තේ මෙම ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාව හරහා නිෂ්පාදනය කෙරෙන සෝෆා ගෘහ භාණ්ඩ බවයි වාර්තා වන්නේ.

++++++++

+++++++

ඌරාපොළ දම්රෝ කර්මාන්ත ශාලාව දැවී අළුවේ

(21.10.2021 23:53 +0530 – gossiplankanews.com)

නිට්ටඹුව ඌරාපොළ ප්‍රදේශයේ දම්රෝ මෙට්ට කර්මාන්ත ශාලාවේ අද (21) දහවල් ගින්නක් හටගත්තේය.

මෙම ගින්න නිසා කර්මාන්ත ශාලාවේ ගබඩා සංකීර්ණය මුළුමණින් දැවී අළුවී ගිය අතර ආසන්න ස්ථානවල සිටි සේවකයන්ට බලාසීටීම හැර වෙනත් දෙයක් කිරීමට ඉඩක් නොවුණි.

මෙම සිදුවීම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා තහවුරු කළේය. වතුපිටිවල මූලික රෝහලද කිසිදු තුවාල කරුවෙකු නැති බව තහවුරු කර තිබේ.

ගින්න හේතුවෙන් මිලියන ගණනක් වටිනා දම්රෝ මෙට්ට විනාශ වන්නට ඇතැයි සැලකේ. තවම පාඩුව ගණන් බලා නැත.

+++++++

******************************************

ඇමෙරිකාවෙන්, ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2.5 ක ආධාර

(21.10.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට හදිසි කෙරෝනා ආධාර වශයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසනවා.

මෙම ආධාර එක්සත් ජනපද නියෝජිතායතනය හරහා මෙම ආධාර ලබාදෙන බවයි තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අමතර පරිත්‍යාගය සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමටත්, සෞඛ්‍ය සේවකයින්ට සහය ලබාදීමටත් එන්නත් කරා ප්‍රවේශය වැඩිදියුණු කිරීමටත් හේතුවනු ඇති බවයි ශ්‍රී ලංකාව සහ මාලිදිවයින් සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ අධ්‍යක්ෂ රීඩ් ඇෂ්ලිමන් ප්‍රකාශ කර ඇත්තේ ෴

******************************************

ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්

(21.10.2021 – 18:34 +0530 – hirunews.lk/sinhala)

රට තුල ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මිල වැඩි වීමක් සිදුවන බවට වන ප්‍රචාරයන් හමුවේ ඉන්ධන පිරවුම්හල් අසල අද (21) දිගු පෝලිම් පැවතීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

කෙසේ වෙතත්, පිරවුම්හල් රැසක අද (21) දිනයේ ඉන්ධන හිඟයක් පවතින බවටයි වාර්තා වුණේ.

එසේම ඇතැම් පිරවුම්හල් අසල අද (21) දිගු පෝලිම් ද දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් පැවසුවා.

මේ අතර, දැනට රට තුල පවතින තෙල් සංචිත ප්‍රමාණවත් වන්නේ නොවැම්බර් 11 වනදා තෙක් පමණක් බව ඛනිජ තෙල් වෘත්තීය සමිති ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ රට තුල ඉන්ධන හිඟයක් නොමැති බවයි.

මේ අතර, කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට බදු දීමට එරෙහිව සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර, ජාතික හිමිකම් සංවිධානය අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.

කෙරවළපිටිය යුගදනවි තාප බලාගාරයේ රජය සතු සියයට 40 ක කොටස් ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට පවරා දීමට කැබිනට් මණ්ඩලය මගින් ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා මීට පෙර අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

******************************************

නැනෝ තාක්ෂණික කාබනික වගාවට සරසවි ඇදුරු සංගමයේ විරෝධය

(21.10.2021 – 18:45 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ආනයනය කළත් පසට යෙදිය හැකි නැනෝ නයිට්‍රිජන් පොහොර නිපදවීමෙන් ශ්‍රී ලංකාවට පේට්න් අයිතිය හිමිව ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

2010 වසරේදී නැනෝ තාක්ෂණය භාවිත කරමින් නිපදවා ඇති මෙම පොහොර වර්ගයේ විශේෂත්වය වන්නේ පසට සහ වාතයට මුසුවන යූරියා ප්‍රමාණය ඉතා අවම කිරීමයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය හෙවත් ස්ලින්ටෙක් ආයතනයේ විද්‍යාඥවරියක් වන මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් නිපදවන ලද පසට යෙදිය හැකි මෙම නැනෝ නයිට්‍රිජන් පොහොර වල පේට්න් අයිතිය පසුව ඉන්දියාවේ පොහොර සමාගමක් වෙත අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

ලක් රජයේ අනුමැතියට යටත්ව එය ඩොලර් මිලියන 3 කට මෙලෙස අලෙවි කර ඇති අතර, එම මුදල් ස්ලින්ටෙක් ආයතනයේ සංවර්ධන කටයුතු සඳහා යොදාගත් බව එම ආයතනයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කාබනික වගාවන් සඳහා නැනෝ තාක්ෂණය නිර්දේශ නොකරන බවයි.

නැනෝ තාක්ෂණය මගින් නිෂ්පාදනය කරන පොහොර කෘත්‍රිමව නිපදවීම නිසා එය කාබනික පොහොර සඳහා උපයෝගි නොවන බවත් එම දියර පොහොර ශාක පත්‍ර මතට ඉසීම සඳහා නිර්දේශ කර ඇති නයිට්‍රිජන් අඩංගු සංයෝගය සියයට 4 ක් බවත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

පසුගිය මාර්තු මාසයේදී මහා පරිමාණ වානිජ නිෂ්පාදන සඳහා ඉන්දීය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලද රසායනිකයක් වන මෙම නැනෝ තාක්ෂණික පොහොර මගින් ශාකයේ නයිට්‍රිජන් අවශ්‍යතාවය සම්පූර්ණ කළ නොහැකි බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහන් කරන්නේ.

මේ අතර, පොහොර ගැටලුව සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් ද පැවැත්වුණා.

******************************************

අත්තනගල්ලේ ප්‍රාදේශීය සභාවේ ගුටිබැට හුවමාරුවක්

(21.10.2021 – 18:52 +0530 – hirunews.lk/sinhala)

අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීම අද (21) පැවති අවස්ථාවේදී උණුසුම් තත්වයක් ඇති වුණා.

ඒ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට එල්ල වූ විරෝධතාවයක් ගුටිබැට හුවමාරුක් දක්වා වර්ධනය වීමත් සමගයි.

එහිදී තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරියක සුව සැරිය ගිලන් රථයක් මගින් වතුපිටිවල රෝහලට ඇතුළත් කළා.

මේ අතර, වැලිවිටිය – දිවිතුර සහ රත්ගම ප්‍රාදේශීය සභා වල විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (21) ගෑස් සිලින්ඩර සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල හිස් අසුරන රැගෙන සභාව වෙත පැමිණ විරෝධතාවයේ නිරත වුණා. ඒ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමට විරෝධය පල කරමින්.

මේ අතර, කුලියාපිටිය නගර සභාවේ ආදාහනාගාර ගාස්තු රුපියල් දෙදහසකින් (2000) ඉහළ නංවා ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව එම නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරි මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ආදාහන කටයුතු සඳහා භාවිතා කරන ගෑස් මිල ඉදිරියේදී ඉහළ ගියහොත් පමණක් ආදාහනාගාර ගාස්තු ඉහළ නැංවීමට සභාව ඒකමතිකව තීරණය කල බවයි ෴

******************************************

අද (21) දරුවන්ගේ පාසල් පැමිණිම සියයට 16 යි – ගුරුවරුන් සියයට 26 යි

(21.10.2021 – 19:07 +0530 – hirunews.lk/sinhala)

ගුරු වර්ජනය ක්‍රියාත්මක වන පසුබිමක අද (21) දිනයේදී විවෘත කෙරුණු සිසුන් 200 ට අඩු පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීම 26% ක ප්‍රතිශතයක පැවති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ දරුවන්ගේ පැමිණීම අද (21) 16% ක අගයක පැවති බවයි.

ඇතැම් පාසල්වලට අද (21) පොලිස් ආරක්ෂාවද යොදවා තිබූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

එසේම, රත්නපුර ශ්‍රී අභයතිස්ස විදුහල අසල පාසල් ආරම්භ වුණු අද කළු කොඩි ඔසවා තිබුණා.

එසේම, සිසුන් 127 දෙනෙකු අධ්‍යාපනය ලබන කළුතර දේවානන්ද විද්‍යාලයට අද (21) පැමිණ තිබුණේ එක් (1) සිසුවෙක් පමණයි.

එහෙත් එම විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ ගුරුවරු අද (21) පාසලට පැමිණ තිබුණේ නැහැ.

වැලිමඩ – මාලිගාතැන්න විද්‍යාලයේ දරුවන් සහ ගුරුවරුන් අද (21) උදෑසන පාසලට පැමිණ සිටියත් පාසලේ ගේට්ටුව ඉබි යතුරු දමා වසා තිබුණා. පසුව ගුරුවරයෙකු විසින් අගුලුලා තිබූ ඉබි යතුරු කඩා දමා පාසල විවෘත කිරීමටයි කටයුතු කළේ.

අද (21) දිනයේදී ගුරුවරුන් පාසල්වලට පැමිණීම සැලකිල්ලට ගැනීමේදී වැඩිම ගුරුවරුන් පිරිසක් සේවයට වාර්තා කර තිබුණේ උතුර පළාතේ වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 52% ක්.

එසේම, නැගෙනහිර පළාතේ 45% ක්, ඌව පළාතේ 30% ක්, සබරගමුව පළාතේ 28% ක්, මධ්‍යම පළාතේ 20% ක්, වයඹ පළාතේ 19% ක්, බස්නාහිර පළාතේ 17% ක්, දකුණු පළාතේ 15% ක් සහ උතුරු මැද පළාතේ 12% ක් ලෙස ගුරුවරුන්ගේ පැමිණීම වාර්තා වී තිබුණා.

නැගෙනහිර පළාතේ දරුවන් 39% ක් පාසල්වලට අද (21) පැමිණ තිබූ අතර, උතුරු පළාතේ පාසල් පැමිණ තිබූ දරුවන්ගේ ප්‍රතිශතය 21% ක්.

සබරගමුව පළාතේ 18% ක්, ඌව සහ වයඹ පළාත්වල 15% ක්, උතුරු මැද පළාතේ 11% ක්, බස්නාහිර සහ දකුණු පළාත්වල 7% බැගින් දරුවන් අද පාසල්වලට පැමිණ තිබුණා.

මේ අතර, ඔක්තෝම්බර් 25 වැනිදායින් පසුව රජය විසින් තීරණය කරන ඕනෑම දිනයක ඉගැන්වීම් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව කතෝලික ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මේ අතර, වයස අවුරුදු 18 ත්, 19 ත් අතර පාසල් දරුවන්ට කොරෝනා එන්නත් ලබාදීම අද (21) දිවයින පුරා ආරම්භ කළ අතර, 16 ත්, 17 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට හෙට (22) සිට එන්නත්කරණ කටයුතු ඇරඹෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *