අද (21) පාසල් ඇරඹුණත් දරුවන්ගේ පැමිණීමේ අඩුවක්

අද (21) පාසල් ඇරඹුණත් දරුවන්ගේ පැමිණීමේ අඩුවක්

*********************************************

අද (21) පාසල් ඇරඹුණත් දරුවන්ගේ පැමිණීමේ අඩුවක්

(21.10.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් වසා දැමුණු මෙරට පාසල්වල අධ්‍යයන කටයුතු මාස හයකට (6) පමණ පසුව අද (21) ආරම්භ කෙරුණත් පාසල් දරුවන්ගේ පැමිණීම ප්‍රමාණවත් අයුරින් සිදු නොවීම සහ ගුරු වර්ජනය හේතුවෙන් බොහෝ පාසල්වල අධ්‍යයන කටයුතු අද (21) සිදු කෙරුණේ නැහැ.

කෙසේ වෙතත් පාසල් කිහිපයක විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දරුවන් පැමිණ සිටි අතර, ඒවායේ අධ්‍යයන කටයුතු සිදු කෙරුණු බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.

අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආරම්භයත් සමඟ මෙරට සියලු පාසල් වසා දැමුණු අතර, රට යළි විවෘත කිරීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ අදියර කිහිපයකින් පාසල් ආරම්භ කිරීමටයි.

ඒ අනුව අද (21) දිනයේදී දිවයින පුරා සිසුන් 200 ට අඩු පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ආරම්භ කෙරුණා.

වැටුප් විෂමතා ගැටලුව මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය අද (21) සහ හෙට (22) දිනවලත් ක්‍රියාත්මක අතර පාසල්වලට විදුහල්පතිවරුන්ල ගුරුවරුන් සහ සිසුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සොයා බැලීමක් සිදු කළා.

ඒ අනුව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ, අද (21) දිනයේදී පාසල් විවෘත කළත් අධ්‍යයන කටයුතු සිදු කරගෙන යෑම සඳහා විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවති බවයි.

එසේම, දරුවන් පාසල්වලට පැමිණීමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බවද ඔවුන් ප්‍රකාශ කළා.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පාසල්වලට පොලිස් ආරක්ෂාවද යොදවා තිබූ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

උතුරු පළාතේ පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කරගෙන යෑම සඳහා ගුරුවරුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බව හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියා.

මේ අතර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කළේ, වැටුප් ගැටලුව මුල් කරගනිමින් සිදු කරන වර්ජනය සාර්ථක බවයි.

කෙසේ වෙතත් ඔහු ඉගැන්වීම් කටයුතු සිදුකරන කොළඹ 03 අල් අමීන් විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද අද (21) සිදු කෙරුණා.

ලබන සඳුඳා (25) සිට සිය ඉල්ලීම්වලට අදාළව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කළේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ කියා සිටියේ, අද (21) දිනයේදී පාසල් රැසකම අධ්‍යයන කටයුතු සිදු කෙරුණු බවයි.

බේරුවල ප්‍රදේශයේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට එක් වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (21) දිනයේදී ඉගැන්වීම් කටයුතු සඳහා පැමිණි ගුරුවරුන්ට සිය ප්‍රණාමය පුදකරන බව සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද අද (21) පෙරවරුවේ විවෘත කර ඇති පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කළා.

++++++++++++++++++

කතෝලික පාසල් ඇරඹෙන දිනය ?

(21.10.2021 – 15:51 +0530 – hirunews.lk/sinhala)

කතෝලික පාසල්වල අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්ෂ ගැමුණු ඩයස් පියතුමාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ එලඹෙන 25 වනදායින් පසුව රජය විසින් තීරණය කරනු ලබන ඕනෑම දිනයක සිට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමට කතෝලික ගුරු සංගමය තීරණය කර ඇති බවයි.

මේ අතර දරුවන් පාසලට එවූ දෙමාපියන්ටත් එම දරුවන් වෙනුවෙන් පාසල්වලට පැමිණි විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්තූතිය පුදකර සිටින බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අද (21) දින මහරගම බෞද්ධ විද්‍යාලය, ඇතුළු පාසල් කිහිපයක අධ්‍යයන කටයුතු සහ සහභාගිත්වය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව සමඟි ජන බලවේගයෙන් පෙත්සමක්

(21.10.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ ඇමරිකානු සමාගම වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරිමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.

සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසිනුයි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටියේ කෙරවල පිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් 40% ක් වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි.

එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරටට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම කොටස් පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවද සඳහන් කළා.

කෙරවළපිටිය යුගදනවි තාප බලාගාරයේ රජය සතු 40% ක කොටස් ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට පවරා දීමට කැබිනට් මණ්ඩලය මගින් ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මීට පෙර අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඊට අමතරව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, වෛද්‍ය ගුණදාස අමරසේකර හා වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අතර 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක (2,94,00,000) මුදලක් අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු දිවි නැගුම සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව නිතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 05 වැනි දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේයි.

******************************************

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගොවීන් වෙත බෙදා හැරීම ඇරඹේ

(21.10.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ගෙන්වන ලද නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගොවීන් වෙත බෙදා හැරීමේ කටයුතු අද (21) සිට ආරම්භ වුණා.

ඒ අනුව ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා එම බෙදාහැරීමේ කටයුතු සිදු වන බවයි පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළේ.

වත්තල – හුණුපිටියේ පිහිටි කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ මධ්‍යම ගබඩා සංකීර්ණයේ සිට අදාළ දියර පොහොර තොග එහි ප්‍රාදේශීය ගබඩාවන් වෙත පිටත් කර හැරීමේ කටයුතු ඊයේ (20) පස්වරුවේ සිදු කෙරුණා.

මේ අතර, පොහොර ඉල්ලා ඇළහැර ගොවි සංවිධාන එකමුතුව සහ සමස්ත ලංකා ගොවි සංවිධාන එකමුතුව අද (21) පොළොන්නරුව – දියබෙදුම – කටුකෙළිය වෙල්යායේදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

එමෙන්ම, අර්තාපල් වගාකරුවන් සහ උඩරට ගොවීන් ද වැලිමඩ – බොරලන්ද ප්‍රදේශයේ වෙල්යායකදී මාධ්‍ය හමුවක් ඊයේ (20) කැදවා තිබුණේ සංවිධාන 22 ක් එක් කර ගනිමින්.

පොහොර ගැටලුව ගැන මැතිසබයේ පළ වුණු අදහස්

(21.10.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

පොහොර ගැටලුව සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදීත් අදහස් පළ වුණා.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අද (21) පාර්ලිමේන්තු සභා වාරයට එක්ව සිටියා.

******************************************

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ මන්දගාමී බවට කාදිනල් හිමියන්ගෙන් චෝදනා

(21.10.2021 – 13:20 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකහමාරක් (2½) ගත වනවා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය හා මියගිය අයට මොක්සුව පතමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ යැදුම් මෙහෙයක් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අද (21) පෙරවරුවේ සිදු කෙරුණා.

එහිදී අගරදගුරු හිමිපාණන් කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ තවමත් මන්දගාමී බවයි.

ඊට අමතරව අගරදගුරු හිමිපාණන් පස්වරු 05:30 ට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී දිව්‍ය පූජාවකට ද එක්වීමට නියමිතයි.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මහනුවර නව රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් අතර හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (20) පැවත්වුණා.

******************************************

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අන්තෝ ‘ජටා බහි ජටා’

(21.10.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

කොටස් හතරකට (4) කඩා අමාත්‍යාංශ බෙදා ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර අර්බුද මේ වන විට තවත් බරපතළ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

මීට මූලික වශයෙන් හේතු වී ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අතර ඇතිවී ඇති අභ්‍යන්තර ගැටුම්කාරී තත්ත්වයයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරනු ලැබූ ස්වාධීන කමිටුවේ නිර්දේශය වී ඇත්තේ, මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කිසිඳු දේශපාලනඥයකුගේ මැදිහත් වීමකින් තොරව සිදු කළ යුතු බවටයි.

එම නිර්දේශයට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා අනුමැතිය පළකර ඇතත්, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල ඊට එකඟ වී නොමැති බවටයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම මත ගැටුම් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර ගැටළු උග්‍ර කිරීමට හේතු වී ඇති අතර, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල සමග තවදුරටත් කටයුතු කළ නොහැකි බව පවසමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බවත් වාර්තා වනවා.

මීට ආසන්නතම හේතුව වශයෙන් දැක්වෙන්නේ වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ, සෞඛ්‍ය අමාත්‍යාංශ ගනුදෙනු රැසකට මැදිහත් වූ සහ බරපතළ දූෂණ චෝදනා ඇති ඖෂධ ආනයනය කරන ව්‍යාපාරිකයෙකු සමග ඇති කරගෙන ඇති සම්බන්ධතාවයි.

අදාළ ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ ද බරපතළ චෝදනා එල්ල වූ අතර, ඔහු නියෝජනය කළ ඖෂධ ආනයන ආයතනයට රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ඖෂධ ආනයනය සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් ද බරපතළ විවේචන එල්ල වුණා.

මෙම චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකය ද විශේෂ විමර්ශනයක් සිදු කළ අතර, එහි අවසන් වාර්තාව මේ දක්වාත් එළි දක්වා නැත්තේ ද අදාළ ඖෂධ ව්‍යාපාරිකයාගේ බලපෑම මත බවයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේ, ඒ සියල්ල කිසිදු පදනමක් නොමැති අසත්‍ය ප්‍රචාරයන් වන අතර, මේ සියල්ල ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව ප්‍රධාන විධායක නිලධාරියා පත්කර ගැනීමට උත්සාහ දරන කණ්ඩායම්වල ප්‍රචාරයන් බවයි.

අප සමඟ වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියට එහි ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල උල්ලංඝනය කරමින් නව ප්‍රධාන විධායක නිලධාරියකු පත් කර ගැනීමට එක් කණ්ඩායමක් උත්සාහ දැරූ බවයි.

මෙම නීතිවිරෝධී ක්‍රියාව තමන්ගේ මැදිහත් වීමෙන් ව්‍යාර්ථ කළ බවත්, මේ නිසා නොසතුටට පත් අදාළ කණ්ඩායම් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ගැටුම් ඇති බව පෙන්වමින් විවිධ ප්‍රචාරයන් සිදු කරන බවත්ය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව ප්‍රධානියකු පත් කළ යුතු බවත්, එය ලබන සඳුදා (25) තමන් විසින් කැඳවන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේදී තීරණය කරන බවත් ආචාර්ය රඹුක්වැල්ල වැඩිදුරටත් කියා සිටියා ෴

******************************************

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්

(21.10.2021 – 14:23 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි සිටි දෙමළ සිරකරුවන්ට ගිනි අවි පෙන්වා තර්ජනය කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති උපදෙස් ගෙන නිසි විමර්ශණයක් සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

ඒ, තර්ජනයට ලක් වූ බව කියන දෙමළ රැඳවියන් 08 දෙනා විසින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ පෙබරවාරි 15 වැනි දා විභාගයට අවසර දෙමින්.

ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද (21) සලකා බැලුණා.

මෙහිදි ශ්‍රේෂ්ඨාධිකරණය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ, පෙත්සම්කරුවන්ගේ ආරක්ෂාව සදහා ඔවුන් බන්ධනාගාරයෙන් ඉවත් කොට වෙනත් සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට පියවර ගන්නා ලෙසටයි ෴

******************************************

කුඩා බිළිඳියකගේ සිරුරක් ඉරණවිල මුහුදු තීරයෙන් හමුවෙයි

(21.10.2021 – 14:25 +0530 – hirunews.lk/sinhala)

හලාවත – ඉරණවිල මුහුදු වෙරළට කුඩා බිළිඳියකගේ මළ සිරුරක් ගොඩ ගසා තිබියදී අද (21) පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.

ඉරණවිල ප්‍රදේශයේ මාදැල් වාඩියක සේවකයෙකු, බිළිදියගේ සිරුර දැක දැනුම් දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම මළ සිරුර පසුගිය 18 වැනි දා මීගමුව – දුංගල්පිටිය ප්‍රදේශයෙන් මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන් වූ අවුරුදු දෙකහමාරක් (2½) වයසැති බිළිඳියකගේ සිරුර බවටයි පොලිසිය සැක පළ කරන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *