18 ත්, 19 ත් අතර සිසුසිසුවියන්ට අද (21) සිට ෆයිසර් එන්නත්

18 ත්, 19 ත් අතර සිසුසිසුවියන්ට අද (21) සිට ෆයිසර් එන්නත්

*********************************************

18 ත්, 19 ත් අතර සිසුසිසුවියන්ට අද (21) සිට ෆයිසර් එන්නත්

(21.10.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු 18 ත් 19 ත් අතර වයස් සීමාවේ පසුවන දරුවන්ට ෆයිසර් එන්නත් ලබාදීම දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් අද (21) සිට සිදු කෙරෙනවා.

ළමා රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනයේ සභාපති මහාචාර්ය ශ්‍යාමන් රජේන්ද්‍රජිත් මහතා කියා සිටියේ, මෙම වැඩපිලිවෙළ සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය නිරන්තරයෙන්ම ලැබෙන බවයි.

මේ වනවිට ක්‍රියාත්මක සායන මඟින් නිධන්ගත රෝගවලින් පෙළෙන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන් 20,000 ක් පමණ එන්නත් කර ඇති බවද ඔහු සඳහන් කළා.

මේ අතර, වයස අවුරුදු 18 ත් 19 ත් අතර කාණ්ඩයේ පාසල් දරුවන්ට දිවයින පුරා කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය කාර්යාලයේ වෛද්‍ය ටී.එම්. ජයලත් මහතා ප්‍රකාශ කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කොළඹ ඊයේ (20) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පාසල් දරුවන්ගෙන් ඉල්ලා සිටියේ, කඩිනමින් එන්නත ලබා ගන්නා ලෙසයි.

මේ අතර, ගත වූ දිනයේ කොරෝනා ආසාදිතයන් 539 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,33,305 දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 537 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩි පොකුරේ ආශ්‍රිතයන් වන අතර විදේශයන් හි සිට පැමිණි දෙදෙනෙකු (2) ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 26,088 ක්.

මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 4,93,674 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට තහවුරු කරන ලද මරණ 18 ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,543 ක් දක්වා ඉහළ ගියා ෴

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 8790 දෙනෙකු අද (21) දිනයේ සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 5,02,674 ක් ලෙසයි. මේ වනවිට කොරෝනා ආසාදිතයින් 17,298 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා ෴

+++++++++++++++++

මාස 06 කට පසු ප්‍රාථමික පාසල් 3000 ක් අද (21) ඇරඹේ

(21.10.2021 – 07:49 +0530 – hirunews.lk/sinhala)

රට පුරා පාසල් 3000 ක් මාස 6 කට පසු අද (21) විවෘත කෙරෙනවා.

ඒ අනුව ළමයින් 200 ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සිසුන් සඳහා පාසල් විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ.

කොරෝනා පැතිරීම හේතුවෙන් වසර එකහමාරක (1½) පමණ කාලයක් තිස්සේ පාසල් විටින් විට වසා දැමුණු අතර, අවසන් වරට පාසල් වසා දැමුණේ ඉකුත් අප්‍රේල් මස 09 වන දායි.

2020 වසරේ පාසල් පැවැත්වූයේ දින 40 ත් 60 ත් අතර ගණනකයි.

මේ වසරේ බස්නාහිර පළාතේ ඇතැම් පාසල් පවත්වා ඇත්තේ දින 5 ක් පමණයි.

අනෙකුත් ශ්‍රේණි සදහා පාසල් විවෘත කිරීම පසුව සලකා බලන බව අධ්‍යාපන අමත්‍යාංශය සදහන් කළා.

මේ අතර, පාසල් විවෘත කළ ද අද (21) සහ හෙට (22) සේවයට වාර්තා නොකර වැඩ වර්ජනයේ නිරත වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා ෴

+++++++++++++++++

සියලු ම වයස් කාණ්ඩවල දරුවන්ටත් හෙට (22) සිට එන්නත්

(21.10.2021 – 10:14 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 16, 17, 18 හා 19 යන වයස් සීමාවෙහි පසුවන සියලුම පාසල් සිසුන් හට හෙට (22) දිනයේ සිට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව, මෙම වයස් සීමාවේ පසුවන සිසුන් හට හෙට (22) දිනයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ලබාදෙන ෆයිසර් එන්නත් මාත්‍රාව ලැබෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

එසේ ම සංචරන සීමා බලපාන වයස අවුරුදු 16-19 අතර පාසල් සිසුන්ට ළඟ ම පිහිටි පාසලෙන් ෆයිසර් එන්නත ලබා ගත හැකි බව ද වාර්තා වෙනවා.

එමෙන්ම වයස අවුරුදු 30 ඉක්ම වූ සියලු දෙනා කොරෝනා මර්දන එන්නත්කරණයට යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන පිරිසෙන් 57% ක් මේ වනවිට එක් (1) එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවයි.

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ග්‍රෑන්ඩ්පාස් – කජිමාවත්තේ දී මනුෂ්‍ය ඝාතනයක්

(20.10.2021 – 06:50 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කජිමාවත්ත ප්‍රදේශයේ දී ඊයේ (20) දින තියුණු ආයුධයකින් පහර දී සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වාර්තා වෙනවා.

එක ම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු (2) අතර ඇති වූ මුදල් ආරවුලක් දුරදිග යාමෙනු යි මෙම ඝාතනය සිදු වී ඇත්තේ.

පිහි ඇනුම් ලද තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දි මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 26 ක් වූ ෆර්ගියුසන් පාර කොළඹ 14 පදිංචිකරුවෙක්.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මෘත ශරීරය සම්බන්ධ මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

සැකකරු මේ වෙනවිට පොලිස් අත් අඩංගුවේ පසු වෙනවා.

සැකකරු වයස අවුරුදු 28 ක පුද්ගලයෙක් වෙන අතර, ඔහු ව අද (21) දින මාළිඟාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැඩිදුර පරීක්ෂණ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් සිදු කෙරෙනු ඇති ෴

******************************************

කොහුවල හන්දියේ කොටසක ගමනාගමනයට සීමා

(21.10.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

කොහුවල ගුවන් පාළම ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ කොහුවල හන්දිය කොටසේ වාහන ගමනාගමනය අද (21) සිට සීමා කෙරෙනවා.

ඒ අනුව දෙසැම්බර් මස 20 වැනි දා දක්වා මෙම සීමා කිරීම් සිදු වන අතර, මහාමාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ, පොදු ප්‍රවාහන බස් රථ හැර සෙසු වාහනවලට හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි ෴

******************************************

අතුරුදන් වූ ඉන්දීය ධීවරයාගේ සිරුර හමුවේ

(21.10.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන් වූ ධීවරයාගේ මළ සිරුර සොයාගත් බව නාවික හමුදාව පවසනවා.

යාපනය – කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ මෙරටට අයත් මුහුදු කලාපයේදී පසුගිය සඳුඳා (18) මෙම අනතුර සිදුව තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

පසුව අදාළ ධීවරයාගේ මෘතදේහය සොයා නාවික හමුදා කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර තිබුණා.

ඒ සඳහා නාවික හමුදා කිමිඳුම් කණ්ඩායම් ඇතුළුව වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ වෙරළබඩ මුර යාත්‍රාද යෙදවීමටයි පියවර ගෙන තිබුණේ.

පසුව අදාළ ධීවරයාගේ මෘතදේහය නාවික හමුදාව විසින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය ඊයේ (20) පස්වරුවේ කන්කසන්තුරය වරායේදී සිදු කර ඇති අතර, එම ස්ථානයට යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ යාපනයේ පිහිටි ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලයේ නියෝජිතයින්ද සහභාගි වූ බවයි නාවික හමුදාව නිවේදනය කළේ.

එසේම, මෙම මෘතදේහය හඳුනා ගැනීම සඳහා නාවික හමුදාව විසින් අදාළ අනතුරෙන් මුදා ගන්නා ලද ඉන්දීය ධීවරයින් දෙදෙනාද (2) එම ස්ථානයට රැගෙන ඒමට කයිට්ස් පොලිසිය කටයුතු කර තිබෙනවා.

හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මහේස්ත්‍රාත්වරියගේ නියෝගය මත ඉදිරි නීතිමය පියවර සඳහා මෘතදේහය යාපනය ශික්ෂණ රෝහල වෙත යොමුකළ බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ ෴

******************************************

සය (6) නිවුන් දරු උපතක් ශ්‍රී ලංකාවෙන්

(21.10.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට පළමු (1) සය (6) නිවුන් දරු උපත කොළඹ පෞද්ගලික රෝහලකදී අද (21) වාර්තා වුණා

මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු සිසෙරියන් සැත්කමක් හරහා මෙම දරු උපත සිදුව ඇත්තේ අද (21) අලුයම 12:16 ත් 12:18 ත් අතර කාලය තුළදීයි.

මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැණු දරුවන් තිදෙනකු (3) සහ පිරිමි දරුවන් තිදෙනෙකු (3) යි.

31 හැවිරිදි කාන්තාවකට දාව උපන් බිළිඳුන් 6 දෙනාම ‍යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඔවුන් අතරින් දෙවනියට (2) උපත ලැබූ දරුවා පමණක් මේ වන විට දැඩි වෛද්‍ය සුපරීක්ෂාව යටතේ පසුවන අතර, මෙම නිවුන් දරුවන්ගේ මව සහ පියා කොළඹ අයි.ඩී.එච්. ප්‍රදේශයේ පදිංචිකරුවන්.

දරුවන් සම්පතක් ලෙස සලකන ශ්‍රී ලංකාවේ අද (21) වාර්තා වූ පළමු (1) සය (6) නිවුන් දරු උපත පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට බොහෝ දෙනෙකු තුල පවතින්නේ දැඩි කුතුහලයක්.

කොළඹ පෞද්ගලික රෝහලකදී අද (21) සය (6) නිවුන් දරුවන් ලෙස උපත ලැබුවේ බිලිඳුන් 3 දෙනෙකු සහ බිලිඳියන් 3 දෙනෙක්. අංගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මවක එම දරුවන්ට උපත දුන් අතර, පියා වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙක්.

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතා අදාළ සිසේරියන් සැත්කම සිදුකළ අතර, එම කටයුතු වෙනුවෙන් 30 දෙනෙකුගෙන් යුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සහය වුණා.

මෙම දරුවන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතා සඳහන් කළේ මව, දරුවන් සය (6) දෙනෙකුගේ ගැබිණියක් බවට හඳුනාගත් මොහොතේ සිට ඇය නිරන්තරයෙන් සායනික පරීක්ෂාවලට ලක් කිරීම හේතුවෙන් සාර්ථකව සැත්කම සිදුකිරීමට හැකිවූ බවයි.

නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනෙකු (2) මෙම සැත්කමට සහය දක්වා තිබුණා.

එක් (1) දරුවෙකු අධීක්ෂණය සදහා තිදෙනෙකු (3) ගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවූ බවයි මහාචාර්ය ටිරාන් ඩයස් මහතා වැඩිදුරටත් සදහන් කළේ.

පසුගිය වසරේ අගෝස්තු 08 වනදා කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන් පස් (5) නිවුන් දරු උපතක් වාර්තා වූ අතර, ගම්පහ – පැපිලියවල ප්‍රදේශයේ පදිංචි මවක එහිදී දියණියන් පස් දෙනෙකු (5) බිහි කළා.

******************************************

නයිට්‍රජන් දියර පොහොරවල ප්‍රමිතිය සහතිකයි

(21.10.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මෙරටට ගෙන් වූ නැනෝ නයිට්‍රජන් දියර පොහොර, නිසි ලෙස ප්‍රමිතිය සහතික කළ පොහොර විශේෂයක් නොවන බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කළේ, ඉන්දියාවේ පර්යේෂණ 11,000 ක් පමණ සිදු කර මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොරවල ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය තහවුරු කර ඇති බවයි.

මේ අතර, එම නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගොවීන් වෙත බෙදා හැරීමේ කටයුතු අද (21) සිට සිදු කිරීමටයි නියමිතයි.

සාම්පල පරීක්ෂණ වාර්තා මඟින් එම දියර පොහොරවල ප්‍රමිතිය තහවුරු වීමෙන් පසු ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා එම බෙදාහැරීමේ කටයුතු සිදු කරන බව පොහොර ලේකම් කාර්යාලය සඳහන් කළා.

ඒ අනුව වත්තල – හුණුපිටියේ පිහිටි කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ මධ්‍යම ගබඩා සංකීර්ණයේ සිට අදාළ දියර පොහොර තොග එහි ප්‍රාදේශීය ගබඩාවන් වෙත පිටත් කර හැරීමේ කටයුතු ඊයේ (20) පස්වරුවේ සිටම සිදු කිරීමටයි පියවර ගෙන තිබුණේ ෴

******************************************

දකුණේ මහ පරිමාණ අවි ආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු STF අත්අඩංගුවට

(21.10.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ (20) දින තිහගොඩ, යටියන, කැකණඳුර මාර්ගයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 7760 ක්, බෝර 12 ගිනි අවියක්, ගිනිඅවියට යෙදිය හැකි උණ්ඩ 10 ක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබුවා.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කර, උපයන ලද රුපියල් 20,000 ක මුදලක් සහ විවිධ අපරාධ සිදු කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන මෝටර් රථයක් ද පොලීසිය සොයා ගෙන තිබෙනවා.

මෙම සැකකරු විවිධ අපරාධ රැසකට සම්බන්ධ වූවෙකු බවත්, සැකකරුට එරෙහිව ඇති චෝදනා අතර, පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමට තැත් කිරීම, පුද්ගලයින්ට පහරදීම හා කාන්තාවන් බලෙන් පැහැරගෙන යාමට අදාළව මීට පෙර ද අධිකරණයෙහි නඩු පවරා ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

කෝට්ටවත්ත, යටියන ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු 26 හැවිරිදි වන අතර, මීට ඉහත අවස්ථා කිහිපයකදී ද තිහගොඩ පොලීසිය, පොලිස් විශේෂ කාර්යාංශය හා කොට්ඨාස බුද්ධි ඒකකය මගින් මෙන්ම අපරාධ අංශය හා දූෂණ මර්දන ඒකකය විසින් ද අදාළ සැකකරුගේ නිවස සෝදිසි කිරීම්වලට ලක් කර තිබෙනවා.

මෙම සැකකරු විසින් ඔහු පිළිබඳ පොලිස් ස්ථාන වෙත තොරතුරු ලබාදෙන පුද්ගලයින් හට පහර දීම් ද සිදු කර ඇති අතර, මීට ඉහත දී ඔහුගේ වැඩිමහල් සහෝදරයෙකු අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

******************************************

ජනපති පාර්ලිමේන්තුවට

(21.10.2021 – 10:48 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

අද (21) සහ හෙට (22) පාර්ලිමේන්තුව පැවැත්වෙන අතර පස්වරුවේ පොහොර පිළිබඳව මතු වී ඇති ගැටලු‍ සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතයි.

විපක්ෂය විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *