හෘදයාබාධයක් වැළඳී ත්‍රිරෝද රථ රියදුරෙකු ගාලු මුවදොර මාර්ගයේදී මරුට – ත්‍රිරෝද රථය තවත් වාහනවල ගැටේ

හෘදයාබාධයක් වැළඳී ත්‍රිරෝද රථ රියදුරෙකු ගාලු මුවදොර මාර්ගයේදී මරුට – ත්‍රිරෝද රථය තවත් වාහනවල ගැටේ

*********************************************

හෘදයාබාධයක් වැළඳී ත්‍රිරෝද රථ රියදුරෙකු ගාලු මුවදොර මාර්ගයේදී මරුට – ත්‍රිරෝද රථය තවත් වාහනවල ගැටේ

(19.10.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර පිටිය ඉදිරිපිට මාර්ගයේ ත්‍රිරෝද රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙකු හදිසියේ හෘදයාබාධයක් වැළඳී ත්‍රිරෝද රථය තුලම අද (19) ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ පාලනයෙන් ගිළිහුණු ත්‍රිරෝද රථය මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයකද ගැටුණු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

හෘදයාබාධය වැළදී රියදුරා සුක්කානම මත ඇදවැටීමත් සමඟ ත්‍රිරෝද රථය එම මාර්ගයේ අනෙක් මංතීරුව දෙසට කවාකාරව ධාවනය වී තවත් වාහන කිහිපයක ගැටී ඇති බව සඳහන්.

පසුව එය, ජීප් රථයක ගැටී නතරවන අතර, පොලීසිය පැවසුවේ රෝහල් ගතකරන විටත් පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ත්‍රිරෝද රථ රියදුරා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.

******************************************

අමරදේව අසපුවේ ඉදිකිරීම් කඩිනම් කිරීමට පියවර

(19.10.2021 – 15:37 +0530 – hirunews.lk/sinhala)

දැනට අතරමඟ නවතා දමා ඇති අමරදේව අසපුවේ ඉදිකිරීම්වලට අවශ්‍ය ප්‍රතිපාදන වහාම ලබා දී එම කටයුතු කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම ගැටළුව පිළිබදව හිරු ප්‍රවෘත්ති තුළින් ද මීට පෙර අනාවරණ කළා ෴

******************************************

ප්‍රදේශ රැසක කොල්ලකෑම්වලට සම්බන්ධ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(19.10.2021 – 16:37 +0530 – hirunews.lk/sinhala)

සීදූව, කටාන, කටුනායක, මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ කටුනායක පොලීසිය විසින් ආඩිඅම්බලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

31 හැවිරිදි මෙම පුද්ගලයින් දෙදෙනා (2) සීදූව හා ආඬිඅම්බලම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගන්නා විටත්, මොවුන් සතුව තිබී සොරකම් කළ ලක්ෂ 7 කට ආසන්න දේපළ ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා ෴

******************************************

මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි පිටපතක් බොලිවුඩ් චිත්‍රපටයකට

(19.10.2021 – 16:45 +0530 – hirunews.lk/sinhala)

ලොව වසඟ කළ ශ්‍රී ලාංකේය යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගායනා කරන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය හින්දි භාෂාවෙන් නිර්මාණය කර බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා ඇතුළත් කරගෙන තිබෙනවා.

ඉන්දීය සුපිරි නළුවන් දෙදෙනෙකු (2) වන අජේ දෙව්ගන් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා රංගනයෙන් දායකත්වය සපයන එම චිත්‍රපටය නම් කර ඇත්තේ, ‘තෑන්ක් ගෝඩ්’ ලෙසින්.

එහි රූගතකිරීම් මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.

ඒ සඳහා ඇතුළත් කර ඇති ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි පිටපත ඉන්දීය ගී පද රචක රෂ්මි විරාග් රචනා කරන අතර, ටනිෂ්ක් බාචි විසින් එහි සංගීතය නිර්මාණය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

******************************************

තොටළඟින් මළ සිරුරු දෙකක් (2) සොයාගැනේ

(19.10.2021 – 17:23 +0530 – hirunews.lk/sinhala)

තොටළඟ – කළුපාලම අසල ගං ඉවුරේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේ, මියගිය කාන්තාව සියදිවි හානිකරගෙන ඇති බවට සැක කරන බවයි.

මේ අතර තොටළඟ වික්ටෝරියා පාලම අසල තිබී තවත් පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති අතර, එය 76 හැවිරිදි යාචකයෙකුගේ බවට තහවුරු වී තිබෙනවා ෴

******************************************

මගී දුම්රිය ධාවනය තවත් පමා වෙයි

(19.10.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

ලබන 21 වනදා සිට දුම්රිය ධාවනය කරන බවට ප්‍රකාශ පළ වුවද ලබන සිකුරාදා (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ දැනට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පමණක් ධාවනය වන බැවින් මගී ප්‍රවාහන දුම්රිය ධාවනය පිළිබඳ සිකුරාදායින් පසු තීරණයකට එළඹෙන බවයි ෴

******************************************

ලංකා ගුරු සංගමයෙන් තවත් චෝදනාවක්

(19.10.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

පොලිසිය හරහා ගුරුවරුන්ට බලපෑම් කරන තත්වයක් දක්නට ලැබෙන බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව මුල්කරගනිමින් වෘත්තිය සමිති ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීමේ වර්ජනයට අදට (19) දින 100 ක් ගතවන අතර අද (19) දිනයේත් ස්ථාන කිහිපයකදි විරෝධතා පැවත්වුණා.

මේ අතර, අද (19) මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ 21 සහ 22 යන දෙදින පාසල් වෙත නොපැමිණෙන බවයි.

මේ වන විටත් වර්ජනයේ නිරත ගුරු සංගම් කිහිපයක් ලබන 25 වනදා සිටි පාසල් පැමිණිමට තීරණය කර තිබෙනවා.

එවන් පසුබිමක ගුරු විදුහල්පති වෘත්තිය සමිති විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා වෙත සන්දේශයක්ද භාර දෙනු ලැබුවා.

ඒ, සිය ගැටලුවට විසදුම් ලැබෙනතුරු පාසල් අධ්‍යන කටයුතු සදහා තම සංගමයේ ගුරු විදුහල්පතිවරු සහභාගි නොවන බව දන්වමින්.

20-10-2021

******************************************

65 හැවිරිදි කතගේ අනියම් පෙම්වතා 28 හැවිරිදි පුතු මරයි

(19.10.2021 – 19:15 +0530 – hirunews.lk/sinhala)

65 හැවිරිදි කාන්තාවකගේ අනියම් පෙම්වතා බව කියන පුද්ගලයෙකු විසින් එම කාන්තාවගේ 28 හැවිරිදි පුතුට තියණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුන්දලම පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ (18) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර මියගොස් ඇත්තේ එක්දරු පියෙකු බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කළා.

මියගිය පුද්ගලයා තම මව බැලීම සදහා ඊයේ (18) මුන්දලම කරිකට්ටිය ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණ තිබෙනවා.

එහිදි මවගේ නිවසේ ඇගේ අනියම් පෙම්වතා බව කියන පුද්ගලයා සිට ඇති අතර එම අවස්ථාවේ ඔහු සහ පුත්‍රයා අතර ඇතිවු බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු මීට පෙරද විවිධ ඝාතන සිද්ධීන්වලට සම්බන්ධ අයෙකු බවට ද පොලිසියට තොරතුරු වාර්තා වී තිබෙනවා ෴

******************************************

ගිලුනු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තවත් ඉන්ධන ටොන් 278 ක් ඇති බවට සැක

(19.10.2021 – 19:18 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තවදුරටත් ඉන්ධන මෙට්‍රික් ටොන් 278 ක ප්‍රමාණයක් ඇති බවට උපකල්පනය කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එහි සභාපතිනි දර්ශනී ළහඳපුර මහත්මිය සඳහන් කළේ අදාළ නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පරිසර හානිය ගණනය කිරීමේ විද්වත් කමිටුවේ මූලික වාර්තාව නොවැම්බර් 30 වනදා අග්‍රාමාත්‍යවරයාට ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

කොළඹ වරායට නාවික සැතපුම් 9.5 ක් දුරින් තිබියදී පසුගිය අප්‍රේල් 20 වනදා ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැඹුරු මුහුදු කලාපයට ඇදගෙන යාමට කටයුතු කිරීමේදී උස්වැටකෙයියාව මුහුදු ප්‍රදේශය ආසන්නයේ පසුගිය සැප්තැම්බර් මාසයේ මුහුදුබත් වුණා.

නෞකාවේ ගින්න හේතුවෙන් මෙරට වෙරළ තීරයට සැලකිය යුතු බලපෑමක් එල්ලවූ අතර එහි තිබූ රසායන ද්‍රව්‍ය සහ සුන්බුන් මෙන්ම බහාලුම් මුහුදට එක්වීම නිසා එම මුහුදු කලාපය ධීවර කටයුතු වලින් තහනම් කිරීමට ධීවර අමාත්‍යාංශය පියවර ගත්තා.

ඒ රසායන ද්‍රව්‍යවලින් සහ නෞකාවේ සුන්බුන් වලින් ධීවරයින්ට එල්ල විය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින්.

මේ අතර ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අත්අඩංගුවට ගැනීමට කොළඹ වානිජ මහාධිකරණය පසුගිය 07 වනදා කොළඹ වරායේ පාලනාධිකාරියට වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.

නෞකාව ගිනිගැනීමට ලක්වන විට එහි නයිට්‍රික් අම්ලය, කෝස්ටික් සෝඩා, මෙතනෝල්, සෝඩියම් මෙතොක්සයිඩ් වැනි රසායන ද්‍රව්‍ය මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු බහාලුම් 1486 ක් ප්‍රවාහනය කරමින් තිබුණා.

එම අවස්ථාවේදී එහි ගබඩා කර තිබූ ඉන්ධන ප්‍රමාණය ටොන් 300 ක් පමණ වන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

******************************************

නැනෝ නයිට්‍රජන් දියර පොහොර අද (19) රාත්‍රියේ දිවයිනට

(19.10.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිට මෙරටට ප්‍රථම වරට රැගෙන එන ‘නැනෝ නයිට්‍රජන්’ දියර පොහොර තොගය අද (19) රාත්‍රි 11 ට පමණ ළඟාවීමට නියමිත බව වාර්තාවනවා.

එය, භාර ගැනීමට අදාළව අද (19) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ කෙටි උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වීමට නියමිතයි.

‘නැනෝ නයිට්‍රජන්’ දියර පොහොර ලීටර ලක්ෂ 31 හි පළමු තොගය මෙලෙස අද (19) රාත්‍රියේ දිවයිනට ළඟාවන අතර, ඒවා හෙට (20) සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට බෙදා හැරීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම ‘නැනෝ නයිට්‍රජන්’ දියර පොහොර වල විශේෂත්වය වන්නේ ඒවා පාංශු ජලයේ ද්‍රාවණය නොවී ඍජුවම ශාක වලට අවශෝෂණය වීමයි.

ඒ හේතුවෙන් පොහොර වල අන්තර්ගත මූලද්‍රව්‍ය, පානිය ජලය ලබා ගැනීමට භාවිතා කරන ජලාශ වලට එක් නොවන අතර එම නිසා වකුගඩු රෝග වැනි විවිධ රෝගී තත්වයන් ඇති වීමේ අවදානමක් නොමැති බවටයි විශේෂඥයන් මගින් තහවුරු කර ඇත්තේ.

මේ අතර පොහොර සහ කෘෂිරසායනික නොමැති වීමෙන් වගාවන් සිදු කරගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පවසමින් අදත් (19) දිවයිනේ විවිධ ප්‍රදේශ වල විරෝධතා පැවැත්වුණා.

මෙම විරෝධතා ඇලහැර – අත්තනකඩවල, ජයසිරිපුර, පොළොන්නරුව , තලාව, පදවිය සහ රඹෑව යන ප්‍රදේශවල පැවැත්වුණා.

තලාව ප්‍රදේශයේ පැවති විරෝධතාවය අතරතුරදී ඒ අසලින් ‘අත්‍යවශ්‍ය සේවා පොහොර’ ලෙස සඳහන් කර තිබූ ලොරි රථයක් ගමන් ගැනීමට උත්සාහ කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇති වුණා.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් පැමිණ තත්වය පාලනය කර ලොරි රථය ආරක්ෂිතව පිටත්කර හැරීමටයි කටයුතු කළේ.

******************************************

බන්දුල වර්ණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරේ

(19.10.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට පළමු ටෙස්ට් නායකයා වූ අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 68 ක්.

******************************************

අදහන්න බලකරන්න බැහැ – අලි සබ්රිගෙන් විශේෂ ප්‍රකාශයක්

(19.10.2021 – 21:32 +0530 – hirunews.lk/sinhala)

ආගම් ඇදහීම සඳහා බලපෑම් කළ නොහැකි බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා.

නබි තුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් මරදාන ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ පැවති වැඩසටහනට එක්වෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මෙම අදහස් පළ කළා.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොවිඩ් ආසාදිතව අදත් මරණ 18 ක්

(19.10.2021 – 17:42 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව තවත් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව වෛරසය ආසාදනයෙන් මෙරට තුළ මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 13,525 ක් දක්වා ඉහළ යනු ඇති ෴

කොවිඩ් ආසාදිතයින් 461 දෙනෙකු අද (19) දිනයේදී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,32,679 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 87 ක් මෙරටින් හමුවී තිබෙනවා. අද (19) දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 548 ක් වනවා. ඒ අනුව මෙරට මුළු ආසාදිතයින් ගණන 5,32,766 ක් ෴

++++++++++++++++++++

කොරෝනා මර්දන කරලක් දුප්පත් රටවලට ලබාදීමට සැලසුම්

(19.10.2021 – 18:02 +0530 – hirunews.lk/sinhala)

එන්නත් ලබා ගැනීමට අපහසු ලොව දුප්පත් රටවලට කොරෝනා වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ කරලක් ලබාදීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එක් අයෙකු සඳහා රෝග පාලනයට අවශ්‍ය සම්පූර්ණ කරල් ප්‍රමාණය ඩොලර් 10 ක මුදලකට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

‘මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම විසින් නිපදවන මෙම ඖෂධය තවදුරටත් පර්යේෂණ මට්ටමේ පවතිනවා ෴

++++++++++++++++++

කොවිඩ් පැතිරීම වළක්වා ගැනීමට ජනතාවගේ සහය ඉතා වැදගත් – යුද හමුදාපති

(19.10.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් පැතිරීම වළක්වා ගැනීම සඳහා තවදුරටත් අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

දීර්ඝ නිවාඩු කාලය තුළ ඇතැම් ජනතාව පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් වෙනත් ප්‍රදේශවලට ගොස් ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

ජනතාවගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළා.

“මේ වන විට රටේ සති අන්තයක් සහ දීර්ඝ නිවාඩුවක් ඉදිරියට පැමිණිලා තියෙනවා. රටේ ජනතාව මේ වන විට වාර්තා වෙනවා කොළඹින් පිට දිස්ත්‍රික්කවලට සමහර පුද්ගලයින් ගමන් කරලා තියෙනවා. විශේෂයෙන් ම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා දැනට මේ පවතින තත්ත්වය කොවිඩ් ආසාදිතයින්ගේ ප්‍රමාණය 600 ක වගේ පවත්වා ගැනීමටත් 25 කට අඩු මරණ රඳවා ගැනීමටත් ජනතාව විශාල කැපකිරීමක් කරනු ලැබුවා.

ඉතින් ජනතාවගෙන් මේ අවස්ථාවේ දී ඉල්ලා සිටින්නේ ඒකරාශී වන ස්ථාන හැකිතාක් දුරට වැළකී සිටීමට කටයුතු කරන්න. මෙම මාසයක් පමණ කාලය ඉතාමත් වැදගත් වෙනවා කොවිඩ් තවදුරටත් පැතිරීම වළක්වා ගැනීමට.

ජනතාව මේකට සහය ලබාදුන්නොත් අපි හැකියාවක් ලැබෙයි ඉදිරි මාසයේ දී විතර මේ කොවිඩ් තත්ත්වය මීට වඩා අඩු කර ගන්න.

නමුත් ජනතාවගේ හැසිරීම අනුව තමයි මේ කොවිඩ් වර්ධනය වෙනවා ද කොවිඩ් අඩු කරගන්නවා ද කියන එක තියාගන්න පුළුවන් වෙන්නේ.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *