කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරයේ කොටස් හුවමාරුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරයේ කොටස් හුවමාරුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

*********************************************

කෙරවළපිටිය එල්.එන්.ජී. බලාගාරයේ කොටස් හුවමාරුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(18.10.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala)

කෙරවළපිටිය යුගදනවි තාප බලාගාරයේ රජය සතු සියයට 40 ක කොටස් ප්‍රමාණයක් ඇමරිකානු සමාගමකට පවරා දීමට කැබිනට් මණ්ඩලය මගින් ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින්.

පෙත්සම් විභාගයට ගෙන අවසන් තීන්දුව ලබා දෙන තෙක් කැබිනට් මණ්ඩලය මගින් පසුගිය සැප්තැම්බර් 06 වනදා එළඹුණු තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාල පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුලු 54 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. ඊට ඇමරිකානු ‘නිව් ෆෝට්‍රස් සමාගම’ ද ඇතුළත් වන බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ කෙරවලපිටිය – යුගදනවි බලාගාරයේ හිමිකාර සමාගමේ ලක් රජයට අයත් කොටස්වලින් සියයට 40 ක් වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්තිසහගත නොවන බවයි.

එවැනි තීරණයකට එළඹීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවදානය යොමු කිරීමට අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවට ද එමගින් චෝදනා නගා තිබෙනවා.

එමෙන්ම, අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරිය වගඋත්තරකාර ඇමරිකානු සමාගම සතු වීමේ අවදානමක් ද මතු වනවා.

එමෙන්ම මෙම කොටස් පැවරීමේදී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකිරීම නිසා එම ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය පිළිබදව බරපතල ගැටළු මතු වී තිබෙන බවයි පෙත්සම ඉදිරිපත් කරමින් අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පෙන්වා දෙන්නේ.

එබැවින් අමාත්‍ය මණ්ඩලය සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණයෙන් මෙරට මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංගණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කාර හිමිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ද එමගින් ඉල්ලා තිබෙනවා.

මේ අතර, යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් යොමු කළ ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා සිටියා.

එහිදී ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී හෝ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමකදී සාකච්ඡා කිරීම වඩා යෝග්‍ය බවයි.

දේශපාලනික කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජාතික සංවිධායක අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග සාකච්ඡා කිරීම සුදුසු බවයි ජනාධිපතිවරයා පක්ෂ නායකයින්ට දැනුම් දී ඇත්තේ ෴

******************************************

කල්පිටියේ වෙරළ ඛාදනය

(18.10.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය සංචාරක කලාපයට අයත් ඉලන්තඩිය වෙරළ තීරයේ පිහිටි කස කැළෑව මේ වනවිට දැඩි ලෙස වෙරළ ඛාදනයට ලක්වෙමින් පවතිනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, මේ පිළිබඳව බලධාරීන් දැනුම්වත් කළද මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නොමැති බවයි.

******************************************

බන්ධනාගාරයට විෂබීජනාශක දියර තහනමක්

(18.10.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරය තුළට විෂබීජනාශක දියර රැගෙන යාම පසුගිය සති අන්තයේ සිට අත්හිටුවා තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා කියා සිටියේ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ඉරාන ජාතික රැඳවියන් දෙදෙනෙකු (2) විෂබීජනාශක දියර පානය කිරීමෙන් පසු මියයාමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

ඉරාන ජාතිකයින් 12 දෙනෙකු මෙලෙස විෂබීජනාශක පානය කර තිබූ අතර, ඉන් දෙදෙනෙකුයි (2) මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් විමර්ශන සිදු කරමින් පවතින අතර, විෂබීජනාශක දියර වෙනුවට සබන් භාවිතය මේ වනවිට ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා කියා සිටියා ෴

******************************************

රිය අනතුරුවලින් හත් දෙනෙකු (7) මියයයි

(18.10.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ඊයේ (17) සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් හත්දෙනෙකු (7) මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අදාළ පිරිස මියගොස් ඇත්තේ රිය අනතුරු හයකින් (6) බවයි.

මේ අතර පළාත් සංචරණ සීමා පිළිබඳ සොයාබැලීමට යොදා තිබූ මාර්ග බාධක 158 කදී නිසි අවසරයක් නොමැතිව පළාත් අතර සංචාරය කිරීමට උත්සාහ කළ වාහන 899 ක් හරවා යවා තිබෙනවා.

එසේම පුද්ගලයින් 1,523 දෙනෙකුට අවවාද සිදු කළ බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 53 දෙනෙකුද ගත වූ පැය විසි හතර (24) තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

තාරකා ඉබ්බන් 223 දෙනෙකු විකිණිමට සැරසුණු තුන් (3) දෙනාට රු. 3,30,000 ක දඩයක්

(18.10.2021 – 16:40 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස තාරකා ඉබ්බන් 223 දෙනෙකු විදෙස් රටවලට අලෙවි කිරීමට සූදානම් වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් දෙදෙනා (2) ඇතුළු තුන් දෙනාට (3) රුපියල් 3,30,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ, සැකකරුවන් අද (18) මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පදිංචි මෙම පුද්ගලයින් දෙදෙනා (2) සහ කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙරට පුද්ගලයා (1) පසුගියදා මීගමුව – කොප්පරා මංසන්දියේදී තාරකා ඉබ්බන් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

රසායනික නොවන පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පැමිණෙන ආයෝජකයන් ලෙසයි මෙම ඉන්දීය ජාතිකයින් මෙරටට පැමිණ ඇත්තේ.

******************************************

කීරි සම්බා 220 පනී – සීනි මිලත් තව ඉහළ යයි

(18.10.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ සීනි සහ සහල් මිල මේ වන විට පාලනයකින් තොරව ඉහල යමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

සීනි සඳහා පාලන මිලක් පනවා ඇති මොහොතකයි යලිත් මෙලෙස මිල ඉහල ගොස් ඇත්තේ.

පසුගිය කාලසීමාව තුලදී සීනි තොග සඟවා තැබීම හේතුවෙන් සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 230 දක්වා සීග්‍ර ලෙස ඉහල ගියා. එම අවස්ථාවේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැටලීම් සිදුකොට අදාල සීනි තොග සොයාගත් අතර රජය විසින් සීනි සඳහා පාලන මිලක් ද නියම කරනු ලැබුවා.

ඒ අනුව, සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 122 ක පාලන මිලක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත්, අද (18) වන විට වෙළඳපොලේ සුදු සීනි රුපියල් 135 ක මිලකට අලෙවි වන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ.

එමෙන්ම, දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් සදහා රජය විසින් පනවනු ලැබූ පාලන මිල වන්නේ රුපියල් 125 ක්.

නමුත්, මේ වන විට දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් වෙළදපොලේ අලෙවි වන්නේ රුපියල් 138 ක මිලකට බවයි වෙළඳ පොල ආරංචි මාර්ග සදහන් කළේ.

ඇතැම් වෙළදුන් තම සීනි තොග සඟවා මිල ඉහල දමමින් අලෙවි කරන බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

මේ වන විට එලෙස සීනි තොග සැඟවූ වෙළදසැල් සහ හිමිකරුවන් සොයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කෙරෙනවා.

මේ අතර, වෙළදපළේ සහල් මිල ගණන් ද මේ වන විට තවදුරටත් ඉහල ගොස් තිබෙනවා.

මීට පෙර සහල් සඳහා පාලන මිලක් පනවා තිබුනද එය රජය විසින් ඉවත් කිරිමට කටයුතු කළා.

ඒ අනුව දැනට වෙළඳපළේ නාඩු සහල් කිලෝවක් රුපියල් 125 කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 150 කටත් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 220 කට පමණ මිලකටත් අලෙවි වනවා ෴

******************************************

පොහොර ගැටළුවට විසදුම් ඉල්ලා උතුරු නැගෙනහිරත් විරෝධතා

(18.10.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

පොහොර ගැටළුවට විසදුම් ඉල්ලා උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක අද (18) දිනයේදීත් විරෝධතා පැවැත්වුණා.

ගොවීන් එලෙස විරෝධතාවන් හි නිරත වූයේ රසායනික පොහොර සහ වල්නාශක නොමැති වීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට පත්ව ඇති බව පවසමින්.

දෙමළ ජාතික සන්ධානය ද අද (18) ගොවීන් සමග එක්ව උතුර සහ නැගෙනහිර සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරිපිට විරෝධතාවන් හි නිරත වී තිබෙනවා. රසායනික පොහොර සහ වල්නාශක නොමැති වීම මූලික කරගනිමින් මෙම විරෝධතා පැවැත්වුණා.

මේ අතර, මෙවර මහ කන්නයට වී වගා කිරීම සඳහා ගොවිබිම් සූදානම් කර ඇති ගොවීන්ට වගා කටයුතුවලින් ඉවත් වන ලෙස ප්‍රදේශයේ ගොවි සංවිධාන බලපෑම් එල්ල කරන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

රසායනික පොහොර ලබාදෙන තුරු වී ගොවිතැන නොකරන ලෙස ඉල්ලා සිටින එම ගොවි සංවිධාන, තම උපදෙස් නොතකන ගොවීන්ගෙන් රුපියල් 5000 ක දඩ මුදලක් අය කරන බව ප්‍රකාශ කර ඇතැයි ද නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

බණ්ඩාරගමදී තරුණයින් දෙදෙනාගේ (2) දෑත් කැපුවේ මත්කුඩු ඔත්තුව නිසා දැයි පරීක්ෂණ

(18.10.2021 – 20:31 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම – වල්ගම – සුනාමි නිවාස සංකීර්ණය ආසන්නයේදී තරුණයින් දෙදෙනෙකුට (2) තියුණු ආයුධවලින් පහරදී ඔවුන්ගේ දෑත්වලට බරපතල තුවාල සිදුවීමේ සිද්ධියට අදාළව තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ හෙරොයින් වැටලීමක් සම්බන්ධයෙන් ඔත්තුව ලබාදුන් තරුණයින් දෙදෙනෙකුට (2) මෙලෙස තියුණු ආයුධවලින් පහර දී ඇති බවටයි.

පසුගිය ජුනි මාසයේදී රුපියල් කෝටි 40 කට වඩා වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා මින් එක් තරුණයෙකු විසින් තොරතුරු ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මොවුන්ට පහරදුන් පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඉන් එක් (1) සැකකරුවෙකු මීට දින කිහිපයකට පමණ ඉහත දී බන්ධනාගාරයෙන් නිදහස් වී ආ අයෙකු බවටයි වාර්තා වන්නේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඉදිරි සතිය වගකීමෙන් කටයුතු කරන්න – සෞඛ්‍ය අංශ කියයි

(18.10.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා අසාදිතයින් මේ වන විට වැඩි වශයෙන් වාර්තා වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එසේම, සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ, ඉදිරි සතියේ ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කිරීමට ජනතාව පියවර ගත යුතු බවයි.

මේ වනවිට බිම් මට්ටමෙන් වැඩි වශයෙන් කොරෝනා අසාදිතයින් වාර්තාවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

මේ නිසා ජනතාව ඒ සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

ජනතාව ඉදිරි දින කිහිපය තුළ සංචරණය සීමා කරමින් වගකීමෙන් යුක්තව කටයුතු කිරීම ඉතා වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.

අද (18) දිනයේ මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 354 ක් සුවය ලබා තිබෙනවා. ඒ අනුව, සුවය ලබා රෝහල්වලින් පිටව ගිය මුළු සංඛ්‍යාව 4,92,975 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ ෴

අද (18) දිනයේදීත්, මෙරටින් කොරෝනා ආසාදිතයින් 467 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මේ වනවිට තහවුරු කරන ලද සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,32,115 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ ෴

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී (17) කොරෝනා ආසාදිත මරණ 23 ක් තහවුරු කර තිබෙනවා. එම මරණ 23 ත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 13,507 ක් දක්වා ඉහළ යනු ඇති ෴

+++++++++++++++++

ඉදිරි සති දෙක (2) තුළ සමස්ත ජනගහනයෙන් 70% කටම එන්නත් මාත්‍රා දෙකම (2)

(18.10.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති දෙක-තුන (2-3) තුළ මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 70 ක් එන්නත් මාත්‍රා දෙකම (2) ලබාදී පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකි වනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, රෝග ලක්ෂණ සහිතව මේ වන විට රෝහල් වෙත පැමිණෙන අයගෙන් ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලබන්නේ සියයට 6 ක් පමණක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියා සිටියා.

කෙටි කාලයක් තුළ සමස්ත ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් එන්නත්කරණය කිරීමට හැකි වූ රටක් ලෙස ශ්‍රී ලංකාව ලොව රටවල් අතර ඉහළින්ම සිටින බව ද ඔහු සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (18) පැවති මාධ්‍ය හමුවේදී සදහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *