ආචාර්ය ගුණදාස අමරසේකර ගෙන් ජනපතිඳුන්ට හෘදයාංගම අවවාදයක්

ආචාර්ය ගුණදාස අමරසේකර ගෙන් ජනපතිඳුන්ට හෘදයාංගම අවවාදයක්

*********************************************

ආචාර්ය ගුණදාස අමරසේකර ගෙන් ජනපතිඳුන්ට හෘදයාංගම අවවාදයක්

(20.10.2021 – 17:05 +0530 – lankaleadnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා හර්දයාංගම මතක් කිරීම් සහිත ලිපියක් යොමු කරමින් සාහිත්‍ය සූරිය ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ප්‍රබල වරදක් නිවැරදි කළ යුතු බව පෙන්වා දී ඇත.

නව ව්‍යවස්ථාවක් පිළිබඳව ජනාධිපතිතුමා විසින් ම ජනිත කළ අපේක්ෂාව ඉටු කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට යෝජනා කිරීම බලවත් වරදක් බව ඔහු පෙන්වා දී ඇත.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනපතිතුමන්ට යැවූ සම්පූර්ණ ලිපිය :

අතිගරු ජනාධිපතිතුමනි,

නව ව්‍යවස්ථාවක් පිළිබඳ ජනතා අපේක්ෂාව ඉටු කිරීමට පෙර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට යෝජනා කිරීමේ වරද පෙන්වාදීම

ජාතික බලවේග විසින් රට වෙනස් කරන නව ව්‍යවස්ථාවක් පිළිබඳ ජනතා අපේක්ෂාව ජනිත කරනු ලැබුවේ ඔබතුමා බලයට පත්කිරීම සඳහා දියත් කළ මෙහෙයුමේ මූලික උපාය මාර්ගික ප්‍රවේශයක් අනුව බව ඔබතුමා ඉතා හොඳින් දන්නා කරුණකි. ඉන්පසුව සාධාරණ, යුක්ති සහගත, ආරක්ෂිත සහ සෞභාග්‍යමත් රටක් සහ රාජ්‍ය පාලනයක් පිළිබඳව ඔබතුමා විසින් රුවන්වැලි මහ සෑය අභියසදී ජනතාවට ලබාදුන් පොරොන්දුව මගින් අප විසින් ජනිත කළ අපෙක්ෂාව මහා අලෝකයක් බවට දල්වනු ලැබීය. එම ආලෝක ධාරාවෙන් උද්දාමයට පත්වූ අප රටේ තරුණ තරුණියන් රට පුරා මඟ දෙපස බිතු සිතුවම් නිර්මාණය කළ ආකාරය, පුරන් කුඹුරු අස්වැද්දූ ආකාරය, වන වගා ව්‍යාපෘති දියත් කළ ආකාරය ඔබතුමාට මතකයට නඟා ගත හැක.

එහෙත් පසුගිය ආණ්ඩුව විසින් සම්මත කිරීමට උත්සාහ කළ රට පාවා දෙන නව ව්‍යවස්ථාව මෙන්ම ඊට විකල්ප ලෙස පසුගිය ආණ්ඩුව ගෙන එනු ලැබූ 20 වැනි සංශෝධනය පරාජය කිරීම සඳහා ජාතික බලවේග විසින් කරනු ලැබූ කැප කිරීම් ඔබතුමා නොදන්නවා විය හැක. අවසාන වශයෙන් එම ආණ්ඩුව පරාජයවීමට එම පාවාදීමේ ක්‍රියාවලිය මූලික වූ බව ඔබතුමා පිළිගන්නවා ඇත. එම තත්වය තේරුම් ගනිමින් සෞභාග්‍යයේ දැක්ම මගින් රට දිනවන නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඔබතුමාගේ මූලික දස වැදැරූම් ප්‍රතිපත්තිමය රාමුවට ඇතුල් කිරීම අපි ඉතා ඉහළින් අගය කළෙමු.

මහජනයාගේ අවධාරණය පිණිස ඔබතුමාගේ වචන පුනරුච්චාරණය කිරීමට අපි කැමැත්තෙමු. “දේශපාලන පක්‍ෂවල සහ ඒවායේ නායකයින්ගේ උවමනා එපාකම් සහ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුකර තිබෙන ව්‍යාකූලතාවය පිටු දකිමින් ජනතාවගේ පරමාධිපත්‍යය ප්‍රමුඛත්වයේ තබා ක්‍රියාත්මක කරන නව ව්‍යවස්ථාවක් අපි නොපමාව ඉදිරිපත් කරමු”

ඒ අනුව ඔබතුමා විසින් පත්කළ ව්‍යවස්ථා සම්පාදක කමිටුව මේ වන විට නව ව්‍යවස්ථාවේ කෙටුම්පත සකස් කර අවසන් බව සහ එය නිතිපතිවරයාට යොමුකළ බව ගරු ජී.එල්. පීරිස් අමාත්‍යවරයා විසින් පසුගිය දිනෙක ප්‍රකාශ කරන්නට යෙදුනි. කෙසේ වෙතත් අපගේ මතය අනුව නව ව්‍යවස්ථා කෙටුම්පත නීතිපතිවරයාට යොමුකළ යුත්තේ එහි මූලික සංකල්පීය සහ උපායමාර්ගික රාමුව මහජනයා අතර සංවාදයට ලක්කිරිමෙන් පසුව බව අපි විශ්වාස කරමු. නීතිපතිවරයාගේ වගකීම වන්නේ එම නව ව්‍යවස්ථාව පවතින ව්‍යවස්ථාවට අනුකූලව ඉදිරිපත් කරනු ලබන බව සහතික කිරීම පමණි. දේශපාලන ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව මහජනයා සහ මහජන නියෝජිතයන් අතර සංවාදයක් ඇතිකරීම වැදගත්වේ. බෙදුම්වාදී, ජාතිවාදී සහ ආගම්වාදී බලවේග ඊට විරුද්ධ විය හැකි වුවත් ඔවුන් රටේ බහුතරය නොවේ. ඒ නිසා නව ව්‍යවස්ථාව පිළිබඳව විවෘතව අදහස් දැක්වීමට ඔබතුමා නිර්භිත වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

එසේම මැතිවරණ නීති සහ මැතිවරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නිර්දේශ ලබාගැනීම පිණිස 2021.04.05 දින පාර්ලිමේන්තුව විසින් පත්කරනු ලැබූ තේරීම් කාරක සභාව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එම කාරක සභාවේ සභාපති ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා විසින් මේ දිනවල දේශපාලන පක්ෂවල අදහස් ලබාගැනීම සඳහා ආරාධනා කරන බවද දැනගන්නට ඇත. එවැනි තත්වයක් තුළ එක් පැත්තකින් මැතිවරණ පැවැත්වීමට අදාල නිර්දේශ ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුල් කිරීමට පෙර එය නීතිපතිවරයාගේ මතය විමසීම සඳහා ඉදිරිපත් කිරීම වරදක් බව පෙනේ. ඊට අමතරව ඒ සියල්ලට ප්‍රථම පළාත්සභා මැතිවරණ පැවැත්විය යුතු බවට විවිධ විදේශිය සහ දේශිය බලවේග විසින් ප්‍රකාශ නිකුත් කිරීම මගින් ඔබතුමාට බලපෑම් කිරීම අපගේ විමතියට හේතු වී ඇත. එසේම ඒ මගින් නව ව්‍යවස්ථාවක් පිළිබඳ ඔබතුමාගේ අපේක්ෂාව සහ පොරොන්දුව පමණක් නොව ඔබතුමාගේ ජනවරමද අභියෝගයට ලක්වන බැවින් ඒ සියළු උත්සාහයන් අපි නිර්ධය ලෙස හෙළා දකිමු. ඊට හේතුව පවතින පළාත් රාජ්‍ය පාලන ව්‍යුහයන් යටතේ සහ පවතින මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම මගින් නව ව්‍යවස්ථාවක් පිළිබඳව මහජන විශ්වාසය බිඳ වැටෙන අතර ඔබතුමා විසින් සද්භාවයෙන් යුතුව ආරම්භකළ නව ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය අනතුරට ලක්වීමය.

ඒ නිසා නව ව්‍යවස්ථාවක ප්‍රතිපාදන යටතේ පිහිටුවනු ලබන නව පළාත් හෝ දිස්ත්‍රික් පාලන ව්‍යුහයන්ට අනුව සහ නව මැතිවරණ ක්‍රමය යටතේ පමණක් කුමන හෝ ඉදිරි මැතිවරණ පවත්වන ලෙස අපි ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. එසේම පළාත් සභා මැතිවරණය කල්දමනු ලැබුවේ පසුගිය රජය විසිනි. නමුත් ඒ පිළිබඳව උතුරේ හෝ දකුණේ ජනතාව විසින් කිසිදු විරෝධයක් දක්වා නැත. එවැනි තත්වයක් යටතේ ඔබගේ ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සඳහා ඉතිහාසය විසින් උදා කළ මනරම් දේශපාලන අවකාශය මඟහැරීම පිළිබඳව ඔබතුමා දේශපාලන අපවාදයකට ලක්වීම සාධාරණ නොවන බවද පෙන්වා දීමට කැමැත්තෙමු. ඒ නිසා ඔබතුමන් මෑතකදී ඉතා නිවැරදිව සඳහන් කළ පරිදි ජනතා විශ්වාසය නැවත දිනා ගැනීම සඳහා දැනට සිදුවෙමින් පවතින වැරද නිවැරදි කළ යුතු බවට නව ව්‍යවස්ථාව සම්මත කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ක්‍රියානොකරන බවට ස්ථිරසාර ප්‍රතිඥාවක් මහජනයාට ලබාදෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

මේ වගට

ආචාර්ය ගුණදාස අමරසේකර
කැදවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව
2021-10-20
071 725 8665

******************************************

දිය ඇල්ලක් අසල දිය නෑමට ගිය පියා සහ දරුවන් දෙදෙනා (2) මරුට

(20.10.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය එකම පවුලේ තුන්දෙනෙකු (3) දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පියා සහ දරුවන් දෙදෙනෙක් (2).

ඔවුන් අද (20) පස්වරුවේ දිය ඇල්ල නැරඹීමට සහ දිය නෑම සඳහා පැමිණි අවස්ථාවේ මෙම අනතුරට ලක්ව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

ඔවුන් කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මියගිය පුද්ගලයා 38 හැවිරිදි අයෙක් වන අතර ඔහුගේ අවුරුදු 15 ක පුත්‍රයා සහ අවුරුදු 11 ක දියණිය දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.

දියේ ගිලුණු පිරිස ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් බේරාගෙන ඇතත් ඔවුන් ඒවන විටත් මියගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

මේ අතර පසුගිය 07 වනදා ද ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයෙකු (1) දියේ ගිලීමෙන් මරණයට පත්වුණා.

ඔහු එම අනතුරට ලක්ව තිබුණේ මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගොස් සිටියදීයි ෴

******************************************

ළමයින් 200 ට අඩු පාසල් හෙට (21) සිට ඇරඹේ

(20.10.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

ළමයින් 200 ට අඩු පාසල් හෙට (21) දිනයේදී ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඒ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.

කෙසේ වෙතත්, ඔන්ලයින් වර්ජනයේ යෙදුණු ගුරු සංගම් සඳහන් කළේ තමන් හෙට (21) සහ අනිද්දා (22) දිනයේදී පාසල් පැමිණීමෙන් වැළකී සිටින බවයි.

මේ අතර, පාසල් නොපැමිණෙන වයඹ පළාතේ ගුරුවරුන්ගේ නොවැම්බර් මාසයේ වැටුප අත්හිටුවීමට කටයුතු කරන බවට ඊයේ (19) පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.

මේ අතර, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් ද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ පාසල් ආරම්භ කරන දිනයන් තීරණය කරන්නේ වෘත්තීය සමිති බවයි.

ජෝශප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ සම්බන්ධයෙන් තමන්ගේ මතය තවදුරටත් එලෙසින්ම පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ පාසල් දරුවන් හා ගුරුවරුන් පාසලට පැමිණීම කිසිවෙකුට නැවතිය නොහැකි බවයි.

******************************************

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සමාරම්භයට ගිය ශ්‍රී ලාංකික දූත පිරිස බෞද්ධ සම්මන්ත්‍රණයකටත් එක්වෙයි

(20.10.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

කුසිනාරා හෙවත් කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපලට සමාරම්භක ගුවන් ගමන සනිටුහන් කරමින් පැමිණි ශ්‍රී ලාංකික දූත පිරිස උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුසිනාරා නුවර සංවිධාන කර තිබූ බෞද්ධ සම්මන්ත්‍රණයකට ද අද (20) එක්වුණා.

දින 03 ක් පුරා පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය ආරම්භ වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.

ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් වැඩම කළ මහා සංඝරත්නය, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු ඇමතිවරුන් පිරිසක් මෙන්ම තවත් බෞද්ධ රටවල් රැසකම මහා සංඝරත්නය මෙන්ම දූත පිරිස් එක්ව සිටියා.

කුසිනාරා හෙවත් කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් අද (20) පෙරවරුවේ විවෘත කළ අතර, එහි ළගා වූ පළමු ගුවන් යානය ලෙසයි ශ්‍රී ලංකාවේ සිට මහසඟරුවන ප්‍රධාන දූත පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1147 දරණ යානය ගොඩබස්වනු ලැබුවේ.

වස්කඩුව – රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ තැන්පත් කර තිබූ කපිල වස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේ ද අද (20) දිනයේදී ඉන්දියාවට වැඩම කළ අතර සර්වඥ ධාතුන් වහන්සේ අද (20) සහ හෙට (21) යන දෙදින තුල කුෂිනගර් හිදී බැතිමතුන්ට වන්දනා කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකය වෙත ගොස් ආගමික වතාවත්වල ද නිරතවුණා.

******************************************

ඉන්දියාවෙන් ගෙන් වූ දියර පොහොරත් සාම්පල පරීක්ෂාවකට

(20.10.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ පරිසර හිතකාමී නැනෝ නයිට්‍රජන් දියර පොහොර, සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ කසුන් මහතන්තිල මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ එම පරීක්ෂණ වාර්තා මගින් පොහොර සාම්පලවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය තහවුරු වීමෙන් පසු ඒවා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීමට පියවර ගැනෙන බවයි.

ඒ අනුව වත්තල – හුණුපිටිය කළම්බු කොමර්ෂල් පොහොර සමාගමේ මධ්‍යම ගබඩා සංකීර්ණයේ පවතින අදාළ දියර පොහොර තොග මේ වන විට එහි ප්‍රාදේශීය ගබඩාවන් වෙත නිකුත් කරමින් සිටින බව ඔහු ප්‍රකාශ කළා.

ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ අදාල නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය මෙරටට රැගෙන ආවේ අද (20) අලුයමදීයි.

එමෙන්ම පොහොර සහ කෘෂි රසායනික නොමැති වීමෙන් වගාවන් සිදු කරගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් අදත් දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගොවීන් විරෝධතා වල නිරත වුණා.

ගම්පහ – දොම්පේ ප්‍රදේශයේ පැවති ගොවි විරෝධතාවයකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පැමිණ තිබුණා.

මේ අතර රසායනික පොහොර ආනයනය අත්හිටුවීමට අදාළ වගන්තිය ඇතුලත් ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සකස් කරන ලද්දක් බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්තී අංශය සමග සංවාදයකට එක් වෙමින් ඔහු කියා සිටියේ අදාළ ගැසට් පත්‍රය සකස් කිරීමේදී නිසි තොරතුරු ලබා දීමට අපොහොසත් වූ බවට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ බහුතරයක් පසුතැවීමෙන් සිටින බවයි.

මේ අතර, පොහොර පිළිබඳව මතුවී ඇති ගැටලු‍ සම්බන්ධයෙන් හෙට (21) පාර්ලිමේන්තුවේදී, සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

+++++++

‘නැනෝ නයිට්‍රජන්’ දියර පොහොර ගැන විශේෂඥ මතය

(20.10.2021 – 21:38 +0530 – sinhala.adaderana.lk)

නැනෝ නයිට්‍රජන් දියර පොහොර භාවිත කිරීම සම්බන්ධයෙන් තවමත් ඉන්දියාවේ ගොවීන්ට පවා අත්දැකීම් අඩු බව ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා පිළිබඳ මහාචාර්ය එස්. ඩී. එම්. චින්තක මහතා පවසයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ, මෙම පොහොර මෙරට භාවිත කිරීමට පෙර ක්ෂේත්‍ර පර්යේෂණ සිදුකළ යුතු බවය :

“නයිට්‍රජන්වලට අපි මුලින් පාවිච්චි කළේ යූරියා. යූරියා දැන් ලංකාවට ගෙනඒම තහනම් නිසා නැනෝ යූරියා පොහොරක් ආනයනය කරලා තියෙනවා. මේ පොහොර සම්පූර්ණයෙන්ම රසායනික පොහොරක්. මේක ඉන්දියාවේ පර්යේෂණ මට්ටමින් සිදුකරලා, ක්ෂේත්‍ර පරීක්ෂණත් සිදුකරලා ගොවියන් සඳහා නිකුත් කරලා තියෙන්නේ දැනට මාස 2 කට ඉස්සෙල්ලා. තාම මේක ඉන්දියාවෙවත් ගොවීන් අතර භාවිත කරලා ගොවීන්ගේ අත්දැකීම් කිසිවක් නැති පොහොරක්. මේක ලංකාවේ එකපාරටම දානවාට වඩා ලංකාවේ ක්ෂේත්‍ර පර්යේෂණ කරලා ඒ හරහා ලැබෙන ප්‍රතිඵල විශ්ලේෂණය කරලා තමයි ලංකාවට හඳුන්වාදිය යුත්තේ කියලා මම නම් විශ්වාස කරන්නේ.”

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයේ පාංශු සරුබව සහ පෝෂක කළමනාකරණය පිළිබඳ මහාචාර්ය සමන් ධර්මකීර්ති මහතා සඳහන් කළේ :

“මේ පොහොර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පර්යේෂණ මා දැනුවත්ව සිදුකරල නෑ. නමුත් ඉන්දියාවේ පවා කරලා තියෙන පර්යේෂණවලින් පෙන්වන්නේ සාමාන්‍ය නයිට්‍රජන් පොහොර යූරියා විදිහට යොදලා වර්ධන අවස්ථාවල මේ නැනෝ පොහොර වාර දෙකක් (2) යෙදීම තමයි. මේ නැනෝ යූරියා දියර පොහොර වල 4% යි නයිට්‍රජන් තියෙන්නේ. බීජ හදන්න කිලෝග්‍රෑම් 50 ක් ශාකයට අවශ්‍ය කරනවා. ඒ සඳහා අපි ලබා දෙන්නේ ග්‍රෑම් 100 ක් වැනි කුඩා ප්‍රමාණයක් මේ දියර පොහොර හරහා. මේ දියර පොහොර පැය කිහිපයකට වරක්වත් ගැහුවොත් තමයි ශාකයට අවශ්‍යකරන නයිට්‍රජන් ප්‍රමාණය ලබාදෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේක කිසිසේත්ම ප්‍රායෝගික ක්‍රියාවලියක් නොවන බව තමයි මගේ විශ්වාසය.”

කෙසේවෙතත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සඳහන් කළේ :

“මේ ප්‍රභවය ශාකයේ පත්‍රවලට දියරයක් ලෙස ලබාදුන් පසු ඒක ශාකය අභ්‍යන්තරයට ගමන් කරනවා. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කාලයන් හදලා තියෙනවා, මේ පොහොර කොහොමද භාවිත කරන්නේ කියලා. ගොවීන්ට කිසිම බයක් නැතුව මේ පොහොර පාවිච්චි කරන්න පුළුවන්.”

මහ කන්නය සඳහා අවශ්‍ය දියර පොහොර ගෙන්වීමේ පළමු අදියර ලෙස ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් ඊයේ (19) ඉන්දියාවේ සිට මෙරටට ගුවන් මගින් ගෙන එනු ලැබීය.

‘නයිට්‍රො රජා’ ලෙසින් නම් කර ඇති එම දියර පොහොර තොගය මේ වනවිටත් ගොවි ජනතාව වෙත බෙදාහැරීම ආරම්භ කර තිබේ.

******************************************

කංසා වවා පර්යේෂණ කළ ආචාර්යවරයෙකු තණමල්විලදී අත්අඩංගුවට

(20.10.2021 – 20:06 +0530 – hirunews.lk/sinhala)

පර්යේෂණයක් සඳහා තණමල්විල – බෝදාගම ප්‍රදේශයේ කංසා වගාවක් සිදුකළ ආචාර්ය වසන්ත සේනවැලිඅංග, පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලපත්‍ර නොමැතිව කංසා වගා කිරීමේ චෝදනාව මත අද (20) ඔහුව අත්අඩංගුවට ගත් බවයි තණමල්විල පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

කංසා පිළිබඳ මේ වනවිට ග්‍රන්ථ දෙකක් (2) සම්පාදනය කර ඇති ඔහු පසුගියදා ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ගෙන් ඉල්ලා තිබුණේ අදාළ වගාව සිදුකිරීම සඳහා අවසර ලබාදෙන ලෙසයි.

එසේම, කංසා සම්බන්ධයෙන් කෞතුකාගාරයක් ඉදිකිරීමටද ආචාර්ය වසන්ත සේනවැලිඅංග සැලසුම් කර ඇති බවයි ඔහුගේ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ෴

******************************************

‘මට්න්’ වෙනුවෙන් සම්මාන දිනූ හසන්ත දිවයිනට

(20.10.2021 – 21:55 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාතික 07 වන ‘සකර්යා’ ශිෂ්‍ය කෙටි චිත්‍රපට උළෙලේදී ලොව හොඳම ශිෂ්‍ය කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් හසන්ත දිසානායක මහතා අද (20) දිවයිනට පැමිණියා.

තරඟය සඳහා ලොව පුරා රටවල් 193 ක ශිෂ්‍ය තරඟකරුවන් නිර්මාණ 7,000 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබෙනවා.

හසන්ත මහතා නිර්මාණය කළ ‘මට්න්’ කෙටි චිත්‍රපටය එහිදී මෙලෙස සම්මානයට පාත්‍ර වූ අතර එය තවත් සම්මාන උළෙල කිහිපයක අවසන් වටයට නිර්දේශ වී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *